2026 අංක දරන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) වහාම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය (CSMD)’ විසින් අධිකරණ අමාත්‍යංශය වෙත වෙත ලිපියක් යවා ඇත.
එම ලිපිය පහතින් දැක්නේ.
අයේෂා ජිනසේන මහත්මිය(PC)
ලේකම්,
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය,
අංක 19, ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.
15.02.2026
විෂය: 2026 අංක දරන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) වහාම ඉවත් කර ගැනීම පිළිබඳව.
ඔබ අමාත්‍යංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් පවතින බරපතල විරෝධය සහ එහි අඩංගු මර්දනකාරී විධිවිධාන පිළිබඳව මෙම ලිපිය මගින් අවධාරණය කිරීමට ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය (CSMD)’ කැමැත්තෙමු. මෙම පනත හුදෙක් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) මර්දනකාරී ව්‍යුහය එලෙසම සහ එයටත් වඩා බරපතල තත්ත්වයන් ප්‍රතිනිර්මාණය කිරීමක් බව අධ්‍යයනයන් තුළින් පැහැදිලි වෙයි.
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් පැන නැගී ඇති මූලික ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේදී, එය පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් වන ප්‍රකාශනයේ නිදහස ඇතුලු අයිතිවාසිකම් දැඩි ලෙස අඩපණ කරන මෙවලමක් බවට පත්වීමේ බරපතල අනතුරක් පවතින බව අපි පෙන්වා දෙමු.
මෙම පනත් කෙටුම්පතේ පවතින අතිශය මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදන හේතුවෙන් එය වහාම ඉවත් කර ගන්නා ලෙස පහත කරුණු කිහිපය පදනම් කර ගනිමින් ඉල්ලා සිටිමු:
මෙම පනත් කෙටුම්පත මගින් සාමාන්‍ය අපරාධ නීතියට පරිබාහිරව විධායකයට අසීමිත බලතල පවරා දී ඇති අතර, එය සිවිල් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බරපතල ලෙස අනතුරේ හෙළයි. එසේම, මෙවැනි විශේෂ මර්දනකාරී පනත් වෙනුවට, රටේ දැනට පවතින සාමාන්‍ය අපරාධ නීතිය(අවශ්‍ය නම් ජාත්‍යන්තර මානව හිමිකම් රාමුවලට පටහැනි නොවන අකාරයට) දියුණු කරමින් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීම මගින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව පවතින බව අපි අවධාරණය කරමු.
එබැවින්, ජාතික ආරක්ෂාව යනු ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මරා දැමීම සඳහා භාවිතා කරන ‘හිස් චෙක් පතක්’ නොවිය යුතුය. එබැවින් මානව අයිතිවාසිකම් මර්දනය කරන, පුරවැසියාගේ හඬ යටපත් කරන මෙම PSTA පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
නිදහස් මතයන් යටපත් කිරීමෙන්, පෞද්ගලිකත්වයට ඇති අයිතිය ඇතුලු මානව අයිතිවාසිකම් අඩපණ කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ, යෝජිත ඩිජිටල් ව්‍යාපෘතිවල ඇති හරයාත්මක තත්ත්වයන්ට බලපෑම් එල්ල වීමත්, විදෙස් ආයෝජන සහ එවැනි ප්‍රතිලාභවලට දැවැන්ත බලපෑමක් එල්ලවීමත් හරහා සමාජය අස්ථාවර වීම සහ ඒකාධිපතිවාදයට මඟ පෑදීම බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු. එම නිසා ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සදහා වූ සාමූහිකය (CSMD)’ නැවතත් අවධාරණය කරනු ලබන්නේ, යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)’ ඉවත් කරගන්නා ලෙසත්, ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දුව පරිදි ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA) අහෝසි කරමින් ජන වරමේ සැබෑ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මෙයට විශ්වාසී,
සම්පත් සමරකෝන්,
කැදවුම්කරු,
‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය (CSMD)’
+94 777 248304
