පුද්ගලික අංශය වෙනුවෙන් ද ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි - සජිත් (Video)

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු පෞද්ගලික අංශයේ වැඩකරන ප්‍රජාව මුහුණ දෙන අභියෝගවලට ජාතික රැකියා ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් වැඩකරන ප්‍රජාවගේ රැකියාව, වේතනය, අතිකාල දීමනා වැනි අයිති සහ සුරක්ෂිතභාවය, සුබසාධනය, රැකවරණය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (09) දින පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පෞද්ගලික අංශයේ සේවය කරන සේවක ප්‍රජාවගේ සේවක සුරක්ෂිතභාවය, සේවක රැකවරණය, වේතනය පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවන බව ද මෙහි දී විපක්ෂ නායකවරයා පැවසී ය.

ආදායම් බදු සංශෝධන ප්‍රශ්නය, පාරිභෝගික වියදම් කෙරෙහි සිදුවන බලපෑම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, රැකියා අස්ථාවරතාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාගෙන වැටීම, ඉදිකිරිම් අංශයේ පසුබෑම, උද්ධමනය, ජීවන වියදම් අර්බුදය, සේවක අර්ථසාධක මුදල් ලබාදීමේ ගැටලුව යනාදි බරපතළ අභියෝගවලට පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මුහුණ දී ඇති බවත්, එමෙන්ම ජාතික රැකී රක්ෂා ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කර පෞද්ගලික අංශයේ රැකියා කරන ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේ ය.

(සටහන - ජයසිරි අලවත්ත - the leader)