ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin) ජාවාරමේ මහ මොලකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න - GMOA

ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin) ජාවාරමේ මහ මොලකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න - GMOA

ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin) ජාවාරමේ මහ මොලකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන අතරතුර ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල මතුව ඇති නව ප්‍රවණතා නිසි ලෙස කළමණාකරණය නොකලහොත් ඉදිරි කාලය තුල සමස්ථ පද්ධතිය මුලුමනින්ම බිඳ වැටීමේ අවදානම පිළිබඳ අනතුරු හැඟවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මතු වූ ඖෂධ අර්බුදය පිළිබඳව පසුගිය වසර 2 කට ආසන්න කාලය තුල දිගින් දිගටම හඩ නඟන ලදී.

පවතින තත්ත්වය විග්‍රහ කිරීමෙන් නොනැවති අර්බුදයට විසඳුම් ලෙස දස වැදෑරුම් විසඳුම් මාලාවක් අප විසින් ඉදිරිපත් කර මේ වන විට වසර 1 ½ කට ආසන්න කාලයක් ගතව ඇත.

කනගාටුවට කරුණ නම් කෙතරම් හඩ නැඟුවද අප විසින් ඉදිරිපත් කල සාධනීය යෝජනා මත පදනම් වූ විසඳුම් ලබා දීම බලධාරීන් විසින් දිගින් දිගටම නොසලකා හැරිමයි.

වර්තමානයේ සමස්ථ සමාජය තිගැස්මට ලක් කිරීමට සමත්ව ඇති අදහාගත නොහැකි ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin)  ජාවාරම පිළිබඳ හෙලිදරව් වී ඇති කරුණු අධ්‍යයනය කිරීමේදි අපි විසින් ඉදිරිපත් කල යෝජනා ක්‍රියාත්මක නොකිරීමට බලධාරීන් කටයුතු කලේ ඇයිද යන්න මනාව පැහැදිලි වෙයි.

ඒ, ඒ අයගේ ජාවාරම්කාර පිලිවෙතට නැවතිමේ ලකුණු තැබීමට අප ඉදිරිපත් කල යෝජනා හේතු වන බැවිනි.

මෙම කූප්‍රකට ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin) ගණුදෙනුව තුල පැහැදිලිව දැකිය හැකි නිරීක්ෂණ කිහිපයක් වෙයි.

  1. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සෑම මට්ටමකම කටයුතු කල පිරිස් රෝගී ජනතාව වෙනුවෙන් තමන්ට ඇති වගකීම අඩුවැඩි වශයෙන් බිඳ දමා ඇති බවයි.
  2. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සෑම මට්ටමකදීම ප්‍රමිතිය නියාමනය කිරීම සඳහා නිත්‍යානූකුල ව්‍යුහයක් තුල වගකීම හා වගවීම දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඉතා නිර්ලජ්ජිත ලෙස තමන්ගේ මූලික වගකීම් පැහැර හැර ඇති බවයි.
  3. අප පෙන්වා දුන් පරිදි හදිසි මිලදි ගැනීම් යනු චෞර රැලකට නිත්‍යානුකූල ලෙස තම හොරකම සිදු කිරීමට ඉඩ සලසන මාවත බවයි.
  4. අප මීට ඉහත ද පෙන්වා දුන් පරිදි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඍජු වගකීම් දරන පාර්ශවකරුවන් අතර නිසි සම්බන්ධිකරණයක් නොතිබුණු බවයි.
  5. සමස්ථ ක්‍රියාදාමය තුල සිටි ඇතැම් පිරිස් චේතනාන්විතවම වංචනික හා අපරාධමය ස්වරුපයෙන් කටයුතු කර ඇති බවයි.

කෙතරම් කටුක වුවද අමිහිරි වුවද මෙම යථාර්තය පිලිගැනීමකින් තොරව නිවැරදි කිරීමක් බලාපොරොත්තු විය නොහැක.

ඒ අනුව ගරු අධිකරණය තුලදි ද කතා බහට ලක් වුණු මෙම ජාවාරමේ මහ මොලකරුවන් ඇතුලු චූදිතයන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීම අනිවාර්යයෙන් සිදු විය යුතුය.

කෙසේ නමුත් මෙම සිද්ධියේදි මේ දක්වා නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හරහා සමස්ථ විමර්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් යම් සැක සංකා මේ වන විට මතු වෙමින් පවති.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සද්භාවයෙන් සම්බන්ධ වී සිටින හා ඒ සම්බන්ධයෙන් වගකීම් දරන නිලධාරීන් අතර තමන්ගේ රාජකාරිය පිළිබඳ දෙගිඩියාවක් මතු වීම කිසිසේත්ම සමස්ථ පද්ධතියේ ඉදිරි ගමන සඳහා සුභදායි නොවනු ඇත.

දැනටමත් මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ තොග භාර ගැනීම මෙන්ම ගබඩා කිරීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් මතුවෙමින් පවතින බව හෙලිදරව් වෙමින් පවති.

පසුගිය වසර 2 ක කාලය තුල අමිහිරි අත්දැකීම් හමාර කර 2024 වර්ෂය තුලදි හෝ රෝගී ජනතාවට සුසුම් හෙලීමකින් තොරව රජයේ රෝහලකින් සේවාවන් ලබා ගැනීමට ඇති අපේක්ෂා මේ හරහා දරුණු ප්‍රශ්න කිරීමකට ලක් වෙයි.

ඒ අනුව සැබෑ වංචනිකයන්ට උපරිම දඩුවම් දෙන අතරතුර අවංකව හා සද්භාවයෙන් තම රාජකාරි ඉටු කල හා ඉටු කරන නිලධාරීන් අනවශ්‍ය පිඩනයකට ලක් නොවන පරිදි පවතින තත්ත්වය කලමණාකරනය කිරීම මේ මොහොතේ බලධාරීන්ගේ සැබෑ වගකීමයි.

එසේ නොවුනහොත් ඉදිරි කාලය තුල සමස්ථ පද්ධතිය ඛේදජනක ලෙද බිඳ වැටීමට ඇති අවදානම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අනතුරු හඟවමු.

සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය රැකෙන අයුරින් මතුවෙමින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදාලීම සඳහා බලධාරීන් ගන්නා අවංක උත්සාහයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇත.