වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත(PSTA) 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පනතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 120 සහ 121(1) වගන්තිය යටතේ ඇති ප්රතිපාදන පරිදි ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් 2026 ඔක්තෝබර් 16 දාතමින් SC/SD/133/2026 අංක දරණ විශේෂ නිර්ණය පෙත්සමක් (Special Determination Petition) ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබිණි.
ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ විධායක සභික ලක්ෂ්මන් මුතුතන්ත්රීගේ මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් පෙනී සිටිති. වගඋත්කරුවන් ලෙස නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්ය ආනන්ද විජේපාල නම් කොට ඇති මෙම පෙත්සම ජ්යෙෂ්ඨ නීතීඥ ලක්ෂාන් ඩයස් මහතාගේ උපදේශකත්වයෙන් නීතීඥ දයානි පන්ඩිතරත්න මහත්මිය විසින් ගොනු කෙරිණි.
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත(PSTA) පූර්ණ වශයෙන් හෝ එහි ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ශ්රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කරනු ලබයි. එමෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි ඇතැම් වගන්ති ( 3, 4(c), 4(d), 10, 11 ) සංශෝධනය කොට සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය සමඟ ජනමත විචාරණයක ජනතා කැමැත්ත අවශ්ය බවට නියෝග කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. පනතේ ඇතැම් වගන්ති ( 12(1), 13, 14, 14A, 76(1) ) සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට අවශ්ය සංශෝධන ඉදිරිපත් කරන මෙන්ද පෙත්සම්කරුවෝ ශ්රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් ආරක්ෂණ (11, 21-25, 31-36, 44(3), 56-58, 59(5), 60(2), 71) වගන්ති සහ 48/1979 අංකය දරණ ත්රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත(PTA) අවලංගු කිරීමේ යෝජනාවට පෙත්සම්කරුවන්ගේ එකඟතාවය පල කොට ඇත. එමෙන්ම පනත් කෙටුම්පතේ පූර්විකාවෙන් දක්වා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළීබඳ ජාත්යන්තර ගිවිසුම(ICCPR) හා බැඳෙමින් මෙම පනත ඉදිරිපත්කොට ඇති බවයි. එහෙත් අදාල පනත් කෙටුම්පතෙහි පවතින වගන්තීන් මගින් උල්ලංඝනය කොට ඇත්තේත් එයම වීම පිළිබඳව මෙම පෙත්සම තුළින් වැඩිදුරටත් අවධාරණය කොට ඇත.
පෙත්සම්කරුවන් විසින් පහත කාරණා සම්බන්ධයෙන්ද මූලික විරෝධතාවයන් දක්වා ඇත.
* ත්රස්තවාදය යන්නෙහි අපැහැදිලි අර්ථ නිරූපනය.
* රහස්ය තොරතුරු රැස්කිරීම හා මූලාශ්ර හෙලි කිරීම පුළුල් කිරීම මගින් මාධ්යවේදීන්ගේ නීත්යානුකූල වෘත්තීය කටයුතු වලට තර්ජනයක් වීම.
* නොදැන්වීම මත හෝ විභාගයකින් තොරව ජනාධිපතිවරයා වෙත සංවිධාන තහනම් කිරීම සහ අපරාධමය වගකීම පැවරීම සඳහා බලය ලබා දීම.
* ඇතැම් ප්රකාශන පළකිරීම,බෙදාහැරීම හෝ සන්තකයේ තබා ගැනීම අපරාධමය වරදක් බවට පත්කිරීම
* වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්-අත්අඩංගුවට ගැනීමේ බලතල සන්නද්ධ හමුදාවන් හා වෙරළාරක්ෂක නිලධාරීන් වෙතද පැවරීම.
* සැකකරුවෙකු මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර හමුදා රැඳවුම් කාලය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඉඩ සැලසීම.
* විධායක බලය මත සැකකරුවකුගේ රැඳවුම් කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම තුළින් මහේස්ත්රාත් සහ මහාධිකරණ බලතල සීමා කිරීම.
* විධායකය විසින් තහනම් ස්ථාන නම් කිරීම, රැස්වීම, පෙළපාලි, විරෝධතා, ගමනාගමනය සහ සන්නිවෙිදනය සඳහා නිදහස අහිමි කිරීමේ බලය විධායකය සහ පොලිස් නිලධාරීන් වෙත පැවරීම.
* නීතිපතිවරයාට වසර 20ක් දක්වා නඩු පැවරීම කල් දැමීමට හෝ අත්හිටුවීමට පහසුකම් සැලසීම.
* බලහත්කාර බලපෑමක් ඔස්සේ වරදකරුවනට පසුතැවීම හෝ සමාව ඉල්ලීමට පෙළඹවීම ඔස්සේ වන්දි හෝ ප්රතිපූරණ ලබා දීමේ තීරක බලය නීතිපතිවරයා වෙත පැවරීම.
* දේශපාලන ස්ථාවරයන් දැරීම මත දඬුවම් පැමිණවීමට නියම කිරීම.
* වධහිංසාවන් වැළැක්වීම පිළීබඳ පනත හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වැනි පනත් මගින් දක්වා ඇති නීතිමය වගකීමෙන් නිදහස් වීමට යහපත් චේතනාව මත නිලධාරීන් සිදුකරන ක්රියාවන්ට අවකාශ සැලසීම හා ඇතැම් ක්රියා සඳහා සිවිල් හා අපරාධ නඩු පැවරීම් වලින් ආවරණයක් ලබා දීම.
මූලික අයිතිවාසිකම්, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ මාධ්ය නිදහස අහිමි කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාව බරපතල ගණයේ උල්ලංඝනය කිරීමකට ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත(PSTA) මගින් විධායකය වෙත ඉඩකඩ සලසා ඇත. මෙවැනි මර්දන නීතීන් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම, මෙරට ජනතාවගේ ප්රජාතාන්ත්රික අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගැනීමට ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය දැරූ උත්සාහයක් බව ප්රකාශ කරන්නෙමු.මනුත්, ඔයාට අදට 23යි. ඔයාට සුබ උපන් දිනයක් වේවා්
