'ශ්‍රමයට එරෙහි වන්න ජවිපෙට සිදුවෙලා' -  රන්ජන් සේනානායක, ප්‍රධාන ලේකම්, ලංකා බැංකු සේවක සංගමය (Video)

වැඩ කරන පංතිය හා පීඩිතයන් ගැන කතා කළ ජවිපෙ සටන් සගයන් සංශෝධනවාදයට වැටී පැරැණි ආණ්ඩු පාරේම යමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පැවැසීය.

පැරැණි තන්ත්‍රයේ මූලික හරයෙන් බැහැර නොවූ ආණ්ඩුව ප්‍රාග්ධනය විසින් අල්ලාගනු ලැබී යැයි ද එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ශ්‍රමයට එරෙහිවීමට ආණ්ඩුවට සිදුව ඇතැයි ද ලේකම්වරයා කීය.

බහුජාතික සමාගම් ඩොලර් සංචිත විදේශයන්ට රැගෙන යාමට එරෙහිව එදා සටන් කළ ජවිපෙ නායකයන් අද නිහඬව සිටීම ඊට හොඳම නිදසුනක් යැයි ද ඔහු කීය.

රංජන් සේනානායක මේ අදහස් පළ කළේ Inside voice ඉරිදා සංවාදය සමඟ සම්මුඛ වෙමිනි.

මෙම පසුබිමෙහි ජාතික ශ්‍රම ප්‍රතිපත්තියක් සැකැසීම ඇතුළුව යෝජනා 25ක් අන්තර්ගත වන සේ මැයි දින යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ යැයි ද ඔහු පැවැසීය.

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුව මෙන්ම විපක්ෂය ද නිවැරදිව මතවාදී මැදිහත්වීමක් කළේ නැතැයි ද බලය ලබාගන්නා පිරිස්වල පැවැත්ම ලෝක මූල්‍ය ප්‍රාග්ධනය හා බලවතුන් මත තීරණය වීම ඊට හේතුව යැයිද ඔහු පැවැසීය.

එවැනි ප්‍රශ්න සෘජුව කතා කිරීමට ලංකාවේ දේශපාලන පක්ෂ නිර්භය නැතැයි ද ඒ අනුව මෙවර ලංකා බැංකු සේවක සංගමය ඇතුළුව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මැයි දින රැලිය ' අධිරාජ්‍යවාදී කොල්ලකාරී ජනසංහාරක යුද්ධය පරදවමු' යන තේමාවෙන් පැවැත් වී යැයි ද රංජන් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

| ගිම්හාන් ද සිල්වා ‍| the leader