කොවිඩ් විරුවන් සැමරීම උදෙසා TISL ආයතනය ඉන්ටග්‍රිටි අයිකන් 2021 දියත් කරයි

කොවිඩ් විරුවන් සැමරීම උදෙසා TISL ආයතනය ඉන්ටග්‍රිටි අයිකන් 2021 දියත් කරයි

පසුගිය අවුරුදු එක හමාරක පමණ කාලය තුළ කොවිඩ් 19 වසංගතය ලොව පුරා රටවල රාජ්‍ය ආයතනයන් හි ශක්තිය මැන බලන ක්‍රියාවලියක් බවට පත්විය. බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම වසංගතය මැඩලීමේ ගෝලීය සටනට උර දෙමින් ඉදිරිපෙළ සිට සිය රාජකාරිය අදටත් කැපවීමෙන් යුතුව ඉටු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ද, ඉදිරිපෙළ සිට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් තමන් වෙත පැමිණෙන නොයෙකුත් අභියෝගයන් ද නොසලකමින් නොපසුබට උත්සාහයෙන් යුතුව සිය සේවයට කැපවී සිටී. කොවිඩ් 19 හමුවේ ඔවුන්ගේ අවංකභාවය, සුපිළිපන්බව සහ කැපවීම හඳුනාගැනීමටත් එයට නිසි ගෞරවය පුදකිරීමටත් පුරවැසි අපගේ වාරය දැන් අප හමුවේ ඇත.

ඉන්ටග්‍රිටි අයිකන් 2020 හි සාර්ථකත්වය සහ පෙර අත්දැකීම්වලින් ද සමන්විතව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය වසංගතයේ ඉදිරිපෙළ සිට සිය රාජකාරී කටයුතු කරන අවංක රාජ්‍ය නිලධාරීන් අවංකත්වයේ අභිෂේකයෙන්,ගෞරව කිරීමට ඉන්ටග්‍රිටි අයිකන් 2021 සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කළ බව සතුටින් දැනුම් දේ.

ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2021 මෙවර පෙර වසර වලට වඩා වෙනස් මුහුණුවරකින් පැවැත්වෙනු ඇත. ගෝලීය වසංගතය හේතුවෙන් අප දැන් ජීවත්වන අතිශයින්ම වෙනස් වූ සමාජ සන්දර්භයන් සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ ඉන්ටග්‍රිටි අයිකන් 2021, සුවිශේෂී වැඩසටහනක් වශයෙන්, කොවිඩ් 19 ඉදිරිපෙළ සිට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ම වෙන්කරනු ඇත. "කොවිඩ් විරුවන්" යන තේමාව යටතේ, ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2021, අවංකව හා සුපිළිපන් බවින් යුතුව,කොවිඩ් 19 වසංගතය මැඩලීම උදෙසා සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් කැපවීම් සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට ප්‍රණාම දැක්වීමට අපේක්ෂා කරයි.

ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන, “අකවුන්ටබිලිටි ලැබ්” නමැති ගෝලීය සංවිධානයේ මුලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ අතර තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින පුද්ගලයන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් “අකවුන්ටබිලිටි ලැබ්” ආයතනය ක්‍රියාත්මක වේ.

2018, 2019 සහ 2020 වර්ෂවලදී “අවංකත්වයේ අභිෂේකය” යන තේමාව යටතේ මෙම වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබිණි. ගෝලීය වශයෙන්ද, අනෙකුත් ජාතීන් අතර විශේෂයෙන් නේපාලය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව හා මෙක්සිකෝව යන රටවලදී ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන පවත්වනු ලැබේ. තම රාජකාරීමය වගකීම කෙතරම් අභ්‍යන්තර හෝ බාහිර පීඩනයන් මාධ්‍යයයේ වුවද, දූෂණ අක්‍රමිකතාවයන්ට එරෙහිව යමින්, සුපිලිපන්නභාවයෙන් යුතුව ඉටු කරන අවංක රාජ්‍ය නිළධාරීන් හට කීර්තිය හා ප්‍රණාමය පුද කිරීම ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන හරහා මුලික වශයෙන් අපේක්ෂා කරයි.

ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන අනෙකුත් එවැනි වැඩසටහන් වලින් වෙනස් වන ප්‍රධානම සාධකයක් නම්, මහජන සහභාගිත්වයයි. එනම්, ඉන්ටග්‍රිටි අයිකන් ප්‍රණාමය ලැබීමට සුදුසු යැයි පුරවැසියන් සිතන රාජ්‍ය නිලධාරීන් මේ සඳහා නම් කිරීමට පුරවැසියන්ට මේ හරහා අවස්ථාව ලබා දෙනු ලැබේ. 2021 සැප්තැම්බර් මස 06 වන දා දක්වා, ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2021 සඳහා නාම යෝජනා ලබා දීමට හැකියාව ඇත.ඉන්ටග්‍රිටි අයිකන් අත්පොත සහ නාම යෝජනා ඉල්ලුම්පත් www.integrityicon.lk යන නිල වෙබ් අඩවියෙන් බාගත (ඩවුන්ලෝඩ්) කරගැනීමට හෝ 0711 295 295/ 0763223442 යන දුරකථන අංක වලට කතා කිරීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල හරහා හෝ ලබා ගැනීමට හැකිය.

මෙම වසරේදී ගෞරවනීය විනිසුරු මඩුල්ල,සීමාසහිත සණස ජාත්‍යන්තර සමාගමේ කලමනාකරණ අධ්‍යක්‍ෂක සමාදානි කිරිවන්දෙණිය, හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස්(කොළඹ දිස්ත්‍රික්කය) ධර්මසිරි නානායක්කාර, විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක දිල්රුක්‍ෂි හඳුන්නෙත්ති, අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් එස්.තිල්ලනදරාජා සහ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් (වෛද්‍ය සේවා) සහ ශ්‍රී ලංකාවේ ජාතික රෝහල් හිටපු අධ්‍යක්‍ෂක වෛද්‍ය. එස්. ටෙරන්ස් ජී. ආර් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.

නාමයෝජනා භාරදීමට ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව, විනිසුරු මඩුල්ල විසින් ජයග්‍රාහී ඉන්ටග්‍රිටි අයිකන් පස් දෙනා තෝරාගැනීම සඳහා අයදුම්පත් සමාලෝචනය කිරීමේ සහ සම්මුඛ සාකච්චා පැවැත්වීමේ කාර්යය ආරම්භ කරනු ඇත. 2021 දෙසැම්බර් මස දී පවත්වනු ලබන අවසන් මහා සම්මාන ප්‍රදානෝත්සවයෙන් මෙම ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරනු ඇත. පෙර වසරවලදී පුරවැසියන් සහ සහභාගී වුවන් දැක් වූ අදහස් උදහස් වලට අනුකූලතාවය දැක්වීමක් ලෙස, මෙවර ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහනේ සාමාන්‍ය ක්‍රමවේදය මදක් වෙනස් කරමින්, ජනතා සම්මානනීය ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා ජනතාවට කෙටි පණිවිඩ හරහා සිය මනාපය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ අවස්ථාව ඉවත්කර දැමීමට තීරණය කර ඇති බව TISL ආයතනය විශේෂයෙන් සඳහන් කර සිටී. එමෙන්ම, අවසන් පස් දෙනාට තේරී පත්වන ජයග්‍රාහකයින් සිය සේවය සිදු කරනු ලබන අදාළ අධිකාරීන්ගෙන් අනිවාර්ය අනුමැතිය ලබා ගැනීමේ කොන්දේසියද මෙවර වැඩසටහනින් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

කොවිඩ් 19 මැඩලීම වෙනුවෙන් රාජ්‍ය සේවයේ ඉදිරිපෙළ සිට කටයුතු කරනු ලබන සහ රාජ්‍ය සේවයේ වසර 5කට වඩා වැඩි පළපුරුද්ද ඇති සහ විශ්‍රාම යාම සඳහා අවම වශයෙන් වසර 5ක් වත් ඉතිරිව ඇති ස්ථිර නිලධාරීන්ට ඉන්ටග්‍රිටි අයිකන් 2021 වැඩසටහන සඳහා අයදුම් කිරීමට හෝ එවැනි රාජ්‍ය නිලධාරියෙකු නම් කිරීමට හැකියාව ඇත.

මේ වසංගතය අබිමුවෙහි අපගේ ජීවිත වල සුරක්ෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් තම ජී විත අවධානමද නොතකමින් රට උදෙසා මෙහෙවරෙහි යෙදෙන කොවිඩ් විරුවන්, ඉන්ටග්‍රිටි අයිකන් 2021 සඳහා නම් කරන මෙන් TISL ආයතනය මහජනතාවට ඇරයුම් කර සිටී.