ඩව්නින් වීදියේ සිදුවූ මෘදු බල හුවමාරුව

ඩව්නින් වීදියේ සිදුවූ මෘදු බල හුවමාරුව

අංක 10 ඩවුනින් වීදියේ වෙසෙන 'Chief Mouser'' යන බ්‍රිතාන්‍ය නිල අභිදානය ලත් 'ලැරී' තව නොබෝ දිනකින් අපූරු ඇසුරකට පත්වන්නේය. ඒ ලේබර් පාක්‍ෂික කෙර් ස්ටාර්මර් සමඟිනි. ලැරී යනු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය හෙවත් කැබිනට් කාර්යාලයෙහි සරණ පදිංචිය නොවෙනස් එකම සත්වයාය. හේ ඩව්නින් වීදියේ පිහිටි මේ ලෝ පතළ කාර්යාලයෙහි ඔබමොබ දුවපනිමින් සිටින සුරතල් බළලෙක් වන අතර බ්‍රිතාන්‍යය රජය මේ සුරතල් සත්වයා වෙත අපූරු නිල පිළිගැනීමක් ලබාදී ඇත්තේය.

මෙකී ලැරී මේ හමුවීමට සැරසෙන්නේ ඩව්නින් වීදියේ නිල නිවසට පැමිණෙන හයවන බ්‍රිතාන්‍යය අගමැතිවරයාය. මෙලෙස පැමිණෙන ස්ටාර්මර් බ්‍රිතාන්‍යය වැසියන්ට පමණක් නොවේ. ලැරීටද විශේෂිතය. ඒ සුරතල් ලැරී මෙතෙක් හමු වූ නායකයන් පස්දෙනාම කොන්සර්වේටිව් වූ අතර 61 හැවිරිදි ස්ටාර්මර් යනු වසර 14 කට පසු මේ නිල නිවසට පැමිණෙන පළමු 'ලේබර්' පාක්‍ෂික අගමැතිවරයා වීමයි. ඔහුගේ ඇසුරට පත්වීම ලැරී ආශ්වාදයට පත් කරන්නක් වනවා නිරනුමානය.

මෙලෙස ස්ටාර්මර් සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වික්ටෝරියා දෙපළට තම පදිංචිය වෙනස් කරන්නට සිදු වූයේ මන්ද? වසර 2007 සිට 2010 දක්වා තෙවසරක කාලයක් බ්‍රිතාන්‍යය අගමැතිවරයා වූ ජේම්ස් ගෝර්ඩන් බ්‍රවුන්ගෙන් පසුව ලේබර් අගමැතිවරයෙක් තෝරා ගන්නට බ්‍රිතාන්‍යයන් නිර්ලෝභීව කටයුතු කොට ඇති බැවිණි. බොරිස් ජොන්සන් මෙන්ම නයිජල් ෆරාජ් ආදී දුස්-ස්වප්න (Nightmare) බඳු දේශපාලකයන් ඉමහත් වැරවෑයමෙන් ඉදිරියට ගෙනා BREXIT (වසර 2016 දී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමට අදාළ ක්‍රියාවලිය) සංසිද්ධියේ සිට අද දක්වාම බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පෙර පැවති ශ්‍රී විභූතිය උදාකර ගැනීමට අසමත් වූහ.

අසමත් ආර්ථිකයක අඳුරු වලාවන් දසතින් දිස්වන දුර්භාග්‍යමත් සමයක, සෞභාග්‍යයේ සුබ පණිවිඩය ගෙනා සුර කුමරු ලෙස ස්ටාර්මර් පිළිගන්නට බ්‍රිතාන්‍යයන් හට ඇති පදම් හේතුසාධක පැවතියේය. එබැවින් ලේබර් අපේක්‍ෂකයා වූ ඔහුගේ ජය බ්‍රිතාන්‍යයන් තහවුරු කරන ලද්දේ ඉතා ඉහළිනි.

ශ්‍රී ලංකාව දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන තෙක්ම වැළඳ ගෙන සිටි කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වෙන බ්‍රිතාන්‍යය මහා මැතිවරණයේදී ලේබර් පක්‍ෂය ආසන 411 ක් ලබාගැනීමට සමත් විය. ඒ ආසන 650 ක් වූ එහි පහළ මන්ත්‍රණ සභාව හෙවත් House of Commonහි පාලනය සියතට ගැනීම සඳහා අවැසි ආසන 326 සීමාව පහසුවෙන් පසු කිරීමෙනි. එම අනගිභවනීය ජයග්‍රහණයෙහි කැපී පෙණෙන සාධකය වූයේ වසර 2019 පැවති මැතිවරණයට සාපේක්ෂව ලේබර්වරුන් වැඩි ආසන 209 ක් දිනා ගැනීමයි.

ලෝකයේ හයවැනි විශාලතම ආර්ථිකය වුවද, දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ දුප්පතුන්ගේ සංඛ්‍යා දත්ත ඉහළ යමින් තිබූ අවදියක දේශපාලන විචාරකයන් පූර්වයෙන් උපකල්පනය කරන ලද පරිදිම කොන්සර්වේටිව්වරුන් දිනා ගත්තේ ආසන 121 ක් වැනි අවම සංඛ්‍යාවකි. වසර 2019 දී අවසන් වරට පැවති මැතිවරණයේදී ආසන 365 ක් දිනූ ඔවුන්ගෙන් බ්‍රිතාන්‍යයන් නැවත උදුරා ගෙන තිබූ ආසන සංඛ්‍යාව 244ක් විය. ඊට අමතර වශයෙන් ලිබරල් ඩිමොක්‍රටික්වරුන් අසුන් 72 ක ප්‍රමාණයක් සහ ස්කොට්ලන්ත ජාතික පක්‍ෂය ආසන නවයක්ද දිනා ගැනීමට සමත්ව සිටී. තවත් පාර්ශව 11 ක් ආසන 07 සිට 01 ක් දක්වා ප්‍රමාණ අඩුවැඩි වශයෙන් දිනා ගෙන ඇත්තේය.

මෙම මැතිවරණ ප්‍රතිඵල නියත ලෙසම බ්‍රිතාන්‍යයන් ඉදිරිය බලා කරන ලද ආයෝජනයකි. එහි සුවිශේෂතා ද රැසක් ඇත්තේය. එය සරලාකාරයෙන් අර්ථ දැක්විය හැකි පරිදි ස්ටාර්මර් ජයගෙන සුනක් පැරදුණු තරඟයකි.

එහෙත් හිටපු අගමැතිනී ලිස් ට්‍රුස්, ජනාදරයට පත් කුශලතා සපිරි කොන්සර්වේටිව්ගත ජකොබ් රෙස් මොග්, ආරක්‍ෂක ලේකම් ග්‍රාන්ට් ශප්ස්, අධිකරණ ලේකම් ඇලෙක්ස් චොක්, අධ්‍යාපන ලේකම් ගිලියන් කීගන්, House of Commonහි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ සයිමන් හාර්ට්, වසර 1915 සිට අඛණ්ඩව ජන්ද ජයගත් අභීත හමුදා සොල්දාදුවෙක් ලෙස ජනාදරයට පත්ව සිටි ජොනී මර්සර්, රිශි සුනක්ගෙන් පසු නවීකාරක කොන්සර්වේටිව්වරුන් මෙහෙයවීමේ විභවතාව ඇති නායිකාවක් සේ හැඳින්වූ පෙනී මොර්ඩන්ට්, සංස්කෘතික ලේකම්වරිය වූ ලුසී ෆ්රේසර්, ප්‍රවාහන ලේකම්වරයා වූ මාර්ක් හාර්පර්, වැන්නෝ මෙවර මැතිවරණයේදී නිවාස අඩස්සියට පත්කරන්නට බ්‍රිතාන්‍යයන් කල්පනා කොට තිබීම විශ්මයජනකය.

ශ්‍රී ලාංකේය අර්ථයෙන් මේ සියල්ලෝ කලක් House of Commonහි සිට රට පාලනය කිරීමට උර දුන් දැවැන්ත මැති ඇමැත්තෝය. නිදසුනක් ලෙස පෙනී මොඩර්න් හට මේ ගිලිහෙන්නට ඇත්තේ අනාගත කොන්සර්වේටිව් නායකත්වය විය හැකිය. එහෙත් ඒ සියලු අලකලංචි මැද්දේ වැඩි ජන්ද 8,000 ක් ලබාගත් නයිජල් ෆරාජ් වෙස්ට්මිනිස්ටර් මන්දිරය වෙත පැමිණීම තෙවන බලවේගයක නව නැග්මක් සනිටුහන් කරනු ඇත්තේය. හත්වරක් අසමත්ව අටවන වර සමත් වූ ඔහු Reform UK නමින් හඳුන්වන නව බලවේගයේ නායකයාය.

බ්‍රිතාන්‍යය යනු ශ්‍රී ලංකාව කලක් පාලනය කල හා අද ද ශ්‍රී ලාංකිකයන් අනුගමනය කරන්නට කැමති හා වාසභවනය ලෙස තෝරා ගැනීමට කිසිදා නොපැකිළෙන සිහින දේශයකි. එම සිහින දේශයේ සමහර පළාත් පාලන ආයතන පවා මෑත භාගයේ තම බංකලොත් බව ප්‍රදර්ශිත පුවරු ප්‍රදර්ශනය කරන ලද අතර රිෂි සුනක්ගේ පස්වැදෑරුම් ප්‍රමුඛතා මඟින්ද සිතූ පැතූ ලෙස රට ගොඩ ගැනීමට හැකියාවක් ද නොලැබුණි (උද්ධමනය හරි අඩකින් අඩු කිරීම, ආර්ථිකය නැංවීම, ණයබර අඩු කිරීම, සෞඛ්‍ය සඳහා පෙළගැසුණු පොරොත්තු ලේඛන ප්‍රමාණය අඩු කිරීම සහ කුඩා බෝට්ටු මඟින් රට ඇතුළට ඒම නැවැත්වීමේ නව නීති සම්මත කිරීම).

ඒ කෙසේ වෙතත් රිශි සුනක් තමන්ගෙන් ගිලිහුණු බලය මෘදුව හා සරලව ස්ටාර්මර් වෙත පැවරීමේ දසුන මනරම් එකක් වූ අතර දැඩි කුණාටු සහිත මාරුත සපිරි සයුරක නැවක් පදවන කප්පිත්තෙක් සේ ඉදිරියම පමණක් බැලූ ඔහු තවත් කලකට ලෝක වාසීන් හට හමුනොවන ආකාරයේ දීප්තිමත් හා උදාරම් ගති ලක්‍ෂණ පෑ මහත්මයෙක් වනු ඇත්තේය.

වසර 1970 සිට පාර්ලිමේන්තුවේ සිටියද, විධායක ජනාධිපති ධූරයේ දෙවරක්ම රැඳුනද ගිලිහුණු බලය රැකගැන්මට මීට වසර නවයකට පෙර ඈත රුහුණු ගිරුවාපත්තුවේ පිහිටි තම මහගෙදර ජනෙල් කූරක එල්ලුණු මහින්ද රාජපක්‍ෂද, මැතිවරණ කොමිසමට ජන්දය පවත්වන්නට අවැසි ජන්ද පත්‍රිකා මුද්‍රණයට අවසර නොදුන් රනිල් වික්‍රමසිංහද, ඔවුන් දෙදෙනා පසුපස යන අපගේ සම්ප්‍රදායික පුරවැසියෝද, මඳකට නැවතී සුනක් විසින් පැවැත්වූ සමුගැනීමේ කතාව ඇසිය යුතුමය (තෝරාගත් කොටස් කිහිපයක් පමණක් උපුටා ගෙන ඇත).

ඔහු මෙසේ කියයි.

''...................රටට, මා කැමතියි කියන්නට පළමුව සහ සියල්ලට පෙර මට කණගාටුයි. මා, මා ලද තනතුර වෙනුවෙන් මට හැකි සියල්ල කළෙමි - එහෙත් මහා බ්‍රිතාන්‍යය වෙනස් විය යුතුමය යන පැහැදිළි පණිවුඩය ඔබ ලබා දී ඇත්තේය. එබැවින් ඔබ විසින් සිදුකරන විනිශ්චයම පමණක් මෙහිලා අදාළ වනු ඇත්තේය. මට ඔබගේ කෝපය සහ බලාපොරොත්තු කඩවීම් ගැන සවන් වැකී තිබුනි. එබැවින් මේ ඇද වැටීමේ වගකීම මම භාර ගනිමි''.

සුනක් නම් දේශපාලකයා අසුනෙන් බැස ගියද, සුනක් නම් සැබෑ මිනිසාගේ ඉකිගසන ආත්මය මහා බ්‍රිතාන්‍යය නුදුරේදීම සුවපත් කරනු ඇත. අපි, අපගේ බලය අතහැරීමට අකමැති වැඩිහිටියන් උද්දාමයෙන් බලා සිටින ශ්‍රී ලංකාව නම්වූ මාරක ළිදෙහි සර්කස් පෙන්වන ජන්දදායකයෝ පමණක් වන්නෙමු!!

manjula gajanayake 1

| මංජුල ගජනායක