ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තෝරා ගැනේ

ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තෝරා ගැනේ

මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහා කම්කරු සම්මේලනය සඳහා සහභාගි වන සේවක නියොජීත පිරිස තේරීම රජයෙන් සිදු කොට ඇත. මෙම සමුළුව ජුනි 1 සිට 13 දක්වා පැවැත්වේ.

ඒ අනුව මෙවර වැඩකරන ජනතාවගේ චන්ද බලය හිමි සේවක නියෝජිතයා (Workers Delegate) ලෙස වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු කේ.වේලායුදන් මහතා එජාපයට අයත් ලංකා ජාතික වතු කම්කරු සංගමය නියෝජනය කරමින් සහභාගී වේ. මිට අමතරව ශ්‍රී ලංකාවේ වැඩකරන පන්තියේ ජනතාවගේ නිල නියෝජිතයාගේ උපදේශකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරන ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, ලංකා සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිතිය වන ලංකා සේවක සම්මේලනය නියෝජනය කරමින් ටී.එම්. ආර්.රශිඩින් මහතා, වෙළඳ කලාප හා පොදු සේවක සංගමය නියෝජනය කරමින් ඇන්ටන් මාර්කස් මහතා, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා, ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින් ජානක අධිකාරි මහතා සහ එජාප ජාතික සේවක සංගමය වෙනුවෙන් එක් නියෝජිත මහතකුත් වශයෙන් කණ්ඩායමක් මහජන බදු මුදලින් යැවීමට සුදානම් කොට ඇත.

මෙම කණ්ඩායමට නොමිලේ ගුවන් ටිකට් පත් ඇතුළු දෛනික වියදම සඳහා දිනකට රුපියල් පනස්දහසකට ආසන්න මුදලකක් මහජන මුදලින් නොමසුරුව සැපයේ.

කෙසේ නමුත් මෙවැනිම නඩයක් හාම්පුතුන් වෙනුවෙන් යැවීමේ අයිතියක් තිබුනද සවාරි ගසමින් කාලය හා මුදල් නාස්ති කිරීමට ඔවුනට වෙලාවක් නොමැති නිසා අවශ්‍යතාවය නිසි ලෙස ඉටුකළ හැකි සුදුසකම් සපිරි එක පුද්ගලයකු පමණක් යැවීමට තීරණය කිරීම මෙරට දුප්පත් ජනයාගේ බදු මුදල් ඉතුරු කිරීමටත් කම්කරු නියෝජිතයින්ටත් කදිම පුර්වාදර්ශයකි. වැඩකරන ජනතාව වෙනුවෙන් මහා නඩයක් ගියත් කිසිදු සාධනීය ප්‍රතිපලයක් මෙ වනතෙක් ඉටු වී නොමැති වුවත්, හාම්පුතුන්ගේ නියෝජිතයා සෑම විටම සිය ප්‍රාග්ධන පන්තියේ අභිලාශය ලෝක කම්කරු සුමුලුවේදී අකුරටම ඉටු කරයි.

මෙලෙස යන කම්කරු නියෝජිතයින් තෝරා ගත යුත්තේ කම්කරුවන් විසින් වුවද අද මෙම අයිතිය වෘත්තීය සමිති එය අත හැර එම අයිතිය ආණ්ඩුවට භාරදී ආණ්ඩුව විසින් සිය රුචි අරුචිකම් මත වෘත්තීය සමිති සුදුසු නියෝජිතයා තෝරාගැනීමේ දීන පරිචයක් අනුගමනය කිරීම ඉතා ඛේදජනක බව තතුදත් සමිති ක්‍රියාකාරිකයෝ පවසති.

නඩයට එක්වන සමහර පුද්ගලයින්ට කම්කරුවාගේ අති උත්කෘෂ්ඨ වූ වැදගමකින් යුත් මැයි දිනයේදී වත් සේවකයින් පහළොවක් වත් එකතු කල නොහැකි වීම හා ඉංග්‍රීසි මළපොතේ අකුරක් හෝ බැරි වීම ද සුව්ශේෂී කරුණක් බව වැඩබිමට අදහස් දැක්වූ සමහරක් කම්කරු නියෝජිතයෝ පැවසුහ. ජගත් කම්කරු සංවිධානයෙන් මෙම කණ්ඩායමට කාන්තා සහභාගිත්වයක් සහතික කරන මෙන් ඉල්ලා සිටියද රටේ අනෙකවිද දුක් ගැහැට, සූරාකෑම් හා අතවරවලට භාජනය වන කාන්තාවන් වෙනුවෙන් එක් ස්ත්‍රියක් හෝ මෙම කණ්ඩායමට ඇතුලත් කොට නැත. එනමුත් මෙම සමිති වලින් ස්ත්‍රී අයිතිවාසිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන විදේශ මුදල් වලින් කෙරෙන පුහුණු වැඩසටහන් හා ඒවයේ සාර්ථකත්වය පිලිබඳ ලියවෙන වාර්තා වල නම් අඩුවක් නොමැත.

වැඩබිම