වෘත්තීය පාර්ශවකාර සංවිධාන විසින් සම්මුති විධිවිධාන ක්‍රියාත්මක කිරීමට දායකවීම

වෘත්තීය පාර්ශවකාර සංවිධාන විසින් සම්මුති විධිවිධාන ක්‍රියාත්මක කිරීමට දායකවීම

සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන ILO වෙත යවන අදහස් දැක්වීම්, සම්මුතිය ක‍්‍රියාවේ යෙදවීම බලාත්මක කිරීම සඳහා අදාළ වන නීති පද්ධතියට හෝ රෙගුලාසිවලට අදාළ විය හැකි ය. නීති පද්ධති නොමැති තත්ත්වය තුළ සම්මුතිය වෙන යම් ආකාරවලින් (විශේෂයෙන් ම සාමූහික ගිවිසුම් මාර්ගයෙන්) ක‍්‍රියාවේ යෙදවෙන අවස්ථාවල, ක‍්‍රියාවේ යෙදවීමේ එවැනි වෙනත් විධික‍්‍රම සැබවින් ම පවත්නා බව සහ භාවිතයට ගන්නා බව සහතික කිරීමට අන් කිසිවෙකුටත් වඩා සුදුසු තත්ත්වයක සිටින්නේ සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානයන් ය. මෙලෙස, වඩා පොදුවේ භාවිත වන ILO ව්‍යවස්ථාමය විධිවිධානවලට සහ ක‍්‍රියා පටිපාටිවලට අමතරව සම්මුතිවලින් බහුතරයක් ඒවා ක‍්‍රියාවේ යෙදවීමේ දී සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන්ගෙන් අදහස් විමසීමට සහ ඔවුන් සමග සහයෝගී වීමට ඉඩ සලසයි. එක් අතකින් රජයේ බලධාරි ආයතනත් අනෙක් අතින් සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානත් අතර ක‍්‍රියාත්මක සහයෝගිතාවක් සඳහා වන මෙම අවශ්‍යතාව ද නොයෙක් ILO නිර්දේශවල දී අවධාරණය කර ඇත.

ජාතික සහ ජගත් ප‍්‍රමිතීන්ට ක‍්‍රියාත්මක අනුකූලතාවක් පවතින බව සහතික කිරීම සඳහා බෙහෝ විට නීති පද්ධතිය, රෙගුලාසි හෝ සාමූහික ගිවිසුම් පමණක් ප‍්‍රමාණවත් නො වේ. එම නිසා, මෙම පියවරයන් සැබවින් ම ක‍්‍රියාවේ යෙදවෙන ආකාරය පිළිබඳව නියෝජිත පාර්ශවකාර සංවිධාන කරන අදහස් දැක්වීම් අතිශයින් වැදගත් වේ. රැකියාවක යෙදිය හැකි අවම වයස සහ අවම වැඩ පැය ගණන පිළිබඳ සම්මුතිවල දී මෙන් කිසි යම් සම්මුතියක නියමයන් නිරීක්ෂණය කිරීම පැවරී තිබෙන්නේ ඍජුව සේවා යෝජකයන් සහ සේවකයන් මත ද, නැත් නම් උදාහරණයක් ලෙස කර්මාන්තයේ සහ වාණිජ්‍යයේ (අංක 129) සහ කෘෂිකර්මයේ (අංක 81) ශ‍්‍රම සුපරීක්ෂණය පිළිබඳ සම්මුතිවල දී මෙන් ප‍්‍රධාන වශයෙන් රජයේ බලධාරි ආයතන මත ද යන්න අනුව මෙම සංවිධානවල කාර්ය භාරය වෙනස් වේ. පළමු අවස්ථාව සම්බන්ධයෙන් ගත් කල, සේවා යෝජකයන් සහ සේවකයන් ප‍්‍රමිතීන් පිළිබඳව දැනුවත් ද, ඔවුන් ඒවා පිළිපදිනවාද? දෙවන අවස්ථාවේ සඳහන් ශ‍්‍රම සුපරීක්ෂණය සම්බන්ධයෙන් ගත් කල, උදාහරණයක් ලෙස, පරීක්ෂකයන් කොතරම් නිරතුරුව වැඩ බිම් වෙත චාරිකා කරනවා ද, ඔවුන් සිය යුතුකම් සහ වගකීම් ඉටු කරන්නේ කෙසේ ද, ඔවුන්ගේ සුපරීක්ෂණය කොතරම් ඵලදායක ද? සමාජ සුරක්ෂාව පිළිබඳ සම්මුතීන් සම්බන්ධයෙන් ගත් කල, අවශ්‍ය කරන පරිපාලන සේවාවන් රට පුරා පවතිනවා ද, සේවකයන් නිසි ලෙස ආවරණය වනවා ද, දායක මුදල් නිතිපතා ගෙවනවා ද? යන්න වැදගත් වේ. 

මූලාශ්‍රය: www.ilo.org