උද්ධමනය පහළ යයි: එතකොට මිල ගණන්?

උද්ධමනය පහළ යයි: එතකොට මිල ගණන්?

2023 අගෝස්තු මාසයේ උද්ධමනය, ගිය වසරේ ඒ මාසයට සාපේක්ෂව, සියයට 4 ක් බව ප්‍රකාශයට පත්විය. 2022 වසර තුළ, ලෝකයේ උද්ධමනය අධිකතම රටවල් 10 අතර ලංකාව සිටියේය. ලෝකය පුරා රටවල අධිකතර උද්ධමනය පිළිබඳ දත්ත සහ සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කරන, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් එච්. හැන්කේ, ඒ වසර පුරාම, අධි-උද්ධමනයට අදාළව ලංකාව නිදර්ශන කොට දැක්වීය. ලංකාව උද්ධමනය මනින්නේ “කොළඹ පාරිභෝගික මිල දර්ශකය” පදනම් කරගෙනයි. ඊට අනුව, පසුගිය මාස දෙකක කාලය තුළ අපේ උද්ධමන වේගය, තනි ඉලක්කමේ අගයකට පහළ බැස තිබේ. වඩාත් වැදගත් කාරණය වන්නේ, ඒ කාලය තුළ ආහාර මිල ගණන්වල මිල පහළ බැස තිබීමයි.

උද්ධමනය යම් පාලනයකට නතු කරගෙන තිබෙන බවක් එයින් පෙනේ. එසේම, මහබැංකුව අපේක්ෂා කරන සීමාවක එය රඳවාගැනීමට හැකි වී තිබෙන බවකුත් පෙනේ. ඇත්ත, උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ බැස තිබේ. එහෙත් මිල ගණන් තිබෙන්නේ ඉහළ මට්ටමක ය. බොහෝ දෙනා මේ ප්‍රශ්නය අසති. උද්ධමනය පවතින්නේ තනි ඉලක්කම් අගයක නම්, බඩුවල මිල ගණන් මෙතරම් ඉහළින් තිබෙන්නේ ඇයි?

උද්ධමනයෙන් මැනෙන්නේ, ආර්ථිකය තුළ පවතින සාමාන්‍ය මිල ගණන්වල ක්‍රියාකාරීත්වයයි. සරලව කිව්වොත්, යම් කාලයක් තුළ භාණ්ඩ සහ සේවා සඳහා අය කෙරෙන සාමාන්‍ය මිල මට්ටම්වල වර්ධනය, උද්ධමනය යනුවෙන් හැඳින්වෙයි. 2022 සැප්තැම්බර් මාසයේ අපේ උද්ධමන වේගය සියයට 69.8 ක් විය. එහි අදහස වන්නේ, ඊට කලින් වසරේ ඒ මාසයට සාපෙක්ෂව, සාමාන්‍ය මිල මට්ටම සියයට 69.8 කින් වැඩි වී තිබුණු බවයි.

2022 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 64.3 කි. එහි අදහස වන්නේ, 2021 අගෝස්තුවේ මිල මට්ටම 100 ක් විණි නම්, 2022 අගෝස්තුවේදී එය 164.3 ක් වී ඇති බවයි. දැන්, 2023 අගෝස්තුවේදී උද්ධමනය සියයට 4 කින් වැඩි වී ඇතැයි යන්නෙහි තේරුම, 164.3 ට සාපේක්ෂව තව සියයට 4 කින් මිල මට්ටම් වැඩි වී ඇති බවයි. ඉතිං, උද්ධමනය අඩු වී ඇතැයි කියන්නේ, මිල අඩු වී ඇතැයි කීම නොව, මිල වැඩි වීමේ වේගය අඩු වී ඇතැයි කීමයි. ගිය වසරට වඩා මේ වසරේ මිල වැඩි වීමේ වේගය අඩු වී ඇතැයි කීමයි. එකිනෙක භාණ්ඩයේ සහ සේවාවේ මිල ඇත්තෙන්ම වැඩි වී තිබේ. එහෙත් ඒ, අඩු වේගයකිනි.

ලංකාවේ උද්ධමන පාලනයේ ඉතිහාසය එතරම් විශ්වසනීය නොවේ. අපේ ආර්ථිකය නිතර උද්ධමන තත්වයන්ට මුහුණදෙයි. බොහෝවිට එසේ සිදුවන්නේ, ආණ්ඩුවේ ආදායම් හිඟය, මූල්‍යකරණය මාර්ගයෙන් විසඳාගැනීමට යාමෙනි.

2022 උද්ධමනය

2022 ඇති වූ ඉවක්බවක් නැති උද්ධමනය පාලනය කිරීමට ලෝකය පුරා තිබෙන මහබැංකු විවිධ උත්සාහයන් ගෙන ඇත. එම වසරේ, ලෝකයේ විවිධ තැන්වල, මේ උද්ධමනය පාලනය කරගත නොහැකි තත්වයන්ටත් පත්ව තිබේ. මුලින්ම අධිකතර උද්ධමනය ඇති වුණේ, කෝවිඩ් වසංගතය නිසා ඇති වූ සැපයුමේ හිඟතාවයන් නිසා ය. බොහෝ රටවල ආර්ථිකයන් ඉන්පසු නැවත ක්‍රමයෙන් විවෘත වීමත් සමග, ලෝක ආර්ථිකය තුළ ඉල්ලුම වැඩි වෙතැයි යන අපේක්ෂාවත් සමග, ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙනදාට වඩා ලැබීමත් සමග, ලෝකයේ බොහෝ රටවල උද්ධමනය උග්‍ර විය. ලෝකයේ විවිධ තැන්වල මහබැංකු මේ ප්‍රශ්නය පාලනය කරගැනීමට මැදිහත් වුණේ ඒ තත්වයන් යටතේ ය. එහි එක පියවරක් වශයෙන්, ඇමරිකාවේ මහබැංකුව සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාතය ඉහළ දැම්මේය. ඒ සමගම, ‘ෆෙඩරල් අරමුදලත්’, යුරෝපා මහබැංකුවත්, එංගලන්ත මහබැංකුවත්, පෙර නොවූ විරූ තරමට සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ දැම්මේය.

අධි-උද්ධමනයට අදාළ සිදුවීම්

ලෝක ඉතිහාසයේ අධි-උද්ධමනය ඇති වූ අවස්ථා රාශියක් තිබේ. 1921 සිට 1923 දක්වා කාලයේ ජර්මනිය මේ තත්වයට මුහුණදුනි. එය එරටට පමණක් නොව, යුරෝපයට සහ මුළු ලෝකයටමත් බලපෑවේය. ජර්මනියේ ඇති වූ අධි-උද්ධමනය තරමක් සංකීර්ණයි. ඊට පිටුදුන් හේතු තුනක් දැක්විය හැකිය. ඒවා නම්, අධිකතර මුදල් අච්චු ගැසීම, වයිමර් (ජර්මානු) ආණ්ඩුව ලබාගෙන තිබුණු ණය ආපසු ගෙවීමට නොහැකි වීම සහ පළමු ලෝක යුද්ධය වෙනුවෙන් යුරෝපයේ වෙනත් රටවලට වන්ද් ගෙවීමට සිදුව තිබීම ආදියයි. මේ සියල්ල සිදු වුණේ දේශීය සහ ජාත්‍යන්තර ප්‍රශ්න ගණනාවකට මැදිවයි. කෙසේ වෙතත්, අධි-උද්ධමනය නිසා ජර්මනියේ මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර මුදල් ඒකකයේ වටිනාකම අසාමාන්‍ය ලෙස පහළ වැටුණේය. මේ අවාසනාවන්ත තත්වය නිසා ජර්මනියේ මහබැංකුව බොහෝ සෙයින් කොන්සර්වෙටිව් බැංකුවක් ය යන අවමානයට පත්විය.

එංගලන්ත මහබැංකුවේ හිටපු අධිපති ශ්‍රීමත් මර්වින් කිං, උද්ධමනය පාලනය කරගැනීමේ ඇති වැදගත්කම මෙසේ විස්තර කෙළේය: “උද්ධමනය ඉහළ යාම හැම අංශයකටම පැතිරුණු පසු, එය ආපසු හැරවීම ඉතා දුෂ්කර විය හැකිය. ඉතා වියදම්කාරී විය හැකිය. එක්සත් රාජධානියේ අතීත ආර්ථික අවපාත තත්වයන් ඇති වී තිබෙන්නේ, ලෝක ආර්ථිකයේ පසුබෑම් නිසා නොව, එක්සත් රාජධානියේ පැවති උද්ධමන තත්වයන්ගෙන් නිදහස් වීමට ගත් ප්‍රයත්නයන් නිසා ය. ආර්ථික ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීමට ඇති හොඳම මාර්ගය වන්නේ උද්ධමනයෙන් වැළකී සිටීමයි.”

මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම්

බොහෝ මහබැංකු සිය ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් භාවිත කරන්නේ පොලී අනුපාතයන් ය. එනම්, පොලී අනුපාතය ඉහළ දැමීම මගින්, රටේ ආර්ථිකය තුළ ගැවසෙන මුදල් සැපයුම පාලනය කිරීමෙනි. සමස්ත ඉල්ලුම ඒ මගින් අවම කෙරේ. බොහෝ මහබැංකු මේ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතයක් අනුගමනය කරයි. මේ කෙටිකාලීන (බොහෝ විට එක රැයකින් පනවන) පොලී අනුපාත, මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් වශයෙන් පාවිච්චියට ගැනේ. මුළු රටේම පොලී අනුපාතයන්හි මට්ටම සහ තමන්ගේ අවශ්‍යතා පරිදි ඒවා ගමන් කරවිය යුතු දිසාව පාලනය කෙරෙන්නේ ඒ මගිනි.

ඇමරිකාවේ මහබැංකුව ‘ෆෙඩරල් අරමුදල් අනුපාතිකය’ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සඳහා යොදා ගනී. ශ්‍රී ලංකාව අනුපාතික දෙකක් ඒ සඳහා යොදා ගනී. එකක්, ‘ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකයයි’. අනෙක, ‘ස්ථාවර ණය දෙන පහසුකම් අනුපාතිකයයි.’ ලංකාවේ මහබැංකුව, ආර්ථිකය තුළ ගැවසෙන මුදල් ප්‍රමාණය සීමා කිරීම මගින් උද්ධමනය පාලනය කිරීම සඳහා යොදාගන්නා මෙවලම් දෙක වන්නේ මේවා ය.

උද්ධමනයට තුඩුදෙන ප්‍රධාන හේතු තුනක් හඳුනාගැනේ. එකක් වන්නේ, වියදම පැත්තෙන් ඇති කෙරෙන තෙරපුමයි. එනම්, යම් භාණ්ඩයක් නිපදවීම සඳහා යන වියදම එහි මිල කෙරෙහි බලපාන බව ය. එය ‘වියදම් තෙරපුම’ නම් වෙයි. අනෙක වන්නේ, ‘ඉල්ලුම් තෙරපුමයි.’ එනම්, බඩුවල මිල ඉහළ යතැයි සිතා ඊට කලින් වැඩියෙන් බඩු ඉල්ලුම් කිරීම නිසා ඇති වන මිලේ ඉහළ යාමයි. මේ කියන ඉල්ලුම පැත්තෙන් එන තෙරපුම, පොලී අනුපාත ඉහළ දැමීම හරහා පාලනය කරගැනීමට මහබැංකුවට පිළිවන. එහෙත් සැපයුම පැත්තෙන් උද්ධමනය කෙරෙහි ඇති කරන තෙරපුම මහබැංකුවකට පාලනය කළ නොහැක. මන්ද යත්, එය උත්පාදනය වන්නේ, ආර්ථිකයේ වෙනත් හේතු කාරණා රාශියක් මිශ්‍ර වීමෙන් බැවිනි. ඒවා, ව්‍යුහාත්මක සැපයුම් ප්‍රශ්න වශයෙන් හැඳින්වෙයි. සැපයුම් අංශයේ ඒ ව්‍යුහාත්මක ප්‍රශ්න නිරාකරණය වන විට, ඒ පැත්තෙන් උද්ධමනයට කෙරෙන බලපෑම හීන වීමෙන් උද්ධමනය අඩු වෙයි.

පොලී අනුපාත චක්‍රය

යම් මොහොතක පවතින උද්ධමනය පමණට වඩා වැඩි යැයි මහබැංකුවකට හැඟී යන විට, මහබැංකුව කරන්නේ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමයි. මේ විදිහට එක දිගටම මහබැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීම කරගෙන ගියොත් එය සැලකෙන්නේ, හිර කෙරෙන ආර්ථික චක්‍රයක් වශයෙනි. අනිත් පැත්තෙන්, මහබැංකුව සිය පොලී අනුපාත පහළ දැම්මොත් එය සැලකෙන්නේ මෘදු චක්‍රයක් හෝ ප්‍රසාරණීය මූල්‍ය ප්‍රතිපත්තියක් වශයෙනි.

පොලී අනුපාතය ඉහළ දැමීමේ පරමාර්ථය වන්නේ, රටේ පවතින සාමාන්‍ය ඉල්ලුම පහළ දැමීමයි. එහෙත් මෙසේ පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනිත් පැත්තෙන් හැම විටකම සිදු වන තවත් දෙයක් තිබේ. එනම්, රටේ ආර්ථිකය හැකිළීමයි. කොපමණ ප්‍රමාණයකින් හැකිළේද යන්න, ඒ මොහොතේ ආර්ථිකය පවතින තත්වය සහ පොලී අනුපාත ඉහළ යන වේගය මත තීන්දු වෙයි.

උද්ධමනයක් නිසා ඇති වන පාඩුව

එක විටම සහ ඇසට පෙනෙන මට්ටමින් ඇති වන වෙනස වන්නේ, මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව හීන වීමයි. සාමාන්‍ය මිල මට්ටම් වැඩි වන තරමට මුදල් ඒකකයේ වටිනාකම පහළ වැටෙයි. තවත් විදිහකින් කිවහොත්, යම් මුදල් ප්‍රමාණයකින් මීට කලින් මිල දී ගත් භාණ්ඩ සහ සේවා ප්‍රමාණය තවදුරටත් ඒ මුදල් ප්‍රමාණයෙන් මිල දී ගත නොහැකි වන බවයි. එහි ප්‍රතිඵලය වන්නේ, පුද්ගලයන්ගේ සහ ගෘහයන්ගේ ජීවන තත්වය පහළ වැටීමයි. විශේෂයෙන්, ස්ථාවර ආදායමක් ලබන පිරිස්වලට මේ තත්වය බලපායි.

එක දිගට පවතින උද්ධමනය නිසා, ආර්ථිකයේ අස්ථාවරත්වය පිළිබඳ හැඟීමක් සමාජයේ ජනිත කළ හැකිය. ව්‍යාපාරිකයන්ට හෙට දවසේ මිල ගණන් ගැන හිතාගැනීමේ හැකියාවක් නැති වෙතොත් එක්කෝ ඔවුන් සිය ආයෝජන තීරණ ගැනීම කල්දැමිය හැකිය. නැත්නම්, තම නිෂ්පාදනයන්හි මිල ගණන් ඉහළ දැමිය හැකිය. ඒ මගින් සිද්ධ වන්නේ ආර්ථික වර්ධනය ඇණහිටීමයි. එසේම, උද්ධමනය නිසා ආර්ථිකයේ මිල ගණන්වල විකෘති භාවයක් ඇති විය හැකිය. ඉල්ලුම සහ සැපයුම විසින් මිල තීරණය කෙරෙනවා වෙනුවට, උද්ධමනය උඩ මිල තීරණය වීමට පටන්ගත් විට සිදුවන්නේ, ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් තමන්ගේ මුදල් සහ සම්පත් වෙන් කළ යුතු ආකාරය සහ යෙදවිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් තීරණ ගැනීමේ හැකියාව දුර්වල කිරීමයි. එය, වැරදි ආකාරයෙන් සම්පත් භාවිතයටත්, ආර්ථිකයේ අකාර්යක්ෂමතාවටත් තුඩුදිය හැකිය.

නිගමනය

එක දිගට පවතින ඉහළ උද්ධමනය, ආර්ථිකයට හානිකර ය. උද්ධමනය පාලනය කිරීම මහබැංකුවක ප්‍රධාන රාජකාරියකි. මුදල් සැපයුම පාලනය කිරීම සඳහාත්, ඒ මගින් ආර්ථිකය තුළ පවතින ඉල්ලුම් මට්ටම අඩු කිරීම සඳහාත්, ‘කෙටි කාලීන ප්‍රතිපත්ති පොලී අනුපාතය’ නමැති මෙවලම මහබැංකු සිය භාවිතයට ගනු ලැබේ. 2022 වසර තිස්සේම බොහෝ රටවල උද්ධමනය පාලනය කරගත නොහැකි මට්ටමක පැවතුණි. එවිට ඒ රටවල මහබැංකු කෙළේ පොලී අනුපාත ඉහළ දැමීමයි. ශ්‍රී ලංකාව මුහුණදුන්නේ වෙනස් ආකාරයක ප්‍රශ්නවලටයි. එහෙත් 2022 දී ඇති වූ උද්ධමනය මැඩලීම සඳහා ඉතිහාසගත ඉහළ මට්ටමකට පොලී අනුපාතයන් ගෙන ඒමට අපේ මහබැංකුවටත් සිදු වුණි.

එහෙත් මේ වන විට, භාණ්ඩ සහ සේවාවන්හි මිළ ගණන් ඉහළ වෙතත්, උද්ධමනය පහළ ගොස් ඇත. උද්ධමනය පහළ ගොස් ඇත්නම් මිළ ගණන් පහළ ගොස් නැත්තේ මන්දැයි ජනතාව විපිළිසර වෙති. උද්ධමනය මැනීමෙන් කරන්නේ, මිළ ගණන් ඉහළ පහළ යන මට්ටම මැනීමයි. එය, මිළ ගණන් මැනීමක් නොකරයි. උද්ධමනය අඩු වෙමින් ඇතැයි කීමෙන් අදහස් වන්නේ, මිල මට්ටම් ඉහළ ගියත් ඒ ඉහළ යාමේ වේගය අඩු වෙමින් ඇති බවයි.

| ලසන්ත සෝමරත්න

(2023 සැප්තැම්බර් 26 වැනිදා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පත)