ලංකාවේ රෙදි සේදීම හෙවත් රෙදි අපුල්ලන එක අපේ රටේ සාම්ප්‍රදායික සේවාවක්. කර්මාන්තයක්. අතීත රජ සමයේ එය විශේෂ සේවයක් විය. ඒ සඳහාම වෙන් වෙච්ච එම විෂය පිළිබඳ බොහෝ රහස් දන්නා ජන ප්‍රජාවක් හෙවත් සමාජ කුලකයක් අපේ රටේ සිටි බවට වන බොහෝ කතා ජනප්‍රවාද ඉතිහාස කතාවල අපට හමුවේ. ඔවුන් මුල් යුගයේ ඉන්දියාවේ මෙන් අපේ සමාජයේ ගර්හිත හෝ ආන්තික හෝ අඩු කුලයේ ජන කොටසක් ලෙස සැලකුණේ නැත.
එම නිසා ඒ යුගයේ මේ සේවාවන් කරන අය හැඳින්වූයේ රජක කුලය යනුවෙනි. එම කර්මාන්තයේ යෙදෙන වැඩිහිටියන් රිදී නැන්දා හේනේ මාමා යැයි කීව ද පසුව එය රෙදි නැන්දා බවට පත් වී එම ඉන්පසු කලෙක ජන කොටස රදා ජනයා ලෙස නාමකරණය විය. එදා ඔවුන් මෙම සේවාව කළේ රජ අණින් නිසා ඔවුන් විශේෂ සේවක කුලකයක් ලෙස සලකා එම සේවාව අඛණ්ඩව කරගෙන යෑමට ඔවුන්ට විවිධ වරප්‍රසාද හා ගම්වර රජු විසින් ප්‍රදානය කර තිබුණා. එදා මෙම ජනකොටස පිරිසිදු කිරීමට භාරගත්තේ රජු හෝ ඉහළ ප්‍රභූ පැලැන්තියේ අයගේ රෙදිපිලි පමණි. නමුත් යටත් විජිත යුගයේ මෙම කර්මාන්තය වෙනස් මුහුණුවරක් ගත්තේය. දේශීයව රජ පවුල ඇතුළු ජනප්‍රධානීන් ප්‍රභූන්ගේ රෙදි පිරිසිදු කිරීම්වලට අමතරව කොළඹ අගනාගරිකයේ බිහි වූ නව වෙළඳ කුල්ටූර් හා වැඩවසම් පංතියේ හා බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරි පන්තියේ හා කළු සුද්දන්ගේ රෙදි පිළි සේදීම මැදීම වැනි කර්මාන්තයටද මේ පිරිසට මැදිහත්වීමටට සිදුවිය.
බ්‍රිතාන්‍යයන් සාමාන්‍යයෙන්ම ඇඳුම් පැළඳුම් ඉතාම පිරිසිදුව හා පිළිවෙලකට ඇඳීම එකල විශාල ගෞරවයක් හා අනිවාර්ය සාධකයක් ලෙස සැලකූ නිසා අපේ රටේ කළු සුද්දන්ද ඔවුන් මෙන් ගෞරවාන්විතව පිළිවෙලකට ඇඳුම් ඇඳීමට විශාල ප්‍රමුඛතාවයක් ලබා දුන්නේය. ඉතාම පිරිසිදුව රෙදි සෝදා ඒවා කැඳ දමා තම්බා අත ගෑවුන සැනින් කැපෙන තරමට පොල් කටු ස්තිරික්යෙන් මුවහතට මැද ක්‍රීස් එක තබා ඇඳුම් ඇඳීම එකල කොළඹ ජේත්තුකාර පැලැන්තියේ අනිවාර්යන්ම ප්‍රදර්ශන කාමී ජීවන සාධකයක් විය. එකල කොළඹ ජීවත් වූ සුද්දන් වෙන්න කලු සුද්දන්ගේ පවුල්වල ගෑණු පිරිමින්ගේ යට ඇඳුම් පවා හොඳින් සෝදා කැඳ දමා මැද ඇඳීමට තරම් ඔවුහු මෙම ආට් සාටෝපකාරී ඇඳුම් සංස්කෘතියට පුරුදු වී සිටි කොළඹ නගරයේ පැරැන්නෝ කියති.

රජක කුළය රදා වූ හැටි
මේ තත්ත්වය තුළ පසුගිය සියවස ඇරඹෙන විට කොළඹ ලොන්ඩරි සේවා ආශ්‍රිත කර්මාන්තවලට සහ කොළඹ රෙදි අපුල්ලන්නන්ට විශාල ඉල්ලුමක් සේවාවෙළඳ බිමක් ඇතිවී තිබුණි.
කොළඹ නගරයේ රෙදි අපුල්ලන්නන්ට තිබූ මෙම සේවා ඉල්ලුම රෙදි පිරිසුදු කිරීමේ කර්මාන්තය කිරීමට එතෙක් සිටි දේශීය පරම්පරාවලට මානව සම්පත් ධාරිතාවය මදි විය.
එම නිසා හොඳ ආදායම් මාර්ගයක් වූ කොළඹ රෙදි ඇපිල්ලීමේ ව්‍යාපාරයට එකල කොළඹට පැමිණ එම සේවාවලට එක්වී සිටියේ පැරණි ලාංකික සමාජයේ එම කර්මාන්තය කළ අයම හෙවත් රදා කුලයේ අයම පමණක් නොවන බව සත්‍යයකි. එසේ නොවන අය ද පැමිණ කොළඹ නගරයේ තැන තැන මෙම රෙදි ඇපිල්ලීමේ කර්මාන්තයේ යෙදී සිටි බව එම ඉතිහාසය දන්න අයගේ කතාවලින් හෙළි වේ. නමුත් පොදුවේ බාහිර සමාජය ඔවුන් හැඳින්වූයේ රදා මිනිසුන් ලෙසය.
"මාව ලොකු ළමයෙක් වෙච්ච වෙලාවේ නාවන්න ආවේ අපේ ගෙදර ඉදන් හැතැප්මක් විතර දුරින් තියෙන පංචිකාවත්තේ ගංගාස් තොටුපලේ නැන්ද කෙනෙක්. එයා ඇවිල්ලට මාව නාවනකොට අම්මට කිව්වා මම මේ වැඩේ කරන කුලයේ එක්කෙනෙක් නෙමේ මම ගොවිගම. ඕගොල්ලන්ගේ හිතවත්කමට ඉල්ලීමටයි ආවේ" කියලා. මොකද ගංගාස් තොටුපොලේ රෙදි හෝදන්න ඉන්දියාවෙන් ආව ගොඩක් අය ලංකාවේ ගෑණු බැඳලා හිටියා. එහෙම නැන්දා කෙනෙක් තමයි මාව නාවන්න ආවේ. මට හොඳට මතකයි එයාගේ අත් දෙකම පිරෙන්න රත්තරන් වළලු තිබුණා" යැයි කෙසෙල්වත්තේ වලව්වත්තේ සන්ධ්‍යා ගමගේ මහත්මිය පැවසුවාය.(ගංගාස් තොටුපල පිළිබඳ මෙම ලිපියේ ඉදිරියේ දි වැඩිදුර තොරතුරු පළ වේ.)
පසුගිය සියවස මුල් භාගයේ ඇති වූ මෙම ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමේ ව්‍යාපාරයට හෙවත් කොළඹ රෙදි ඇපිල්ලීමේ වැඩ බිම් හෙවත් "රදා තොටුපලවල්" බිහිවූයේ කොළඹ නගරයේ නහර ධමනි සේ කොළඹ පුරා ඇදී ගිය හීන් ඇල ආශ්‍රිතව බොහෝ තැන්වලය. (මෙම ඇල එක එක ප්‍රදේශවලදී විවිධ නම්වලින් හැඳින්වේ. ජාඩි ඇල, ග්‍රෑන්ඩ්පාස් ඇල, වැල්ලවත්ත ඇල, පාමංකඩ ඇල,...) ලංකාවේ අයගේ රදා තොටුපළවල් වූ මෙම ස්ථාන පසු කලෙක ඉන්දියාවේ දකුණුදිග විවිධ ප්‍රදේශවලින් පැමිණි ඩෝබිවරුන්ගේ රෙදි හෝදන ස්ථානවීමත් සමග ඒවා ඩෝබිගාට් හෙවත් ඩෝබි තොටුපොළවල් ලෙස නාමකරණය විය. සමහර මෙම රදා හෝ ඩෝබි තොටුපොළවල් ඒවා අයිතිකරුවන්ගේ නමින් එනම් හරමානිස් තොටුපොළ, ජේන් අක්කගේ තොටුපොල, මුත්තයාගේ ගාට් එක... යනාදී වශයෙන් නම් කෙරිණ.
ඩෝබි යන වචනය හැදෙන්නේ ඉන්දියාවේ "දෝභි" වචනය බ්‍රිතාන්‍යයන් විසින් ඩෝබි යනුවෙන් උච්චාරණය කිරීමත් සමඟය.දෝභී යනු ඉන්දියාවේ පහළම කුලය ලෙස සැලකේ.සංස්කෘත භාෂාවේ "ධාවක දෝභී" සහ" ධාවතී" යන වචන ආශ්‍රිතව "දෝභී" යන වචනය ඇති වී ඇති බවත් රෙදි සේදීම සහ රෙදි මැදීම වැනි කාර්යයන් මෙම දෝභීලාගේ රාජකාරිය වූ බව අසංක හදිරම්පෑල මහතා සඳහන් කරයි.

වර්ජන ඉතිහාසයේ දෙවන වැඩ වර්ජනය
"අපේ රටේ රදා තොටුපොළ පසුව ඩෝබි මඩුව වුණේ ඉන්දියන් අය ආවට පස්සේ" ලංකාවේ රෙදි අපුල්ලන්න ඉන්දියාවේ මිනිසුන් රැගෙන ඒමට සිදුවූයේ කොළඹ නගරයේ මෙම සේවා ඉල්ලුමේ ධාරිතාවයට අනුව සේවය ලබාදීමට අපේ රටේ අයට බැරිවීම නිසාම නොවේ. ඉංග්‍රීසි පාලකයන් ඉන්දියාවෙන් ඩෝබිවරු ගෙන්වන්න තීරණය කළේ 1896 කොළඹ රෙදි අපුල්ලන්නන් ක්‍රියාත්මක කළ වර්ජනයෙන් පසුවය.
මේ රටේ වර්ජන ඉතිහාසයේ නිල වශයෙන් ගත්විට එය කොළඹ නගරයේ ඇති වූ දෙවන වැඩ වර්ජනය ලෙස සැලකේ. නොනිල සටහන්වලට අනුව එය පස් වන වැඩ වර්ජනය ලෙස සැලකිය හැකිය. ලංකාවේ නූතන රෙදි අපුල්ලන්නන්ගේ හෙවත් ඩෝබිවරුන්ගේ ඉතිහාසය සටන්කාමීත්වයෙන් වර්ණවත් කළ, ඉතිහාසයේ පොඩි මිනිසුන්ගේ ගෞරවනීය සටන්කාමිත්වය ප්‍රකට කළ වර්ජනයක් ලෙස සටහන් වී ඇති කොළඹ රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය කොළඹ නගරයේ ඉතිහාසයෙන් අපට කිසි දිනක ඉවත් කළ නොහැක. නමුත් අවාසනාවට මෙම සටනට මුල් බිම වූ කොල්ලුපිටියේ ඩෝබිවත්ත අද අපට දකින්නට නැත. අසංස්කෘතික අශාස්ත්‍රීය නාගරික සංවර්ධන මකරා විසින් අවුරුදු සියයකට ආසන්න ඒ කොල්ලුපිටියේ පොල්වත්තේ මහා ඉතිහාසගත ලොන්ඩරි මඩුව කඩා දමා අද එතන මුඩු car park එකක් බවට පත් කර ඇත.
ප්‍රථම ලොන්ඩරි මඩුව
මෙරට ප්‍රථම නාගරික ලොන්ඩරි මඩුව වූයේ කොල්ලුපිටියේ ලොන්ඩරි වත්තය. අරලියගහ මන්දිරය පිටුපස වසර සියයකට ආසන්න කාලයක් පැවති, ඒ මහා සංස්කෘතික වටිනාකමක් තිබූ ඓතිහාසික වශයෙන් මෙන්ම නාගරික පුරාවිද්‍යාව අංශයෙන් අපේ රටේ අමිල වටිනාකමක් තිබූ කොල්ලුපිටියේ ඩෝබිමඩුව හෙවත් පොල්වත්තේ ලොන්ඩරිවත්ත සංස්කෘතික පරවේණි උරුමයන් පිළිබඳ මෙලෝ හැඟීමක් නැති මුස්පේන්තු නාගරික සංවර්ධනය විසින් මීට වසර කීපයකට පෙර අමුවේ ඝාතනය කර සමතලා කර දමා රථ වාහන ගාලක් බවට පත් කළේය.
"ඒ කාලේ කොල්ලුපිටිය පොල්වත්ත පන්සල පිටිපස්සේ ඒ ඔක්කොටම කිව්වේ රදා ලේන් එක කියලා.ඒ කිව්වේ අපහාසයකට නෙමේ හඳුනා ගන්න.මොකද ඒ පැත්තේ ඔක්කොම හිටියේ සුද්දන්ගේ ආණ්ඩුවෙන් හදලා දීපු බක්කිවල රෙදි හෝදන මිනිස්සු. ඒ අයට ගෙවල් දීලා තිබුණා එතනම ඉන්න. ඒවා එකම සැම්පලයට හදපු ගෙවල්. පේලි ගෙවල් වුණාට ඒවා ලයින් වගේ හරක් මඩු වගේ නෙමෙයි ලැටිස් ගහලා උළු හෙවිලි කරලා තිබිච්ච හොඳ ගෙවල්. තවමත් ඒ සමහර ගෙවල් තියෙනවා. එතන හිටිය සමහරු ඒක වෘත්තියක් හැටියට කරපු අය මිසක් කුලයක් හැටියට වැඩ කරපු අය නෙමෙයි එතන හිටියේ. ගොඩක් හිටිය ප්‍රනාන්දුලා. මුලින්ම තිබුණේ බක්කි විතරයි පස්සේ තමයි ඒ වැඩ කරන අයට මේ ගෙවල් සහ කිළුටු කාමර හදලා දීලා තියෙන්නේ කියලා මගේ ආච්චි මට කියලා තියෙනවා" යයි සන්ධ්‍යා ගමගේ මෙනවිය පවසන්නීය.

| සන්ධ්‍යා ගමගේ
එම ලොන්ඩරිවත්තේ ලොන්ඩරී බක්කි කඩා ඉවත් කිරීමෙන් පසු එහි සිටි පාරම්පරික රෙදි අපුල්ලන්නන්ට වෑකන්දේ පැරණි ලොන්ඩරිවත්තේ අලුතෙන් ඉදිකළ බක්කි පේලිය සමඟ නිවාස සහ කිළුටු කාමර ලබා දී ඇත.
කොල්ලුපිටිය හා ඒ අවට බේරේවැව ආශ්‍රිත කලාපය18 සිය වශයෙන් මැද භාගයේ සිට මෙම රෙදි පිරිසුදු කරන්නන් ගෙන් පිරී ගිය ප්‍රදේශයකි.
"දහ අට වන සියවසය මුල් භාගේ මෙම කොල්ලුපිටිය හැඳින්වූයේ "බරන්දෙණිය" යනුවෙනි. එම ප්‍රදේශය පොල් හා කුරුඳු වගාවන් ගෙන් වැසී ගිය ගැමි පරිසරයක් විය. බේරේ වැව ඉස්මත්තේ සිට බම්බලපිටිය ප්‍රදේශය දක්වා එකම පොල් වතු යායක් විය. පොල්වත්ත පන්සල සහ එදා පොල්වත්ත ඉස්කෝලෙ ලෙස හැඳින්වූ වර්තමාන මහනාම විද්‍යාලය එම පොල්වතුවල අතීත නාම නටබුන්ය. එකල බරන්දෙනිය ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වූයේ දුරාව කුලයේ මිනිසුන්ය. එහි මුල් පදිංචිකරුවන් අතර "සෙම්බුගේ දොන් ෆොන්සේකා ගුණවර්ධන/ රාජකරුණා පරපුර වන බවත්, නළු සක්විති ගාමිණී ෆොන්සේකා එම පරපුරේ කෙනෙකු බවත් සමහර ලේඛන වල දැක්වේ. එසේම ගජමන් නෝනාගේ මව වන "කොන්තගමගේ දෝන ප්‍රැන්සිනා ග්‍රේරු" හෙවත් නෝනා බබා හාමිනේ කොන්තගමින් ආරම්භ වන දුරාව කුලයට අයත් වංශවත් පරපුරක් බව සැලකේ. කොල්ලුපිටියේ සිටි එම දුරාව කුලයට අයත් බොහෝ දෙනා ප්‍රනාන්දුලා ලෙස සැලකේ. (සමාජ පර්යේෂක H. අනුර ටී' ද සිල්වා මහතාගේ සටහන් ඇසුරෙන්)
ලන්දේසි යුගයේ දී ලන්දේසි පාලකයන්ට ගැතිකම් කළ නිළඹේ කැරැල්ලේ දී උඩරට රජු මරා දැමීමට කුමන්ත්‍රණය කළ උඩුනුවර අඹන්වෙල අප්පුහාමි හෙවත් අඹන්වෙල රාළ ඔහුට ලන්දේසීන් අතින් මරණ දණ්ඩනය ලබාදීම සඳහා ලන්දේසීන් වෙත පිට කර යවා ඇත. ලන්දේසීන්ට ඔහු කළ යම් රහස් හෝ වෙනයම් සේවයක් හේතුවෙන් ඔහුට මරණ දණ්ඩනය ලබා දෙනු වෙනුවට ඔහුට බරන්දෙනියෙන් පොල් අත්තක් ලබා දී ජීවත්වීමට අවස්ථාව ලබා දී ඇත. එතැන් සිට ඔහු ලන්දේසීන්ගේ ඉතාමත් හිතෛෂී සේවකයෙක් හෙවත් ගත්තෙක් බවට පත්වී ඇත. ලන්දේසීන් ඔහුව සැඟවීම සඳහා ඔහුගේ නම වෑන්රයි කොෆ් (Vanry Coff) ලෙසද වෙනස් කර ඇත. එතැන් සිට ඔහු බරන්දෙනියේ එකල පදිංචි වී සිටි මිනිසුන්ගේ ඉඩකඩම් මංකොල්ල කමින් එම ප්‍රදේශයේ විශාල පොල් වතු යායක් ඔහු සතු කරගත්තේය. තමන්ගේ ඉඩම් කොල්ලා කෑ බවට මේ අය කළ ඝෝෂාව හේතුවෙන් අඹන්පොල රාළගේ ඉඩම් "කොල්ලා කෑ පිටිය" කොල්ලුපිටිය වූ බවට සමහර ඉතිහාසඥයන් කොල්ලුපිටිය ග්‍රාම නාමය නිර්වචනය කරන්නේ මේ නිසාය. මේ නිසාය බරන්දෙනිය කොල්ලුපිටිය බවට ලන්දේසි යුගයෙන් පසුව පත්වන්නේ.
"කොල්ලූපිටියේ රදා පරපුර පටන් ගන්නේ කොල්ලුපිටිය මහරදාගේ ගෝමස් පරපුරෙන්" මෙම පරපුරට අමතරව කොල්ලුපිටිය හෙවත් බරන්දෙනියේ එකල රජක හෙවත් රදා පරපුරක් ජීවත් විය."කොල්ලුපිටිය මහරදාගේ ගෝමස්..." ලෙස එම පරපුර දැක්වේ. ඒ අනුව දාහත් වන සියවසේ සිටම කොල්ලුපිටිය ප්‍රදේශය රෙදි අපුල්ලන්නන්ගේ හෙවත් රජක ජන කලාපයක් ලෙස පැවති බවට ඉතිහාස සාක්ෂි ඇත.
අරලිය ගහ මන්දිරයේ Car Park එකට වළ දැමු ඉතිහාසය
එකල කොල්ලූපිටියේ පොල්වත්තේ ලොන්ඩරි මඩුවට අමතරව මෙම බේරේ වැවේ වෑකන්දේ ද එකල ලොන්ඩරි 'මඩුවක් හෙවත් ලොන්ඩරිවත්තක් විය. සාමාන්‍යයෙන් බේරේ වැවේ රදා තොටුපළවල් හත අටක් වූ බව පැරණි සටහන්වල දැක්වේ.
කොල්ලුපිටියේ එම රජක සේවාවේ නිරතවූ අතීතයන්ගේ මතකය සොයාගෙන එදා කොල්ලූපිටිය පොල් වත්තේ ලොන්ඩරි මඩුව කඩා දැමීමෙන් පසු එහි සිටි ලොන්ඩරි සේවාව කරගෙන අය ගෙනත් දැමූ බේරේ වැවේ මායිමේ ඇති ලොන්ඩරි වත්තට ගියෙමි.
(වෑකන්දේ පැරණි ලොන්ඩරි වත්තට මෙම ලියුම්කරු රැගෙන ගියේ, එම ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන වැල්ලවත්ත පීටර් ස්ටෝර්ස් අධිපති ගජන්ඳු එරන්ජන් ඉඹුලාන මහතාය. මෙම චාරිකාවට සහ සංවාදයට කොළඹ නගරය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු වන මහාචාර්ය නිහාල් පෙරේරා මහතා ද එක් විය)

| සුනිල් ප්‍රනාන්දු
මෙම වත්තේ තමන් දන්නා ඉතිහාසය ගැන කියන්න එක්වූයේ සුනිල් ප්‍රනාන්දු මහතාය. "මම ඉපදුනේ කොල්ලුපිටිය නොම්බර 25 නෙල්සන් පටුමඟ. (මේ කලාපයටම එකල භාවිතා වූයේ ලොන්ඩරිවත්ත හෝ මින්සිපල් ලොන්ඩරිය යන්නය.) මුලින්ම අපේ සීයට. ඊට පස්සේ තාත්තට අපිට ලොන්ඩරිවත්තේ කාමරයක් තිබුණා. අපේ සීයා ගිරිගෝරිස් ප්‍රනාන්දු. ආච්චිගේ නම හරියටම මතක නැහැ මාගරට් වගේ තමයි මතක. තාත්ත සුගතදාස ප්‍රනාන්දු. සීයාගේ පරම්පරාව මුල ඉඳන්ම හිටියේ කොල්ලූපිටියේ නොම්බර 25 නෙල්සන් පටුමග ගෙදරම තමයි. අපේ සීයාගේ කාලේ ඉඳලම රෙදි හේදුවේ පොල්වත්තේ මිනිස්බල් (Municipal ) ලොන්ඩරියේ තමයි. දැන් ඒකට කියන්නේ පෙරහැර මාවත කියලා. අපිට මින්සිපල් එකෙන් ගෙවල් දීලා තිබුනේ නැහැ. අපි හිටියෙ පරම්පරාවෙන්ම ආව අපේ ගෙදර. ඒකේ අපේ තාත්තා සීයා ඉන්න කාලෙම තාත්තගෙ නංගිට දුන්නට පස්සේ අපි සේරම ජීවත් වුණේ ලොන්ඩරියෙම තමයි. ඒ කියන්නේ ලොන්ඩරි කාමරේ. අපි හිටපු ලොන්ඩරි කාමරවලට වැඩිය මේ ලොන්ඩරි කාමර චුට්ටක් ලොකුයි.
පන්සල පිටුපස තියෙන පේළිගෙවල් ආණ්ඩුවෙන් හදලා දීපු ජාතික නිවාස. අපේ ලොන්ඩරිවත්තේ කාමර (28) විසිඅටක් තිබුණා ඒ විසි අටේම ලොන්ඩරි වැඩ කරන කට්ටිය පදිංචි වෙලා හිටියා.ගොඩක් හිටියේ සිංහල අය. විසි දෙකෙයි (22 )පහලවෙයි (15) කාමර දෙකේ හිටියේ සෙන්දියි මුරුගේසුයි කියන මලයාලම් අය. කොච්චි මිනිස්සු. ඒගොල්ලෝ තමයි එතන විසි දෙකේ කාමරේ තිබිච්ච කෝවිල කළේ. ඒගොල්ලන්ගේ අම්මලාගේ ඉදලම මේ රෙදි හෝදන වැඩේ කරේ නමුත් මුරුගෙ අයියා කෝවිල කරගෙන ගියා. මෙතන රදා අයත් ගොඩක් හිටියා. සීලදාස, ගුණදාස, දාස අයියා රිචට් අයියාලා කට්ටිය තමයි ඒ කාලෙත් හිටියේ. හැබැයි අපි වැඩ කරනකොට අපිට කවදාවත් අරයා මෙයා කියලා භේදයක් තිබුණේ නැහැ. අපි ඔක්කොම එකට වැඩ කළා. අපි ඔක්කොම එකට ජීවත් වුණා. අපිත් එක්ක වැඩ කරපු අයගේ මුල් පවුල් ඔක්කොම ගාල්ල, මාතර, නුවර, කෑගල්ලේ පැත්තෙනුත් කට්ටිය ඇවිල්ලා මෙහෙම ජීවත් වුණා. අපේ තාත්තා විවාහ වෙලා තියෙන්නෙත් ඒ කියන්නේ අපේ අම්මා (අනුලාවතී චන්ද්‍රසේකර) කොටහේනේ ලොන්ඩරියේ සම්බන්ධ එක් කෙනෙක්ගේ (සයිමන් චන්ද්‍රසේකර- වාසල පාර ලොන්ඩරියේ නොම්බර 24 කාමරය හිමිකරු) දුවෙක්. ඒ කියන්නේ අපි ඔක්කොමලා ඉස්සර ඉඳන්ම මේ ලොන්ඩරි වැඩ කරන අය එකට සම්බන්ධකම් තිබිලා තියෙනවා. හැබැයි කවදාවත් මේ රෙදි හෝදන වැඩේට මුස්ලිම් අය ගෑවුනේ නැහැ. සිංහල බෞද්ධ දෙමළ හින්දු දෙමළ සිංහල කතෝලික ක්‍රිස්තියානි සේරම මේ ලොන්ඩරි වැඩේ කළා.
ඒ කාලයේ අපිට බංගලාවලින් කොම්පැනිවලින් හෝටල් රෙදි හෝදන්න හම්බවුණේ. බංගලා වලින් රෙදි ගේන්න යන්නේ අපිම තමයි. අපේ තාත්තා හරි තාත්තා යවන අය හරි තමයි ගිහිල්ලා ඒ ගෙදරින් රෙදි ඔක්කොම අරගෙන තෝරලා පොට්ටෙනි ගහලා, සමහරු කරේ අරන් එනවා. සමහරු බයිසිකලේ තියන් අරන් එනවා. අපේ සීයලා මේ රෙදි අරන් ඇවිල්ලා තියෙන්නෙ රික්ෂෝ කරත්තෙ දාගෙන. හන්දියේ හිටියා මාඩසාමි කියල රික්ෂෝකාරයෙක්. එයා තමයි අපේ සීයා ගොඩක් වෙලාවට එක්ක ගෙන යන්නේ. අනික ලොන්ඩරී ඇතුලෙම රික්ෂෝ කරත්ත දෙයක් තිබුණා. රෙදි ගොඩක් ගේන්න තියෙන වෙලාවට ඒ රික්ෂෝ කරත්තයක් කතා කරගෙන යනවා.
අපේ ඉස්කෝලේ ගියේ කොල්ලුපිටියේ නැල්සන් ලේන් එකේ ජිනරාජ එකට. සමහරු සෙන් මයිකල් එකට ගියා (ගල් පල්ලිය හෙවත් පොල්වත්ත පල්ලියේ ඉස්කෝලෙට. ගෑණු ළමයි ගොඩක් සෙන්ට් මේරිස් එකටයි සෙන්ට් ඇන්ටනීස් එකටයි ගියා. අපේ ලොන්ඩරිවත්තේ හුඟක් දෙනෙක් කතා කරේ සිංහල. ඒ වගේම අපි හැමෝටම දෙමළ කතා කරන්නත් පුළුවන්. අපි හැමෝටම තිබිච්ච ලොකුම උත්සවය තමයි සිංහල අවුරුද්ද. නත්තලත් අපි ඔක්කොම හොඳට කනවා. වෙසක් එකට ඔක්කොමලා තොරණ ගහනවා.
"අවුරුදු අනූවකට වැඩි ඉතිහාසයක් තිබූ කොල්ලුපිටිය ලොන්ඩරි වත්ත කඩා ඉවත් කරන්නේ 2023"
2013 මැයි 23 වැනිදා තමයි කොල්ලුපිටිය ලොන්ඩරි වත්තේ ගෙවලුයි බක්කියි කඩලා අපිව මෙහෙට එව්වේ. මේ ලොන්ඩරී කාමරයි බක්කියි අපේ සීයලා ඉපදෙනකොටත් හදලා තිබිච්ච ඒවා කියලා අපේ සීයා කියලා තියෙනවා.
අරලියගහ මන්දිරයට එන වාහන නවත්වන්න කාර් පාක් එකක් ගහන්න තමයි අපේ ලොන්ඩරි බක්කි ටිකයි අපේ ලොන්ඩරි කාමර ටිකයි ඔක්කොම කැඩුවේ.
ආණ්ඩුව අපිට කිව්වේ කැලණි මුල්ලට යන්න කියලා. අපි කිව්වා එච්චර දුර ගිහිල්ලා අපේ මේ රස්සාව කරන්න බැහැ කියලා.හැමෝම එක විදිහටම ඒ තීරණයට විරුද්ධ වෙලා හිටියා. ඊට පස්සේ තමයි මේ ගෙවල් ටික බක්කි ටික හදලා දුන්නේ. මෙතන පවුල් හතළිහයි. ලොකු ටැංකි හතලිහයි. පොඩි ටැංකි හතළිහයි.ලොකු ටැංකිය තියෙන්නේ රෙදි හෝදන්න පොඩි ටැංකිය තියෙන්නේ වැඩ කරන්න.ඒ නිසා සාමාන්‍යයෙන් ලොන්ඩරි වැඩ කරනකොට එක් කෙනෙක්ට ටැංකි දෙකක් ඕනේ. ඉස්සර වැඩියම පාවිච්චි කළේ බී.සී.සී. සවරින් බාර් තමයි. සාමාන්‍යයෙන් ඉතින් එක් කෙනෙක් දවසකට බැරල් එකත් දෙකක් හෝදනවා තමයි.(කෑලි එකසිය පනහක් දෙසීයක්) මදින්න වෙනම එක් කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් හැම පවුලකම.
ඔළු මොට්ටල බලධාරින්ගේ හා දේශපාලනඥයින්ගේ මන්දබුද්ධික බව
මේ ලියුම්කරුගේ අදහසට අනුව මෑත ඉතිහාසයේ සිදුකළ විශාලම සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක විනාශය මෙයයි. විශේෂයෙන් අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා බලධාරීන් නාගරික ඉතිහාසය නාගරික පුරාවිද්‍යාව පිළිබඳ නොසලකා හැරීම මේකට ප්‍රධාන හේතුවයි. සමාජ විද්‍යාඥයන්ද මානව විද්‍යාඥයන්ද කොළඹ නගරය සමාජ විකාශනයය පිළිබඳ දක්වන්නේ කාලකන්නි අවධානයක්. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ. අදටත් කොළඹ නගරයේ මේ මුඩුක්කු පැල්පත් වතු අතරේ අවුරුදු සීයකට වඩා පැරණි හෝ අවුරුදු සීයකට ඉතාම ආසන්න ගොඩනැගිලි නිවාස තිබෙනවා. පුරාවිද්‍යාව මේ කිසි දෙයක් සලකා බලන්නේ නැහැ. ඒකටම හරි යන නාගරික සංවර්ධන බුද්ධිමතුන් පිරිසක් තමයි මේ රටේ නාගරික සංවර්ධනය බාර අරගෙන ඉන්නේ. ඒ ගැන හොඳටම දැනගන්න පුළුවන් මහාචාර්ය නිහාල් පෙරේරා මහතා රචනා කළ "සිලෝනයෙන් ශ්‍රි ලංකාවට...."(Decolonizing CEYLON ) ග්‍රන්ථය මේ පුරාවිද්‍යා හා නාගරික සංවර්ධන පිළිබඳ සෙමෙන් වැඩෙන මනස සහිත ප්‍රාඥයන් සැලසුම්කරුවන් කියෙව්වොත්. 
"කොළඹ නාගරික ජනතාවගේ ඉතිහාසය තේරුම් ගන්න මහාචාර්ය නිහල් පෙරේරාගේ "සිලෝනයෙන් ශ්‍රි ලංකාවට...." පොත නාගරික සංවර්ධන බලධාරීන් කියවන්න"
කොළඹ මින්සිපල් ලොන්ඩරි තිබුණේ අපේ කොල්ලුපිටියේ එකයි, වෑකන්ද එකයි කොටහේන වාසල පාරේ එකයි ආමර් වීදියේ එකයි තමයි. හැබැයි පරණ එක අපේ කොල්ලුපිටියේ එක. අපේ ලොන්ඩරිවත්ත ළඟින් තමයි ඒ කාලෙ පිටකොටුව බස් එක ගියොත්. අපි රෙදි හෝදන්න ඒ කාලේ අය කළේ පොට්ටනි ගානට.අනික මුරගානට ගෙව්වා. ඒ කියන්නේ අපි ගෙනල්ලා හෝදනවා අපිට මාසෙකට ගානක් ගෙවනවා. ඒ කාලේ අපි කෑලි ගානට රෙදි හෝදන එක කළේ නැහැ.ඒකයි අපේ තාත්තලා රෙදි අරන් ගියහම එක මාසෙකට රුපියල් (700) හත්සීයක් විතර ගෙව්වා. මාසයක් යන්නේ මුර හතරයි. අපි ගෙදරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ රෙදි ගෙනල්ලා හෝදලා වේලලා මැදලා ඔක්කොම කරලා ගිහිල්ලා දෙන්න ඕනේ. ඒගොල්ලො ගෙවන්නේ මාසෙකට සැරයයි. මං මේ කියන්නේ 1978/80 වගේ කාලේ.
අපි ඉතින් කොල්ලුපිටිය, කුරුඳුවත්ත, බම්බලපිටිය ඔය වටේම ගෙවල්වලින් රෙදි දෙනවා.ඒ කාලේ රෙදි හෝදලා මැද්දෙ පොල් කටු අඟුරු ඉස්තිරික්කයෙන්. මම පොඩි කාලේ පොල් කටු අඟුරු රාත්තලක් සත හැටයි. වැල්ලවත්ත පැත්තෙ එක් කෙනෙක් ගොන් කරත්තෙන් පොල් කටුඅඟුරු ගේනවා. එයා ගෝනි පිටින් තමයි අපිට අඟුරු දාලා යන්නේ. තව අපේ ලොන්ඩරිය ඇතුලෙම එක් කෙනෙක් හිටියා අඟුරු විකුණන්න.

| උපුල් ජනක ජයසිංහ

