සියවස් දෙකක් දුක් ගැහැට වින්ද වතු කම්කරුවෝ

සියවස් දෙකක් දුක් ගැහැට වින්ද වතු කම්කරුවෝ
  • වතු කම්කරුවන් පැමිණ වසර 200 යි
  • තලෙයි මන්නාරමේ සිට හැතැප්ම 150 ක් මහනුවරට ආවේ පයින්මයි
  • ඉංග්‍රීසින් ලංකාව යටත් කරගන්නා විටත් ලංකාවේ කෝපි තිබිලා
  • සිංහලයන් කම්මැළි නිසා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙනා බව හර්කියුලස් ආණ්ඩුකාරයා කියයි

“උඩරට කඳුකර

සිරියා පරදන

රූබර මුහුණ ඔබේ

රතැගිලි දිගුකොට

මඳහස නංවන

තේදලු නෙළන ලඳේ”

චිත්‍රා සෝමපාල ගයන මේ ගීතය අසා නැති කෙනෙක් නැත. ඒත් කාටවත් හසු නොවුණ සත්‍යයක් ඇත. ඒ මේ ගීතය ලියවී ඇත්තේ 1823ට පසු බවය. ඒ කියන්නේ මෙරටට වතු කම්කරුවන් පැමිණ මේ වසරට වසර 200ක් සපිරෙන බවය. වසර 200ක් පුරා මෙරටට මහා විදේශ විනිමයක් රැස්කළ පීඩනයට පත් මේ ජනතාව ගැන දෙමළ දේශපාලඥයන්ට මතකයට එන්නේත් මහා මැතිවරණයකදී තම ‘දෙමළ ඡන්ද’ වෙන්දේසියකදීය.

“තේ කූඩය පිටේ බැඳන්

නුඹ එනවා කන්ද උඩින්

මම දැක්කේ හුඟ කලකට

පස්සේ ලෙච්චමී”

ප්‍රෙඩී සිල්වා මේ කියන්නේ තේ දලු නෙළන ලෙච්චමීලා ගැනය. අප පාසල් යන සන්දියේ ප්‍රධාන අපනයන භෝග මොනවා දැයි ඇසූ විට අපට ගිරවුන් මෙන් කියන්නට උගන්වා තිබුණේ තේ, පොල්, රබර් කියාය. බොහෝදෙනා සිතන්නේ මේ අතරින් තේ කර්මාන්තය යන්ත්‍රෝපකරණ භාවිතය අතින් අවම මට්ටමක ඇති කර්මාන්තයක් බවය.

අපේ මෑතකාලීන ඉතිහාසයේ ‘කෝපි කාලේ’ කියා යුගයක් තිබේ. අපේ මේ වතුකරයේ ජනතාව මුලින්ම කැන්දාගෙන ඇවිත් ඇත්තේ මේ කෝපි වතුවලටය. 1823 මුලින්ම ඉන්දියාවේ තමිල්නාඩු ජනතාව කම්කරුවන් ලෙස රැගෙන විත් ඇත්තේ ගම්පොළ පිහිටි සිංහපිටිය නම් වතුයායටය. මෙම වතුයායේ හිමිකරු වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් බර්ඩ් ය.

1824 – 25 කාලයේ දී දකුණු ඉන්දියාවේ ඉතා දරුණු නියඟයක් පැතිරී ගොස් ඇත. එයින් විශාල ආහාර හිඟයක් ඇති වී දරුණු සාගතයක් උද්ගත විය. ආහාර නොමැතිව සහ නොයෙක් රෝග පීඩාවන්ට ඔරොත්තු දිය නොහැකිව මිනිසුන් මිය යන්නට විය. වතු වගා කටයුතුවලට ලංකාවෙන් කම්කරුවන් ලබාගත නොහැකි බාධාවක්ව තිබූ බැවින් ඒ සඳහා දකුණු ඉන්දියාවේ කම්කරුවන් යොදා ගැනීමට සැලසුම් කෙරිණි.

ඉන්දියාවෙන් තෝරාගත් කම්කරුවන් ලංකාවට ගෙන යෑමට රැස්කර ඇත්තේ ට්‍රිචි නුවරටය. ඒ තමිල්නාඩුවෙන් කිලෝමීටර සියයක් එහා ට්‍රිචිරා පල්ලියටය. එහි වූ Labour Commition හිදි ඉන්දීය කම්කරුවන් ලියාපදිංචි කෙරිණි. සිලෝන් එකෙන් මුලින්ම ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ කම්කරුවන් 150ක් මුත් ඉන්දියාවෙන් ඒ සඳහා කම්කරුවන් 300ක් තෝරා ගැනීම අරුමයක් නොවේ. ලංකාවට එන ගමනේදී නුවරට යන විට ඉන් අඩක්ම මිය යන බව සුදු ආණ්ඩුව දැන සිටියේය.

තමිල්නාඩුවේ සිට තලෙයිමන්නාරමට කම්කරුවන් ගමන් කොට ඇත්තේ කුඩා බෝට්ටුවලය. සමහර කම්කරුවන් තලෙයිමන්නාරමට එන විටත් කාලගුණ විෂමතාව හා දරාගත නොහැකි මුහුදු සුළඟ නිසා මැරී වැටී හමාරය. තලෙයිමන්නාරමේ සිට නුවරට එන්නට මේ කම්කරුවන්ට සිදු වූයේ පයින්මය.

ලංකාවේ කෝපි වගාව ව්‍යාප්ත කිරීමට මුල් වූ බර්ඩ්ගේ ඉතිහාසය සොයා ගිය විට දැනගන්නට ලැබුණේ ඔහු ලංකා තුවක්කු හමුදාවේ කපිතාන්වරයකු බවය. කපිතාන් බර්ඩ් මුලින්ම පුස්සැල්ලාවේ අක්කර කීපයක් එළිකොට කෝපි වවා ඉන් කඩා සකස් කර ගන්නා ලද කෝපි තොගය ලන්ඩන් නුවරට ගොන ගොස් විකිණීමේදී සියලු වියදම් කැපී රන් පවුම් 600ක ලාභයක් ලැබූ බව වාර්තා කොට ඇත්තේ එවකට ‘මෝනින්’ පුවත්පතය. කෝපි වැවීම සඳහා ඉඩම් අක්කරය සිලිං පහ බැගින් ආණ්ඩුව විකුණද්දී දහස් ගණන් මිලට ගත් නමුත් කෝපි වැවීම සුද්දන්ට භාරධූර කටයුත්තක් විය. ඔවුන් ඒ සඳහා රොබට් බොයිඩ් බට්ලර් නම් බටහිර ඉන්දියානු දූපත්වල කෝපි වවා පළපුරුදු අයකු ගෙන්වාගෙන මුළු උඩරට ප්‍රදේශයම එකම කෝපි වත්තක් බවට පත් කළේය. එක්දහස් අටසිය හැටගණන්වලදී යුරෝපාකාරයන් විසින් පමණක් වවන ලද වතුවල ප්‍රමාණය අක්කර 1,76,000ක පමණ විය. මින් සුදු ආණ්ඩුවට ද මහත් ආදායමක් ලැබුණි. 1870 මාර්තු 12 දා පළමු වරට කෝපි පැටවූ නැවක් සූවස් ඇළ හරහා යුරෝපයට ගෙන ගිය බව වාර්තා කොට ඇත.

1834 වසරේ සිලිං 15 පැන්ස 3ක්වූ කෝපි බුසල 1842 දී සිලිං 45ක් විය. නිපදවීම 1834දී බුසල් 1,38,500ද 1842දී 12,54,263ද විය. 1833 හා 1843 අතර කාලය තුළ ආණ්ඩුකාරයාගේ අනුමැතිය ඇතිව විකුණූ ඉඩම් ප්‍රමාණය අක්කර 2,58,072 කි. මෙය කෝපි වවන්නන්ට ද මහා පිටිවහලක් විය. මුල් යුගයේ වවාපු කෝපි රාත්තල් ලක්ෂ දොළහක් පහළොවක් පිටරට යවා තිබෙන බව ‘බ්ලු බුක්’ නම් පොතේ සඳහන්ව ඇත. මේ සියල්ල පිටුපස සිටියේ ඉන්දියන් වතුකම්කරු දහඩියයි.

1815දී ඉංග්‍රීසින් මහනුවර අත්පත් කරගන්නා විට එහි පන්සල් අවට කෝපි වගා කර තිබී ඇති අතර, සිංහල රජු හඟුරන්කෙත සිය මාළිගය අවටත් මහවැලි ගං තීරයෙත් කෝපි වගාකර තිබූ බව ඉංග්‍රීසි වාර්තාවල සඳහන්ය. 1656දී පමණ මුල්වරට ලන්දේසීහු කෝපි පැළය මෙරටට ගෙන ආ බව මුල් ඉංගිරිසි ලේඛන සඳහන් කොට ඇත. මුල්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකරු වූ සර් පෙඩ්‍රික් නෝර්ත් ද ඔහුට පසුව ආ තෝමස් මේට්ලන්ඩ් ද කෝපි වගාවට ජනතාව උනන්දු කරන ලදී. යටත්විජිත පාලකයන්ගේ උනන්දුව නිසා 1806 වසරේ ලංකාවෙන් කෝපි රාත්තල් 94,500ක් ද 1810 දී කෝපි රාත්තල් 2,17,500 ක්ද, 1813දී කෝපි රාත්තල් 2,16,500 ක් ද අපනයන කළ බව යටත් විජිත ලේකම් කාර්යාල වාර්තා පරිශීලනයේදී තහවුරු කරගත හැකිය.

අප කලින් කියූ බර්ඩ්ට කෝපි වගාවට රජයෙන් අක්කර 400ක් දස අවුරුදු බද්දට ලබාදී තිබේ. බද්දේ මුදල වර්ෂයකට පනම් 6කි. බර්ඩ්ගේ වගාව පවත්වා ගන්නට ඔහුට රජයෙන් රික්ස් ඩොලර් 4000ක ණය මුදලක් ද ලැබිණි. බර්ඩ් සාර්ථකව කෝපි වගාව කළ හෙයින් 1827දී ඔහුට රජයෙන් ඉඩම් අක්කර 589 ක් වගාවට ලබා දුන්නේ පනම් 8කටය.

මේ අතර ඉන්දීය කම්කරුවන්ට ලංකාවට පැමිණීමට තිබූ දුෂ්කරතා නිසි වේලාවට පඩිනඩි නොගෙවීම වැනි හේතු නිසා ඉන්දී‍ය කම්කරු ආගමනයට කෙමෙන් බාධා පැමිණිනි. ඒ හේතුවෙන් වැටුප් වැඩි කරන්නට ද පාලකයන්ට සිදු විය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ කෝපි නිෂ්පාදන පිරිවැය වැඩි වීමයි. 1846දී මසකට සිලිං 18ක් කම්කරුවන්ට ගෙවූ කෝපි වතුවලට 1849 වන විට කම්කරු වේතනය මසකට සිලිං 20ක් කරන්නට සිදු විය. සංඛ්‍යා ලේඛන අනුව 1845 වසරේ කෝපි වතුවල සේවය සඳහා ඉන්දීය කම්කරුවෝ 73,401 ක් මෙරටට පැමිණ ඇත. එය 1847 වන විට 46,140 දක්වා අඩු විය. 1849 දී ලංකාවට පැමිණි ඉන්දීය කම්කරු පිරිස 29,430 දක්වා තවත් පහත වැටීමට කෝපි අධිරාජ්‍ය බිඳ වැටීම හේතු විය.

එක්දහස් අටසිය හතළිස් ගණන්වල ඇති වූ කෝපි පරිහානිය නිසා සුද්දන් කෝපි වගාවෙන් ඉවත් විය. 1847 පැවති කෝපි වතුවලින් 10%ක් 1849 වන විට වසා දැමිණි. ඒ කාලය තුළ මෙරට කෝපි වගාවට යට වූ බිම් ප්‍රමාණය 25%කින් අඩු වූ බව කෝපි කාලේ ලේඛනවල ඇත. 1847 කෝපි වගාවට යට වූ බිම් ප්‍රමාණය අක්කර 56,832 ක් විය. 1849 දී මේ ගණන අක්කර 43,338 ට පහත බැසීමත් සමඟ නැඟී එන්නට වූයේ තේ වගාවය.

1823 දි මුල්ම ඉන්දීය කම්කරුවන් පිරිස ලංකාවට ආවත් පැළ කළ කෝපිවල ඇට නෙළන්නට පැළ පූදින්නට වසර 3ක් බලා සිටින්නට සිදු විය. මුලින්ම කම්කරු කාන්තාවන් ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ඇත්තේ මේ අවස්ථාවේදීය. බ්‍රිතාන්‍ය පාලකයන් කෙටි කලකින් තේරුම් ගත්තේ ඉන්දීය පුරුෂයන්ට වඩා කාන්තාවන් ඉතා සූක්ෂම ලෙස කඩිනමින් කෝපි ඵලදාව නෙළා ගන්නා බවය. ඉතා අවිධිමත් ව හා අනාරක්ෂිතව රඳවා සිටි ඉන්දියන් කම්කරුවන්ට මුලින්ම ලැයින් කාමර ඉදිකොට ඇත්තේ 1880 දීය. එකල වතු කම්කරුවකුගේ දිනක වැටුප පැන්ස 9කුත්, ගැහැනියගේ වැටපු පැන්ස 7කි. ළමයකුගේ වැටුප වී ඇත්තේ පැන්ස 5කි. ස්ටලින් පවුම 100 න් බෙදූ විට සිලින් 1ක් වන අතර, පැන්සයක් යනු සිලිම 100 බෙදූ විට වටිනාකමයි. ඉන්දියන් වතුකම්කරුවන් පවුල් පිටින් ලංකාවට ආගමනය පටන්ගෙන ඇත්තේ දස වසරකට පසු 1833 සිටදීය.

බොහෝදෙනා සිතා සිටින්නේ යටත්විජිතවාදීන් තේ වගාවට යොමු වූයේ කෝපි වගාවට යම් දිලීරයක් හටගෙන විනාශයට පත්වූ නිසා බවය. ලංකාවේ මුලින්ම තේ වගාව ව්‍යාප්තියට උත්සාහ ගෙන ඇත්තේ 30 දශකයේදීය.

1837සිට 1841 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයා වූයේ ‘ස්ටුවට් මැකන්සි’ ය. ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ ඇසෑම් නම් ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ තවානේ රෝපණය කළ බව ඉතිහාසයේ සඳහන්ය. ඒත් ලංකාවේ ඒ තේ වගාව ව්‍යාප්ත කරන්නට ඔහු හැකියාවක් ලැබුණේ නැත.

කෝපි වගාව සාර්ථක නොවූ නිසා ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවන් වෙනත් ආදේශ වගා පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඒ සින්කෝනා සහ තේ යි. සින්කෝනා වගාව ද අසාර්ථක වූ නිසා ඉන්පසු බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගේ අවධානයට ලක් වුණේ තේ වගාව පිළිබඳවයි.

මේ අතර 1852 වර්ෂයේදී එංගලන්තයේ සිට ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාවට ආවේ ඒ දිනවල ලංකාවේ ව්‍යාප්ත වී තිබුණු කෝපි වගාව පුරා වසංගත රෝගයක් පැතිරී තිබුණි. මේ නිසා ලංකාවේ කෝපි වගාව විනාශ වෙමින් පැවතුණි.

ලංකාවේ කෝපි වගාව නැවත ව්‍යාප්ත කරන්න හැකියාවක් නොමැති බව වැටහුණු පසු ජේම්ස් ටේලර් තේ වගාව පිළිබඳව තම අවධානය යොමු කරන ලදී. ඉන්පසු තේ පිළිබඳ නොයෙක් අත්හදා බැලීම් සහ පර්යේෂණ කරන්නට ජේම්ස් ටේලර් පෙලඹුණි. ඔහු හේවාහැට ලූල් කඳුර වතුයායේ අංක 7 දරන කොටසේ සාර්ථක තේ වගා ව්‍යාපෘතියක් ඇරඹූ බව ඉතිහාසයේ සඳහන්ය. 1847 වර්ෂයේදී මෙරට ආරම්භක සහ ක්‍රමවත් තේ වගාව ආරම්භ කළ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා තේ වගාවේ පියා ලෙස ජේම්ස් ටේලර් විරුදාවලි ලැබ ඉතිහාසගතව ඇත.

තේ වගාව ලංකාව පුරා ව්‍යාප්ත වීම නිසා 1873 වසර වන විට තේ රාත්තල් 23ක් අපනයනය කරමින් ලංකාව ජාත්‍යන්තර අපනයන ක්ෂේත්‍රයට එක්වූ බව ලිඛිත ඉතිහාසයේ ඇත. 1891 වර්ෂයේදී ලංකාවේ ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවන් ජේම්ස් ටේලර්ට රිදී බන්දේසියක් ප්‍රදානය කරන ලදී. 1892 වසරේදී පාචන උණ රෝගයෙන් ජේම්ස් ටේලර් මිය ගිය අතර, ඔහුගේ මෘතදේහය මහනුවර මහයියාව සුසාන භූමියේ මිහිදන් කර තිබේ. ඔහු වෙනුවෙන් ඉදිවූ කිරිගරුඬ සොහොන අදත් එහි දැක ගත හැක්කේ ‘පියෝ සිලෝන් ටී’ නාමය සිහි ගන්වමිනි.

ජේ. ඒ. ස්ටුවට් මැකන්සි ආණ්ඩුකාරයා අක්කර 2264 , සර් ජෝන් විල්සන් යුද හමුදාවේ අණදෙන නිලධාරි අක්කර 2391, ජෝර්ජ් ටර්නර් උප මහ ලේකම් තැන හා කර්නල් ලින්ඩ්සේ අක්කර 1583. ආවිඩිනන් තැම්පත් ජේ.එම්.එස්. ග්ලේනි දේවගැති තැන අක්කර 1970, හෙන්ට්ලි හා ඩෝසන් සමාගම අක්කර 2000, සී.ඩී. පාලට් සහ සමාගම අක්කර 1500, ඒ.ආර්. ක්‍රෝ සහ සමාගම අක්කර 16,552, ඩබ්ලිව්. ටින්ඩල් අක්කර 2780, ආර්.බී. ටිට්ලර් අක්කර 6169, රිච් සහ සමාගම අක්කර 3123, ජී. බර්ඩ් අක්කර 1752 ආදී වශයෙන් මේ අයට තේ අක්කර අයත්ව තිබිණි. අන්තිමට ඉඩම් අක්කර 1752 හිමිකර ගත් බර්ඩ් යන හාදයා වෙනින් කවුරුත් නොව අපි කලින් කී ලංකාවේ මුල්ම කෝපි වගාව ආරම්භ කළ පුද්ගලයාය.

එක්දහස් නවසිය විසි ගණන්වල ඉන්දියාවේ සිට පැමිණි නඩේෂ අයියර් මුලින්ම කම්කරු සංවිධානයක් පිහිට වූ බව ඉතිහාසයේ සඳහන්ය. ඒ වතු කම්කරුවන්ට වතු හිමියන්ගෙන් වන හිරිහැරවලට එරෙහිවය. ශ්‍රී නේරු අභාවප්‍රාප්ත වීමෙන් පසු ලාල් බහදූර් ශාස්ත්‍රි ඉන්දියාවේ අගමැතිකමට පත්වී එවකට අගමැතිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක සමඟ මේ ප්‍රශ්නය ගැන සාකචඡා ආරම්භ කරන ලදී. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව පුරවැසිභාවය නොලැබූ 525,000 ක් ඉන්දියාවට ගෙන්වා එහි පුරවැසි භාවය දීමට ඉන්දියානු අගමැතිවරයා කැමැති විය. 300,000 කට ලංකාවේ පුරවැසි බව දෙන්නට සිරිමාවෝ මැතිනිය කැමැති විය.

ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට තේ කර්මාන්තය පත්ව තිබුණු නිසා ද තේවතු කම්කරුවන්ගේ නායකත්වයට ඇස් තොණ්ඩමන් පත්ව සිටි නිසා ද හෙතෙම සැලකිය යුතු මට්ටමකින් බලගතු තත්ත්වයක ඒ වන විට පසු විය. උපතින් ඉන්දියානුවකුව සිට ලංකාවට පැමිණ වතුකරයේ ඉන්දියානු කම්කරුවන්ගේ නායකත්වයට පත් තොණ්ඩමන් පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව එම වරප්‍රසාදය උපයෝගී කර ගනිමින් වතු කම්කරුවන්ට හිමිවිය යුතු වරප්‍රසාද දිනා ගන්න දැඩි උත්සාහයක් ගන්නා ලදී.

එදා මෙදා තුර වතු කම්කරුවන් වෙනුවෙන් කතා කළ නායකයා වන්නේ ඇස්. තොණ්ඩමන්ය. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ලෙස දේශපාලනයට පිවිසි බොහේ දෙනා දේශපාලන බලය සමඟ තම වෘත්තීය සමිති කටයුතු අත්හැර දමද්දී තොණ්ඩමන් කළේ තම වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමය. ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කෙරුණි. අවසානයේ වූයේ වතු කම්කරුවන්ගේ නායකයා වූ තොණ්ඩමන් ‘කිං මේකර්’ බවට පත්වීමය.

ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ පුරවැසිභාවය හා ඡන්ද බලය අහිමි වූ ජනතාවට ඒ දෙකම ලබා දෙන්නට පියවර ගෙන ඇත්තේ 1985 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති යුගයේ බවය.

ලංකාවට වතු කම්කරුවන් පැමිණ වසර දෙසීයක් පිරෙන මේ මොහොතේ ඔවුන් සමඟම මෙරටට ආගමනය වූ ජනකවි, නාඩගම් හා සංගීත ඌරුව ගැන අද කවුරුත් කතා නොකිරීම අදහාගත නොහැකි තත්ත්වයකි. මේ වතු කම්කරු ජනතාව වසර 200ක් තුළ මෙරට ආර්ථිකය නඟා සිටුවීමට හෙළන ලද දහඩිය ගැන නිසි තක්සේරුවක් කොට ඊට කෘතගුණ සැලකුවේ දැයි ප්‍රශ්නයක් පමණක් ඉතිහාසයේ ඉතිරි කොට ඇත.

| වජිර ලියනගේ (සිළුමිණ)