උතුරේත් දකුණේත් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට එයි (VIDEO)

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින් වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය වහා නවත්වන ලෙස වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටියි.

මාධ්‍ය වෙත අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ''එක් පැත්තකින් කොවිඩ් ව්‍යාප්තිය අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න මේවගේ වාතාවරණයකදී ජනතාවට ඕනෑ සත්‍ය තොරතුරු දැන ගන්න. සමාජ මාධ්‍යවල, වෙබ් මාධ්‍යවල අදහස් දක්වන ලියන අය දඩයම් කරනවා නම් ඒක ප්‍රශ්නයක්'' බව ඔහු පවසයි.

දැනට පවතින ඛනිජ තෙල් ප්‍රමාණය පිලිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුගිදා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ඛනිජ තෙල් සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත දැක්වූ අදහස් මෙන්ම අධිකරණයෙදී මහේස්ත්‍රාත්වරුන් දක්වන අදහස් ද එකසේ වැදගත් බව පවසන ජෝශප් ස්ටාලින් ''ඕනෑම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා. ඒ නිසා තොරතුරු වසන් කරන්න, පාගා දමන්න, මර්දනය කරන්න සුදානම් වෙන්න එපා'' යැයි ආණ්ඩුවට කියා සිටී.

සමාජ මාධ්‍යවලින් සිය අදහස් ප්‍රකාශ කිරීමත්, උද්ඝෝෂණ පෑමත් හේතුවෙන් ``බැටී නිවුස්` ජායාරූප ශිල්පී මුරුගපිල්ලෙයි ගෝකුලදාසන්, පි, සුලක්ෂන්, මුහුන්දන් දිවන්යා, විමල් රාජ්, ශෂීකරන් පුන්‍යමුර්ති, නිලාන්දන්, විමුක්ති දුෂන්ත, තුෂාරා වන්නිආරච්චි, කිර්ති රත්නායක, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි හේරත්, ඇතුළු මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් ද, අමිල සඳරුවන්, චතුර සමරසිංහ, රවින්ද්‍ර මුදලිගේ, ධම්මික මුණසිංහ, ඉන්දික විදානපතිරණ, සුජිත් කුරුවිට, ටැම්පිටියේ සුගතානන්ද හා ගල්වැව සිරිධම්ම භික්ෂුන්, චමීර කොස්වත්ත, මහිම් මෙන්ඩිස්, අමිල සංදීප, උදාර සඳරුවන්, ආනන්ද පාලිත, කෞෂලි හංසමාලි පෙරේරා, ෂෙහාන් ගමගේ, එස්. සිවයෝගනාදන් ඇතුළු වෘත්තීය, ශිෂ්‍ය හා බහුජන සංවිධාන ක්‍රියාධරයන් ද අතුරින් කිහිප දෙනක් දැනටමත් සිරගත කොට ඇති අතර අනෙක් බොහෝ දෙනා ගෙන් රාජ්‍ය බුද්ධි අංශ හා පොලිසිය විසින් ප්‍රශ්න කොට ඔවුන්ව බිය වද්දමින් හෝ අත්අඩංගුවට ගැනීමට ලුහු බඳිමින් සිටී.

පොදු දේපල හා මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මහජන ආරක්‍ෂක ඇමැති සරත් විරසේකරට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුනේ වෘත්තීය හා ශිෂ්‍ය නායකයන් අත් අඩංගුවට ගැනීමේ ලුහු බැඳීම් නවතන ලෙසයි. අගෝස්තු 23 වැනිදා ඇමැති විරසේකරට යොමු කළ ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව පොදු දේපල හා මානව හිමිකම් මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සිල්වෙස්ටර් ජයකොඩි පවසයි.

(ද ලීඩර්)