ජා-ඇල එස්කුවෙල් ඇඟලුම් සටන ජයග්‍රාහීව අවසන් කරයි (VIDEO)

ජා-ඇල එස්කුවෙල් ලංකා අඟලුම් ආයතනයේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉහල යන ජිවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයේ නිරත වූ සේවකයින් හට වැටුප රුපියල් 1750 කින් වැඩි කිරීමටත්, පැමිණීමේ දීමනාව රුපියල් 2500 ක් ලබා දීමටත් එස්කුවෙල් පාලනාධිකාරිය පාලකයන් එකඟ වූ බවයි.

''මාස එක හමාරක බෝනස් දීමට අමතරව වැඩ වර්ජනයේ සිටි කිසිවකුගෙන් පලිගැනීමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමක් නොකරන බවට සමාගම එකඟ වූයේ,''යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි.

අගමැති මහින්ද රාජපක්‍ෂ අතින් ශ්‍රමාභිමාන සම්මාන ලාභියකු වන ඇන්ටන් මාර්කස් නායකත්වය දෙන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමය විසින් එස්කුවෙල් සමාගමෙන් ඉල්ලා සිටියේ රුපියල් 3000 කින් වැටුප් ලබා දෙන ලෙසත්, මාස දෙකක ප්‍රසාද දීමනා හා පැමිණීමේ දීමනාවක් ද ලබාදෙන ලෙසය.

එහෙත් සමාගම කියා සිටියේ තමන්ට නිෂ්පාදන ඇණවුම් නොමැති නිසා වැඩි කළ නොහැකි බවත් මාස එක හමාරක ප්‍රසාද දීමනා ලබා දිය හැකි බවය.

(ඡායාරූප හා වීඩියෝ අනුග්‍රහය ලීඩර්)