ජාතියට අහිමි කිරීමට වෙරදරන ලාංකික ප්‍රෞඩ ඉතිහාසය...?

bank-of-ceylon-grand-oriental-hotel

ජාතියේ මහා පහන් ටැඹ...

1939 අගෝස්තු මස 01 වන දින මෙරට ස්ථාපිත කරනු ලැබූ ලංකා බැංකුව දශක අටක් ඉක්ම වූ ආඩම්බරකාර අතීතයකට උරුමකම් කියමින් ජාතියට ආලෝකය සපයන ජාතියේ මහා පහන්ටැඹ ලෙසින් විරාජමාන වෙමින් වැජඹෙන්නේය. ආරම්භයෙන් ටික කලකට පසුව සිට රටේ ජනතාව සතු මහානර්ඝ සම්පතක් වූ ලංකා බැංකුව සුවහසක් ජනී ජනයා වෙත බැංකුකරණය ඉගැන්වූ බැංකු මහ ගෙදර බවට වාදයක් නොමැත්තේය. පසු කාලීනව ස්වදේශීය බැංකු ගණනාවක් රට තුළ ස්ථාපිත කරන ලද අතර, එම බැංකුවලට පුහුණු බැංකුකරුවන් සැපයූ බැංකු පාසල වන්නේද ලංකා බැංකුව වේ.

එදා මෙදාතුර පූර්ණ රාජ්‍ය ආයතනයක් වුවද රටේ අතිශය බහුතර රාජ්‍ය ආයතන බිලියන ගණනේ පාඩු ලබමින් භාණ්ඩාගාරයෙන් යැපෙන පසුබිමක ලංකා බැංකුව රජයේ බහුතර ගණුදෙනු ප‍්‍රමාණයක් ආදායම ගැන නොසළකමින් සිදුකරමින් සෑම වසරකම ඉහළම ලාභාන්තිකයක් සහිතව පවත්වාගෙන යන්නේය. එසේ ලබන ඉහළ ලාභයෙන් විශාලතම කොටස බදු හා ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරයට බැර කරමින් අවසන් ප‍්‍රතිලාභ මහජනතාවට සපයමින් ඉටුකරනු ලබන යුග මෙහෙවර සුළුවෙන් තැකිය නොහැකි වේ.

වර්තමානය වනවිට කොළඹ කොටුවේ ලංකා බැංකු චතුරශ‍්‍රයේ සිලින්ඩරාකාරව ගුවන කරා සාඩම්බරයෙන් නැඟී සිටිමින් බැංකුවේ මූලස්ථාන ගොඩනැගිල්ල අපේ රටේ සළකුණක් බවට පත්වී හමාරය. එමෙන්ම සියලූ පලාත්වල බැංකුව, පළාත් කාර්යාලය ස්ථාපිත කොට දිවයිනපුරා ශාඛා ජාලය ව්‍යාප්තකර කටයුතු සිදුකරනු ලබයි. විදේශීය ශාඛා කීපයක්ද සතු ලොව ශක්තිමත්ම බැංකු දහසට (1,000) උරුමකම් කියන අපේ රටේ ප‍්‍රථම බැංකුවද වේ.

සැබැවින්ම වර්තමානය එසේ වුවද බැංකුව පැමිණි දශක අටක් ඉක්මවූ ගමන් මගේ සන්ධිස්ථාන ගණනාවක් ඉතිහාසය සනිටුහන් කරනු ලබයි. බැංකුවේ මූලස්ථානය වර්තමානයේදී කොළඹ කොටුවේ වුවද වසර 30 කට අධික කාලයක් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය හෙවත් ‘‘මහගෙදර’’ වූවේ ලංකා බැංකුව සතු මිල කළ නොහැකි හා අතීත විභූතියෙන් අනූන යෝර්ක් වීදිය ගොඩනැගිල්ලයි. ඉන් කොටසක අපේ රටේ හෝටල් ක්‍ෂෙත‍්‍රයේ පුරෝගාමී හෝටලයක් වූ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය පිහිටුවා (GOH) ඇති බැවින් ඇතමුන් මෙම ගොඩනැගිල්ල GOH Building ලෙසද හඳුන්වනු ලබයි.

යෝර්ක් වීදීය ගොඩනැගිල්ල

1835 දී එවකට ශ‍්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ‍්‍රීමත් විලියම් හෝර්ටන් විසින් බි‍්‍රතාන්‍ය රන්පවුම් 30,000 ක පමණ වියදමකින් එංගලන්තයේ යෝර්ක් වීදියේ ගොඩනැගිලි ආකෘතියට අනුරූපව ඉදිකල මෙම ගොඩනැගිල්ල ලංකාවේ ප‍්‍රථම හමුදා බැරැුක්කය ලෙසද පවත්වාගෙන ගොස් ඇත. 1875 දී මෙය අංග සම්පූර්ණ හෝටලයක් බවට පත් කර ඇති අතර, 1955 අගෝස්තු මස 01 වන දින රු. 6,250,000/ු ට අක්කර 1 1/4ක භූමියක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ලංකා බැංකුව විසින් මිලදී ගෙන ඇත. ගොඩනැගිල්ලේ කොටසක ලංකා බැංකුව ප‍්‍රධාන කාර්යාලය හා ශාඛා කිහිපයක් පවත්වාගෙන ගිය අතර, ඉතිරි කොටසේ හෝටලය පවත්වාගෙන ගොස් ඇත. 1963 දී හෝටලයේ අයිතිකරුවන් ඉවත් වූයෙන් ලංකා බැංකුව විසින් හෝටලය දිගටම පවත්වාගෙන යාමට තීරණය කරන ලදි. හෝටලයේ අයිතියෙන් 98% ක්ම ලංකා බැංකුව සතුව පවති. 1966 දී ලෝ ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පි ජෙෆ‍්‍රි බාවා මෙම ගොඩනැගිල්ලේ යම් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර, මේ වන විට මෙම ගොඩනැගිල්ලට වසර 200 කට ආසන්න ඉතිහාසයක් පවති. ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමින් යුතු ගොඩනැගිල්ලක් ලෙස නම් කර ඇති අතර, ඒ හේතුවෙන් මෙහි යම් වෙනස්කම් සිදු කරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියද ලබා ගත යුතුව ඇති අතර, සංගමය ඒ පිළිබඳව පූර්ණ අවබෝධයකින් කටයුතු කරමින් සිටී.

1955 අගෝස්තු මස 01 වන දින ලංකා බැංකුව මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීමත් සමග වසර 30 ට වැඩි කාලයක් ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය වූයේ මෙම ගොඩනැගිල්ලයි. ලංකා බැංකුවේ මහ ගෙදර ලෙස යෝර්ක් වීදිය ගොඩනැගිල්ල හදුන්වනු ලබන අතර, නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් අනතුරුව ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ල වෙත ගෙන ආ අතර, අගනුවර ශාඛාව තැප්‍රෝබේන් ශාඛාව, බස්නාහිර පළාත - උතුර පළාත් කාර්යාලය හා නැගෙනහිර පළාත් කාර්යාලයද පවත්වාගෙන යන ලද්දේ මෙම ගොඩනැගිල්ල තුළදීය.

විවෘත ආර්ථිකයේ සුනාමිය...

හැත්තෑව දශකයේ අග භාගයේදී එතෙක් පැවති සංවෘත ආර්ථික ක‍්‍රමවේදය මුළුමනින්ම කනපිට හරවමින් විවෘත ආර්ථිකයට අනුගත වීමේ ප‍්‍රතිඵල අදවන විට රටක් හැටියට භුක්ති විඳිම්න් සිටිමු. දේශීය නිෂ්පාදන කාබාසිනියා කරමින් විදේශයන්හි කුණු කසල රටේ සුලභවීම හරහා බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීම සිතාගත නොහැකි ණය කන්දකට රට යටවී තිබේ. ආර්ථිකයට මහා ශක්තියක් සැපයු දේශීය කර්මාන්ත හා රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමු හැටි හද කකියවන සුළුය.

රාජ්‍ය ආයතන ධන වැද්දන්ට විකුණාගෙන කෑම රටේ ප‍්‍රධානතම ආර්ථික උපාය මාර්ගය වු අතර, අසූව දශකයේ අග භාගයේ සිට ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුද කළු කඩයට දක්කාගෙන යාමට විවිධ ආණ්ඩු බරපතල ලෙස උත්සාහ කරනු ලැබුවේ වරක් දෙවරක් නොවේ. එම උත්සාහයන් ලංකා බැංකු සේවක සංගමයේ පූර්ණ විරෝධතා හමුවේ හකුලා ගනු ලැබූවද රාජ්‍ය බැංකු සතු වත්කම් කොටස් වශයෙන් විකුණා දැමීමකටද උත්සාහ කළ අතර, අද වනවිට තර්ජනයකට ලක්වී ඇති යෝර්ක් වීදිය ගොඩනැගිල්ලද ඒ අතර විය.

එමෙන්ම මෑත කාලීනව පසුගිය යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවල සම්පූර්ණයෙන්ම රජයට අයත් කොටස්වලින් 10% ක් අලෙවි කිරීමට දරණ ලද කුමන්ත‍්‍රණයද ඇතුළු සකලවිධ කුමන්ත‍්‍රණ පරාජය කරමින් රාජ්‍ය බැංකු හා ඒවායේ සියලූ වත්කම් සුරක්‍ෂිත කරනු ලැබූයේ ලංකා බැංකු සේවක සංගමයේ අයෝමය ශක්තිය තුළය.

සෙලන්දිවා (Selendiva)...?

වර්තමාන ආණ්ඩුව විසින් මුදල් අමාත්‍යාංශය යටතේ සෙලන්දිවා නැමැති ආයතනය ගොඩනගා ඇති අතර, එම ආයතනයට කොළඹ කොටුව ප‍්‍රදේශයේ ඇති රාජ්‍ය අංශවලට අයත් මිල කළ නොහැකි හා ඓතිහාසික වටිනාකමින් අනූන ගොඩනැගිලි රාශියක් පවරා ගැනීමට කටයුතු කරමින් සිටී. කොළඹ ප‍්‍රධාන (මහ) තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ලංකා බැංකුව යෝර්ක් වීදිය ගොඩනැගිල්ල (GOH Building), හිල්ටන් හෝටලය, හයිට් (Hyatt) ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි සමූහයක් පළමු අදියරේදී පවරාගනු ලැබීමට නියමිත අතර, එය එතනින් නතර නොවනු ඇත.

මෙම සෙලෙන්දිවා අංශයේ 51% ක් භාණ්ඩාගාරය සතුවන අතර, 15% ක් මහජනතාවට මෙන්ම, 34% ආයතනික ආයෝජකයින්ට විවෘත වේ. සෙලන්දිවා ආයතනය විසින් පිහිටුවන උප සමාගම් පූර්ණ පෞද්ගලික ව්‍යාපාර වන බැවින් ඒවා රාජ්‍ය විගණනයෙන් හෝ කෝප් කමිටුවට ඇති වගකීමෙන් නිදහස්වන අතර, මෙම ක‍්‍රමය රාජ්‍ය දේපලවල ක්ෂාරය උරාබීම සඳහා උපායශීලී සැලැස්මක් වේ. මීට කදිම නිදසුනක් වන්නේ ලංකා බැංකුව සතු උප සමාගමක් වන MBSL සහ එහි උප සමාගමක් වූ MBSL Insurance සමාගමේ කටයුතු නිසා සිදුවු අයථා ගණුදෙනු දැක්විය හැක.

අපේ රටේ ඉතිහාසය ඉතා මැනවින් සනාථ කර ඇත්තේ ජාතිය සතු මෙම ආර්ථික, ඓතිහාසික මෙන්ම සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දැවැන්ත ගොඩනැගිලි ජාතියට අහිමිවීම හැර වෙනත් දෙයක් නොවේ.

අපගේ කාර්යභාරය...

ලංකා බැංකුවට අයිති මෙම යෝර්ක් වීදිය ගොඩනැගිල්ල විකුණා දැමීමට විවිධ ආණ්ඩු උත්සාහ දරණ ලද්දේ වරක් දෙවරක් හෝ තෙවරක් නොවේ. 2010 දී පවා එම උත්සාහය ඉස්මතු වූ අතර සංගමයේ දැඩි විරෝධය මධ්‍යයේ එය ව්‍යර්ථ විය.

කෙසේවෙතත්, 2014 දී ගොඩනැගිල්ල අළුත්වැඩියා සිදුකරන මුවාවෙන් එහි පැවැති බැංකුවේ අංශ කීපයක් රෝහල් පටුමගේ ගොඩනැගිල්ලකට කුලී පදනමින් ගොනුකර ඇති අතර, සුරක්‍ෂිතාගාරය හා චාරිකා අංශය පමණක් තවමත් එහි සිට කටයුතු කරමින් සිටී. 2014 දී සිට මේ දක්වා රෝහල් පටුමගේ පටු පරිශ‍්‍රයකට ඔබ්බවා ඇති අංශ වෙනුවෙන් මේ දක්වා බැංකුව ගෙවූ කුලී මුදල රුපියල් මිලියන 600 ක් ඉක්මවා ඇත. බස්නාහිර පළාත (උතුර) පළාත් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා කොල්ලූපිටිය මර්චන්ට් ගොඩනැගිල්ලට මාසිකව ඉතා විශාල කුලී මුදලක් ගෙවා ඇත. තවමත් මාසිකව මිලියන ගණනක කුලී ගෙවීම අඛණ්ඩව සිදුකරමින් සිටී. වර්තමානයේ සිය දරුවන්ගේ කුසගින්න නිවා ගැනීමට නොහැකිව මැරි මැරී උපදින මිනිසුන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත්වන රටක ආණ්ඩුවෙන් ලබාදෙන රු. 5,000/- ක දීමනාව ලබාගැනීමට මාරාන්තිකව පොරකමින් සිටින මිනිසුන් සිටින රටක, යෝර්ක් වීදියේ මහා සාගරයවන් ගොඩනැගිල්ලක් අත්හැර දමා රුපියල් ලක්‍ෂ 6,000 ක් කුලී ගෙවන්නේ කුසගින්නේ සුසුුම් හා කඳුළු බොන මිනිසුන්ට අයත් මුදල්ය. මේවා සහාසික අපරාධ නොවන්නේ නම් වෙන මොනවාදැයි විමසා බැලිය යුතු වේ.

සංගමයේ බරපතල විරෝධය...

මුළුමනින්ම ලංකා බැංකුව සතු යෝර්ක් වීදිය ගොඩනැගිල්ල බැංකුවෙන් පැහැර ගැනීමට බරපතල ලෙසින් එරෙහිවීමට සංගමය තීරණය කර ඇත. ඒ අනූව එම තත්වය දේශපාලන අධිකාරිය වෙත මේ වනවිටත් දන්වා යවා ඇති අතර, ඒ උදෙසා ඕනෑම පියවරක් ගැනීමට සංගමය කටයුතු කරමින් සිටී.

කඩිනමින් යෝර්ක් වීදිය ගොඩනැගිල්ල අලූත්වැඩියා කටයුතු ආරම්භ කර රෝහල් පටුමගේ ගොඩනැගිල්ලට හා බස්නාහිර උතුරු පළාත් කාර්යාලය සඳහා ඵැරජය්බඑ ඔදඇර ගොඩනැගිල්ලට ගෙවන ‘‘අපරාධ කුලී මුදල්’’ වහාම නතර කළයුතු වේ. එය ආණ්ඩුවේ වැඩක් නොව බැංකුවේ කටයුත්තක් බවද අවධාරණය කළ යුතුව ඇත.

කෙසේවෙතත්, බැංකුවේ අදාල අංශ යෝර්ක් වීදිය ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමෙන් පසුව විශාල ඉඩකඩ ප‍්‍රමාණයක් ඉතිරිවන අතර, ගොඩනැගිල්ලේ අයිතිය මුළුමනින්ම බැංකුව සතුව පවත්වා ගනිමින් බදු හෝ කුලී පදනම සහිතව ආණ්ඩුවේ යෝජනාවේ පරිදි ආයෝජකයින් වෙත ලබාදීමකට සංගමය එරෙහි නොවේ.

තවද යෝර්ක් වීදියේ බැංකුව සතු මෙම මහා සම්පත විකුණා ගැනීමෙන් පසුව නව මූලස්ථාන ගොඩනැගිල්ලද දැඩි අවධානමකට මුහුණ දීමට නියමිත අතර, මීට ටික දිනකට පෙර නව මූලස්ථාන ගොඩනැගිල්ල බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිකරන බවට පැතිර ගිය ආරංචිය අහම්බයක් නොවිය හැකි බවට උපකල්පනය කළ හැකිවේ. ඒ අනුව පක්‍ෂ පාට හා දේශපාලන බේදයකින් තොරව බැංකුව සතු වත්කම් පැහැර ගැනීමට එරෙහිව එකාවන්ව පෙළ ගැසීමට නැවතත් අප සියලූදෙනාට සිදුවී ඇති බව දැඩිව අවධාරණය කර සිටිමු.

ලංකා බැංකුව සතු යෝර්ක් ගොඩනැගිල්ල සුරක්‍ෂිත කරමු !
බැංකුව රකිමු - අපි රැකෙමු !
ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !
(උපුටාගැනීම - ලංකා බැංකු සේවක සංගමය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති බුලටීනය)