සරසවියගෙ නමින සරසවි නම නිපැදූ
සරසවි විස්මවන විස්කම් පෑ පඬිඳූ
සරසවි ඇදුරු මහැදුරු මැද දිළි දිනිඳූ
සරසවියක්ම විය හැම සරසවි පැරදූ
බස කෙලෙසුම මවට කළ විපත ලෙස ගෙන
දිළිසුම දෙනු බසට එය ඉගෙන අදරින
මව්බස මඟය අන් බස් වෙතට එළැඹෙන
ඔබ දුන් එවන් ඔවදන් මැණික් මුතු මෙන
සිදත් සඟර දඹදෙණි සමෙහි බිහි වුණ
හෙළ වියරණ ලොවෙහි දිළි උතුම් සිළුමිණ
නව වියරණ දෙගත හැර ඔබෙන් නිමැවුණ
බිහිවිද ගතෙක් ඉන් පසු අලුත් මත දෙන
අඟල සකු මගද දත් මුත් අතැඹුල සේ
හෙළ බස නැළැවුණිය ඔබ අතැ සුකොමළ සේ
ඔබ බැඳි මිහිරි ගැදි පැදිවල රස නොනැසේ
තවමත් ඇසේ එහි යස ගොස එක විලසේ
රන්කිරි බිලිඳු නළවන කව මනනන්ද
කුල්මත් කරයි රසයෙන් වැඩිහිටියන්ද
මැවු සැටි නිහඬ බව රැක බිලිඳුගෙ නින්ද
නිසැකය විස්මවනු ලොව මහා කිවියන්ද
විරිත් සඳ ලකර මඟ අත් හළ සැණින
අලුත් රස පහළ කළ හැකියැයි සිතන
අලුත් කිවියනට පෑදෙනු ඇත නුවණ
දකිත් රස මවන සැටි ඔබ එම මඟින
කිවියෙකු ලෙසින බැබළෙනු රිසි දුහුනන්ට
මුල් පියවර පිණිස කිවි කම අරඹන්ට
'කවි ශික්ෂාව' බිහි කළෙ රස පවසන්ට
කිතු මුතු හරකි එය හැම කල කිවිඳුන්ට
ගැදි පබැඳුම් උගන්වන ගුරු පොත් දෙකකී
'විරිත් වැකිය' පැදි බැඳුමට ගුරු පොතකී
ඔබ හද ගැහුණෙ මේ මිහි මත සුළු කලකී
ඒ සුළු කලට කළ මෙහෙවර මහ මෙරකී
නොලදිම් නම් ඔබේ විවරණවල සරණ
රස විඳියැකිද ගැදි පැදි පබඳෙහි පොරණ
බමරෙක් වීමි ඉන් නොමඳව රස උරන
එබැවින් ඔබේ විවරණ මට රනබරණ
හෙළ බස් අබිමනින් හද ඔද කර නොලසේ
මුළු පරපුරක් මිටකට ගනිමින එක සේ
ඔබ කළ සටන බස අවියක් කොට සිතු සේ
මොන ජගතෙකුට කළ හැකි වෙද තනි ඔබ සේ
හෙළ බස් මිහිර මහදෙහි නොමඳව වගුළ
හෙළ බස් ගුණ වෙසෙස් නිරතුරුවම මතුළ
අසදිස් පබඳ බැඳ හෙළ බස් කළ ලකළ
මුනිදස් නම පුදම් දස දෙස් යස පතළ
(2025 මාර්තු 02 දිනට යෙදෙන මහා පඬි මහා කිවි කුමරතුඟු මුනිදසුන්ගේ 81 වැනි ගුණ සමර නිමිත්තෙනි.)
| කරුණාරත්න අමරසිංහ
(මුහුණ පොතින්)