මොණරාගල වතුකරයේ උප්පැන්නයේ සිටම වැරදුණු ජීවිත

මොණරාගල වතුකරයේ උප්පැන්නයේ සිටම වැරදුණු ජීවිත
  • ඉස්කෝලේ ගුරුවරු පණිවුඩ එව්වට දරුවෝ ඉස්කෝලේ යවන්න ක්‍රමයක් නෑ…
  • වත්තෙන් පිට රැකියා නෑ…
  • ණය බර ඇරෙන්න ජීවිතේට ලැබුණු දෙයකුත් නෑ…

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සමාජයේ බොහෝ ස්ථර කෙරෙහි බලපෑම් එල්ල කර ඇතත්, ඒ හමුවේ වඩාත් පීඩනයට පත්ව ඇත්තේ, විවිධ හේතු මත ආන්තීකරණයට ලක්ව සිටින ප්‍රජාවන්ය. කඳුරට වතු කම්කරු ප්‍රජාව, ඒ පිළිබඳව සිහියට නැගෙන එක් ප්‍රබල නිදර්ශනයකි. එසේ වුවද, එම ප්‍රජාවගෙන්ම බිඳී ගොස් පහතරට කුඩා පරිමාණ වතු ආශ්‍රිතව විසිර සිටින කම්කරු ප්‍රජාව ගැන කිසිවකුගේ අවධානයට ලක් වන්නේ නැත. ඔව්, ඒ නිසාම ඔවුන්ගේ කතාව වඩාත් බරපතළය! සමහරවිට මෙය, ඒ ගැන ජනමාධ්‍යයක පුළුල් අවධානයක් යොමු වන පළමු අවස්ථාව විය හැකිය.

විසිහය හැවිරිදි වේලු අම්බිගා අපට හමු වන්නේ, මීට කලකට පෙර අතහැර දැමුණු වතුයායක් වූ මොණරාගල අලියාවත්ත ගම්මානයේදීය. සිවුදරු මවක වන ඇය කෙරෙන් පළ වන්නේ, වයසට වඩා වියපත් පෙනුමකි. බැලූ බැල්මට ඇස ගැටෙන්නේ දරිද්‍රතාව ඇයට කර ඇති කුරිරු බලපෑමෙහි සලකුණුය. වතුයාය වසා දැමීමෙන් පසු, රැකියාවක් සොයා කොළඹට ගිය තම සැමියා, මත්කුඩුවලට ඇබ්බැහි වී නැවත නිවස වෙත නොපැමිණීම නිසා ඇය තම දරුවන් සිවුදෙනා රැකගැනීමට දරන්නේ අපමණ වෙහෙසකි.

“මං දරුවො හතරදෙනා ජීවත්කරවන්නේ, මොණරාගල නගරයේ සිල්ලර කඩයක වැඩ කරලා. නිවාඩු ගන්නේ නැතිව මාසෙම වැඩ කළොත් රුපියල් 20,000ක් වගේ මුදලක් හොයාගන්න පුළුවන්, ඒ මුදලෙනුත් බාගයක් විතර මගට වියදම් වෙනවා. ඉතිරි වෙන මුදලින් තමයි පුළුවන් විදිහට ජීවිතේ ගැටගහගන්නේ” ඇය ලොකු සුසුමක් හෙළා අප සමග පැවසුවාය.

“ඉස්කෝලේ ලොකු නෝනා එක එක්කෙනා අතේ පණිවිඩ පිට පණිවිඩ එවනවා ලොකු දරුවෝ දෙන්නා ඉස්කෝලේ එවන්න කියලා. කොහොමද මහත්තයා මම මේ ගන්න පඩියෙන් දරුවන්ගේ පොත්පත් අරන් දෙන්නේ? දෙන්නගේ ඒ පොත්වලට විතරක්, මම මාසයක් තිස්සෙ දුක් විඳලා හම්බකරන මුදලත් මදි. උන් දෙන්නා දැන් මාස තුනක් විතර ගෙදර. උන්ට පොත්ටික අරන් දෙන්න පුළුවන් වෙච්ච දවසට ඉස්කෝලෙට යවනවා. මොනව කරන්නත්, ඉස්සරවෙලා මගෙයි දරුවො ටිකෙයි පණකෙන්ද ගැටගහගන්න එපැයි. කන්න ටික අරගන්නවත් මේ හොයන මුදල මදි.” ඒ බිඳුණු කටහඬෙහි, වේදනාව හැරුණු විට කෝපය ද ඇති බවක් අපට හැඟිණි.

උසස්පෙළට ගියේ තුන්දෙනයි

“ගමේ ඉස්කෝලේ පංති තියෙන්නේ දහයේ පංතියට විතරයි. එතනින් එහාට ඉගෙන ගන්නව නම් මොණරාගල ටවුන් ඒකේ දෙමළ මාධ්‍ය ඉස්කෝලෙකට යන්න ඕන. ඒක කරන්න පුළුවන් යමක් කමක් තියෙන අයට විතරයි. පහුගිය අවුරුද්දේ, දහයේ පංතියෙන් අපේ ඉස්කෝලෙන් පිටව ගිය දරුවන් දොළොස් දෙනාගෙන්, වැඩිදුර ඉගෙනගන්න ටවුන් ඒකේ ඉස්කෝලෙට ගිහින් තිබුණේ දරුවන් තුන්දෙනෙක් විතරයි. ඉතිරි දරුවන් මේ වෙනකොට කුලී වැඩට යනවා. මිනිසුන්ට කන්න බොන්නවත් නැතිව ඉන්නකොට දරුවෝ ඉස්කෝලේ යවනවා කියන එක අභියෝගයක්. මොණරාගල හැම වත්තකම තත්ත්වය මේකයි. කොවිඩ් සහ මේ ආර්ථික අර්බුදය නිසා වතු ජනතාවගේ ජීවිත නැත්තටම නැති වුණා.”

මොණරාගල අලියාවත්ත විද්‍යාලයේ ගුරුවරියක වන කේ. කනගේෂ්වරී මහත්මිය පවසන්නීය. ඇය මෙම විද්‍යාලයේ විදුහල්පති පී. එස්. සිවකුමාර් මහතාගේ බිරිඳයි.

ඉංග්‍රීසි ජාතිකයන් මෙරට වතු වගාව ආරම්භ කර වසර 200කට ආසන්නය. මේ වන විට දිස්ත්‍රික්ක අනුව සැලකීමේදී වතු ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු වැඩි ජන ව්‍යාප්තියක් ඇත්තේ, නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවලය. වතු කම්කරු ජනතාවගෙන් සියයට 88.4ක් දකුණු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා වන අතර, සියයට 10.7ක් සිංහල ජනයාද සියයට 0.8ක් මුස්ලිම් ජනයාද වේ. සියයට එකක් පමණ වෙනත් ජනවර්ගවලට අයත්ය.

වත්තත් නැහැ, ගමත් නැහැ!

“මොණරාගල දිස්ත්‍රික්කයේ වතු වගාව ආරම්භ වුණේ 1875දි අලියාවත්තෙන්. ඉන් පස්සෙ 1908දී මොණර කැලේ වත්තත්, ඉන් පස්සේ අනෙක් වතුත් ආරම්භ වුණා. දැන් ඒ මුලින් ආරම්භ කළ වතු දෙකම වැහිලයි තියෙන්නේ. අනෙක් බොහොමයක් වතුත් වැහෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ තත්ත්වය රටේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක වැඩි වුණා. මේ වෙනකොට වතුවල වැඩ කරලා ජීවිතේ

ගැටගහගත්ත අය වගේම, ඒ අයගේ දරුවනුත් පාරට වැටිලයි ඉන්නේ, වතුවල වැඩ අහිමි වැඩිහිටියෝ නගරයට ගිහින් කාගෙන් හෝ කුලියක් මලියක් හොයා ගන්නවා. තරුණයෝ කුලියට ත්‍රීවීල් එකක් අරන් හයර් යනවා, නැතිනම් කොළඹ වැඩ පොළවල්වලට අත් උදව්කරුවෝ විදිහට යනවා. මේ තමයි වතුවල තරුණයන්ගේ ඉරණම, අපේ මිනිස්සු වත්තටත් නැති ගමටත් නැති පිරිසක්. ගමේ මිනිසුන්ට ලැබෙන කිසිම වරප්‍රසාදයක් අපි වත්තේ කියලා ලැබෙන්නේ නැහැ. නමුත් ඇති වත්තකුත් නැහැ.” මොණරාගල අලියාවත්ත වතුයායේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන පන්ඩිරාම් සෝබුරාසන් මහතා (80) පෙන්වා දෙයි.

පවුල් හාරදහසක් අවදානමේ

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති වතු ප්‍රමාණය 12කි. එම වතු ව්‍යාප්තව ඇත්තේ මොණරාගල, බඩල්කුඹුර, බිබිල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතවය. වතු තොරතුරුවලට අනුව මෙම වතු ආශ්‍රිතව පවුල් 4,160ක් ජීවත්වන අතර, ඉන් මෙම වතුවල සේවය කරන ප්‍රමාණය 2,200 කට ආසන්නය. මොණරාගල දිස්ත්‍රික්කයේ වතු ජනගහනයෙන් වතු ආශ්‍රිතව සේවය කරනුයේ සියයට තිහකට අඩු ප්‍රමාණයකි. ඉතිරි සියලු දෙනාට තම ජීවිතය පවත්වාගෙන යෑමට වත්තෙන් පිට රැකියාවක් සොයා ගැනීමට සිදුව තිබේ. දැනට දිස්ත්‍රික්කයේ ඇති වතුවලින් බොහොමයකත්, වත්ත තුළ මෙන්ම ඉන් පිටත රැකියාවක් කර ජීවත්වන බොහෝ දෙනකුගෙත් ජීවන තත්ත්වය ඉතා දුක්ඛිතය.

මොණරාගල කුඹුකන පාරාවිල වතුයායේ ජීවත්වෙන ජෙයපාලන් අයිනිෂ් (52) වතු කම්කරු සේවයට එක්ව ඇත්තේ මීට වසර 17කට පෙරය. ඇය පස්දරු මවකි. සැමියා කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලැබීම හේතුවෙන්, පවුලේ සියලු බර දරන්නට සිදුව ඇත්තේ, ඇයටය. මුළු මාසයක් වත්තේ සේවය කළද, මසකට ඇයට රුපියල් විසිදහසක වැටුපක් ලබා ගැනීම අසීරුය. ඇය පවසන්නේ එම අතට එන මුදල, තම සැමියාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කර, තම පවුලේ ආහාර වියදම පිරිමහ ගන්නවත් ප්‍රමාණවත් නැති බවයි.

“මාසයක් තිස්සෙ මේ රබර් ගහක් ගහක් ගානේ දුවලා, දුක් වින්දත් ජීවත්වෙන්න සෑහෙන මුදලක් ලැබෙන්නෙ නැහැ. මේ ප්‍රශ්න නිසාම මගේ දරුවෝ දෙන්නෙක් ඉගෙනීම නවත්වලා දැන් කුලී වැඩට කරනවා. ඒත් එයාලටත් කුලියක් මලියක් ලැබෙන්නෙ කලාතුරකින්. කොහොම හරි උන් දෙන්නා හොයන ගාණකින් අනිත් දරුවෝ ඉස්කෝලෙට යවලා උගන්වනවා. ඒත් තවම මට ඒ දරුවන්ගේ ඉස්කෝලේ පොත් ටික හොයලා දෙන්න බැරි වුණා. ඉස්කෝලෙන් පණිවිඩ එවනවා, දරුවන්ගේ පොත් ටික අරන් දෙන්න කියලා. ඒත් ඒ වැඩේට මම මාසයක් වැඩ කරලා හොයන මුදලත් මදි. මේ තියෙන තත්ත්වය එක්ක, ඉතිරි දරුවෝ ටිකත් පාසල් නොයවා ගෙදර නවත්වගන්නයි වෙලා තියෙන්නේ.” ඇය වේදනාබරව පවසන්නීය.

උප්පැන්නයේ සිටම නොසැලකිල්ල!

ඔවුන් පෙළෙන්නේ ආර්ථික පීඩනයයෙන් පමණක් නොවේ. උපතේ සිට මරණය තෙක්ම අනේකවිධ අසාධාරණයන්ට, කොන්කිරීම් හා නොතකාහැරීම්වලට ලක් වෙති. ඒවා නිවැරදි කරගන්නා හැටියක් ඔවුන් දන්නේ නැත. මේ කතාව අපට අසන්නට ලැබුණු එක් හද සසල කරන නිදර්ශනයකි.

ජේපාලන් අයිනිෂ් ගේ උප්පැන්නයේත්, ජාතික හැඳුනුම්පතේත්, විවාහ සහතිකයේත්, ජන්ද නාමලේඛනයේ මෙන්ම ඇය සේවය කරන කුමාරවත්ත වතුයායේ වැටුප් ලේඛනයේත් ඇයගේ නම ලෙස සඳහන්ව ඇත්තේ ‘ජේ. අයිෂේ‘ ලෙසය. තමන්ගේ නම, උප්පැන්න සහතිකයේ සිටම රජයේ සේවකයන් වරද්දා ලිවීම සම්බන්ධයෙන් ඇය ඉන්නේ දැඩි කනස්සල්ලෙනි.

“මගේ නම ජේ. අයිෂේ කියලා කථාකරන කොට මම ගොඩක් අපහසුවට පත්වෙනවා. මගේ නම උප්පැන්නෙත් ඒ විදියට ලියලා තියෙන නිසා, හැඳුනුම්පත හදන කොටත්, ඡන්ද නාම ලේඛනයෙත්, අනෙකුත් ලේඛනවලත්, දාල තියෙන්නේ ඒ නම. ඒක වෙනස් කරන්න මට තේරුමකුත් නැහැ. ඒක වෙනස් කරලා හදලා දෙන්න කවුරුවත් නිලධාරි මැදිහත් වෙන්නෙත් නැහැ. මට ඒව නිවැරදි කරගන්න දුවන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. දවසක් වැඩ ඇරෙනවා කියන්නේ, අපිට දවස් දෙකක් බඩගින්නේ ඉන්න වෙනවා කියන ඒකයි. ඇය කනස්සල්ලෙන් යුතුව පවසන්නීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති වතු අතරින් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ ඇති, කුමාරවත්ත වතුයායට අයත්, කුඹුකන, පරාවිල වත්ත, හුලංදාඔයවත්ත, නක්කලවත්ත, කුමාරවත්ත, මුප්පනේ වැලිවත්ත ඇතුළු වතු කොටස් සියල්ල පාලනය වනුයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගිනි.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, අලුපොත, මඩමගම, මයියොක්කාවත්ත, වරාදොළ, අංකඩ, මියනකදුර, ඇත්පටිටිය, දේවතුර යන ග්‍රාම නිලධාරී වසම් තුළ ව්‍යාප්තව ඇති, ගමේවෙල වත්ත, වරාදොළවත්ත, කන්දෙවත්ත, මහතැන්න වත්ත, තැන්නේ කුඹුර, මාදුලාවත්ත, හා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බිබිල වත්ත යන වතුවල පාලනය පෞද්ගලික අංශයේ කුඩා වතු සමාගම් විසින් සිදුකරයි. එම වතුවල ජනතාවද විශේෂයෙන් වතු කාන්තාවන් මේ ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දී ඇත්තේ විශාල පීඩනයකටය.

මව්වරුන් විදේශගත වෙලා

“මේ තියෙන ආර්ථික පීඩනය, විශේෂයෙන් අපේ වතු කාන්තාවන්ට දරාගන්න බැහැ. පහුගිය මාස දෙක, තුන තුළ අපේ වත්තේ ඉන්න වතු කාන්තාවන්ගෙන් සැලකියයුතු පිරිසක් විතර තමන්ගේ අත දරුවන් පවා අතහැරලා මැදපෙරදිග ගෘහ සේවයට ගිහින් තියෙනවා. ඒ අය මේක කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි, කරන්න වෙන කිසිම දෙයක් නැති නිසයි, මේ තත්ත්වයට පෙළඹිලා තියෙන්නේ. වතු කාන්තාවන් මේ විදිහට විදේශගත වීම නිසා, ඒ පවුල් තුළ තවත් අතුරු ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ අයට වෙන විකල්පයක් නැහැ.” බඩල්කුඹුර ගමේවෙල වතු යායේ පදිංචි, සමාජ ක්‍රියාකාරිනියක වන ආර්. ඩී. දිල්රුක්ෂි මෙනවිය පෙන්වා දෙන්නීය.

ඉංග්‍රීසි ජාතිකයන් විසින් ආරම්භ කළ, මොණරාගල දිස්ත්‍රිකයේ වතු වගාවට කණ කොකා හඬන්න ගත්තේ 1974 වසරේදී මෙම වතු, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ගැනීමෙන් පසුව බව බොහෝ වතු සේවකයන්ගේ අදහසයි. මෙම ඉඩම් පවරා ගැනීමෙන් පසුව ඔවුන් විවිධ කාලවලදී, ජාතික වැවිලි සංස්ථාව සහ පෞද්ගලික අංශයේ සමාගම් හරහා රබර් ඉවත් කර උක් වගා කිරීමට කටයුතු කිරීම සහ දේශපාලන මැදිහත්වීම් මත එම ඉඩම් බෙදා ගැනීම හේතුවෙන් එම වතු විනාශ වූ බව ඔවුහු කියති.

ඔවුන් පවසන්නේ, මෙම වතු යම් ප්‍රමාණයකට හෝ ආරක්ෂා කර ගත හැකිව තිබුණේ නම්, පවතින මෙම ආර්ථික කඩාවැටීමට, මීට වඩා තරමක හෝ ශක්තිමත්ව මුහුණ දිය හැකිව තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයකු පැවසුවේ, වර්තමානයේ මොණරාගල ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල සේවය කරන සේවකයන් හා කම්කරුවන් හිඟන්නන් කරන්නට මේ දේශපාලන මැදිහත්වීම් බලපෑ බවයි.

දේශපාලකයන්ගේ වතු කොල්ලය

“මොණරාගල වතු සියල්ල විනාශ කළේ දේශපාලකයන් හා වැරදි පරිපාලනය විසිනුයි. දේශපාලකයන් කළේ ඔවුන්ගේ අවශ්‍යතා අනුව වතු ඉඩම් බෙදා ගැනීමයි. පහුගිය කාලය තුළ විවිධ හේතු දක්වමින් වත්තෙන් නිදහස් කරගෙන තියෙන ඉඩම් ප්‍රමාණය අක්කර 600කට ආසන්නයි. මොණරාගල නගරයේ ඇතැම් ඉඩම් මොණරාගල පක්ෂ විපක්ෂ දේශපාලකයින් හා ප්‍රදේශයේ නිලධාරීන් බෙදාගත්තා. දේශපාලන ආශිර්වාද සහිතව පැමිණි ඇතැම් වතු නිලධාරීන් හොරා කාලා වත්ත විනාශ කළා. රබර් ෆැක්ටරිය පවා වහල දැම්මා. ඒ විතරක් නෙමෙයි මේ වතුවල වසර ගණනාවක් සේවය කළ වතු කම්කරුවගේ වැටුපෙන් කපාගත්ත සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂික මුදල් ගෙවන්නේ නැහැ.

වත්තෙ නිසා සහනාධාර නෑ

බිබිල වතුයායේ පදිංචිකාරිනියක වන කේ. දුෂාන්තනි මෙනවිය පවසන්නේ, බිබිල වතුයායේ පදිංචිව සිටින පවුල් 110කගේ ඉරණමද ඊට සමාන බවය.

“අපේ දෙමව්පියන් වතුවල සේවකයන් කියලා, රජයෙන් මේ වෙලාවේ දුප්පත් අයට ලබා දෙන කිසිම සහනයක් අපේ වතුවල අයට ලැබෙන්නේ නැහැ. ඒක හරිම අසාධාරණයි. වත්තෙ වැඩ කළාට ඒ අය මාස් පඩි ලබන අය නෙමෙයි. වැඩ කරන දවස්වලට විතරයි වැටුපක් ලබන්නේ. මුළු මාසයේම මගේ අම්මා වැඩ කළත් එයාට උපයන්න පුළුවන් වෙන්නේ රු. 18,000ක් වගේ මුදලක්. ඒකෙන් කොහොමද මේ තියෙන ජීවන බර එක්ක සාමාජිකයෝ 05-06ක් ඉන්න පවුලක් නඩත්තු කරන්නේ? අපේ වතුවලත් ගොඩක් පවුල්වල වැඩිමල් දරුවෝ පාසල් යන එක නතරකරලයි තියෙන්නේ.” ඇය වේදනාවෙන් කියන්නීය.

ක්ෂුද්‍ර ණය මර උගුල

පවතින අර්බුදය හමුවේ, විශේෂයෙන් වතු කාන්තාවන් විවිධ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්ව තිබේ. අප අලියාවත්ත වතුයායේ සිදු කළ සංචාරයේදී, වාරික මුදල් එකතු කිරීමට පැමිණි එක්තරා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක සේවකයකු දැක, නිවෙස්වලින් පැනදුවන වතු කාන්තාවන් දෙදෙනකු දුටු අතර, මේ පිළිබඳව අදහස් දැක්වූ මෙම වතුයායේ පදිංචි තරුණයකු වන කන්දසාමි ජෙගනාදන් (40) පැවසුවේ, ණය ගත් තම කාන්තාවන්ට, එම ආයතනවලින් ණය වාරික මුදල් එකතු කිරීමට පැමිණෙන විට, පැන දුවනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව නැති බවයි.

එමෙන්ම මේ ක්ෂුද්‍ර මූල්‍ය ගැටලු හේතුවෙන් මේ වන විට බොහෝ පවුල් තුළ විශාල ආරවුල් ඇති වී තිබෙන බවත්, ඇතැම් පවුල් මේ වන විට විසිරී ගොස් ඇති බවත් හුලංදාව වතුයායේ එම්. එච්. එන්. නලීමා (42) පවසන්නීය.

අතදරුවනුත් අතහැර ගිහින්!

අප මරගල වතුයායේ කළ සංචාරයේදී හමු වූ, මොණරාගල පවුල් සෞඛ්‍ය නිලධාරිනියක වන පී. ජී. එන්. එස්. කුමාරි මහත්මිය අප සමග පැවසුවේ, තම වසමෙහි ඉකුත් මාස කීපය තුළ පමණක්, තම අතදරුවන් පවා අතහැර ගෘහ සේවය සඳහා විදේශගතව වූ කාන්තාවන් ප්‍රමාණය, අට දෙනකු පමණ වන බවයි.

ඇය මෙම වතු ආශ්‍රිතව ඇති ළමා හා මාතෘ මන්දපෝෂණ තත්ත්වයන් පිළිබඳව, මාධ්‍යයට අදහස් දැකිවීමට මැළි වුවද, කුමාරවත්ත හා මරගලවත්ත යන වතු ආශ්‍රිතව ඇවිද ගිය අපට විවිධ පෝෂණ ඌනතාවන්ගෙන් පෙළෙන කුඩා දරුවන් පිළිබඳව මැසිවිලි නගන මව්වරුන් බොහොමයක් හමු විය.

ලෝක ආධාරත් ඇති තැනටම!

ආර්ථික අර්බුදය සමග මතු වූ ආහාර අර්බුදය හේතුවෙන්, ලෝක ආහාර වැඩසටහන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් එසේ පීඩාවට පත් මොණරාගල දිස්ත්‍රික්කයේ ආන්තික ප්‍රජාවන් වෙනුවෙන් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. එම වැඩසටහන් සියල්ල ක්‍රියාවට නැංවූයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාය.

නමුත් මෙම සහනාධාර බෙදාදීමේදී වතු ජනයාට විශාල අසාධාරණයක් සිදු වූ බව පොදු අදහසයි. මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක පැවසුවේ, සාපේක්ෂව යම් රැකියාවක් කරගෙන හොඳ තත්ත්වයේ ජීවිතයක් ගතකරන මොණරාගල මදුරකැටිය වසමේ පවුල් 301කට සහනාධාර ලබාදීමට තෝරාගන්නා විට, අන්ත දුක්ඛිත තත්ත්වයේ ප්‍රජාවක් වෙසෙන හා වසා දමා ඇති වතු කිහිපයක් සහිත වැලියාය වසමෙන් එම සහනාධාර දීමට තෝරාගෙන තිබුණේ පවුල් 27ක් පමණක් බවයි.

මොණරාගල කුඹුකන වතුයායේ සේවකයකු වන මාරිමුත්තු ඥානප්‍රකාශම් (42) පෙන්වා දුන්නේ, මොණරාගල නගරයේ ව්‍යාපාරිකයන්ටත්, හාල් කිලෝ 50ක සහනාධාර ලබා දෙන විට, එදා වේලවත් කන්න නැති වතු කම්කරුවන්ට කිසිවක් ලබාදීමට කටයුතු නොකළ බවයි. මෙම පොදු චෝදනාව සම්බන්ධයෙන් අප මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. පසන් රත්නායක මහතාගෙන් විමසුවෙමු.

දුප්පත්ම අයට දුන් ආධාරයක් නෙවෙයි – දිස්ත්‍රික් ලේකම්

“ඇත්තෙන්ම මේක ලෝක ආහාර වැඩසටහන යටතේ සැලසුම් කරලා, ඒ දුන්න උපදෙස් අනුව ප්‍රතිලාභීන් හඳුනාගෙන ක්‍රියාත්මක කළ වැඩසටහනක්. එහි අරමුණ වුණේ, දුප්පත්ම අය හඳුනාගෙන ආහාර සහනාධාරයක් ලබාදීම නෙමෙයි. මෙහිදි ගැබිනි මව්වරුන්, කුඩා ළමුන් සිටින පවුල්, ප්‍රවේණිගත රෝගාබාධවලට ලක්ව සිටින පවුල් වගේ විශේෂිත තත්ත්වයන් සලකා තමයි, මේ සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කළේ. එතනදි ඇතැම් දුප්පත් අයට මේක නොලැබිලා, යමක් කමක් ඇති අයටත් ලැබෙන්න ඇති. නමුත් හැකිතාක් අපි වතු ජනතාවටත් මෙම වියළි ආහාර ලබාදීමට කටයුතු කරලා තියෙනවා.”

එහිදී, උසස් රාජ්‍ය නිලධාරියකුගෙන් කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ අවංකභාවයකින් යුතුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද පැවසුවේය.

“මම පිළිගන්නවා, මොණරාගල දිස්ත්‍රික්කය වගේ හුදෙකලා වතුවල ජීවත්වන අපේ වතු ප්‍රජාව ගැන, අපේ අවධානය යොමු වෙනවා අඩුයි. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හෝ වෘත්තිය සමිති නොමැතිකම මීට හේතු වෙන්න පුළුවන්. අපි වුණත් මෙම ප්‍රජාව ගැන විශේෂකොට කථාකරන්නේ නැහැ. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න අරගෙන අපි හමුවට එන්නෙත් නැහැ. මේ නිසා ඔවුන්ගේ ඇතැම් ප්‍රශ්න අපිට මග හැරෙනවා. නමුත් අදාළ වසම්වලට ලැබෙන ප්‍රතිලාභ ඔවුන්ටත් ලැබෙනවා. ඔවුන්ට මොනවත් ලැබිලා නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ.”

සහනාධාර බෙදාදීමේදී දුප්පත්කම ප්‍රධාන සාධකය ලෙස නොසැලකුණු බව මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවද, වැවිලි කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අප කළ විමසීමේදී පැවසුවේ, දුප්පත් හැම පවුලකටම මෙම ආහාර සහනාධාරය බෙදාදීමට කටයුතු කළ බවයි.

දුප්පත් අයට තමයි දුන්නේ- ඇමැති රමේෂ් පතිරණ

“පහුගිය දින කීපයේම මම හිටියේ මොණරාගල. අපි එහේ පවුල් විශාල ප්‍රමාණයකට පර්චස් 07ක ඉඩම් අයිතිය ලබාදුන්නා. අපි මෙම ආහාර සහනාධාරය ලබාදුන්නේ, මේ අවස්ථාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලටයි. මම හිතන්නේ, අපේ සියලු වතු ජනතාවටත් එම සහනාධාර ලැබුණා කියලයි. ඔවුන්ට ඒ සහනාධාරය නොලැබුණා කියලා, ඒ ජනතාව හෝ ප්‍රදේශය නියෝජනය කරන අපේ දේශපාලන නියෝජිතයන් මට කිව්වෙ නැහැ. මම පිළිගන්නවා මේ වෙලාවේ වතු ජනයා ජීවත්වෙන්නේ ඉතා අසීරුවෙන්. ඔවුන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවද කියලා මම ඉක්මනින් හොයලා බලන්නම්. ඒ වගේම එහෙම යම් ප්‍රශ්නයක් වෙලා තියෙනවනම් මාව දැනුවත් කරන්න. මම ඒ සම්බන්ධයෙන් පියවර ගන්නම්.” ඇමැතිවරයා පැවසුවේය.

මොණරාගල වතුවගාව සමග බැඳුණු ජීවිතම මහා ඛේදවාචකයකි. දුප්පත්කම, නූගත්කම, විරැකියාව, මන්දපෝෂණය, සූරාකෑම, ණයබර, නොසලකා හැරීම හා මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ජීවිත වෙළාගෙන තිබේ. කොවිඩ් වසංගතය හා රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය, මෙම තත්ත්වය තවතවත් තීව්‍ර වීමට හේතු වී ඇත. රට මැද වෙසෙන වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නියෝජනය කිරීම සඳහා මහජන නියෝජිතයන් හා ශක්තිමත් වතු වෘත්තිය සමිති ව්‍යාපාරයක් ඇතත්, මොණරාගල වැනි සුළු වතු ප්‍රමාණයක් ව්‍යාප්තව ඇති ප්‍රදේශවල එවැනි මහජන නියෝජිතයන් හෝ ශක්තිමත් වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයක් නැත. මේ හේතුවෙන් මෙම වතු ප්‍රජාවට ඇති ගැටලු, සමාජය හමුවේ නිරාවරණය නොවන තරම්ය.

|cසංජීව බණ්ඩාර - දිවයින