වී, සහල් හා සීනිවලට මුවාවූ අත්‍යවශ්‍ය සේවා නියෝග වෘත්තීය සමිති මර්ධනයටද?

gotabhaya-rajapakse
  • වෘත්තීය ක්‍රියාමාර්ග තහනම්, වරදකරුවන් සේ සලකයි, දේපල රාජසන්තක වේ
  • අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නාමයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇති නියෝග වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්ධනයටද?

මේ ප්‍රශ්නය පැන නඟින්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රවල ඇති කරුණු ගැන අවධානය යොමු කිරීමේදීය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වූ මුල්ම අති විශේෂ ගැසට් පත්‍රය අගෝස්තු 30 දින අංක 2243/1 වශයෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියේ බලතල යටතේ නිකුත් කරන අතර ඒ මගින් කියන්නේ එහි සස කොටසේ 5 වගන්තියේ විධිවිධාන ප්‍රකාර සකස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි රට පුරාම අගෝස්තු 30 දින සිට ක්‍රියාත්මක කරන බවයි.

ඉන් අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ නාමයෙන් යුතු හදිසි නීති රෙගුලාසි රටපුරා පනවා ඇති බව පෙනේ. මෙහිදී මතකයට නැඟෙන්නේ කොවිඩ් වසංගත තත්වය ආරම්භක අවස්ථාවේදී විසුරුවා තිබූ පාර්ලිමේන්තුව රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සහ කොවිඩ් සඳහා අවශ්‍ය නීතිරීති හා අමතර ප්‍රතිපාදන වෙන්කර ගැනීම සඳහා යළි කැඳවන ලෙස කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරිමය.

ඊටම අදාල අගෝස්තු 30 දින අංක 2243/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ හදිසි අවස්ථා නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනාරාල් එම්ඩීඑස්පී නිවුන්හැල්ල පත්කරන බවයි.

මෙම අති විශේෂ ගැසට් නිවේදන තේරුම් ගැනීම සඳහා වඩා වැදගත් වන්නේ අගොස්තු 30 දිනම නිකුත් කර ඇති ඊට සම්බන්ධ අංක 2243/3 හා අංක 2243/4 යන අති විශේෂ ගැසට් පත්‍රයන් දෙකය.

අංක 2243/3 ගැසට් පත්‍රයේ මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ ජනාධිපතිවරයා සාදන නියෝගය. වඩා වැදගත් වන්නේ එම නියෝග මොනවාද යන්න තේරුම් කර ගැනීමය.

එහි අරමුණ වශයෙන් සඳහන් වන්නේ ‘සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරීම, අඩපණ කිරීම, අධික මිළගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපල අක්‍රමිකතා ඇතිකිරීම ආදී කටයුතු වැළැක්වීම සඳහා සහ පාරිභෝගික ජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීම මෙම නියෝගයේ අරමුණ වේ. එබැවින් රජයේ සහතික මිළට හෝ රේගුවේ දී ආනයනය කළ මිළ ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිළදී ගෙන ජනතාවට සාධාරණ මිළට ලබා දීමට බලයලත් නිලධාරියා හෝ බලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් එවැනි තොග මිළදී ගැනීම් සඳහා ගෙන ඇති ණය, ණය හිමියන්ගෙන් අය කර ගැනීමටත් එම බැංකු පියවර ගත යුතුය.’ යන්නය.

එම අරමුණට අදාල එහි ඇති අර්ථ නිරූපණය සැළකිල්ලෙන් කියවා ගත යුක්තකි. එය මෙසේය.

“අත්‍යවශ්‍ය සේවය’ යන්නෙන් මහජන උපයෝගීතාවය සඳහා වූ හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වූ හෝ යම් සේවයක් බවට ජනාධිපතිවරයා විසින් ආඥාවක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන සේවාවක් අදහස් වන අතර එයට මෙහි උපවගන්තියෙහි නිශ්චිතව සඳහන් යම් සේවාවක් බවට ප්‍රකාශයට පත් කරන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ එහි ශාඛාවක් සහ මේ නියෝගවල 10 වන නියෝගය ප්‍රකාර මින්මතු ප්‍රකාශ කරනු ලැබිය හැකි යම් සේවාවක් ද ඊට ඇතුළත් වේ.’

ඒ අනුව ජනාධිපතිවරයා ආඥාවක් මගින් ප්‍රකාශයට පත්කරනු ලබන යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වේ. එසේම එම නියෝගයේ ප්‍රකාශයට පත්කර ඇති යම් සේවයක් සම්බන්ධයෙන් වූ රජයේ දෙපාර්තමේන්තුවක් හෝ රජයේ ආයතනයක්ද, එම නියෝග යටතේම පසුව ප්‍රකාශ කරනු ලබන යම් සේවාවන්ද ඊට ඇතුලත් වේ.

මේ නියෝගයේ උප වගන්තියේ නිශ්චිතවම සඳහන් අත්‍යවශ්‍ය සේවා යන්න සඳහන් කර ඇත්තේ මෙසේය.

‘සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ වී, සහල්, සීනි යනාදී අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය එක්රැස් කරලීම, ගබඩා කිරීම, පිරිපහදුව, ප්‍රවාහනය හා බෙදාහැරීම හෝ එකී කටයුතු සම්බන්ධයෙන් හෝ ඒ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් හෝ සම්බන්ධයෙන් සිදු කරනු ලැබිය යුතු හෝ සිදු කිරීමට අවශ්‍යවන්නා වූ හෝ කවරවුව ආකාරයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය යෙදවීම.’ යනුවෙන්ය.

මෙහි නිශ්චිතවම සඳහන් වන්නේ වී, සහල් හා සීනි යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැයි නම්කර ඇති සේවාවන් පමණය. ’අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය’ යන්නට ඇතුලත් වන්නේ කුමක්දැයි ජනාධිපතිවරයාවත් දන්නවාදැයි සැක සහිතය. මේ ප්‍රකාශයට පත්කර ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ දායකත්වය සීමිතය. එම ද්‍රව්‍ය රැස් කිරීම, ගබඩා කිරීම, පිරිපහදුව, ප්‍රවාහනය හා බෙදා හැරීම සිදුකරන්නේ පෞද්ගලික අංශය විසින්ය. පෞද්ගලික අංශයට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවිය හැකිද යන්න තවත් ප්‍රශ්නාර්ථයකි.

ඒ කෙසේ වෙතත් එම නියෝගවල අත්‍යවශ්‍ය සේවා යටතේ සඳහන් වන්නේ, එම නියෝගවල උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යම් සේවයක් අත්‍යවශ්‍ය සේවයක් බව ප්‍රකාශ කරනු ලබන අවස්ථාවක, 2021 අගෝස්තු මස 30 වැනි දින හෝ ඉන්පසු එම සේවයට සම්බන්ධ යම් කාර්යයක යෙදී සිටි හෝ සේවයෙහි නියුක්ත කරනු ලැබූ යම් තැනැත්තකු එම සේවා හෝ කටයුතු පැහැර හැරියහොත් වරදකට වරදකරු වන බවය. එසේ කාර්ය ඉටුකිරීම හෝ ප්‍රතික්ෂේප කරන්නේ වැඩ වර්ජන හෝ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් වුවද වෙනත් නීතිවල හෝ සේවා ගිවිසුම්වල කුමක් සඳහන් වුවත් එම තැනැත්තා සේවය අතහැර ගියා සේ සලකන බවය. එසේම එසේ සේවා හෝ වැඩ නොකිරීමට පොළඹවන තැනැත්තන්ද වරදකට වරදකරුවන් වන බවය. එසේම එම වැරදි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන නඩු විභාගයකදී වරදකරු වුවහොත් එම තැනැත්තාගේ සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බවය, මෙම නියමයෙන් පසු එම නිශ්චල හෝ චංචල දේපල සම්බන්ධයෙන් කරනු ලබන අන්සතු කිරීම් ශුන්‍ය හා බලරහිත වන බවද එහි සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම හදිසි අවස්ථා නියෝග යටතේ වැඩ වර්ජන හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තහනම් කර ඇති බව පැහැදිලිය. එසේ තහනම් වන්නේ ජනාධිපතිවරයා මෙම නියෝගය යටතේ හෝ වෙනත් නියෝගයක් යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇති සේවාවන්ය.

අගෝස්තු 30 දිනම මීට සම්බන්ධව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අංක 2243/4 යන අති විශේෂ ගැසට් පත්‍රයට අවධානය යොමුකළ යුත්තේ ඉහත සඳහන් කළ පසුබිමත් සමඟය. එහි අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරන්නේ මෙවැන්නකි.

‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ වන මම, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය මඟින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් – 19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද අවධානයට ලක්කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමිතියකින් හෝ රාජ්‍ය බැංකුවකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට මෙම ආඥාවෙන් ප්‍රකාශයට පත් කරමි.’

ඒ අනුව එම දිනයේ සිට අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම්කර ඇත්තේ වරාය කටයුතු, ඛනිජ තෙල් කටයුතු හා ද්‍රව ගෑස් කටයුතු, දුම්රිය හා ලංගම කටයුතු සහ එම සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය වන්නාවූ නඩත්තු, ආරක්ෂක හා මෙහෙයුම් කටයුතුය.

තවද රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සියලු කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කටයුතු සහ පළාත් සභාවන්ට අදාල කටයුතු, සෞඛ්‍ය සේවයට අදාල කටයුතු, තැපෑලට අදාල කටයුතු, මහා බැංකුව ඇතුලු රාජ්‍ය බැංකු හා රක්ෂණ කටයුතු, පළාත් පාලන ආයතනවල කටයුතු, ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව,සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය, ලංකා සීනි පුද්ගලික සමාගම සහ සමූපාකාර සමිති යනාදියට අයත් කටයුතුය.

ඒ අනුව වී, සහල් හා සීනි පමණක් නොව මේ සියලු සේවාවන් මේ මොහොතේ අත්‍යවශ්‍ය සේවාවන් බව පෙනේ. ජනාධිපතිවරයාගේ අත්‍යවශ්‍ය සේවා නියෝග මේ සෑම සේවාවකටම අදාල බව පෙනේ. ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ඇතිවිය හැකි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්ධනය සඳහා වී, සහල් හා සීනි මුවාවෙන් ජනාධිපතිවරයා මෙම අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇති බව පෙනේ.

එසේ කියන්නට අපට සිදුවන්නේ වී, සහල් හා සීනි සාධාරණ මිලකට අඛණ්ඩ සැපයුමකින් යුක්තව ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමේ බලය පාරිභෝගික කටයුතු අධිකාරියට තිබෙන හෙයින් සහ ඔවුන් එම කටයුත්ත කිනම් හෝ හේතුවකට මේ වනවිට අත්හැර දමා ඇති නිසාය. සීනි ගොග සෙවීමට දෙරණ රූපවාහිනියේ උකුස්සන්ගේ ඔත්තු අවශ්‍ය වන්නේ නැත. ආනයනික සීනි පිළිබඳ සියලු දත්ත ශ්‍රී ලංකා රේගුව සතුව පවතී. කළ යුත්තේ එම ආනයනකරුවන් එම සීනි තොග විකුණා ඇතිද නැද්ද හා ඒ කා හටද යන්න සොයා බලා ගොග රැස්කර ඇති තැන් හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමය. ආනයනික වියදම් සලකා බලා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමය. එසේ නොමැතිව සීනි සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කර සීනි ආනයනකරුවන්ට කැමති මිලකට විකුණන්න ඉඩදී බලා සිටීම නොවේ.

එසේම වී හා සහල් සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේද එයමය. ගොවීන්ගෙන් වී මිලදී ගත් පුද්ගලයින් කවුදැයි තහවුරු කරගෙන ඒවා සහල් බවට පත් කළේද නැතහොත් වෙනත් පුද්ගලයින්ට ලබා දුන්නේද යන්නත්, සහල් බවට පත්වූ තොග විකුණුවේ කාහටද යන්නත් සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමය. කීරි සම්බා සඳහාද නැවත උපරිම මිලක් නියම කිරීමය. සීනිවලට වඩා සහල් සඳහා මෙම තොරතුරු සෙවීමේ යම් සංකීර්ණ තත්වයක් පවතීනම් හා ඒ සඳහා මානව සම්පතේ හිඟයක් පවතීනම් ආණ්ඩුවට කළ හැක්කේ ආණ්ඩු විරෝධි විපක්ෂ දේශපාලනඥයින්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් ගැන සෙවීමට යොදවා ඇති හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයින් ඒ සඳහා යොදා ගැනීමය.

ලසන්ත රුහුණුගේ (අනිද්දා)