නලාකරුවෙකුගේ ප්‍රතිවිරෝධය හමුවේ පසුබසින ජනරජයක සිට ලියමි

නලාකරුවෙකුගේ ප්‍රතිවිරෝධය හමුවේ පසුබසින ජනරජයක සිට ලියමි

 

අද්‍යතන පාලකයන්ගේ හද මඬල සොරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සොඳුරු සම්ප්‍රාප්තියට බාධා කලැයි 31 හැවිරිදි ශ්‍රී ලාංකේය පුරවැසියෙකු අත් අඩංගුවට ගත් කටුක පුවත සවන් වැකුණි. එකෙණෙහිම මෙනෙහි වූ කරුණ නම් ප්‍රකට දමිළ භාෂිත පිරුළක් අපට පවසන දේය. එනම් 'තිප්පට්ට චිට්ටලේ කරික්කටෛ පංචමා'' යනුයි. එමඟින් ප්‍රකාශිත අදහස වන්නේ 'ගිනිබත් ගෙයක අඟුරු හිඟයක් තිබේද'' යන්නයි. සැබවින්ම පුරවැසි අපට සව්දිය පිරිය හැකි හබකක් දැන් දැන් ඉතිරි වී නැත්තේය. රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% ක ප්‍රමාණයක් දෙස් හා විදෙස් ණය ගෙවා දැමීමට සිදුව ඇති ජනරජයක පුරවැසියන් හට ලද හැක්කේ කවරනම් සතුටක්ද? රටෙහි ප්‍රතිෂ්ඨාපිත අධිකරණ සම්ප්‍රදායෙහි හැව හැරි දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමක් අභිමුව කුඨ අර්ථපතියන් හා දේශපාලකයන් නිදොස් කොට නිදහස් කෙරුමට නිර්දේශිත වාර්තා ජනගත වන සමාජයක ශේෂ විය හැක්කේ වනචාරිත්වය හා ගිනිගෙන දැවුණු අඟුරු පමණක් විය නොහැකිද?

එකල අප ජනරජයක නොවිසුවද, වසර 1934 ජූලි 17 වැනිදින ලක්මිණි පහන් පුවත්පත් කතුවැකිය ලියූ කුමරතුඟු මුනිදසුන් තම කතුවැකිය අවසන් කරන්නේ මෙලෙසය. ''සියලු දෙවියෙනි, සිනා සෙන්නට වෙන කරුණෙක් නැත්නම් අප රට දෙස බැලුව මැනැවි''! ඔහු කෙතරම් නිරවද්‍යදැයි කැට තැබුමක් කුමට? ඔබ හාත්පස රාවප්‍රතිරාව නඟනු ඇත්තේ ජනරජ පාලකයන් හා එකී පාලක පෙලැන්තියේ තේජස අරා සිටින කාකි කෝට් කරුවන්ගේ විප්‍රකාර මුසා බස්ය.

ප්‍රභූ රථ අරා පැමිණි රථ පෙළහරක් බොරැල්ල මංසන්ධිය දෙසින් දිස්වූ කල මෙකී තරුණයා හට සිහිවන්නට ඇත්තේ කිමෙක්ද? සයිරන් නලා හඬවමින් ඉගිලුණු ජනරජ භක්ෂකයන් සනුහරය පෙර පැවති ජාතික මැතිවරණ දෙකෙහිදී දුන් පොරොන්දු විය නොහැකිද? ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කල රටක, ජනාකීර්ණ මහාමාර්ග අගුළු දැමීම උත්ප්‍රාසය දනවන්නේ නොවේද? එකී උත්ප්‍රාසයම බැඳුම්කර හොරු නොඅල්ලන, සොරෙකුට වුව කා නිමකළ නොහෙන සීනි ගුදමක් කෑ එකා නොඅල්ලන, ලීටර් පෙන්වා කිලෝග්‍රෑම් සඟවන ගෑස් කෝලම් මවන ජනරජයේ භාරකරුවන් වෙත ආවේගාත්මක ප්‍රතිචාරයක් ලෙස එල්ල විය නොහැක්කේද?

එදාමෙදා තුර පැවති මැතිවරණ ප්‍රමාණය මෙරටේ ගණනින් 74 කි. එකී ඉතිහාසගත මැතිවරණ පෙළහරෙහි සැබෑ ඉන්ද්‍රජාලිකයා වෙන අන් කිසිවෙක් නොව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂය. ළබැඳියාවන් අතර ගැටුමේ අග්‍රප්‍රාප්ත පාලක තෙමේ ඔහු වුව ඔහුගේ ප්‍රයෝගික දේශපාලන දහංගැට නිසි පදමට දිරවා ගත් දේශපාලන කාඩර්වරුන් අප අතර හිඟය. ඔහුගේ දහසක් දේශපාලන ජිමික් අතරේ ඔහු වර්ණවත් කල සදාකාලික දේශපාලන සන්නාමය නිමැවුණේ කතරගම තෙක් පානැගු පාද යාත්‍රාවත්, මිනිත්තු පහළොවක් තිස්සේ රට ම ශබ්ද නැගූ ජනඝෝෂාවත්ය. දැන් අප විමසිය යුත්තේ මැදමුලන මහේන්ද්‍ර රාජපක්‍ෂයන් හට රිසි එහෙත් බත්තරමුල්ලේ තරුණයා හට නොරිසි දේශපාලන ව්‍යාභිචාරය කවරක්ද යන්නයි.

බතරමුල්ලේ තරුණයා මෙන් හුදෙකලාව නොවුණද වසර 1992 ජූලි මස 01 වැනි දින මුළුදුන් ජන ඝෝෂා ව්‍යාපාරය යනු එවකට එක්සත් ජාතික පක්‍ෂ රෙජීමය හමුවේ ලත් පීඩාවට එරෙහි ප්‍රකට මහජන විරෝධයක් වූ අතර කෙදිනත් වීදියේ සටන්කරුවා වූ වත්මන් අගමැතිවරයා ඊට ලබාදුන්නේ අසමසම නායකත්වයකි. පොලීසිය නම් අද මෙන්ම එදා ද පාලකයා රැකි විලාසය සමානය. මධ්‍යහ්න 12 ට බෙරයක් හඬ නගමින් ජනඝෝෂාවට එක්වූ හොරණ ප‍්‍රාදේශිය සභාවේ සභික දයාසේන අමරතුංග හැඬ වූ බෙරයට මෝල් ගසකින් අනින්නට කාරුණික වූ පොලීසිය හමුවේ දුර්මුඛ නොවූ මේ දේශපාලන නියෝජිතයා අවසන දෙකඩ වූ බෙර පලු දෙකට තඩිබා ඊටද පොලීසිය බාධා කල සැණින් අත්පොඩි තලන්නට විය. එකෙණෙහිම මෘග පොලිස් ප්‍රහාරයකට ලක්වීමට ඔහුට සිදුවිය. අවසන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ තහවුරු කොට ඇති කථනය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යටතේ අධිකරණයේ පිහිට පැතූ මෙකී අමරතුංග නම් වින්දිතයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇල්ම හා බැල්ම ලැබීම මෙරටේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉතිහාසය බැබලවූ දීප්තිමත් සංසිද්ධියක් විය.

අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය (ජන ඝෝෂා සිද්ධිය) ලෙසින් නඩු අංක 468/92 යටතේ ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනුවී වසර 1993 දී පමණ තීන්දුවී ඇති මෙම නඩුකරය වෙත ආශක්තව පුරවැසි බලය පිලිබඳ නොනැසෙන මමායනයක් ලත් ආධුනික නීති සිසුන් ප්‍රමාණය මෙරටේ සංඛ්‍යාත්මකව අප්‍රමාණ විය හැකිය. එමතු නොව කලක් මෙරටේ ජනිජනයාගේ මූලික අයිතිවාසිකම් සුරැකි ෆන්ඩර්මෙන්ටල් රයිට්ස් ගෝඩ් ෆාදර් වන් මහින්ද රාජපක්‍ෂයන් එමගින් දිනාගත් දෙස්විදෙස් කීර්තියද අසමසමය. එපමණක් නොවේ. ඉහත නඩුකරයේ එක් වෙසෙස් ලක්‍ෂණයක් වූයේ අනාගතයේදී වුව ඊට සමගාමී යම් උල්ලංඝනයක් වේද, එහිලා මූලික අයිතීන් කඩ නොවන සේ හැසිරීමට හැකිවන සේ මෙකී තීන්දුව සියළු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙසයි. එනයින් බලන කල අපි දශක ත්‍රිත්වයක් ගෙවා දැමුවද කිසිදු පාඩමක් ඉගෙන නොගත් ජනරජයක අවිහිංසක පුරවැසියෝ නොවේද?.

එහිලා වඩාත් සංවේදී හා කුකුස දැනවූ පුවත නම් අප කතානායක තරුණයා තම ජනරජයෙන් හා එහි ආරක්‍ෂක පොලීසියෙන් ඉල්ලා සිටි කොන්දේසි විරහිත සමාවයි. සැබවින්ම තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් අභිමුව මහින්ද රාජපක්‍ෂ වන් විපක්‍ෂ දේශපලකයෙක්ද නොමැති රටක ඔහුගේ සිඳී ගිය එඩිය පිලිබඳ අප තවදුරටත් නොතැවිය යුත්තේය. ඔබට සංවේදී විය යුත්තේනම් මෙකී සිදුවීම මෙදින දිවයින පුවත්පතේ වාර්තාගතව ඇති ස්වරූපය විමසන්න. අදාළ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද ලැබුණු බව එහි සඳහන්ය.

එකී තීන්දු ප්‍රකාර අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශ පිලිබඳ කිසිවක් නොලියා ලියුම්කරු වෙනත් වැදගත් යමක් උපුටා දක්වන්නට රිසිය. එනම් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා එ. ෆිෂර් (1979) (minister of Home Affairs V. Fisher 1979 all England Reports P.21) අතර නඩුවේදී විල්බර්ෆෝර්ස් සාමිවරයා සඳහන් කල ප්‍රකාශයක්ය. දෑතේ රැඳුණු මාංචු යුගල තිබියදීම අවි පෙන්වන්නට යාමේදී අත් බෝම්බ ගසන්නට මාන බැලූ නිසාවෙන් පෙරළා වෙඩි තබන්නට සිදුවූයේ යැයි පවසන ශ්‍රී ලංකා පොලීසියේ සුරංගනා බස් වුව නොසෙල්වී අසන අධිකරණ අසුන් නොඅඩු මෙරටේ සියලු සාධුජනයන් මෙකී ප්‍රකාශය වෙත තම විචාරක්ෂිය යොමුකළ යුත්තේය.

''''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරතිබෙන මිනිස් මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධානයන් අර්ථකථනය කිරීමේදී, ලැයිස්තුගත නීති ගැතියාවේ දැඩිබවින් මිදි පුද්ගලයන් වෙත ඔවුනට හිමි මූලික අයිතිවාසිකම් යන නිදහස පූර්ණ වශයෙන් සැපයෙන ආකාරයට වඩාත් ත්‍යාගශීලි ලෙස අර්ථකථනය කිරීම අවශ්‍ය කෙරේ''.

මා මැතිවරණ නිරික්ෂකයෙක්මි. අප රටෙහි විකසිත දේශපාලන සංස්කෘතිය දෙස අපමණ සුභවාදිව බලන්නෙක්මි. එමතුනොව අප ශ්‍රී ලංකා ජනරජය පුරවැසි අභිලාශ සමනය කිරීමේ නිත්‍ය භාරකරුවා ලෙස තම යුතුකම් ඉටුකරනු දකිනු රිසියෙමි. ඒ සියල්ලට ඉහළින් ජිනීවා ගිය මහින්ද රාජපක්‍ෂ දෙස බලා සිටි කුඩා දරුවෙකුද වූයෙමි. දැන් මා අසමි. ගරු අගමැතිතුමනි, මෙවන් අසංස්කෘතික ප්‍රවේශයක් දරන රෙජිමයක් නිර්මාණය කරන්නට තරම් මෙරටේ පුරවැසියන් ඔබට හා ඔබ ආණ්ඩුවට සිදුකල වරද කිම?

ධම්ම පදය මෙසේ කියන්නේය. ''නත්ථි දොසසමෝ කලි'' එනම් 'ද්වේශය හා සම අපරාධයක් නැත' යනුයි. අභිමානවත් ජනරජයක් ද්වේශයේ ගිළුණු කොදෙවුවක් නොව සතුට හා සමාදානය රජයන පුරවැසි හිතෛශී ජනරජයක් කරනු!!

මංජුල ගජනායක