ජිනීවා වන්දනා වාසනාවන්තයින් උරගා බැලීම අද ඇරඹේ

ජිනීවා වන්දනා වාසනාවන්තයින් උරගා බැලීම අද ඇරඹේ

මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 105 වන ලෝක කම්කරු සම්මේලනය නොහොත් ලෝක කම්කරු පාර්ලිමේන්තුව යන අන්වර්තනාමයෙන් හැඳින්වෙන සමුළුව සඳහා සහභාගි වන සේවක නියොජීත පිරිස තේරීමේ කරුණු විමසා බැලීමේ රැස්වීම අද (4) දින පවත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ආමත්යංශයේ ලේකම් ඝෝඨාභය ජයරත්න මහතාගේ අත්සනින් යුතුව වෘත්තීය සමිති කිහිපයකට දන්වා යවා ඇත.

ජගත් කම්කරු සංවිධාන මහා සම්මේලනය සඳහා සෑම සාමාජික රටකින්ම 4 දෙනෙකුගේන් සමන්වත නියෝජිත පිරිසක්, සමුළුවේදී ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය සහිතව යැවීම ILO ව්‍යවස්ථාවේ පුර්වඅවශ්‍යතාවයකි. මෙයින් දෙදෙනෙකු රජය නියෝජනය කරන අතර, ඉතිරි දෙදෙනා ලාංකීය සේවකයන් හා සේවායෝජකයන් වෙනුවෙන් ඔවුන්ගේ අභිලාෂයන් පිළිබිඹු වන ලෙස කටයුතු කිරීමටත් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකිරිමටත් වරම් ලබයි.

මෙම ඡන්ද හිමි නියෝජිතයන් වෙනුවෙන් ILO සමුළුවේ න්‍යාය පත්‍රයේ විෂය මාතෘකාවනට අනුරූපව, උපදේශකයන් කණ්ඩායමක් මහජන බදු මුදලේ පුර්ණ අනුග්‍රහයෙන් රැගෙන යාමට ද අවසර ඇත.

හාම්පුතුන් සිරිතක් ලෙස උපදේශකයන් රැගෙන නොයන මුත්, සමුළුව තුලදී සිය කාර්යභාරය නිසිපරිදි ඉටු කරති. වෘත්තීය සමිති මේ සඳහා වැඩකරන පන්තියේ අභිලාෂයන් නිසි ලෙස ඉටු කිරීමේ අරමුණින් මහජන මුදලින් හත්, අට දෙනෙකුගෙන් යුත් වෘත්තීය සමිති උපදේශක මන්ඩලයකුත් කැටුව ජිනීවා චාරිකාවේ නියැලීම සුපුරුදු කාර්යයකි.

කාන්තා නියෝජිතයින්ගේ සහභාගිත්වය ILO විසින් දැඩිව අවධාරණය කර ඇතත්, වැඩකරන කාන්තාවන් නියෝජන කීරීම සිරිතක් වශයෙන් සිදු නොවේ. එසේ නමුත් මෙම සමිති විසින් කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කාන්තාවන් සවි බලගැන්වීම ආදී කරණා ගැන ILO හා විදේශ ආධාර උපයෝගී කරගනිමින් වැඩසටහන් නොඅඩුව කර ගෙන යනු ලබයි. සිරිතක් ලෙස මෙම සමිති බොහෝ විට කාන්තාවන් යොදා ගැනෙනුයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසිනි.

ජිනීවා ලෝක කම්කරු සමුළුවේ ශාස්ත්‍රීය මාතෘකා සඳහා දායකත්වය සැපයීමටත් මෙරට වැඩකරන පන්තියේ වුවමනාව නියෝජනය කිරීමටත් පුළුල් දැනුමක්, අත්දැකීම් හා ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් අවශ්‍ය වුවත් මෙම සවාරි නඩයේ සුපුරුදු ලෙස සහභාගිවන වෘත්තීය සමිති නියෝජිත පිරිසෙන් අති බහුතරයකට එවැනි කිසිදු දැනුමක්, හැකියාවක් හෝ වුවමනාවක් නොමැත.

මහජන මුදලින් නොමසුරුව වියදම් කෙරෙන මෙම සවාරියට සූරාකෑමට ලක්වන වැඩකරන ජනතවගේ කරපිටින් ගොස් සතුටු වී රුපියල් ලක්ෂ කිහිපයක් ඉතුරු කරගෙන සති දෙකකට පසු නැවත ලංකාවට පැමිණීම සුපුරුදු කටුත්තක්ව ඇත. සමුළුවට හරයාත්මක හෝ සාධනීය දායකත්වයක් දැක්වීමට ඇති නොහැකියාව නිසා වෘත්තීය සමිති නඩය තුල මෙම සවාරිය තුලදී නිල නොවන ආකාරයේ තරඟ පැවැත්වෙන අතර ඒ සඳහා හොඳම අයිස් කඳු නගින්නා, හොඳම සුරා පානය කරන්නා, වැඩිම චොකලට් මිලදී ගන්නා, වැඩිම මුදලක් ඉතුරු කරගන්නා ආදිය සවාරිය අවසානයේදී නම් කෙරේ.

ජනතාවගේ නොමසුරු මුල්‍ය දායාත්වයෙන් මෙම සවාරියට යෑමේ සුදුසුකම ලබනු පිණිස සමහරක් වෘත්තීය සමිති නායකයින් රජය අමනාප විය හැකි යයි සිතන සියලු කටයුතු වලින් ඉවත් වී ඉතා යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීම සාමාන්‍ය සිරිතකික්. මේම ජිනීවා සවාරිය සඳහා තෝරාගනු ලැබීම සඳහා, සමිති නායකයින් අතර ඇත්තෙත් එකාගේ බෙල්ල අනෙකා කපන බලු පොරයකි.

අදින් ආරම්භවන සවාරි වාසනාව උරගා බැලීම සාමාන්‍යයෙන් මැයි මස මුල් සතිය දක්වා විහිදේ.

මෙවර ජිනීවා ලෝක කම්කරු සමුළුවේ තතු පිලිබඳ එසැන වාර්තා සඳහා වැඩබිම වෙබ් අඩවිය හා රැඳී සිටින්න.

වැඩබිම