අත්සන් කළ සම්මුතීන් පිළිබඳ වාර්තා සැපයීම

අත්සන් කළ සම්මුතීන් පිළිබඳ වාර්තා සැපයීම

යම්කිසි සම්මුතියක් ILO විසින් සම්මත කරගත් විටදී, එකී සම්මුතීන් බලාත්මක කරනු වස් තමුන් ගෙන ඇති පියවරයන් පිළිබඳව රාජ්‍යයන් විසින් ජගත් කම්කරු කාර්යාලය International Labour Office වෙත නීති පතා වාර්තා සැපයිය යුතුය (ව්‍යවස්ථාවේ 22 වන වගන්තිය). සැපයිය යුතු තොරතුරු පිලිබඳ විස්තර ILO පාලක මණ්ඩලය Governing Body විසින් සකස් කොට ඇති වාර්තා ආකෘති report forms වල සඳහන්ව ඇති හෙයින්, මෙම වාර්තා වල පිටපත් ලැබෙන පාර්ශවකාර සංවිධානවලට මෙම ආකෘතින් හි පිටපත් තමන් සතු බැවින්, සම්මුතියක් ක්‍රියාවේ යෙදවීම සම්බන්දයෙන් තමුන්ට මතු කල යුතු වන ඕනෑම කාරණාවක් පිළිබඳව පහසුවෙන් තීරණයක් ගත හැකිය.

ILO අධීක්ෂණ ක්‍රියාවලිය ක‍්‍රියාත්මක වන්නේ නිශ්චිත කාල සටහනකට අනුව ය. අත්සන් කළ සෑම සම්මුතියක් පිළිබඳව ම රජයන් රීතියක් ලෙස සෑම වසර දෙකකට හෝ පහකට වරක් ජූනි 1 සහ සැප්තැම්බර් 1 අතරතුර වාර්තාවක් යැවිය යුතු ය. මෙම කාල සටහනේ ඇතුළත් ඇතැම් අවස්ථා වෘත්තීය පාර්ශවකාර සංවිධානවලට විශේෂ වැදගත්කමක් සහිත විය හැකි ය. තීරණාත්මක වැදගත්කමක් සහිත එවැනි එක් කාල පරිච්ඡේදයක් වන්නේ සම්මුතියකට අත්සන් කිරීමෙන් පසුව රජයන් සිය පළමු වාර්තා සපයන කාලය වන අතර, ජාතික නීතිය සහ භාවිතය සම්මුතියට කොතෙක් දුරට අනුකූල ද යන්න ගැන ප‍්‍රශ්න මතු විය හැකි ය. කිසි යම් සම්මුතියක් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව අදහස් දැක්වීම් කර ඇති විට ද සමාන අවධානයක් යොමු කළ යුතු ය. සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය කරන සංවිධානවලට අදාළ රජයන් සෑම වසරක ම එවිය යුතු වාර්තා පිළිබඳව සහ කමිටුව කරන්නට යන යම් අදහස් දැක්වීමක් වේ නම් ඒ පිළිබඳව ILO එම සංවිධාන දැනුවත් කරයි. එවැනි අදහස් දැක්වීම් කර නොමැති විට පවා, රටේ නීති පද්ධතියේ සිදු වන සැලකිය යුතු වෙනස් වීම් හෝ නීති පද්ධතිය ක‍්‍රියාත්මක කරන ආකාරය කරණ කොට ගෙන තත්ත්වයේ මූලික වෙනසක් සිදු විය හැකි ය. තත්ත්වයෙහි මූලික වෙනසක් සිදු විය හැකි අනෙක් අවස්ථාවල දී, උදාහරණයක් ලෙස නොයෙක් රටවල් අතර සිදු වන සංක‍්‍රමණයෙහි නව ප‍්‍රවණතා ඇති විට, සංක‍්‍රමණික කම්කරුවන්ගේ රැකවරණය පිළිබඳ සම්මුතීන්ට සම්බන්ධිතව ද, නොහොත් වැඩ ක‍්‍රියාවලිවල වෙනස් වීම් සිදු වෙමින් පවතින විට, වෘත්තීය සුරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සම්මුතීන්ට සම්බන්ධිතව ද සලකා බලනු ලැබේ. අවසන් වශයෙන්, 1958 අංක 111 දරණ අසමාන ලෙස සැලකීම (සේවා නියුක්තිය සහ වෘත්තිය) පිළිබඳ සම්මුතිය, 1962 අංක 117 දරණ සමාජ ප‍්‍රතිපත්ති (මූලික අරමුණු සහ ප‍්‍රමිති) පිළිබඳ සම්මුතිය හෝ 1964 අංක 122 දරණ සේවා නියුක්ති ප‍්‍රතිපත්ති පිළිබඳ සම්මුතිය වැනි ඇතැම් සම්මුතීන් ඉල්ලා සිටින ප‍්‍රතිපත්ති සහ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමට වෘත්තීය සංවිධානවල පාර්ශ්වයෙන් අඛණ්ඩ සහයෝගිතාව සහ උනන්දුව අවශ්‍ය වේ. 

මූලාශ්‍රය: www.ilo.org