අත පල්ලෙන් වැටුණු’ පහතරට වතුකරය

අත පල්ලෙන් වැටුණු’ පහතරට වතුකරය

‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත.

ඒ නුහුර එන්නේ, ඒ වචනය ඇසෙන්නේම නැති නිසාය. එහෙත් පහතරටද වතුකරයක් තිබෙන අතර එම නාමකරණයට අයත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වතු ආශ්‍රිතව පමණක් ඉන්දියානු සම්භවයක් සහිත ලක්ෂයකට අධික දෙමළ ජනගහනයක් ජීවත්වෙති. දකුණේ භාෂාවෙන් කිවහොත් ඔවුන් ගෙවන්නේ ‘අත පල්ලෙන් වැටුණු’ ජීවිතයකි.

කිසිවකුගේ අවධානයට ලක් නොවන එම ප්‍රජාවගේ ගැටලු පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණයක් පදනම් කරගත් මෙම ලිපිය, එම ගැටලුවලට විසඳුම් සෙවීම පිණිස ඔවුන්ගේ දේශපාලන අයිතීන් තහවුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

මධ්‍යම කඳුකරය හා සබරගමුව පළාත හැරුණු විට ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා වැඩි වශයෙන් ජීවත්වන්නේ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලය. මෙම දිස්ත්‍රික්ක දෙකෙහි මධ්‍යම කඳුකරය දක්වා දිවෙන අන්තර් සබඳතාවක් ඇති කඳුකර ප්‍රදේශ ගණනාවක, පැතිරුණු ජන වර්ගයක් ලෙස ඔවුහු දිවි ගෙවති.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, නියාගම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, කොටපොල, මොරවක, පිටබැද්දර සහ අකුරැස්ස යන ප්‍රදේශ ඔවුන්ගේ වාසභූමි වන අතර මෙම බොහෝ පෙදෙස් ඒ ඒ දිස්ත්‍රික්කවල අග නගරයේ සිට කි.මී. 60කට වැඩි දුරකින් පිහිටි පිහිටි දුෂ්කර පෙදෙස්ය. වැඩිපුර හුරු පුරුදු නැති හැඳින්වීමක් වන ‘පහතරට වතුකරය’ යනු මෙකී කලාපයයි.

සියවස් දෙකකට පෙර මේ මිනිසුන්ගේ පළමු පිය සටහන් ඇඳුණු උඩරට සහ මැදරට ප්‍රදේශවල දිවි ගෙවන දෙමළ ජනයාට බලවත් වතු කම්කරු වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයක් සහ ඒ හරහා ගොඩනැගුණු දේශපාලන ශක්තියක් තිබේ. ඒ ඔස්සේ කිසියම් හෝ කේවල් කිරීමේ ශක්තියක් ඔවුන් සතුය. එහෙත් පහතරට වතුකරයේ වෙසෙන ජනයාගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

මේ, අවම ජීවන තත්ත්වයවත් හිමි නැති ඉන්දියානු සම්භවයක් සහිත පහතරට දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු සහ එම ගැටලුවලට විසඳුම් ලැබෙන දේශපාලනමය ප්‍රවේශයක අවශ්‍යතාව සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණාත්මක සොයාබැලීමකි. 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි වතුකර ප්‍රදේශ මෙම පර්යේෂණයට මූලාශ්‍ර විය.

ගාල්ලේ වතු ආශ්‍රිත දෙමළ ජනයා

ගාල්ල දිස්ත්‍රික්කයේ වතු කම්කරු වෘත්තියේ නිරතවූවන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වේ. රජයට අයත්, වර්තමානයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් හතරක් යටතේ පාලනය කෙරෙන වතු දහසයක, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය කෙරෙන එක් වත්තක, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ප්‍රධාන වතු දෙකක, පෞද්ගලික තේ කර්මාන්තශාලා සමූහයක සහ කුඩා ප්‍රමාණයේ වතු තිහකට අධික සංඛ්‍යාවක ඔවුහු සේවසේ නිරත වෙති. මෙයින් 75%ක් පමණ දෙනා දෙමළ වතු කම්කරුවන්ය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් 2023 වසරේ ජනවාරි මාසයේ කරන ලද සංගණනයකට අනුව වර්තමානයේ වතු සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවල සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වලහන්දුව වතුයායේ වතු සේවක ලැයිම් කාමර, වත්තේ අවසරය ලැබ ඉදිකරගත් තාවකාලික මඩු සහ වතු සේවක නොවන ලැයිම් කාමර, වතු සේවක නොවන තාවකාලික මඩු 2,893ක පදිංචි ජන සංඛ්‍යාව 14,869කි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරු කර ගනිමින් 2022 වසරේ සකස්කර තිබෙන ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යා අත්පොතෙහි වතු ජනගහනය 20,240ක් ලෙස සඳහන්ව ඇත.

පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ප්‍රධාන පෙළේ වතුයායක් වන කොට්ටව දේවගිරි වතුයාය ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික වතුවල සහ එවර්ග්‍රින් වැවිලි පුද්ගලික සමාගම ඇතුළු තේ වගාව සහිත වතු අයත් මහා පරිමාණ පෞද්ගලික තේ කර්මාන්තශාලාවල සේවයේ නිරත වතු සේවකයින් පිළිබඳ තොරතුරු මෙම සංගණනයට ඇතුළත්ව නැත.

එමෙන්ම දෙමළ පවුල් දෙකක් හෝ තුනක් පදිංචි කුඩා පෞද්ගලික වතුවල සේවක තොරතුරුද දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම්වල වැඩ කරන සහ එම දළු එකතු කර තේ නිපදවන තේ කර්මාන්තශාලාවල සේවයේ නිරත සේවක තොරතුරුද මෙම සංගණනයට එක් කර නොමැත. රජයට අයත්, වර්තමානයේ පෞද්ගලික වතු සමාගම් යටතේ පාලනය වන වතුවල පදිංචිව හිඳිමින් සේවයේ නිරත සංවිධානගත  වතු කම්කරු ප්‍රජාවට වඩා පෞද්ගලික අංශයේ අසංවිධිත වතු කම්කරු ප්‍රජාව ප්‍රමාණාත්මකව වැඩි බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මාතර වතුකරයේ දෙමළ ජනගහනය

මාතර දිස්ත්‍රික්කයේ හැට දහසකට අධික වතු කම්කරුවන් පිරිසක් රැකියාවේ නිරතව සිටිති. රජයට අයත්, වර්තමානයේ ප්‍රාදේශීය වැවිලි සමාගම් තුනක් යටතේ පාලනය කෙරෙන වතු දහහතරක, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ආඬාරදෙණිය පෞද්ගලික වතු සමාගම ප්‍රමුඛ අක්කර දහස ඉක්මවූ මහා පරිමාණ වතු කිහිපයක සහ සිරිමල්දෙණිය වත්ත ඇතුළු අක්කර හාරසියය ඉක්මවූ පෞද්ගලික වතු සමූහයකත්, පෞද්ගලික තේ කර්මාන්තශාලා සමූහයක සහ කුඩා ප්‍රමාණයේ වතු විස්සකට අධික සංඛ්‍යාවකත් ඔවුහු සේවයේ නිරතව සිටිති.  මෙයින් 75%ක් පමණ දෙනා දෙමළ වතු කම්කරුවන්ය.

මෙම වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන Community Development service for Plantations Peoples නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2017 වසරේ සිදුකරන ලද දෙමළ ඡන්ද හිමි පුද්ගලයින් පිළිබඳ සංගනනයක තොරතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ වතු ප්‍රදේශවල දෙමළ ඡන්ද ප්‍රමාණය 26,000කි.

කොටපොළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පමණක් දෙමළ ඡන්ද දසදහසකට අධික ප්‍රමාණයක් තිබෙන බවද එම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

එමෙන්ම දෙණියායේ පිහිටි දෙණියාය වත්ත, අනින්කන්ද, පනිල්කන්ද, සෙල්වකන්ද සහ බෙවරලිය යන වතුවලත් පල්ලේගම පිහිටි බෝගොඩ වත්ත, ලුම්බිණිය සහ කොළවෙනිගම සිරිසිලිය ඇතුළු පෞද්ගලික වතු සහ තේ කම්හල් සමූහය ආශ්‍රිතව ජීවත්වන දෙමළ ජනගහනය පිළිබඳව මෙතෙක් විධිමත් ජන සංගනන වාර්තාවක් නැත. අප කළ සොයාබැලීම අනුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි වතු ප්‍රදේශවල දෙමළ ජනගහනය ලක්ෂයකට ඉතා ආසන්න බව සඳහන් කළ හැකිය.

පහතරට දෙමළ වතු කම්කරුවන්ගේ ගැටලු

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ, රබර්, කුරුඳු සහ කටුපොල් වගාවන් ආශ්‍රිතව සහ මාතර දිස්ත්‍රික්කයේ තේ සහ රබර් වගාව ආශ්‍රිතව පහතරට දෙමළ වතු කම්කරු ප්‍රජාව රැකියාවල නිරතව සිටිති. මෙම දිස්ත්‍රික්ක දෙකෙහිම වතු දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු කිසියම් සමාන බවකින් යුක්තය.

දීර්ඝ කාලයක් තිස්සේ වාසයට නුසුදුසු පේළි නිවාසවල දිවි ගෙවන්නට සිදුවීම, භාෂා අයිතිය පිළිබඳ ගැටලු, දරුවන්ගේ සෞඛ්‍යය හා පෝෂණය සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, ආර්ථික දුෂ්කරතා, ප්‍රවේශ මාර්ග අබලන් වීම හේතුවෙන් දෛනිකව මුහුණදෙන දුෂ්කරතා, තමන්ගේ නමට එන ලිපි පදිංචි ස්ථානයට නොලැබීම, ආගමික සහ සංස්කෘතික ප්‍රශ්න ඇතුළු දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම පසුපසට ගමන් කරවන ප්‍රශ්න කන්දකට යට වී දිවි ගෙවන්නට ඔවුන්ට සිදුව ඇත.

වතු සමාගම් හෝ ආණ්ඩුව මේ ජනතාව පෙළන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත. වතු යටිතල පහසුකම් අමාත්‍යංශය අනුගමනය කරන්නේ උඩරටට සහ මැදරටට එක් පිළිවෙතකුත් පහතරට වතු පෙදෙස්වලට තවත් පිළිවෙතකුත්ය. මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නට වෘත්තීය සමිති ක්‍රියා කරන්නේද නැත. පහතරට වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට මුහුණදෙන මේ දුෂ්කරතා සම්බන්ධයෙන් හඬක් නගන්නට මේ ප්‍රජාව අතරේ නායකයින්ද නැත. තම වර්ගයා වෙනුවෙන් හඬ අවදිකරන කම්කරුවන්ට සිදු වන්නේ වත්තේ උදහසට ලක්වන්නටය. එවැනි අත්දැකීම් ලැබූ කම්කරුවෝ සෑම වත්තකම සිටිති. එක්කෝ ඔවුන් රැකියාවෙන් දොට්ට දමා ඇත. නැතිනම් පදිංචි නිවසින් එළියට ඇද දමා ඇත.

තල්ගස්වල වත්තේ තරුණයෙකු වූ ජීවන්ට සහ ඔහුගේ දෙමාපියන්ට මුහුණ දෙන්නට සිදුවූයේ එවැනි තත්ත්වයකටය. වත්තට පැමිණ කම්කරුවන් සූරාකන ගිනි පොලීකාරයෙකුට එරෙහිවූ වරදට ජීවන්ට සහ ඔහුගේ දෙමාපියන්ට වත්තේ රැකියාව අහිමි වීමට අමතරව වත්තේ නිවාස හැරදමා වෙනත් පෙදෙසකට පදිංචිය පිණිස යන්නටද සිදුව ඇත. මෙය, එම ප්‍රජාව අතරින් මතු වන ප්‍රජා නායකයින් අංකුර අවස්ථාවේදීම තළා දැමීමක් මිස අනෙකක් නොවේ.

විසඳුම් සඳහා දේශපාලනමය ප්‍රවේශයක අවශ්‍යතාව

බහුතර සිංහල සමාජයේ නායකයින්ට මේ මිනිසුන් වටින්නේ ඡන්ද කාලයට පමණි. කොපමණ දුක් ගැනවිලි ඉදිරිපත් කළද ඒවාට සවන් දෙන්නට ඔවුන්ට වෙලාවක් නැත. දේශපාලන ප්‍රවේශයකින් තොරව මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිය. තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ  තමන් අතරින් දේශපාලන නායකත්වයක් මතු කර ගැනීමෙන් පමණක් බව ඔවුහු කල්පනා කරති.

වතු ජනාවාස කවර හෝ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට අයත්ය. මුලදී වතු ජනාවාසවලට පහසුකම් සැපයීමේ වගකීම ප්‍රාදේශීය සභාවල විෂයපථයෙන් බැහැර කර තිබූ නමුත් පසුව එය ඇතුළත් කෙරිණි. එසේ වුවද, තවමත් ඒ බැහැර කරන ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව වෙනස් වී නැත. පළාත් සභාවට, පළාතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පොදු පහසුකම් ආදිය පිළිබඳව වගකීම පැවරී ඇතත්, වතු කම්කරු ජනයා සම්බන්ධයෙන් කිසිදු සාධරණයක් ඉටු වී නැති බව ඇස්පනාපිට පෙනෙන සත්‍යයයි.

ඒ අනුව, ඔවුන්ගේ ඡන්දවලට කිසිදු සාධාරණයක් වී නැත. එසේ වුවද මේ ආයතනවලට තමන්ගේම නියොජිතයින් පත්කර යවන්නට තරම් ජන්ද ප්‍රතිශතයක් මේ වතු ආශ්‍රිතව ඇති බව අපගේ නිරීක්ෂණයට ලක්විය. එහෙත් ඔවුන්ට ඒ අවස්ථාව ලැබී ඇත්තේ ඉතා කලාතුරකිනි.

දෙනියායෙන් මන්ත්‍රීවරු තිදෙනෙක්

දෙණියායේ කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි වතුවල දෙමළ ඡන්ද 10,000ක් පමණ ඇති අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එහි කොට්ඨාස දෙකක් ජයග්‍රහණය කරන්නට එම කොට්ඨාසවලට තරග කළ දෙමළ අපේක්ෂකයින් දෙදෙනෙකු සමත්ව ඇත. ඒ කන්දිලිපාන සහ තැනිපිට කොට්ඨාස දෙකෙහිය. තැනිපිට කොට්ඨාසය බහු කොට්ඨාසයක් වන අතර ඊට සමගාමී ලැයිස්තුවෙන්ද නියෝජනයක් ලැබිණි. කනදිලිපාන කොට්ඨාසය එජාපයෙන් තරග කළ ටී. රාජ්කුමාර් විසින්ද, තැනිපිට කොට්ඨාසය ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඇලෙක්සැන්ඩර් සීමන් විසින්ද ජයග්‍රහණය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ සෙසු කොට්ඨාසවලට සාපේක්ෂව තැනිපිට කොට්ඨාසයේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර බැවින් ඒ සඳහා එම කොට්ඨාසයෙන් ඉදිරිපත් වූ කදිරේෂන් කන්නන් පත් කර ඇත.

ඒකරාශී වූ ජනවර්ගයක් ඇති තැනක බාහිර බලපෑම් එල්ලවීමේ ප්‍රවණතාව අඩු බැවින් ඔවුන්ට කොට්ඨාස ක්‍රමය යටතේ මේ ජයග්‍රණය අත්කර ගැනීමට හැකියාව ලැබී ඇත. මීට පෙර සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණවලදී අපේක්ෂකත්වය නොලැබීම හෝ අපේක්ෂකත්වය ලැබුණද බාහිර බලපෑම් එල්ලවීම හේතුවෙන් දෙමළ නියෝජිතයෙකු කොටපොළ සභාව නියෝජනය කරන්නට තිබූ අවස්ථාව වැළකී තිබුණු බව පැහැදිලි විය.

කදිරේෂන් කන්නන්

කොටපොළ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී කදිරේෂන් කන්නන් මෙසේ සිය අදහස් කියා සිටියේය.

 “අපි පුළුවන් තරම් වතු ජනතාවගෙ ප්‍රශ්න සභාවෙ කතා කරනවා. සභාවෙ දෙමළ මන්ත්‍රිවරු තුන් දෙනෙක් ඉන්නවා. ප්‍රශ්නවලට ජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් විසඳුම් ලැබුණත් නැතත් මේ වතුවල දුක්විඳින දෙමළ සිංහල දෙගොල්ලන්ගෙම ප්‍රශ්න සභා වාර්තාවල රෙකෝඩ් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනව. කලින් මැතිවරණවලදි මේ වතුවලින් අපේක්ෂකයින් ඉදිරිපත් වුණත් වත්තේ මිනිස්සුන්ට යම් යම් බාහිර බලපෑම් වලට මුහුණ දෙන්න වෙච්ච නිසා ඒ අවස්ථා මගහැරිල තියෙනවා.”

 

ඇලෙක්සැන්ඩර් සීමන්

ඇලෙක්සැන්ඩර් සීමන් කොටපොළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු සිය මැදිහත්වීම් ගැන සඳහන් කළේ මෙසේය.

“වතු ජනතාවගෙ සමහර ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. පාරවල් වුණත් යම් ප්‍රමාණයකට සංවර්ධනය කරන්න පියවර අරගෙන තියෙනවා. අපි අපේ අයගෙ ප්‍රශ්න සභාවෙ කතා කරනවනෙ. එතකොට නිලධාරීන්ගෙ අවධානය යොමු වෙනවා. ප්‍රශන සාකච්ඡා කරන කමිටුවලට අපිව කැඳවනවා. අපි පුළුවන් තරම් අපේ ප්‍රශ්න ඉදිරිපත් කරනව. මම නියෝජනය කරන තැනිපිට කොට්ඨාසය බහු මන්ත්‍රී කොට්ඨාසයක්. දෙමළ ජන්ද 40%ක් තියෙනවා. දැන්  අලුත් සීමා නිර්ණය යටතේ බහු කොට්ඨාසය ඉවත් කරල. එහෙම වුණොත් අපේ අයට ලොකු අසාධාරණයක් වෙනවා. අපි ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දීල තියෙනවා.”

මේ දෙමළ නියෝජිතයින්ට සභාව තුළ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න බොහෝය. එක පැත්තකින් ඔවුන්ගේ හඬට සභාවේ නිසි අවධානයක් නොමැත. වතු ජනතාවගේ සමහර ගැටලු සභාව භාරගන්නේ ඉතා සැහැල්ලුවෙනි. වඩාත් බරපතළ ගැටලුව වන්නේ භාෂා අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. මේ දෙමළ මන්ත්‍රීවරුන්ට සභාවේ කතා කරන්නට සිදුව ඇත්තේ සිංහලෙනි. ඒවා සභා වාර්තාවල සටහන් වන්නේ සිංහලෙ භාෂාවෙනි. සභා වාර්තා පමණක් නොව අය වැය වාර්තාව පවා ඔවුන්ට ලැබෙන්නේ සිංහල භාෂාවෙන් පමණි. මෙය රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කෙරෙන අවස්ථාවකි.

ගාල්ලේ සභා නියෝජනයට ඇති ඉඩ

ගාල්ල දිස්ත්‍රික්කයේද වතු ආශ්‍රිත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ රැසකම පිහිටි පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයකු හෝ නියෝජිතයින් කිහිප දෙනෙකු පත්වන්නට තරම් ඡන්ද පදනමක් ඇත. එහෙත් ඒ ඡන්ද ඇත්තේ විසිරුණු ඡන්ද ලෙසිනි.

උදාහරණ ලෙස, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2023 වසරේ ජනවාරියේ සිදු කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ජන සංගණන සමීක්ෂණයට අනුව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වතු පහක පදිංචි පවුල් සංඛ්‍යාව 620ක් වන අතර ජන සංඛ්‍යාව 2,295කි.

අප මීට ඉහතද සඳහන් කළ පරිදි අසංවිධිත වතු සේවක තොරතුරු මෙයට ඇතුළත්ව නැත. සංගණනයට ලක්නොවූ ප්‍රමාණය සංගණනයට ලක්වූ ප්‍රමාණයෙන් අඩක් යැයි උපකල්පනය කර, ඉහත ජන සංඛ්‍යාවට එම ප්‍රමාණය එකතු කළහොත් ලැබෙන අගය 3,442කි. එයින් 75%ක් දෙමළ වතු කම්කරුවන් ලෙස සැලකුව හොත් ලැබෙන අගය 2581කි. මේ තුළ ඡන්දය හිමි පිරිස 1500කට වැඩිය.

සාමාන්‍යයෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයෙකු ලෙස පත්වන්නට මෙම ඡන්ද ප්‍රමාණය ප්‍රමාණවත්ය. ඒ අනුව පහසුවෙන්ම බද්දේගම ප්‍රාදේශීය සභාවට දෙමළ නියෝජීතයෙකු පත් කර ගත හැක.

ඉහත සමීක්ෂණයට අනුව නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තූළ පිහිටි වතු හයක පදිංචි පවුල් සංඛ්‍යාව 1,622කි. ජන සංඛ්‍යාව 6,832කි. සංගණනයට ලක් නොවූ වතු කම්කරුවන් සංඛ්‍යාව ඉන් අඩක් ලෙස උපකල්පනය කළහොත් ලැබෙන අගය 10,248කි.  එයින් 75%ක් දෙමළ වතු කම්කරුවන් ලෙස සැලකුව හොත් ලැබෙන අගය 7,686කි. මේ තුළ ඡන්දදායකයින් 5,000ක් පමණ සිටිතැයි අනුමාන කළ හැකිය. නාගොඩ ප්‍රාදේශීය සභාවට නියොජිතයකු පත්වන්නට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 2,000ක් පමණ වන අතර නාගොඩ ප්‍රාදේශීය සභාවට පහසුවෙන්ම දෙමළ නියෝජිත ධුර දෙකක් ලබාගත හැකිය.

මේ අනුව ඇල්පිටිය, වැලිවිටිය දිවිතුර, නියාගම, නෙළුව, තවලම වැනි වතු පෙදෙස් ආශ්‍රිතව පිහිටි ප්‍රාදේශීය සභාවලටද දෙමළ නියෝජිතයෙකු පත්කර යවන්නට තරම් වතු ආශ්‍රිත දෙමළ ඡන්ද පදනම ශක්තිමත් බව අපගේ නිරීක්ෂණයට හසුවිය.

ඡන්ද අපේක්ෂකයින්ගේ අත්දැකීම්

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙමළ අපේක්ෂකයින් පළාත් පාලන සහ පළාත් සහා මැතිවරණවලට තරග කළද ඔවුන් කිසිවෙකුටත් එම ආයතනවලට තේරී පත්වන්නට අවස්ථාව ලැබී නැත.

ටී.රාජේන්ද් රන්

2009 සහ 2014 වසරවල පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කළ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ටී. රාජේන්ද්‍රන් ඒ ගැන මෙසේ කියයි.

“ඡන්ද හාරදහසක් වගේ ප්‍රමාණයක් තමයි ලැබුණෙ. නමුත් දිස්ත්‍රික්කයේ විසුරුණු දෙමළ ඡන්ද විසිදහසකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වතු කම්කරු ඡන්දත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. පළාත් සභාවට විතරක් නොවෙයි පහතරට වතුකරයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් යවන්න පුළුවන් ලේසියෙන්ම. ඒත් එහෙම හිතන්නෙ නැහැ. ඔවුන්ට එහෙම දේශපාලන අවබෝධයක් නැහැ. මිනිස්සු ප්‍රශ්න එක්ක පොරබදමින් ජීවත් වෙනවා. මම තමයි දකුණු පළාත් සභාවට ප්‍රධාන පක්ෂයකින් තරග කරපු පළමුවැනි දෙමළ අපේක්ෂකයා. එතනින් තමයි මිනිස්සු තරමක් ඉස්සරහට ආවෙ. ඒ වගේම ඔවුන්ගේ ඡන්දවලට වෙනත් වටිනාකමක් ලැබුණා. ඒ කාලෙ දෙමළ මිනිහෙකුගෙ මළ ගෙදරකටවත් දේශපාලනඥයො ආවෙ නැහැ. දැන් එහෙම නැහැ. මම තමයි ඒ තත්ත්වය වෙනස් කළේ.”

එම්.සෙල්වරාජ්

2013 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී බද්දේගම ප්‍රාදේශීය සභාවට ලංකා සමසමාජ පක්ෂයෙන් තරඟ කළ ලංකා වතු කම්කරු සමිතියේ දිස්ත්‍රික් නියෝජිත එම්. සෙල්වරාජ් කියන්නේ මෙබඳු කතාවකි.

“හැම පැත්තෙන්ම වතුවල මිනිස්සු දුක් විඳිනවා. ඒ ගොල්ලන්ට තවම දැනෙන්නෙ නැහැ, මේ තත්වයට දේශපාලනය නැත්නම් දේශපාලකයො වගකියන්න ඕන කියල. ජන්ද කාලෙට බොහෝ තැන්වල අපේ අය පොඩි දේවල්වලට රැවටෙනවා.තමන් එක්ක වත්තෙ එකට ජීවත්වෙන කෙනෙක්, තමන් මුහුණදෙන ප්‍රශ්නවලට මුහුණ දෙන තමන්ගෙ කෙනෙක් මේ තැන්වලට යැව්වම, ප්‍රශ්න විසඳගන්න පහසුවක් කියන එක ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නැහැ.

දොරේසාමි ජෙයරාම්

2018 වසරේ කොට්ඨාස ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) සමගාමී ලැයිස්තුවෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ දොරේසාමි ජෙයරාම් කියන්නේ වෙනත් කතාවකි. 

මම පසුගිය ඡන්දෙදි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට තලංගහ කොට්ඨාසයට පොහොට්ටුවෙ ලැයිස්තු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණා. ඒ කොට්ඨසය දිනවන්න මම හැම දෙමළ පවුලකටම කිව්වා. පොහොට්ටුවෙ මෙහේ නායකයො මාව සභාවට ගන්නව කිව්වා. ඒත් එහෙම වුණේ නැහැ. මාව විතරක් නොවෙයි අපිට සභාව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙයි කියල හිතල ඡන්දෙ දීපු අපේ මිනිස්සුත් රැවැට්ටුවා.

 

 

ප්‍රතිශතයට නියෝජනයක් ලබා දීම

සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ සභා බල ප්‍රදේශයේ ඇති ඕනෑම ඡන්දයක් තමන් කැමති අපේක්ෂකයෙකුට ලබා දිය හැකි වන අතර වර්තමාන කොට්ඨාස ක්‍රමය යටතේ එසේ කළ නොහැක. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත දෙමළ ඡන්ද දෙනියායේ මෙන් ඒකරාශීව නොමැති අතර ප්‍රාදේශීය සභා බලප්‍රදේශය පුරා පැතිර ඇති බැවින් ඔවුන්ට තමන්ගේ නියෝජිතයෙකු පළාත් පාලන ආයතනයකට තෝරා පත්කරන්නට කොට්ඨාස ක්‍රමය යටතේ හැකියාවක් නොමැත. එහෙත් ඒ ඒ සභා බල ප්‍රදේශවල දෙමළ ඡන්ද පදනම සැලකිල්ලට ගෙන වතු පෙදෙස්වල පළාත් පාලන ආයතනවලට දෙමළ නියෝජනය ලබාදීම කෙරෙහි වගකිවයුතු පාර්ශවවල අවධානය යොමු විය යුතුය.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, සීමානිර්ණය කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රියට අපි මෙම ගැටලුව ඉදිරිපත් කළෙමු. ඔහුගේ ප්‍රතිචාරය මෙබඳුය:

“මේක වහා අවධානයට ගත යුතු කාරණයක්. ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට අරගෙන ඔවුන්ට පළාත් පාලන ආයතනවල නියෝජන අවස්ථා ලබා දිය යුතුයි. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ඔවුන්ට මේ ආයතනවලට එන්න හැකියාව තිබුණා. නමුත් කොට්ඨාස ක්‍රමයෙදි එයට බාධාවක් ඇති වුණා. මොකද ඔවුන්ගේ ඡන්ද පළාත් පාලන ආයතනය පුරාම විසිරී පැවතීම හේතුවෙන්. අපි මේ ගැන අවධානය යොමු කරල තියෙනවා. මැතිවරණ කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරල තියෙනවා වතු ආශ්‍රිත පළාත් පාලන ආයතනවල දෙමළ ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට අරගෙන ඔවුන්ට සභාවේ නියෝජනය ලබා දෙන්න.”

ස්ත්‍රීන් ගැන විශේෂ අවධානයක් අවශ්‍යයි

කථිකාචාර්ය යත්‍රි පුවනේන්ද්‍රම් පෙන්වා දෙන්නේ, පහතරට වතුකරය තුළින් දේශපාලන නායකත්වයක් මතු කර ගැනීම ඔවුන් පෙළන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම පිණිස වැදගත් වන සාධකයක් බවයි. එහිදී කාන්තා නියෝජනයේ ඇති වැදගත්කමද ඇය අවධාරණය කළාය.

“වතුකරයේ දෙමළ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ හැම කාරණයකදිම ඔවුන් ඉන්නේ පොදු සමාජයට වඩා පිටුපසින්. ඒ වගේම කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න නිමක් නෑ. මේ හැම ගැටලුවක් පිටුපසම තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ආර්ථික දුෂ්කරතාව. තමන්ගේ දෙමාපියන්ට ශක්තිමත් ආර්ථිකයක් හා හැකියාවක් තිබුණ නම්  පහසුකම් සහිත පාසලක හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. නමුත් අපි දන්නව මේ දෙමාපියන්ට එහෙම බැහැ. රජය මගින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. නමුත් එහෙම වෙන බවක් පේන්නෙ නැහැ. කොහොමටත් මේ ගැටලුවලට විසඳුම් සොයන්න වෙන්නෙ නිවැරදි රාජ්‍ය යාන්ත්‍රණයකින්. වළේ ඉන්න කෙනාගෙ දුක දන්නෙ වළේ ඉන්න කෙනෙක්මයි. ඒ නිසා මේ අයගෙන් යම් සූදානමක් තියෙන පිරිස්වලට පරිපාලන තීන්දු තීරණ ගන්නා ආයතනවලට පිවිසෙන්න අවශ්‍ය වටපිටාව සකස් විය යුතුයි. එතනදී කාන්තාවන් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු විය යුතුයි.”

madhusha

ඉතා දුෂ්කර පරිශ්‍රමයකින් අධ්‍යාපන කඩඉම ජයගෙන, ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින දෙණියායේ කේ. මධූෂා, පහතරට වතුකරයේ තරුණ පරපුරේ ගැටලු මෙන්ම කාන්තාවන් විශේෂයෙන් මුහුණපාන ගැටලුද තවදුරටත් අවධාරණය කළාය.

“වතු ප්‍රදේශවල කාන්තාවන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න කතා කරන්න කවුරුත් නෑ. මම හිතනව හැම පැත්තකින්ම දුක්විඳින කාන්තාවො ඉන්නෙ වතුකරයෙ. ළමා අවදියේ ඉඳන්ම ඔවුන්ට විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳින්න වෙලා තියෙනවා. දුක් බාධක මැද උසස් අධ්‍යාපනය අවසන් කරපු අපේ වයසේ අයට රැකියා අවස්ථා නැහැ. විද්‍යාපීඨ කැඳවීම් ප්‍රමාද කරනවා. වයස ගෙවිල යනවා. සෞඛ්‍ය ප්‍රශ්න වගේම ඔවුන් විශාල සමාජ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආශ්‍රිතවත් බරපතළ ප්‍රශ්න තියෙනවා. පේළි නිවාසවල ජීවත්වෙන තරුණ වයසේ අයට මුහුණ දෙන්න වෙන පීඩාවන් මෙහෙම කතා කරන්න බෑ. වතුවල දුක්විඳින අපේ අම්මලාගේ අත්තම සූරාකනවා. මේව සම්බන්ධයෙන් යම් හඬක් නගන්න වතුකරයේ කාන්තාවන්ට ඉඩක් නෑ. ඡන්දය ඉල්ලන්න ලැයිස්තුවට නම දැම්මත් පත්කරනකොට මේ අයට අවස්ථාව  දෙන්නෙ නෑ. පසුගිය මැතිවරණයේදිත් ඒක වුණා. සභාවට කාන්තා නියෝජනය අනිවාර්ය වුණත් වතුකරයේ කාන්තාවන් නියෝජනය කරන්න අවස්ථාව දෙන්නෙ නෑ. මේ ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර ලැබෙන්න ඕන.”

පහතරට වතුකරය පෙළෙන අටෝරාසියක් ගැටලු අතර, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුව බරපතළය. කේ. මධූෂා වැනි බුද්ධි අංකුර ප්‍රාථමික අධ්‍යාපනයේදීම වියළී යන බිහිසුණු තත්ත්වයක් වත්මන් ආර්ථික අර්බුදයත් සමග ඉස්මතු වී තිබේ. ඒ පිළිබඳව සිත් සසල කරවන තොරතුරු මේ අධ්‍යයනයේදී රැස් කර ගැනීමට හැකි වූ අතර ඒ පිළිබඳ වෙනම ලිපියකින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු.

Saman C. Liyanage 2

‍| සමන් සී. ලියනගේ

(උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිවුස් - the leader)