නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’  බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’  බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

වාර්ෂිකව පවත්වනු ලබන 'Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16' නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහා, කොළඹ පිහිටි තානාපති කාර්යාලය කේන්ද්‍ර කොට ගත් නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටන්‍යා ගොන්ග්රිප් මැතිනිය විසින් 'Orange the World' නමැති බැනරය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා වෙත 2021 නොවැම්බර් 26 වන දින විදේශ අමාත්‍යංශයේ දී පිළිගන්වන ලද විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බැනරය භාර ගත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද විස්තර කළේ ය. ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමුන් සවිබල ගැන්වීම’ නමැති 05 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ලිංගික හිංසනය වැළැක්වීම සහ ඊට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වන අනිවාර්ය අංගයක් බව ඔහු හඳුනා ගත්තේය. රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම යනාදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව එතුමා නැවත සඳහන් කළේ ය.

'Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16' නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය, 1991 වසරේ දී ආරම්භ කරන ලදී. සෑම වසරකම නොවැම්බර් 25 වැනි දිනට යෙදෙන 'කාන්තා ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය' සමඟින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන, දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන 'මානව හිමිකම් දිනය' සමඟින් අවසන් වේ. තැඹිලි වර්ණය මගින් දීප්තිමත් අනාගතයක් මෙන්ම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා  හිංසනයෙන් තොර ලොවක් තැනීම යනාදිය නිරූපණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගෝලීය වශයෙන්, එනම් ඇස්තමේන්තුගත කාන්තාවන් මිලියන 736 න් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු සිය සමීප සහකරු, සමීප සහකරු නොවන අයෙකු හෝ මෙම දෙපාර්ශ්වයම මගින් සිය ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.  කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයේ අවදානම උග්‍ර වී ඇත.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා (පා.ම) මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය.