නිවෙස්ගත ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට වැදගත් කරුණු කිහිපයක්

නිවෙස්ගත ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට වැදගත් කරුණු කිහිපයක්

කොවිඩ් ආසාදිතයින්ට සේම කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සදහා ප්‍රෝටීන් බහුල ආහාර මෙන්ම විටමින් සී හා විටමින් ඩී ඉතා වැදගත් බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණයවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දුන්නේ කොරෝනා ආසාදනය වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර ඉතාම අවශ්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේ ද පැවසුවාය. ‘‘ ප්‍රෝටීන් බහුල ආහාර ස්වභාවයෙන්ම ආහාරයට එක්කර ගත යුතුයි. එහෙත් මේ වසංගත තත්ත්වය තුළ අපි ඒ ගැන වඩාත් අවධානය යොමුකරමින් ආහාර සකසා ගත යුතුයි. මොකද කොරෝනා ආසාදිතයින්ට සිය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම ප්‍රෝටීන් බහුල ආහාර අතිෂයින්ම වැදගත් වෙනවා.

මෙහිදී ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගත හැකි ආහාර වර්ග ගැන පැහැදිලි කිරීමක් කළ ඇය කියා සිටියේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගත හැකි ශාකමය හෝ සත්ත්වමය ආහාර කොරෝනා ආසාදිතයින්ගේ දෛනික ආහාර වේල් සඳහා එක් කර ගැනීම ඉතා වැදගත් බවයි.

‘‘එපමණක් නොවෙයි විටමින් සී බහුල ආහාර ආහාරයට එක් කර ගැනීම මෙන්ම, විටමින් ඩී ශරීරයට ලබා ගැනීම සඳහා දවසකට පැය භාගයක් හෝ ඉර එළියට නිරාවරණය වීම ඉතා වැදගත් මීට අමතරව ධාන්‍යමය ආහාර ලබා ගැනීමත්, නිරන්තරයෙන් වතුර පානය ද ඉතා වැදගත් වෙනවා. නමුත් ජලය පානයේදී උණුසුම් ජලය පානය කිරීම තමයි වැදගත් වන්නේ‘