ශිෂ්ඨ රැකියා ගැන ඔබත් දැනගන්න

ශිෂ්ඨ රැකියා ගැන ඔබත් දැනගන්න

ශිෂ්ඨ රැකියා යනු කුමක්ද?

අද පවතින තරඟකාරී ශ්‍රම වෙළඳපළේ රැකියා යනු නොමැරී ඉන්නට පමණක් කුසට යමක් දමා ගැනීමක් හෝ තමුන්ට රැකියාවක් ඇති බව සමාජයේ අනෙක් අයට හඟවා පුහු සමාජ පිළිගැනීමක් ඇති කරගනු පිණිස තමුන් නොකා නොබී නොවිඳිනා දුක් විඳිමින් සේවා යෝජකයා තව තවත් පොහොසත් කරන්නට අප එකා පරයා අනෙකා දර දිය අදින තරඟයක් බවට පත්ව ඇත.

රැකියාවක් නිසැකවම පුද්ගල යහපතට කේන්ද්‍රීය දායකත්වයක් සැපයිය යුතුය. ආදායමක් ලබාදීමට අමතරව එය පළල් සමාජ ආර්ථික ප්‍රගමනයකට, පුද්ගලයා, ඔහුගේ පවුල හා සමාජය සවිමත් කිරීමට මග සැලසිය යුතුය. මෙවන් ප්‍රගතියක් අනිවාර්යයෙන්ම සමාජයෙහි  ඇති රැකියාවන්හි ශිෂ්ඨත්වය මත රඳා පවතියි. තමුන්ගේ රැකියා ජිවිතයේ ඇති අපේක්ෂාවන් ඉටු කරන රැකියා ශිෂ්ඨ රැකියා වේ.

පහත දක්වා ඇති මුලිකාංග සතර පරිපූර්ණ කරන රැකියා “ශිෂ්ඨ රැකියා” ලෙස ජගත් කම්කරු සංවිධානය International Labour Organization (ILO) හා ගෝලීය වෘත්තීය සමිති නිර්වචනය කරයි. එනම්...

1. අර්ථාන්විත එලදායි රැකියා

රැකියාවන් වූ කලි, තම ජිවිතයේ අනාගත අපේක්ෂාවන් මල්පල ගැන්විය හැකි ගෞරවාන්විත හා තිරසාර ජිවන තත්වයකට මග සැලසිය හැකි ජීවනෝපායන් විය යුතුය.  රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රෙගුලාසීන් මේ සඳහා පෙළ ගැස්විය යුතුය. අද දක්නට ලැබෙන අවිනිශ්චිත, ශ්‍රම සූරාකන, සැබෑ අනාගතයක් සේවකයින්ට නොසලසන රැකියාවන් ගෙන් මිදී අර්ථාන්විත එලදායි රැකියා පරිසරයක් ගොඩ නැගීම මෙයින් අපේක්ෂා කෙරේ.

2. රැකියාවෙහිදී අයිතිවාසිකම්

සේවා නියුක්තිය තුලදී ජගත් කම්කරු සංවිධානයේ (ILO) මුලික සම්මුති හා අනුකුලව සමිතිගත වීමට, සාමුහිකව කේවල් කිරීමට හා සාමුහිකව ගැටළු ඉදිරපත් කර සාකච්චා කිරීමට, අසාධාරණ කම්කරු පිළිවෙත් වලින් ආරක්ෂා වීමට, රැකියාව අතරතුරදී යුක්තියට හිමිකම් කීමට, කම්කරු නීති වල රැකවරණය ලැබීමට, සාධාරණ සේවා තත්වයන් භුක්ති විඳීමට, ස්ත්‍රී පුරුෂ සම සාධාරණත්වයට හිමිකම් කීමට වැනි සේවාස්ථාන  අයිතිවාසිකම් වල නෛතික රැකවරණය ලැබීමට ඇති හිමිකම ප්‍රායෝගිකව භුක්ති විඳීමට ඇති හැකියාව මෙයින් අපේක්ෂා කෙරේ.

3. සමාජ ආරක්ෂණය

අග හිඟකම් වලින් තොර සුරක්ෂිත විශ්‍රාම දිවියකට අවැසි ආදායම, මාතෘ ප්‍රතිලාභ, හදිසි රැකියාව අහිමි වීමකදී සාධාරණ මුල්‍ය පිහිටක් ලැබීමට, අවශ්‍යතාවයක් මතු වූ විට තමුන්ගේ පවුලේ අය සමග, ඥාති හිතමිත්‍රාදීන් ඇසුරට, විනෝදවීමට හා සාධාරණ ලෙස විවේකිව සිටීමට  අවශ්‍ය ප්‍රමාණවත් නිවාඩු භුක්ති විඳීමට, රැකියා සුරක්ෂිතබවට, සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු වන සේවා පරිසරයකට හිමිකම් කීමට, තමුන් හෝ පවුලේ අය රෝගාතුර වීමකදී වෛද්‍ය හා සෞඛ්‍ය රැකවරණය ලැබීමට ඇති අයිතිය මෙයින් අර්ථවත් වේ.

4. සමාජ කතිකාවත  

තම සාමුහික සංවිධාන ව්‍යුහයන් හරහා සේවාස්ථාන ගැටළු, ශ්‍රම ප්‍රතිපත්තීන්ට අදාළ කම්කරු නීති සංශෝධන හා නිර්මාණය, සිය සේවාව හෝ කර්මාන්තයට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ ක්‍රියා වලියෙහිදී අදහස් දැක්වීමේ, නීති, රෙගුලාසි හෝ නියාමන ක්‍රියාවලීන් තුල තම අදහස් සාධනීය ලෙස පිළිබිඹු වීම තහවුරු කරනු පිණිස හා ඒවා අර්ථාන්විත ප්‍රතිපත්තිමය සංවාදයන්ට භාජනය කිරීම සඳහා අවශ්‍ය වන නිත්‍යානුකුල සාධාරණ පිළිගැනීමක් සහිත ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථිර ස්වරුපයේ සංවාද යාන්ත්‍රනයන්ගෙන් යුක්ත හා ඒ සඳහා අයිතියක් හා පහසුකම් සලසන සේවා පරිසරයක් නිර්මානය කිරීම මෙයින් ගම්‍ය වේ.

 

ලෝක ශිෂ්ඨ රැකියා දිනය යනු කුමක්ද - ශිෂ්ඨ රැකියා අපට අවශ්‍ය ඇයි?

කෙටියෙන් ගතහොත් ශිෂ්ඨ රැකියා යනු ඉහතින් දැක්වූ කරුණු වල සාරය කැටිවූ අර්ථාන්විත එලදායි රැකියා ජනනය, රැකියාවෙහිදී අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණය හා සමාජ කතිකාවත ඇතුලත් එයට ඉඩ සලසන රැකියා වේ.

අද අපේ ශ්‍රම වෙළඳපොලේ ඇති රැකියා කියක් නම් මෙම ශිෂ්ඨ රැකියා රාමුව තුලට වැටෙද? අපේ මතු පරපුරට අවැසි වන්නේ අවිනිශ්චිත, අනාරක්ෂිත, ශ්‍රමය සූරාකන මානව ගරුත්වයට අවමන් කරන, අපව යන්ත්‍රයක කොටසක් කරවන, ශ්‍රමය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන රැකියා නිර්මානයක්ද...?

අද සමාජයේ උත්පාදනය වන්නේ මෙවැනි රැකියා නොවේද...?  ඔබ, ඔබේ පවුලේ සාමාජිකයින්, හෝ ඔබේ දරුවන් මෙම රුදුරු චක්‍රයේ ගොදුරු බවට පත්වෙමින් නොසිටීද? මෙයට එරහිව ඔබේ අවම නිහඬ මතයක්වත් පල කල යුතු නොවේද?

ශ්‍රමය වෙළඳ භාණ්ඩයක් කරන යන්ත්‍රයක අංගෝපාංගයක් බවට ඔබව ලඝු කරන, ඔබව පවුලට අහිමි කරවන, ඔබේ සෞඛ්‍යය අනතුරේ හෙලන ඔබේ පැහැබර වෘත්තීය අනාගතය සොරාගන්නා මෙම ප්‍රවනතාවය ආපසු හරවන පොදු සමාජ මතයක් ඉස්මතු කරවනු පිණිස ඇති ලෝක දිනය ලෝක ශිෂ්ඨ රැකියා දිනය වේ.

 

ශිෂ්ඨ රැකියා දිනය නිර්මාණය වුයේ කෙසේද?

ඔබ ලවා අනෙකා ගේ ගෙල සිඳින, අනෙකා ලවා ඔබේ ගෙල සිඳින ඉවක් බවක්, ඉමක් කොනක් නැති අරාජික කිසිදු පාලනයක් රහිත වෙළඳපොල තරඟයේ ප්‍රතිපලයක් ලෙස රැකියා ක්ෂේත්‍රය වෙලාගෙන ඇති ඉහත උප මාතෘකාවේ සඳහන් කල මෙම වැඩසටහන් ගත කල ශ්‍රම සූරාකෑමේ ආදීනවයනට එරහිව ගෝලීය වෘත්තීය සමිති ගෙන ගිය නොනවතින අරගලයේ ප්‍රතිපලයක් ලෙස ජගත් කම්කරු සංවිධානය (ILO) තුල ශිෂ්ඨ රැකියා නිර්මාණය හා ඒ සඳහා සාමාජික රාජ්‍යයන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟකරවා ගෙන ඒ සඳහා අවැසි ජාත්‍යන්තර ප්‍රතිපතති රාමුවක් නිර්මාණය කර ඇත.

මෙය හුදෙක්ම ලෝක වැඩකරන පන්ති ව්‍යාපාරයන්, ශ්‍රම වෙළඳ පොළ තුල නිර්මානය වෙමින් පවතින මෙම භයංකාර තැති ගන්වන සුළු ප්‍රවනතාවය ට එරහිව ගෙන ගිය සටනේ ජය කණුවකි. ඒ අනුවඔක්තෝබර් 7 වන දින ලෝක ශිෂ්ඨ රැකියා දිනය ලෙස ජගත් කම්කරු සංවිධානය විසින් නම් කරනු ලැබ තිබේ. මෙය වසර 2008 සිට ජගත් දිනයක් සේ සැමරේ.

 

ශිෂ්ඨ රැකියාවල ගෝලීය වැදගත්කම

ශිෂ්ඨ රැකියා ඇතිකිරීමේ ප්‍රතිපත්තියට අපේ රජයත් ජගත් කම්කරු සංවිධානය තුල එකඟ ව සිටියි. ඒ නිසා ඔබේ රැකියාවත් එවැනි ගුණාත්මක අංගයන් සහිත සුරක්ෂිත හා ගෞරවාන්විත රැකියාවක් බවට පත් කර ගැනීමට ඔබට අයිතියක් ඇත. එය ශ්‍රී ලංකාවත් ගරු කිරීමට බැඳී සිටින ඔබත් භුක්ති විඳීමට හිමිකම් කියන ශිෂ්ඨ රැකියා සඳහා වන අයිතියයි. ඒ අනුව 2008-2012  සහ 2013-2017 යන පස් අවුරුදු කාල රාමු ආවරණය වන පරිදි ජාතික ශිෂ්ඨ රැකියා වැඩපිළිවෙලක් රජය විසින් සේවක හා සේවායෝජක පාර්ශවයන්ගේ පුර්ණ එකඟත්වයකින් සකසා ඇත. එනමුත් මේ සියල්ල කිසිදු සැබෑ ශිෂ්ඨ රැකියා බලාපොරොත්තුවක් ඉටු නොකරයි. මෙවන් තත්වයක් උදා වී ඇත්තේ මේ පිළිබඳව පුළුල් මහජන අවබෝධයක් හෝ කතිකාවතක් නොමැතිවීම නිසාවෙනි. ඔබේ සැබෑ හඬ ප්‍රතිපත්ති නිර්මාපකයින්ට අසන්නට සැලැස්විය හැකි නම්, සැබෑ සමාජ පීඩනයක් යෙදිය හැකි ගොනුවක් බවට ඔබටත් අපේ සමාජයටත් පත්විය හැකිනම් ඔබේ රැකියා අර්ථාන්විත හා ශිෂ්ඨ කල හැක. ඉන්දියාව, නේපාලය, දකුණු අප්‍රිකාව වැනි රටවල් තමුන් ජගත් කම්කරු සංවිධානය හා එකඟ වූ  අවබෝධයනට අනුව වඩාත් අර්ථාන්විත පස් අවුරුදු ජාතික ශිෂ්ඨ රැකියා වැඩ පිළිවෙලවල් නිර්මාණය කිරීමට සමත්ව සිටි. අප තවම ලිං බෙනය තුලය. මෙම ගොහුරෙන් ශිෂ්ඨ මිනිසුන් ලෙස එලියට ඒමට අපට තවම කාලය එළඹ නැතිද?

මෙවර එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිව් යෝර්ක් මහා මණ්ඩල සමුළුව හරහා අවධාරණය කරන්නට යෙදුනේ වසර 2030 දී සාක්ෂාත් කල  යුතු තිරසාර සංවර්ධන ඉලක්කයන් 17 කෙරහිය. මෙහි 8 වැනි ඉලක්කය වුයේද සැමට ශිෂ්ඨ රැකියා යන්නයි. එයින් අර්ථවත් වන්නේ ජගත් තලයම මෙහි වැදගත්කම කෙරෙහි යොමු කර ඇති බරපතල අවධානය නොවේද? එසේ නම් මෙය ඔබේ රැකියාව ශිෂ්ඨ කරන්නට  එළඹෙන ඔබේ වාරයයි!

 

ශිෂ්ඨ රැකියා දිනයේ ඔබේ කාර්යභාර කුමක්ද?

ජගත් තලයේදී ශිෂ්ඨ රැකියා සංකල්පය සම්මතයක් ලෙස පිලිගැනුමට ලක්වීමෙන්  අත්කරගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය ජයග්‍රහණය ඔබේ සේවාස්ථානය තුල ප්‍රායෝගිකව භුක්ති විඳිනු පිණිස ඔබටත් කාර්ය භාරයක් ඇත.

රජය රට තුල නිර්මාණය කරන රැකියා, ශිෂ්ඨ රැකියා බවට පත්කිරීමට ජගත් කම්කරු සංවිධානයට ලබා දී ඇති එකඟතාවයට අනුව කටයුතු කිරීමට බැඳී සිටියි. එය ක්‍රියාත්මක කල හැක්කේ ඔබ ඒ පිළිබඳව උනන්දුවෙන් සිටි නම් හා ඒ සඳහා ඔබගෙන්  ඉටු විය යුතු අවම යුතුකම හෝ ඉටු කිරීමට ඔබ සුදානම් නම් පමණි.

පවතින රැකියා හා නිර්මාණය වීමට ඇති රැකියා ශිෂ්ඨ රැකියා බවට පත්කිරීමට ඔබ හඬ නැගිය යුතුය. පවතින රැකියා ලෝකය ශිෂ්ඨ බවට පත් කල යුතුව ඇත. අපට අවශ්‍ය වන්නේ නිකම්ම නිකම් රැකියා නොවේ, ශිෂ්ඨ රැකියා ය. මෙම මතය වෙනුවෙන් හඬ නැගීම තොරතුරු තාක්ෂණ ලොවේ දී ඔබට නිහඬවම අන්තර්ජාලය හරහා සිදු කල හැකිය. එහි ඇති මහිමය ඔබ නිසැකවම දනී. මේ සඳහා වන ඔබේ නිහඬ මතය රටේ ප්‍රතිපත්තිමය වෙනසකට තුඩු දෙන ලෙස ඔසවා තබන දිනය ජගත් ශිෂ්ඨ රැකියා දිනයයි.

ජගත් ශිෂ්ඨ රැකියා දිනය සඳහා ඔබේ දායකත්වයේ වටිනාකම රැඳී ඇත්තේ ඒ සඳහා ඔබට ඇති සැබෑ අවංක වුවමනාව මතය. ඒ නිසා ඔබේ ක්‍රියාවේ පරිමාව වැදගත් නොවේ. ඔබ මේ පිළිබඳව ඔබේ සේවාස්ථානයේ සගයින් සමග කරන ධනාත්මක සුහද කතිකාවක්, මහ පාරේ කරන ක්‍රියාමාර්ගයක්, ප්‍රතිපත්ති දායකත්වයක් හෝ අන්තර්ජාල සමාජ ජාල හරහා ගෙන යන සංවාද කතිකාවතකට දායක වීමක්  වුවත් ඉතා සුවිශාල බලපෑමක් ඔබේ, ඔබේ සගයින්ගේ, ඔබේ පවුලේ අයගේ හෝ ඔබේ දරුවන්ගේ රැකියා, ශිෂ්ඨ රැකියා බවට හරවනු පිණිස ඉටු කරනු ඇත.

මේ සඳහාම වෙන්වූ පොදු ෆේස්බුක් පිටුවක්, විවිධ රැකියා ස්ථාන නියෝජනය කරන ශිෂ්ඨ රැකියා ක්‍රියාදරයින් පිරිසක් වන අප විසින් නිර්මාණය කොට ඇත. මේ හරහා ඔබේ දැනුවත් භාවය වර්ධනය කරගැනීමටත් හරවත් සංවාදයක් හා සමාජයීය ජනමතයක් ගොඩ නැගීමටත් අවස්තාව සැලසේ.

එන්න... ඔබගේ,  ඔබේ සගයින්ගේ, ඔබේ පවුලේ අයගේ වජීවිත අපේක්‍ෂා ඉටුකලහැකි ශිෂ්ඨ රැකියා ගොඩනැගීමේ කාර්යභාරයට අප සියලු දෙනා උරදෙන ෆේස්බුක් පිටුව හා ඔබත් අදම සම්බන්ධ වන්න....!

Shishta Rakiya Kriyadharayan

දුරකථන අංක  0718 258 898/ 0720 284 362/ 0772 296 574