ඔහු සැබෑ නායකයෙකි !

bala-tampo

කම්කරු නායක බාලා තම්පෝ මහතාගේ 7වන ගුණනුස්මරණය වෙනුවෙනි.

දශක හතකට ආසන්න කාලයක් ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ)  ප්‍රධාන ලේකම් ලෙස  කම්කරු පන්තියේ විමුක්තිය  වෙනුවෙන් සිය ජීවිතයම කැප කරමින් වැඩකරන ජනතාව වෙනුවෙන් අමිල සේවයක් කළ විප්ලවීය කම්කරු නායක බාලා තම්පෝ සහෝදරයාගේ 7 වන ගුණානුස්මරණ අදයි.

මෙතෙක් කාලයක්  උත්සවාකාරයෙන් සමරන ලද බාලා සහෝදරයාගේ ගුණ සමරුව, පවතින කොරෝනා  වසංගතය හේතුවෙන් රට අගුළු දමා ඇති නිසා මෙවර සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට  සිදුවී ඇත.

පවතින කොරෝනා  වසංගත තත්වය දඩමීමා කර ගනිමින් වත්මන් ආණ්ඩුව ජනතා විරෝධී අණපනත් සම්මත කිරීමට උත්සාහ  ගන්නා බැවින් වසංගත තත්ත්වයක් යටතේ වුවත් ජීවිතය පරදුවට තබා රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් එම අනපනත් වලට එරෙහිව අවංකව අරගල කරන සිසු, ජන, වෘත්තීය සමිති, නායකයින් සහ ජනතාව දුටුවිට මෙවන් යුගයක බාලා  සහෝදරයා  ජීවත්ව සිටියා නම් මෙම අරගලවල ප්‍රමුඛස්ථානයක අනිවාර්යයෙන්ම ඔහු සිටින බව සිහිපත් වූ නිසා මේ මොහොතේ බාලා සහෝදරයා  ගැන සටහනක් තැබීම කාලෝචිත යැයි සිතුනු බැවින් ඉතා කෙටියෙන් ඔහු ගැන යමක් මෙසේ ලියමි.

දෙස් විදෙස් වැඩකරන ජනතාව සහ ඔවුන්ගේ නායකයන් මෙන්ම දේශපාලකයින් බාලා සහෝදරයා හඳුනාගත්තේ වෘත්තිය සමිති නායකයෙකු ලෙසය. නමුත් බාලා සහෝදරයා සමීපව ඇසුරු කළ හෝ හොඳින් අධ්‍යයනය කළ අයෙකු ඔහු තුළ ඇති මානව හිතවාදී සැබෑ මිනිසා හඳුනා ගනු ඇත. ධනපති හාම්පුතුන් අතින් නිරන්තර පීඩනයට පත්වන  පීඩිත පංතියේ වැඩකරන ජනතාව දෙස ඔහු  බැලුවේ, පළමුව මිනිසකු ලෙසත්, දෙවනුව කම්කරුවකු ලෙසත්, තෙවනුව සාමාජිකයෙකු ලෙසත්ය.

කම්කරු පංතියට අමිල සේවයක්

සීඑම්යූ ප්‍රධාන ලේකම් ධූරය දරමින් වසර 66 ක් පුරා කම්කරු පංතියට අමිල සේවයක් කල  බාලා සහෝදරයා නායකත්වය දුන් විශිෂ්ට සටන් තුලින් පොදුවේ ලාංකීය කම්කරු පංතියත්, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයනුත් ලැබූ ජයග්‍රහණ අසීමිත ය.

ලිපිකාර හා  සුපරීක්ෂක  සේවකයන්ට පමණක් වෙන්වී තිබූ සීඑම්යූ ව  වැඩකරන ජනතාවගේ බහුතරය වූ කම්කරුවන් හටද විවෘත කර ඒ මගින් බහුතර වැඩකරන ජනතාව සීඑම්යූ ව තුළ ඒකරාශී කර ගෙනගිය සටන් වල ප්‍රතිඵල ලෙස පුද්ගලික අංශයේ සේවකයන් හට වෘත්තීය  හා මිනිස් අයිතිවාසිකම් රැසක් දිනාගැනීමට හැකිවීය.

බාලා සහෝදරයා වැරදි ලෙස දකින දේ ගැන ප්‍රබලව හඩනගා, ඔහුගේ තියුණු, බුද්ධිමත් හා තර්කානුකූල විවාද හැකියාව උපයෝගිකර ගනිමින් ආණ්ඩු වලට හා හාම්පුතුන්ට අභියෝග කිරීම මගින් වැඩකරන ජනතාව ලද ජයග්‍රහණ බොහෝය.

බාලා  සහෝදරයා මාක්ස්වාදී විප්ලවවාදියෙකි. 1935 සූරිය මල් ව්‍යාපාරය හරහා ලංකා සම සමාජ පක්ෂයට බැඳුණු ඔහු දෙවන ලෝක යුධ සමයේ බෝගම්බර බන්ධනාගාර ගතව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායකයින් නිදහස් කර ගැනීම, බ්‍රිතාන්‍ය හමුදා අතර යුද විරෝධී පත්‍රිකා බෙදීම වැනි අභියෝගාත්මක කටයුතු වලට නිර්භයව ඉදිරිපත් වුණ විප්ලවවාදියෙකි.

1943 දී එවකට පැවති ලංකා විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා  ගෞරව උපාධිධාරියකු මෙන්ම නීතිඥවරයෙකු ද වූ බාලා සහෝදරයා කම්කරු පංතියේ විමුක්තිය වෙනුවෙන් තම පෞද්ගලික සෞභාග්‍යය පරිත්‍යාග කර, ස්වාර්ථය නොතකා පරාර්ථය පිණිස ජීවිතය කැප කළ දුර්ලභ ගණයේ නායකයෙකි.

ඔහු, තම සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන අතරම ඊට වඩා පුළුල් මනසකින් සමාජීය ගැටළු දෙස අවධානය  යොමුකර ඒ වෙනුවෙන් ද කටයුතු කළ සැබෑ ජනතා නායකයෙකි.

කම්කරුවන් වෙනුවෙන් ජයග්‍රහණ රැසක්

සාමාජිකයන්ගේ ගැටළු වලට අවශ්‍යතාවය අනුව කෙටි කාලීන විසඳුම් ලබා දුන් නමුත්  එයින් නොනැවතී එවන් ගැටළු සඳහා ස්ථාවර දීර්ඝ කාලීන විසඳුම් කරා යෑම බාල සහෝදරයාගේ සුවිශේෂී ගුණාංගයකි. 1959 දී සේව්‍ය සම්මේලනයේ සමාගම් 59 ක් සමඟ එකම සාමූහික ගිවිසුමක් ( EFC/CMU ) අත්සන් කිරීම ඒ සඳහා ඇති හොඳම උදාහරණයි.

එසේම, සමස්ථ  වැඩකරන ජනතාව වෙනුවෙන්, සාප්පු හා කාර්යාල සේවක පනත, සේවය  අවසන් කිරීමේ පනත, අර්ථසාධක  අරමුදල් පනත වැනි, වැඩ කරන ජනතාවට අභිමානවත් පුරවැසියන් ලෙස සේවය කිරීමට අවශ්‍ය  සේවා කොන්දේසි ද, පාලකයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි රැකියාවෙන් ඉවත් කිරීම වැළැක්වීමට අවශ්‍ය අණ පනත් ද,සේවකයාගේ  විශ්‍රාම දිවිය සැපවත්ව ගත කිරීම සඳහා අවශ්‍ය අණ පනත් ද, පැවති රජයන්ට  ඉදිරිපත් කරමින්, සහෝදර වෘත්තීය සමිති සමඟ එකතුව අරගල කරමින් ඒවා දිනාගත් බැවින් අදටත් වැඩ කරන ජනතාවට රැකියාවේ සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂණය හිමිව තිබේ.

අවාසනාවට, පසුකාලීනව බාලා සහෝදරයා වැනි අවංකවම මිනිසාට සේවය කරන නායකයින් බිහි නොවූ නිසාත්, වැඩකරන ජනතාව  ධනපති පක්ෂ දේශපාලනයට ගොදුරුව, අවස්ථාවාදීව කටයුතු කිරීම නිසාත්, දිනාගත් අයිතීන් එකින් එක අහිමිව යෑම නොවැළැක්විය හැකිව තිබේ.

වර්තමානයේ වැඩ කරන ජනතාවට පොදුවේ බලපාන ප්‍රශ්නයක් සම්බන්ධව වූවත් ඒකාරාශී විමේදී පොදු තත්වය පසෙකලා නායකයන්ගේ පෞද්ගලික මතවාද  ඉස්මතුවීම හේතුවෙන් පොදු අරමුණු යටපත්වී පාලකයන්ට වාසිදායක විම නිසා ජයග්‍රහණ ලබා ගැනීම බොහෝ දුෂ්කර වී ඇත.

පවතින ධනේශ්වර ආණ්ඩු වලින් වැඩකරන ජනතාවට කිසිදු සහනයක් ලැබිය නොහැකි බැවින් කම්කරු පංතියට බලය හිමිවන සැබෑ වමේ ආණ්ඩුවක් බිහිකිරීමේ  අවශ්‍යතාවය බාලා සහෝදරයා නිරන්තරයෙන්ම පෙන්වා දුන්නද ලක්ෂ 90  පමණ වන ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවට මේ වන තෙක් ඔවුන්ගේ  ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.

වැඩකරන ජනතාවගේ එකම විමුක්ති මාර්ගය වන එය ඉටුකර  ගැනීම සඳහා, පෞද්ගලික අභිමතාර්ථ , එදිරිවාදිකම් අතහැර එම පොදු අරමුණු ඔස්සේ ඒකරාශී වීමට යම් සාධනීය පියවරක් ගන්නේ නම්, බාලා  සහෝදරයාට  කරන ලොකුම උපහාරය එයයි.

අනුර කුමාර රත්නායක, පරිපාලන ලේකම්, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය(සීඑම්යූ)