වැඩපළ ප්‍රශ්න විසඳා ගැනීමේ ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ගේ ඒකාබද්ධ සංසදය (JAAF) සමග ඓතිහාසික “ද්වි-පාර්ශවීය” සම්මුතියක් අත්සන් කරයි

anton-jaaf

සේව්‍ය සේවක දෙපාර්ශවයට හා ජාතික ආර්ථිකයටද වාසිදායක වන ද්වි-පාර්ශවීය එකඟතාවක් මත ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ හාම්පුතුන් නියෝජනය කරන ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ගේ ඒකාබද්ධ සංසදය (JAAF) සමගින් පහතින් අත්සන් තබා ඇති අප වෘත්තීය සමිති ඓතිහාසික සම්මුතියක් අද දින අත්සන කළ බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා සංක්‍රමණික සේවකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය  විසින් නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, එවැනි ද්වි-පාර්ශවීය එකඟතාවයක අවශ්‍යතාවය හේතු කාරණා කිහිපයක් නිසාවෙන් කලෙක සිට දැනුනකි. එහි වඩාත් වැදගත් අවශ්‍යතාව තිබූයේ ගැටුම් නිරාකරණයේදී අතිශය පීඩාකාරී, සංකීර්ණ හා දිගු ඇදෙන නිලධරවාදී ඇතැම් විට තෙවන පාර්ශවයකද මැදිහත්වීම් සෙවිය යුතුවන ක්‍රියාදාම හේතුවෙන් අපතේ යන කාලය හා ආරාවුල් බේරා ගැනීමෙහිය. එබැවින් ද්වි-පාර්ශවීය ගැටුම් නිරාකරණ යාන්ත්‍රණයක් පිළිබඳ අදහස සාකච්ඡා කිරීමේ යෝජනාව පළමු වරට ඇගළුම් සංසදය වෙත ඉදිරිපත් කෙරුණේ 2019 දී ය. එහෙත් විවිධ රළු තැන් දිග හැරීමට සිදුවූයෙන් කාලය ගත විය.

මේ අතර කෝවිඩ්-19 ගෝලීය වසංගතය පැමිණියෙන් එයට ක්ෂණිකව මුහුණ දීමට සිදුවූයෙන් එවක කම්කරු ඇමති වූ දිනේශ් ගුණවර්ධන මැතිතුමා විසින් “කෝවිඩ්-19 ට සම්බන්ධ සේවක ගැටළු වෙනුවෙන් ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුවක්” 2020 මැයි මාසයේදී කැඳවනු ලැබිණ. ඇමතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වුනු මෙම කාර්යසාධක කමිටුවට මූලික ප්‍රතිපත්තිමය කාරණාවක් වූ, “කෝවිඩ්-19 ට සම්බන්ධ කිසිදු කාරණාවක් මුල්කර ගෙන සේවකයින් වැටුප් ලේඛනයෙන් ඉවත් නොකිරීමේ” එකඟත්වයකට පැමිණිය හැකි විය. අනතුරුව වත්මන් කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ මූලිකත්වයෙන් “සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම් අනුව කෝවිඩ්-19 වසංගතයට එරෙහි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම සඳහා සියලු කර්මාන්ත ශාලාවල ‘කම්හල් සෞඛ්‍ය කමිටු’ පිහිටුවීමේ තීන්දුව” ගනු ලැබිණ. 

තමන්ගේ කර්මාන්ත ශාලාවන්හි “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීමේ උනන්දුවක් නොමැති යැයි සේවක පැමිණිළි ලැබුණු අතර, කම්කරු දෙපාර්තමේන්තුවද කාර්ය සාධක කමිටු තීන්දු තීරණ ගැන උනන්දුවක් ඇති බවක් නොපෙණුනි. මිනුවන්ගොඩින් හා පෑලියගොඩ ධීවර වෙළඳපලින් පසුගිය අවුරුද්දේ (2020) ඔක්තෝම්බරයේ දෙවන කොවිඩ්-19 රැල්ල මතුවී රට පුරා පැතිර ගියේ මේ අතර ය. එවර ආසාදනයවීම් හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශ හුදකලා කර වසා දැමීමට සිදු වූයෙන් සමාජ ක්‍රියාකාරම් අඩාල වූවා සේම අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ පලදායිතාවටද එය අනිසි ලෙස බලපෑවේය. එනිසා රැකියා හීන වූ අතර, විශේෂයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයෙහි එය කැපී පෙණුනේ සේව්‍ය සේවක ප්‍රතිවිරෝධද සමගින්ය.

එබැවින් ඇඟළුම් සංසදය සමග කෝවිඩ්-19 ට පෙර සාකච්ඡා සඳහා කෙරුණු යෝජනාව යළි ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව දුටුවෙන් පසුගිය මැයි මාසයේ සාකච්ඡා නැවත ආරම්භ කෙරුණි. සාකච්ඡා ඉදිරියට ගෙන යාම පහසු නොවුනු අතර, පහසුවේ යැයි බලාපොරොත්තුද නොවුනි. එනමුත් වැඩපල ආරවුල් විසඳා ගැනීමේ සම්මුතිවල අවශ්‍යතා දෙපාර්ශවයම දුටුවෙන් බලාපොරොත්තු ඇතිව, අධිශ්ඨාන සහගතව හා ධෛර්ය සම්පන්නව ඒ වෙනුවෙන් කැප වූහ. ඒ අනුව, සත් මසක පමණ කාලයකදී සේව්‍ය සේවක සම්බන්ධතා මත අනාගත ආරවුල් විසඳා ගැනීමේ ඓතිහාසික ද්වි-පාර්ශවීය එකඟතාවක් වෙනුවෙන් පැහැදිලි ගිවිසුමකට පැමිණීමට අපට හැකි විය.

මෙය සේවක නියෝජිතයින් සමග ඇතිවූ ද්වි-පාර්ශවීය ගිවිසුමක, කාර්මික ක්ෂේත්‍රයක් නියෝජනය වන පළමු අවස්ථාව ය. එවගේම ආරවුල් නිරාකරණය වෙනුවෙන් වන ද්වි-පාර්ශවීය යාන්ත්‍රණයක් සඳහා මේ පාර්ශව දෙක එකඟවූ ප්‍රථම අවස්ථාවද මෙය වන්නේය. එළෙසින්ම වැඩපල සෞඛ්‍ය කලමනාකරණය වෙනුවෙන් ද්වි-පාර්ශවීය “කම්හල් සෞඛ්‍ය කමිටු” ක්‍රියාත්මක කිරීමේ එකඟතාවට ඇඟළුම් ක්ෂේත්‍රයේ සේව්‍ය සේවක දෙපාර්ශවය පැමිණි පළමු අවස්ථාවද මෙය ය.

කෝවිඩ්-19 වසංගතයට හා කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීමට එහා ගොසින් අප වෘත්තීය සමිති සහ ඇඟළුම් සංසදය අත්සන් තැබූ “අවධානය යොමු කෙරෙන කාරණා වලට අදාල ලියැවිල්ලෙහි” ඇති එකඟතාවක් වන්නේ, “....ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට ගෝලීය වසංගතයෙන් ඇතිවූ බලපෑම් සොයා බලා තක්සේරු කරන්නටත් ඔවුන්ගේ අහිමි වූ වැටුප් සහ වෙනත් ආදායම් සඳහා සාධාරණත්වයක් ඉටු කරන්නට හැක්කේ කෙසේදැයි හවුලේ සොයා බලන්නටත් එකඟත්වයකට” පැමිණීම ය. මෙය පහසු කාර්යක් යැයි අපි නොකියමු. එහෙත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සේවකයින්ට වැටුප් සහ වෙනත් ආදායම් අහිමි වූ බව පිළිගැනුමත් ඒ වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු කිරීමට ද්වි-පාර්ශවීය යොමුවකට ඇති එකඟත්වයත් අපි අගය කරමු. ඒ වෙනුවෙන් අපි මැදිහත් වන්නෙමු.

අනාගතය වෙනුවෙන්, වැඩපළ හා කර්මාන්ත ශාලාවල “....කම්කරු අයිතීන් උල්ලංඝණයවීම් සම්බන්ධ චෝදනා සොයා බැලීමට ‘ආරවුල් පසිඳලීමේ ද්වි-පාර්ශවීය යාන්ත්‍රණයක්‘ ස්ථාපිත කිරීමට” අපි එකඟවීමු. මෙහිදී වැදගත් වන්නේ ඉතිහාසයේ පළමු වරට හාම්පුතුන් විසින් කම්කරු අයිතීන් පිළිගනු ලැබීම ය. ඒ අනුව, “සංවිධානයවීමේ හා සාමුහිකව කේවල් කිරීමේ සේවක අයිතීන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතීන් ලෙස සියලු පාර්ශව ගරු කළ යුතුයැයි ඇඟළුම් සංසදය හා වෘත්තීය සමිති එකඟතාවයකට පැමිණියහ”.

සේව්‍ය සේවක සම්බන්ධතා ද්වි-පාර්ශවීය ගරුත්වයක් ඇතිව තහවුරු කළ හැකි, ප්‍රතිරෝධ අඩු නව අවකාශයකට අප ඉඩ ලබා ගත්තේ යැයි අපි විශ්වාස කරමු. ඒ සමග, නවීන කලමනාකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් වෙත අලුත් අවධානයක් ඇතිව, ඇඟළුම් ක්ෂේත්‍රය සමස්ථයක් ලෙස ගෙන මානව සම්පත් සැළකිය යුතු යැයි අපි විශ්වාස කරමු. අවශ්‍ය වන්නේ මානව සම්පත් කලමනාකරණය නොව, මානව සම්පත් වර්ධනය හා දියුණු කිරීමය.

ඒ අනුව, දෙපාර්ශවයේ හා ජාතික ආර්ථිකයේ වාසියට හේතුවන අඩු වියදමකින් කාර්මික සාමය හා ස්ථාවරත්වය තහවුරු කළ හැකි මේ ද්වි-පාර්ශවීය නැඹුරුව අනෙකුත් කාර්මික ක්ෂේත්‍ර විසින්ද අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ගේ ඒකාබද්ධ සංසදය (JAAF) හා වෘත්තීය සමිති අතර ඇති කරගත් සම්මුතිය

Joint statement on MOU with JAAF Page 1

Joint statement on MOU with JAAF Page 2

 

 

jaaf anton

jaaf lesli

jaaf tus