කොවිඩ් ප්‍රභේද පරීක්ෂණ මඟ හැරීම නිසා රතු කලාපයක සිටින ශ්‍රී ලංකාව

red-zone-sri-lanka

රට රතු කලාපයෙන් මුදාවා ගන්නේ කොහොමද?

රට තියෙන්නේ රතු කලාපයක. රටක, කොවිඩ් පැතිරීම සමාන්‍ය තත්වයට එහා ගිය විට, එසේත් නැත්නම් පාලනය දුර්වල වී ඇති බව තහවුරු වූ විට රතු කලාපයක් ලෙස නම් කෙරෙනවා. අනෙකුත් රටවල් විසින් රතු කලාපයක් ලෙස නම් කෙරුණු රටකට සංචරණය අත් හිටුවනු ලබනවා.

ජනගහනය 100,000 කට නව රෝගීන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ පරීක්ෂණ ධනාත්මකභාවය  රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ ප්‍රතිඵල වලින් සියයට 10 කට වඩා වැඩි ප්‍රමාණයක් වීම කොවිඩ් සදහා රතු කලාපයකට ඇතුළුවීමට හේතුවක්.

කොවිඩ් පැතිරීමේ ශීඝ්‍රතාවය සදහා දැන හදුනාගෙන ඇති කොවිඩ් ප්‍රභේද පිළිබද සංයුතිය සහ ඒ පිළිබද දැනුවත්භාවයද සැලකිල්ලට ගන්නවා. රටක පවතින ප්‍රභේද පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට අවම වශයෙන් එම රට තුල හදුනා ගන්නා රෝගීන්ගෙන් 1%ක් අහඹු තෝරාගැනීමේ ක්‍රියාවලියක් මගින් ප්‍රභේද පරීක්ෂාවට ලක් විය යුතු බවද සැලකෙනවා. දළ වශයෙන් අපේ රටේ දෛනිකව රෝගීන් 4000ක් පමණ සොයා ගන්නා විට, මාසිකව ජාන අනුක්‍රමික විෂ්ලේශණ හෙවත් ප්‍රභේද පරීක්ෂණ සිදු කල යුතු අවම ප්‍රමාණය 1200ක් පමණ වෙනවා.

රට තුලට කොව්ඩ් ප්‍රභේද පැමිණීම පාලනය කල නොහැකිද?

කොවිඩ් ප්‍රභේද ගැන සැලකීමේදී දැනට ශ්‍රී ලංකාව ආක්‍රමණය කර ඇත්තේ ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදයයි. මරණ සංඛ්‍යාව හා බෝවීමේ ශීඝ්‍රතාවය සැලකීමේදී ඉතා ඉහල වේගයක් පවතින ප්‍රභේදයක් රට තුල පැවතීම හේතුවෙන්, රටේ පවතින ප්‍රභේද සංයුතිය පිළිබදව නිවැරදි අවබෝධයක් තිබීමත්, එවැනි පරීක්ෂණ ක්‍රියාවලියක් රට තුල පවතින බව, අනෙකුත් රට වලට විශ්වාසයක් ඇති කිරීමත්, රතු කලාපයකින් ඉවත් වීම සදහා ඉතා වැදගත්.

කොහොම වුණත් අපේ රටේ දැනට ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත්, එකම එක රසායනාගාරයකට පමණයි. ඔවුන් උපරිම වශයෙන් සිදු කරන්නේ ප්‍රභේද පරීක්ෂණ හාරසියයකට අඩු ප්‍රමාණයක්. ඒ නිසා "ප්‍රභේද පිළිබද නිසි අවබෝධයක් නැති රටක්" විදිහට තමයි ශ්‍රී ලංකාව සලකා බැලිය හැකි වන්නේ.

කොහොම වුණත් කොවිඩ් ප්‍රභේද ගැන කතාවේදී, ඩෙල්ටාවටත් එහා ගිය එන්නත් පවා 70%කින් අභියෝගයට ලක් කල හැකි දකුණු අප්‍රිකාණු ප්‍රභේදය හෙවත් "මියු" ප්‍රභේදය මේවන විට, මුහුදට එහායින් අපට අතවනමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා පුන පුනා අපට කියනවා "ඒක එන එක නවත්තන්න බෑ, ඇවිල්ල්ලා පැතිරුණාට පස්සේ දැන ගමු" කියලා.

ප්‍රභේද අරගෙන එන්නේ රටට අළුතින් ඇතුළුවන අය ඒ අය වලක්වන්න බැහැ වගේ එකක් තමා එතුමා ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. හැබැයි එතුමාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකම එක රසායනාගාරයකවත් තවම එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කර ගන්න බැරිව තිබියදී, එතුමාට එහෙම හිතෙන එකත් සාධාරණයි. අසාධාරණය වෙන්නේ හිඟන මනුස්සයාගේ සිට බදු ගෙවලා, සෞඛ්‍ය අමාත්‍යාංශයක්, මහා ලොකු වෛද්‍ය පර්යේෂණ ආයතනයක් නඩත්තු කරමින්, ඒ තත්වයට පත් වෙලා ඉන්න රටේ මහ ජනතාවට.

දොරටු ආරක්ෂා කිරීමේ ක්‍රමය

රටකට ප්‍රභේද එන එක නවත්තවන්න අවම උපක්‍රම ගණනාවක් තිබෙනවා. අපිට ප්‍රභේද පරීක්ෂණ කරන්න සම්පූර්ණ පහසුකම නැතත්, ප්‍රභේද අනුමාන කල හැකි PCR පරීක්ෂණ ඉතා පහසුවෙන් සිදු කල හැකියි. ඒ සදහා දැනටමත් රට තුල භාවිත වන සුවිශේෂි ප්‍රතික්‍රීයක කට්ටල අණුක ජීවී රසායනාගාර වලට ලබා දෙන්න ඕනේ. ගුවන් මගීන්ව පරීක්ෂාකරන කාර්ය ගුවන්තොටුපල ඇතුලේ දාපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාසායනාගාරයට ලබා දෙන්න ඕනේ. ඔය දෙක කරන්න ආණ්ඩුවට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. එකම දේ, දැං PCR ටික පෞද්ගලික අංශයට යැවීමේදී ලැබෙන කොමිස් ටිකයි, ජාන අනුක්‍රමික විශ්ලේෂණ කරන්න බැරි PCR ප්‍රතික්‍රීයක විකුණන සමාගෙමේ ලාභාංශයෙන් ජිවත් වන කණ්ඩායමේ ආදායම අඩු වෙන එකයි විතරයි.

කොවිඩ් වලට මේවන විට ලොව පුරා භාවිත වන අංක එකේ න්‍යාය විදිහට පවතින්නේ "දොරටු ආරක්ෂා  කිරීමේ"  ක්‍රමයයි. ඒක දැං රටකට විතරක් නෙවේ, ආයතනක් කොවිඩ් වලින් ආරක්ෂා කර ගැනීමට පවා බහුල වශයෙන් භාවිත වෙනවා. ලෝකයේ බොහෝ රටවල් වල පාසැල්, විශ්වවිද්‍යාල, කර්මාන්තශාලා සහ විශාල රෝහල් පවා අභ්‍යතරිකව කොවිඩ් පාලනය කර ගනමින්, සිය කාර්යයන් පවත්වා ගනිමින් සිටින්නේ මේ ක්‍රමයට. සරලව කිව්වොත් තමන්ගේ දොරටුවෙන ඇතුලුවන පුද්ගලයා නිසි පරීක්ෂාවක් (අපේ රටේ උණ කටු ව්‍යාපාරය සදහා හැම තැනම "උණ බැලීම" වැනි විකාර ක්‍රමයකට නොවේ) මඟින් තහවුරු කර ගැනීම තමයි එමඟින් අපේක්ෂා කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් රහිත බව

අපේ රට දිවයිනක් වීමේ වාසියවත් සලකන්නේ නැතුව, දොරටුව අයාලේ ඇරලා, ආපුදෙන්, කරන්න දෙයක් නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයක් අපට කියනවානම්, එහි තියෙන්නේ වගකීම් රහිත බව. අවශ්‍යතාවය තියෙනවනම් කරන්න ඕන තරම් දේවල් තියනවා. වුමනාවක් නැතිකම, වසංගතය පාලනය කරනවාට වඩා, පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රසායනාගාර සේවාව විකෘතිකරණ ප්‍රතිපත්ති තීරණ නිසා ඒ කිසිවක් ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තියනවා.

දොරටුවෙන් ඇතුළුවෙන හැමෝම අපි දැනටමත් PCR පරීක්ෂාවකට ලක් කරනවා. ඒක වගකීමක් සහිතව රජයේ රසායනාගාරයක කරන්න තීරණයක් ගන්න එක පළමු වැන්න. හැමෝටම ප්‍රභේද පරීක්ෂණ කරන්න බැරිනම් "ප්‍රභේද අනුමාන කල හැකි" PCR ප්‍රතික්‍රියකයක් භාවිතා කරලා, PCR කරන එක දෙවැන්න. ඒකට වැඩිවෙන්නේ රුපියල් 100ක් වගේ මුදලක්. ඒ වියදම කොහොමටත් දරන්නේ රජය නෙවේ. අනුමාන කරන ප්‍රභේද සදහා ප්‍රභේද පරීක්ෂණ  කරන එක තුන් වැන්න. ඒ සරල ක්‍රමයෙන් විතරක් අපට පහසුවෙන් රටට ඇතුළුවෙන දොරට ආරක්ෂා කර ගන්න පුළුවං.

අප්‍රිකානු ප්‍රභේදය ආවොත් මොනව වෙයිද?

අප්‍රිකානු ප්‍රභේදය එනවා කියන්නේ අලුත්ම වෛරසයක් අළුතින් එනවා වගේ එකක්. පැතිරීම වැඩියි. මරණ වැඩියි. ගහපු ඒන්නත් එකක් වත් හරියට වැඩ කරයිද කියන එක  පිළිබද විශ්වාසයක් තියා ගන්න බෑ.

ලංකාව තාම ප්‍රභේද පිළිබදව අදුරේ අතපත් ගාන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට අවමය කලත් අපි මාසයකට ප්‍රභේද පරීක්ෂණ 1300ක් කරන්න ඕනේ. කරන්නේ 400යි. ඒකත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බලෙන් වගේ කරමින් ඉන්නේ.

ප්‍රභේද පරීක්ෂණ සිදුකිරීම අප රටේ ආර්ථිකයට දැරිය හැකිද?

කොවිඩ් සදහා ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීම විශාල වියදම් සහිත කාර්යයක් නොවේ. කොවිඩ් වලට පෙරත් අපි රටක් විදිහට ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ කරලා තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඒ සදහා උපකරණ ලබා දී නොමැති බැවින්, නිදර්ශක වෙනත් රටවල් වලට යවලා තමයි එම පරීක්ෂණ සිදු කලේ. බොහෝ විට ඒවා වැදගත් වූයේ රට තුල සිදුවන පර්යේෂණ වලට.  සාමාන්‍යයෙන් මෙම පර්යේෂණ සඳහා රටක් ඇතුලත ඇති විවිධ වටිනාකම් ඇති "ජාන ව්‍යුහයන්" පිළිබදව අධ්‍යනය කෙරෙන බැවින් බොහෝ රටවල්, එවැනි නිදර්ශක පිටරටවලට යවන්නේ නැහැ. විවිධ රටවල පවතින ඉතා වැදගත් ජාන සංයුතීන් සොරකම් කිරීමට ඉන් අවස්ථාව ලැබෙන බැවින් බොහෝ රටවල් ඒ පිළිබදව සැලකිලිමත් වෙමින්, අන් රටවල් වල ජාන අනුක්‍රමික විශ්ලේෂණ තම රටට ගෙන්වා ගැනීමටත්, තම රටේ  ඒවා වෙනත්  රටවලට නොයැවීමටත් වග බලා ගන්නවා.

ඒ කාලයේ අපිට ප්‍රභේද පරීක්ෂාවකට රුපියල් ලක්ශයක පමණ වියදමක් දරන්න සිදු වුණා. ඒ නිසාම රටක් විදිහට අපි සිදු කරන පර්යේෂණ සහ අත් හදා බැලීම්, ඒ ආශ්‍රිත සොයා ගැනීම්, නිපදවීම් ප්‍රමාණය පවා අවම වුණා.

ඇත්තට ලොකු ලොකු දේවල් කරන්න අපේ රසායනාගාර සේවාවට පුළුවන්ද?

මේ වෙනකොට කොවිඩ් සදහා කෙරෙන ජාන අනුකරමික විශ්ලේෂණ පරීක්ෂාවකට රුපියල් 10000ක්වත් වැය වන්නේ නැහැ. නමුත් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් එකම රසායනාගාරයකටවත් එම එම පරීක්ෂණ යන්ත්‍ර ලබා දී හෝ එම පරීක්ෂණ සිදු කිරීම හෝ තවම ආරම්භ කරලා නැහැ. එකසත් රාජධානියේ රසායනාගාර සේවාව ආරම්භ වී වසර හතක වගේ කෙටි කාලයක් තුල, ජාත්‍යන්තරයට ඉතා සමගාමිව ආරම්භ කරපු, දකුණු ආසියාවේම පර්යේෂණ මධ්‍යස්ථානය බවට පත් කිරීමට අපේක්ෂා කල, වසර සියයකට වඩා පැරණි "වෛද්‍ය පර්යේෂණ ආයතනයක්" අප රට නඩත්තු කරමින් තිබියදී, මෙම තත්වය ඇතිවී තිබෙන බවද අප අමතක කල යුතු නැහැ.

වෛරස සම්භවයක් සහිතව වසංගතයක් ඇති වෙන කාලයක ජාන විශ්ලේෂණ සිදු කිරීම ඉතාමත්ම වැදගත්. ඒත් මේ ජාන විශ්ලේශණ සිදු කිරීමේ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයට නැහැ. ඒ පහසුකම් හදා ගන්න අවුරුදු එකහාමාරක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියනවා.

මෙතරම් බැරෑරුම්  අවස්ථාවක විශේෂයෙන්ම මේ කොවිඞ් 19 වසංගතය අපේ ජන ජීවිතයට විශාල වශයෙන් අභියෝග කරන අවස්ථාවක, රටට අවශ්‍ය ජාන විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙල

අපේ රටේ සෞඛ්‍ය සේවාවට විධිමත් වැඩපිළිවෙලක් සහ විද්‍යාත්මක භාවිතයක් නෑ කියලා තහවුරු වෙන විදිහට වැඩකලොත්, කොවිඩ් නැතත්, අපිට ආකර්ෂණය කර ගන්න වෙන්නේ ලෙඩ අරගෙන, ස්මග්ලිං වලට එන හිඟන සංචාරකයෝ විතරයි.

මේ වන විට වසංගත තත්ත්වය අපේ ආර්ථිකයට බරපතල වශයෙන් අභියෝග එල්ල කරනවා. යම් ආකාරයකින් මේ වසංගතය පාලනය කිරීමෙන් පසුව නැවතත් අපේ රටට පෙර පැවතී ජන ජීවිතය අවශ්‍යයි. පෙර තිබූ ආර්ථිකය අවශ්‍යයි.

අපේ රටට රතු ලැයිස්තුවෙන් ඉවත් වෙයිද?

අපිට මූලික වශයෙන් රතු ලැයිස්තුවෙන් ඉවත් වන්නට නම් සපුරාලිය යුතු කාරණා තිබෙනවා. එක, අපේ රටෙන් අඩුවෙන් ආසාදිතයන් වාර්තා විය යුතුයි. ඒ කියන්නේ හොඳ රෝග පාලනයක් මේ රටේ පැවතිය යුතුයි.

ඒ වගේම, දැනටමත් ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘතිතා තුනක් අපේ රටෙන් හමුවන බව අප මේ වන විට හදුනාගෙන තිබෙනවා. එක් විකෘතිතාවයක් අපේ රටෙන් වාර්තා වෙන්නේ ලෝකයේ පළවෙනි වතාවට. මැලේසියාවේ මීට පෙර වාර්තා වූ විකෘතිතාවයකුත් දැනට රටවල් කිහිපයක වාර්තා වන තවත් විකෘතිතාවයකුත් වශයෙන් විකෘතිතා තුනක් අපේ රටෙන් හදුනාගෙන තිබෙනවා. නව විකෘතිතා වල ඇති අවදානම වන්නේ එයින් නව ප‍්‍රභේදයක් ඇති වීමේ ප‍්‍රස්ථාවයි. අප ඩෙල්ටා සුපර් ප‍්‍රභේදයක අවදානම මුව විට සිටිනවා. අප දැනටමත් මේ දැඩි අවදානම සම්බන්ධයෙන් පර්යේෂණ කලයුතුව තිබෙනවා.

කොහොම වුණත් අපි ඉන්නේ බැරෑරුම් තැනක. රට තියෙන්නේ අනතුරුදායක තැනක.  ඒ නිසා අපි රට කරවන හැමෝගෙන්ම ඉල්ලන්නේ විද්‍යාවට ඉඩ දෙන්න. සාමුහිකත්වය ගොඩ නංවන්න.  ඒ ඒ අයගේ වගකීම් ඒ අයට පවරන්න. අනතුරට මුහුණ දීමට විතරක් හරි, එකට එකතුවෙලා  වැඩ කරන්න පුළුවං කියන විශ්වාසය, යාන්ත්‍රණය  රටතුල තහවුරු කරන්න.

ravikumudesh photo

රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්  සංගමය