පොදු ප්‍රවාහනයේ දී ලාංකික කාන්තාවන් මුහුණ දෙන අතවර : ‘දවස ගානෙම මුහුණ දෙන කරදරයක්’

පොදු ප්‍රවාහනයේ දී ලාංකික කාන්තාවන් මුහුණ දෙන අතවර : ‘දවස ගානෙම මුහුණ දෙන කරදරයක්’

"මීට අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නෙ 2017 දි විතර මම මගේ යාලුවො කීපදෙනෙක් එක්ක කොළඹ ඇවිත් ආපහු මගේ ගම වුණු ඇල්පිටියට යමින් හිටියෙ. මට බස් රථවල යනවිට වමනය යන නිසා මම ඒකට බෙහෙත් පෙත්තක් බීලා හිටියෙ. ඒකෙ අතුරුඵලයක් විදිහට ටිකක් නින්ද යනවා. ටික දුරක් යන විට මට නින්දෙන්ම දැනුණා කවුරු හරි මගේ ඇඳුම අතරින් අතදාන්න හදනවා කියලා. ඒ නිසා මම එක පාරම කෑගහගෙන ඇහැරුණා," වසර කිහිපයකට පෙර සිදුවූවක් වුවත් තවමත් පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ දී කම්පනයක් ගෙන එන මතකයක් වයස 29ක ගෘහණියක වන නිශාදි රණවීර විස්තර කළා ය.

ඇය එහිදී කලබල වී අවදිවන විටම ඇය අසල අසුන්ගෙන සිටි පුද්ගලයා වහා බස් රථයෙන් බැස පළාගොස් තිබේ.

"මට කතා කරගන්න බැරිවුණා. කොන්දොස්තර ඇවිත් මොකද වුණේ අහද්දි මට කියාගන්න බැරිවුණා. පුදුම කම්පනයක් දැණුනේ," ඇය විස්තර කරයි.

"මේ සිද්ධිය නිසා මම තනියෙන් බස් රථවල යන ගමන අතහැරියා. දැන් මම පදිංචි වෙලා ඉන්න රඹුක්කන ප්‍රදේශයේ ඉඳන් ගමේ යනවා නම් මම පවිච්චි කරන්නේ කෝච්චිය."

මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන බහුතරයක් කාන්තාවන් බොහෝවිට දිනපතාම පාහේ මුහුණ දෙන අත්දැකීමකි.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2017 දි සිදු කළ අධ්‍යනයකින් හෙළිව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක්ම ගමනාගමනයේ දී ජීවිතයේ එක් වරක් හෝ ලිංගික හිංසනයකට ලක් ඇති බව යි.

ශ්‍රී ලංකාවේ බහුතරයක් භාවිත කරන ප්‍රවාහන මාධ්‍ය වන්නෙ පොදු ප්‍රවාහන සේවය යි. දුම්රිය හා බස් රථ ඊට ඇතුළත්වන අතර කාර්යාල දුම්රිය සහ එම වෙලාවට ගමන් කරනු ලබන බස්රථ බොහෝවිට යා යුතු මඟීන් ප්‍රමාණයටත් වඩා මඟීන් රැගෙන යනු ලබයි. මෙම තදබදය හේතුවෙන් ද බොහෝ කාන්තාවෝ පීඩාවට පත්වෙති.

එක්සත් ජාතීන්ගේ අධ්‍යනයෙන් හෙළි කරන්නේ බොහෝවිට පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන් එම කාර්ය බහුල හා තදබදය අධික කාල පරාසයන් තුළ දී හිංසනයට ලක්වන බව යි.

එම අධ්‍යයනයට අනුව පොදු ප්‍රවාහන භාවිත කරන කාන්තාවන්ගෙන් 50%ක්ම රැකියා සඳහා යාමට එය භාවිත කරන අතර, 28%ක් අධ්‍යාපන කටයුතු සඳහාත්, 20%ක් වෙනත් පුද්ගලික අවශ්‍යතා මතත් භාවිත කරයි.

හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් 44%කට එම සිදුවීම් පුද්ගලික ජීවිතටයට බලපෑම් සහගත වී ඇති බව ද අධ්‍යයනයෙන් හෙළිදරවු කර තිබේ.

‘දවස ගානෙම මුහුණ දෙන කරදරයක්’

28 හැවිරිදි රෂ්මි රවීනා පුද්ගලික සමාගක ව්‍යාපාර විශ්ලේෂණය සම්බන්ධයෙන් රැකියාවක නිරත වී සිටින තරුණියකි.

ඇය නේවාසිකව සිටින නුගේගොඩ ප්‍රදේශයේ සිට ඔරුගොඩවත්ත ප්‍රදේශය දක්වා පැය එකහමාරක පමණ ගමනක් ඇයට කාර්යාලය වෙත යාමට වැය වේ. නැවත කාර්යාලයේ සිට නේවාසිකාගාරයට පැමිණීමට ද සවස එවැනිම වේලාවක් ගත වේ.

ඇය පවසන්නේ දිනය තුළ වැඩිම පීඩනයකින් ගත කරන්නේ එම පැය තුනක කාලය බව යි.

"හැමදාම වගේ මේ කරදරයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. බස් එකට නගිනකොටම පීඩනයෙන් ඉන්නෙ අද මොන වගේ නරක අත්දැකීමට මුහුණ දෙන්න වේවි ද කියලා. මම ගොඩක් වෙලාවට යන 176 බස් මාර්ගයේ ඉන්න කොන්දොස්තරලාත් ටිකට් එක කඩන මුවාවෙන් ඇඟට හේත්තු වෙනවා. ඔවුන් හොඳ වෘත්තීමට කොන්දොස්තරලා නෙවෙයි. අද ඉන්න අය නෙවෙයි පහුවදා ඉන්නෙ. උදේම මේ වගෙ නරක අත්දැකීමට මුහුණ දුන්නම දවසම ඉවරයි. ආපහු හවසටත් ඒ විදිහම යි. පැය 24න් පැය 3ක්ම ඉන්නෙ මේ වගේ පීඩනයක," ඇය විස්තර කරයි.

"සාමාන්‍යයෙන් කෙනෙක් එනකොටම අඳුරගන්න පුළුවන් මෙයා එන්නෙ මේකට කියලා. බස් එකේ වුණත්, කෝච්චියෙ වුණත් මේ වගේ අය උත්සහ කරන්නේ අපිව මුල්ලකට කොටු කරගන්න."

ඇය කුඩා කාලයේ දී ඇගේ මව මුහුණ දුන් සිදුවීමක් ඇයට තවමත් කම්පනයක් ගෙන දෙයි.

"අපේ ගම වුණු කතරගම ඉඳලා මමත්, අම්මත් අයියත් අලුත්ගම නෑදෑ ගෙදරක එන්න බස් එකක නැග්ගා. ටික දුරක් එනකොට අම්මා ළඟ වාඩිවෙලා ඉඳපු පිරිමි කෙනා සමග රණ්ඩු කරන්න ගත්තා. එතකොට ඔහු අසභ්‍ය වචන කියලා අම්මට බනින්න ගත්තා. බස් එකේ කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. ඒ පුද්ගලයා අම්මව නරක විදිහට අල්ලලා. අම්මා ඒ ගැන ඇහුවම තමයි ඒ කෙනා අම්මට නරක වචන කියලා නරක ගැහැනියක් කියලා කියවෙන වචන කියමින් බැන්නේ," රෂ්මි පවසයි.

"ඒ සිද්ධිය නිසා සමහර වෙලාවට හිංසකයන්ට බනින්න බය හිතෙනවා. ආපහු ඒ විදිහට මටත් එහෙම අපහාස වෙන විදිහට බස් එක මැද්දෙ බනින්න ගනී කියන තිගැස්ම තියෙනවා."

'මම හිංසනයට ලක්වුණේ පාසල් ඇඳුමින් ඉන්නකොට යි'

sexual harassment in bus

| 'ඇඳුම වැදගත් නෑ හිංසනයකට ලක් වෙද්දි. එහෙනම් මම පාසල් ඇඳුමින් හිංසනයට ලක් නොවී ඉන්න තිබුණානෙ'

නම හෙළි කිරීමට අකමැති තවත් 31 හැවිරිදි තරුණියක් පැවසුවේ ඇය පළමුවරට එලෙස පොදු ප්‍රවාහන සේවයක දී අතවරයකට ලක්වූයේ පාසල් නිල ඇඳුමින් සිටිය දී බව යි.

"මම හෝමාගම බස් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණ 138 බස් එකක නැගලා හිටියේ නුගේගොඩට එන්න. එතකොට මට අවුරුදු 17ක් විතර වෙනවා. බස් එක නවත්තපු ගමන් නිසා මම විතරයි හිටියෙ. ඒ වෙලාවෙදි වයසක මනුස්සයෙක් බස් එකේ ඉස්සරහින් නැගලා ඕන තරම් සීට් තියෙද්දි මගෙ ළඟින්ම වාඩි වුණා. මට තේරුණා එයා අරක්කු බීලා කියලා. මම ඉක්මනට නැගිටලා බස් එකෙන් බහින්න යනකොටම මහ හයියෙන් අසභ්‍ය වචන කියලා මට බනින්න පටන් ගත්තා," ඇය පවසයි.

මෑතක දී බොහෝ තරුණියන් එලෙස තමා මුහුණ දුන් අත්දැකීම් වීඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණු අතර, ඇතැම්විට ඒවාට ලැබී තිබූ අදහස් ද විවිධාකාර ය. ඇතැමුන් එම තරුණියන්ගේ හැසිරීම හෝ ඔවුන් හැඳ සිටි ඇඳුම් විවේචනය කර තිබුණි.

"ළඟදි මම දැකපු එක වීඩියෝ එකක ඒ ගැහැණු ළමයා ඇඳලා හිටපු ගවුම කොටයි කියලා මිනිස්සු එයාට බැනලා තිබුණා. ඇඳුම වැදගත් නෑ හිංසනයකට ලක් වෙද්දි. එහෙනම් මම පාසල් ඇඳුමින් හිංසනයට ලක් නොවී ඉන්න තිබුණානෙ. ඕන තරම් සාරිය, ඔසරිය ඇඳලා යන අය පවා හිංසනයට ලක් වෙනවා," අප සමඟ අදහස් දැක්වූ තරුණිය පැවසුවා ය.

"මම අනිවාර්යයෙන්ම මොකක් හරි කටුවක් අත් බෑගයේ දාගෙන යන්නෙ. කවුරුහරි හේත්තු වෙන්න එනවා කියලා තේරුණොත් කටුවෙ ඇණෙන පැත්ත හේත්තු වෙන කෙනා පැත්තට තියාගෙන ඉන්නවා. එතකොට එයා හේත්තු වෙන්න ආවම කටුව ඇණෙන නිසා යනවා," ඇය එම අතවරයන්ගෙන් බේරීමට භාවිත කරන උපක්‍රමයක් ගැන පවසුවා ය.

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය අඩු වීමත් හිංසනයට හේතුවක්

අප සමග අදහස් දැක් වූ සියලුම තරුණියන් පැවසුවේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවයේ ඇති අඩුපාඩු මෙවැන් හිංසනයන්ට මඟ පාදන බව යි.

"අපි යන්නේ සීටීබී බස් එකක නම් අපට කරදරයක් කියලා ඉන්න කොන්දොස්තරට කිවුවාම එයා ඒ ගැන බලනවා. මොකද එයාලා පුහුණුවෙලා වෘත්තියක්නෙ කරන්නෙ. ඒ වුණාට පුද්ගලික බස්වල නම් අපි කොන්දොස්තරගෙන් උදවුවක් ගන්න එක ගැන හිතන්න කලින් කොන්දොස්තරලගෙන් ම ආරක්ෂා වෙන්න සිද්ධ වෙලා," රෂ්මි පවසයි.

ශ්‍රී ලංකාවේ ධාවනය වන බහුතරයක් බස් රථවල ආසන අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩු ය. එමෙන් ම හරස් අතට ආසන දෙකක් සහ තුනක් සවිකර ඇති විට හිටගෙන යන මඟීන්ට යාමට ඇති ඉඩකඩ ඉතා අඩු ය.

සාමාන්‍යයෙන් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක හරස් අතට ආසන යුගල දෙක බැගින් සවි කරන අතර මඟීන් 48කට අසුන් ගැනීමට හැකියාව ලැබේ. නමුත් මෙම ආසන පහක ආකෘතිය නිසා බස් රථවක ඉඩ ඇහිරීම සිදුවන අතර වැඩිපුර හරස් අතට ආසන සවි කිරීම නිසා පුද්ගලයෙකුට ඔහුගේ කකුල් තබාගෙන යා හැකි ඉඩකඩ ද සීමා වී තිබේ. මේ තත්වය බොහෝ නාගරික ප්‍රදේශවල ධාවනය වන බස් රථවල නිරීක්ෂණය කළ හැකි ය.

කාර්යාල වේලාවට ධාවනය වන දුම්රියන් ද අධික තදබදයකින් යුක්ත ය. සීමිත ආසන සංඛ්‍යාවක් ඇති එම දුම්රියවල ද ඉතා විශාල සංඛ්‍යාවන් දිනකට ගමන් කරති.

අප සමග සාකච්ඡා කළ තරුණියන් පවසන්නේ මෙම තදබදයන් දඩමීමා කරගෙන බොහෝ පුද්ගලයන් කාන්තාවන්ව හිංසනයට ලක් කරන බව යි.

"ගොඩක් අය කරන්නේ වාඩි වුණ ගමන් ම කකුල් දෙක දෙපැත්තට කරලා හොඳට ඉඩ අරගෙන වාඩි වෙනවා. ඊට පස්සෙ එයාගෙ උරහිස් දෙකත් හොඳට දිගඇරගෙන අපේ ඇඟට තදකරගන්නවා. අපි ඉතාම කුඩා ඉඩක මිරිකිලා මේ මනුස්සයගෙ ස්පර්ශයෙනුත් ගැලවෙන්න උත්සහ කරන ගමන් යන්න ඕනෑ. සෙනග වැඩි බස්වල කෝච්චිවල ඇඟට හේත්තුවෙන්න එන අයත් එහෙම යි. ඒගොල්ලො තදබදය පාවිච්චි කරනවා නිදහසට කාරණාවක් විදිහට," රෂ්මි ඇගේ අත්දැකීම පැහැදිලි කළා ය.

"එහෙම එහාට යන්න කිවුවම 'සැප පහසුවට යන්න ඕනෙ නම් බස්වල යන්න එන්න එපා' කියලා බනින එක තමයි එයාලා බේරෙන්න කරන්නෙ."

පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළහොත් යම් දුරකට හෝ මෙවැනි සිදුවීම් වළක්වාගත හැකි බව ඇගේ අදහස යි.

නීතියක් තිබේ - ක්‍රියාත්මක නොවේ

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය යටතේ සැවොම සමාන ලෙස සැලකීම මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ එලෙස තිබිය දී මෙලෙස පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන් හිංසනයට ලක් වීම පුද්ගල සමාජභාවය මත සලකා වෙනස්කොට සැලකීමක් වන නිසා එය මූලික අයිතිවාසිකම් කඩවීමක් ද වන බව ය.

අඩම්තේට්ටම් මඟින් හෝ වචන, ක්‍රියාවන් භාවිතයෙන් වෙනත් පුද්ගලයෙකුට ලිංගික අතවර කිරීම, ලිංගික ප්‍රකෝපනය හෝ ලිංගික අතවරය අපරාධ වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියේ දැක් වේ. පොදු ප්‍රවාහනයේ දී සිදුවන අඩම්තේට්ටම් ද ගැනෙන්නේ මෙම වගන්තිය යටතට ය.

එම වගන්තිය යටතේ වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයෙකුට වසර පහක සිර දඬුවමක් ලබා දීමටත් දඩ නියම කිරීමටත් හැකි ය.

කෙසේ නමුත් දිනපතාම, සෑම තැනම ක්‍රියාත්මක වන මෙම පොදු ප්‍රවාහනයේ දී දී සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ අඩුබවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

railway station

| අප සමග අදහස් දැක් වූ සියලුම තරුණියන් පැවසුවේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවයේ ඇති අඩුපාඩු මෙවැන් හිංසනයන්ට මඟ පාදන බව යි

එක්සත් ජාතීන්ගේ මූලාශ්‍රයන්වලට අනුව 2017 දී මෙවැනි හිංසනයන්ට විරුද්ධව පොලිසියේ කුමන හෝ සහයක් ලැබී ඇත්තෙ 4%ක පමණ අඩු ප්‍රමාණයකට ය.

නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රියාවලියේ ඇති සංකීර්ණභාවය ද මෙවැනි අතවරයන්ට විරුද්ධව කාන්තාවන් නීතිය හමුවට නොයාමට හේතුවක් බව තරුණියෝ පෙන්වා දෙති.

"ඇත්තටම අපි පොලිසි යනවා කියලා හැමදාම පොලිසි යන්න ද? හැමදාම වෙනවනෙ. එකකට පොලිසි ගියත් අන්තිමට නඩු කියන්නනෙ වෙන්නේ. නඩු කීයක් දාන්න ද? එහෙම දේකට වැය කරන්න වෙලාව කොහෙද? මේක ඇත්තටම ගණන් ගන්නෙ නැති දෙයක් බවට පත් වෙලා තියෙන්නේ," එක් තරුණියක් බීබීසී සිංහල වෙත පැවසුවා ය.

"අපි චෝදනා කරනවා නම් ඒක ඔප්පු කරන්නත් ඕනෑ. මේ වැඩට යන කලබලෙන් ඉන්න මිනිස්සු ඒ වෙලාවට අපි එක්ක පොලිසි ගිහින් සාක්ෂි දෙන්න උසාවි ගානෙ යන්න එන්නෙ නෑනෙ. ඒ අය බලන්නෙ කරදරයක් නැතුව පාඩුවෙ තමන් බේරිලා ඉන්න. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට බස් එකක දි අපි එහෙම කෑගැහුවත් අනිත් අය නිකන්ම බලාගෙන ඉන්නෙ."

එම තරුණිය මෑතක දී ඇය මුහුණදුන් අත්දැකීමක් ද විස්තර කළා ය.

"මම මෑතක දි මගේ අවශ්‍යතාවකට තුංමුල්ල හන්දිය දක්වා යන්න පුද්ගලික බස් එකකට නැගලා ඉඩ තිබුණු එකම තැන වුණ පිටිපස්සෙ සීට් එකේ මැද වාඩි වුණා. සාමාන්‍යයෙන් ඒ සීට් එකේ හයක් වාඩි වෙනවා වුණත් මාත් එක්කම පස් දෙනෙක් වාඩි වෙලා සිටි නිසා තදබදයක් තිබුනෙ නෑ."

"මගේ දෙපැත්තෙම පිරිමි අය දෙන්නෙක් වාඩි වෙලා හිටියා. දකුණු පැත්තෙ හිටපු කෙනා මගේ මූන දිහාම බලාගෙන ඉන්න බව මට දැනුණ නිසා හරි අපහසුවකින් මම හිටියෙ. මම ඒ පැත්ත බැලුවම එයා අනෙක් පැත්ත බලාගන්නවා. නමුත් මට හොඳටම පේනවා ඔහු මගෙ පැත්ත හැරිලා මූන දිහාත් පපුව දිහාත් බලන බව. ඊට පස්සෙ මම ඔහුගෙ පැත්තට හැරිලා ඇයි කියලා ඇහුවා. එතකොටම ඔහු මට බැනගෙන ගියා," එම තරුණිය පවසයි.

"මම ඔහුගේ ඇඟේ එල්ලෙන්න ආව බව කියමින් ඉතාම හයියෙන් ඔහු බැනගෙන ගියා. හරිම අසභ්‍ය වචන කිවුවා. ඇත්තටම මට කතා කරගන්න බැරිවුණා. මම බොහොම අමාරුවෙන් කිව්වා ඔහුට ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියලා. ඔහු මහ හයියෙන් බහින ගමන් ඊළඟ බස් නැවතුමෙන් බැහැලා ගියා," යැයි එම තරුණිය ඇයට මුහුණ දීමට සිදු වූ කම්පන සහගත සිදුවීම පැහැදිලි කළා ය.

"ඇත්තටම කතාවෙ හොඳම කොටස පටන් ගත්තේ ඊට පස්සෙයි," තරුණිය දැන් පවසන්නේ ඇගේ අනෙක් පසින් සිටි පිරිමි පුද්ගලයා සම්බන්ධයෙන් ය.

"මගේ අනෙක් පැත්තෙන් හිටපු කෙනා කියනවා ඔහු පොලිස් නිලධාරියෙක් කියලා. මම මොහොතකට හිතුවා, වුණු දේ එයා දැක්ක නිසා මොනවා හරි කරයි කියලා. ඔහු මට කිවුවෙ ඕවා ඔහොම තමයි ඕවට කතා කරලා වැඩ නෑ කියලා. ඔහු සිවිල් ඇඳුමෙන් හිටියෙ. කලබල වෙන්න එපා වගේ කතා කියලා ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ගාවින් බැහැලා ගියා."

එවැනි ඇසින් දුටු තත්වයක දී පවා නොලැබෙන සහයෝගයක් පොලිස් ස්ථානයක් වෙත ගියවිට ලැබේදැ යි සැක සහිත බව අප සමග අදහස් පලකළ එම තරුණිය පැවසුවා ය.

"පැමිණිල්ලක් දාන්න ගියත් අග ඉඳන් මුලට හැම එකම කී දෙනෙක්ට කියන්න වෙනව ද? ඊට පස්සෙ නිකමට හරි ලංකාවෙ තියෙන මාධ්‍යයක ගියොත් හිංසකයා කෙසේ වෙතත් අපේ චරිතය තමයි විනාශ කරන්නෙ. පහුගිය කාලයේ ගොඩක් මාධ්‍ය මේ වගේ කාන්තාවට සිදුවුණු කරදර ගැන වාර්තා කළේ හරියට කුණු මාලු විකුණනවා වගේ," නිශාදි පවසයි.

බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ බොහෝ තරුණියන් පැවසුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් මෙයට අවශ්‍ය බව යි.

"මේ සඳහා විශේෂ පැමිණිලි අංශයක් හදලා ඒවාට වෙනම නීති පද්ධතියක් හදන්න ඕනෑ. බස්වල, කෝච්චිවල ඒවා හරියට ප්‍රදර්ශනය කරලා, මේ හිංසනයන්ට සහාය දෙන පොදු ප්‍රවාහන කාර්යය මණ්ඩලවල අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ," එක් තරුණියක් පැවසුවා ය.

"ඕස්ට්‍රේලියාවෙදි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩයෙක් මුහුණ දුන්න සිද්ධියෙ දි ඒ කාන්තාවගෙ තොරතුරු ඉතාම රහසිගතව තියාගන්න ඒ රටේ ආයතනවලට පුළුවන් වුණා. ඒ වගේ පැමිණිලි කරන අයගෙ පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට සහ හොඳ කාර්යයක්ෂම විදිහට නීතිය ක්‍රියාත්මක වුණොත් මිනිස්සු පැමිණිලි කරයි. එහෙම වුණොත් යම් දුරකට හරි මේ කරදරේ අඩු කරගන්න පුළුවන් වේවි," ඇය පැවසුවා ය.

මීට වසර දෙකකට පමණ පෙර කොළඹ මහ නගර සභාව විසින් කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දෙන ලදි.

එම ජංගම දුරකතන යෙදවුම හරහා ළඟම ඇති පොලිසියට, රෝහලට හා නම් කරන ලද තෙවන පාර්ශවයට කාන්තාව අනතුරක සිටින බවට, එම ස්ථානය සමග පණිවුඩ යැවීමේ හැකියාව ලබා දී තිබුණි.

නමුත් එම යෙදවුම වර්තමානය වන විට ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත. එමෙන් ම වසර කිහිපයකට පෙර කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි නම් කිරීමක් සිදුවුව ද ඒවා ද අසාර්ථක විය.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට තවමත් ශ්‍රී ලංකාව සමත් වී නොමැති පසුබිමක, දිනපතාම හිංසනයන්ට ලක්වෙමින් පොදු ප්‍රවාහන සේවයන්ගේම ගමන් කිරීමට ශ්‍රී ලංකාවේ කාන්තාවන් දහස් ගණනකට සිදු ව තිබේ.

බීබීසී සිංහල විසින් මෙම ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී පැහැදිලි වූ කාරණය වූයේ මෙය කෙතරම් බරපතල වුවත් ඒවා වාර්තාවීමේ සිටම විශාල අඩුපාඩුවක් ඇති බවකි.

(bbc.com/Sinhala)