දුස් තොරතුරු සමාජ ගතවීම වැළැක්වීමට ජනමාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා

දුස් තොරතුරු සමාජ ගතවීම වැළැක්වීමට ජනමාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා

2024 ජනාධිපතිවරණය සැත්තැම්බර් 21 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂම පසුගියදා ප්‍රකාශ කලේය. මේ එලඹ ඇත්තේ, පූර්ව ජනාධිපතිවරණ සමයයි. මෙවර ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ප්‍රමාණය 1,321,043 කි. ඒ දිගාමඩුල්ලේ 555,432 ද, මඩකලපුව 449,686 ක්  හා ත්‍රීකුණාමලයේ 315,925  ලෙසත්ය.

ජනාධිපතිවරණයකදී නැගෙනහිර පළාතේ ජනමතය තීරණාත්මක බලවේගයක් බව නොරහසකි. ජනවර්ග රැසකගේ සුසංයෝගයෙන් සබැදි සුවිශේෂි හා සංවේදී  පලාතක් ලෙස පිළිගැනෙන නැගෙනහිර පළාතේ පරමාධිපත්‍ය බලය මෙවර ජනාධිපතිවරණයේදී හා අනෙකුත් ඡන්ද විමසීම් වලදී නිවැරැදිව සහ බුද්ධිමත්ව භාවිතා කරන ලෙස නැගෙනහිර පළාතේ ආගමික නායකයන්, ප්‍රජා නායකයන් හා බුද්ධිමතුන්ගේ ඉල්ලීමයි.විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණයේදී සහ වෙනත් ඡන්ද විමසීම් වලදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් ඉහල යනු ඇති බවත්, එහිදී දුස් තොරතුරු, විකෘති තොරතුරු ප්‍රචාරයවීම අන් කවරදාටත් වඩා වැඩි වශයෙන් ඉහල යනු ඇති බවත් දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

එසේම මෙවර ජනාධිපතිවරණයේදී පලමු වරට AI තාක්ෂණය යොදා ගනු ඇති බවත්, එය බොහෝ විට ජනතාව නොමග යවන කටයුතු සදහා යොදා ගනු ඇති බවට අනුමාන කල හැකි බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙති.

ගෝකන්න සුරකීමේ සංවිධානයේ සභාපති, අග්‍රබෝධි මහා පිරිවෙනේ පරිවේනාධිපති ත්‍රීකුණාමලය , චීනවරාය බෝධිපාදාරාමාධිපති අති පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස හිමි

ඉදිරියේදී එලබෙන්නේ,මැතිවරණ කාල සීමාවයි. එම කාල සීමාව ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ වෙනත් ඡන්ද විමසීමක් විය හැකියි. මේ වෙලාවේ අපි ඒ සදහා තෝරා පත් කර යවන නියෝජිතයන් බුද්ධිමත් ප්‍රබුද්ධ පිරිසක් විය යුතුයි. අපේ පරමාධිපල්‍ය බලය තුලිනුයි මේ පාලකයන් පත් කෙරෙන්නේ. මේ වෙනකොට විවිධ මාධ්‍ය  විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔබේ පරමාධිපත්‍ය බලය නොමග යැවීමට කටයතු කරමින් සිටින බව දකින්නට තිබෙනවා. අපි මේ රැල්ලට හසු නොවී, ඉදිරියට අපේ රට ගැන අපි මීට වඩා හිතලා මේ ඡන්දය වඩාත් නිවැරැදි ලෙස අප විසින් භාවිතා කල යුතු බව මතක් කර දීමට කැමතියි. මෙය ඡන්ද දායකයාගේ යුතුකමක් වගේම වගකීමක් බව සිහිපත් කල යුතුයි. අපේ රටේ අනාගතය පවතින්නේ,අපි භාවිතා කරන ඡන්දය මතයි. තමන්ගේ ඡන්ද බලය මනා ලෙස ප්‍රයෝජනයට අරගෙන මේ රටට හිතැති උගත් බුද්ධිමත් නායකයන්, නියෝජිතයන්, පාලකයන් පත් කරන ලෙසත්, ඡන්දය භාවිතා කිරීමට පෙර ඒ පිලිබදව දෙපාරක් හිතන ලෙසත් මා ඉල්ලා සිටිනවා.

ත්‍රීකුණාමලය රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් රදගුරු හිමිපානෝ

 බොහෝ දෙනෙක් අපේක්ෂා සහගතව බලා සිටි ජනාධිපතිවරණය සදහා මේ වන විට දින නියම කර තිබෙනවා. වසර පහක් සදහා වු මෙම විධායක ජනාධිපති ධූරය සදහා මේ වන විටත්, කිහිප දෙනෙක්ම නාම යෝජනා භාරදී තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ දැක්ම හා අනාගත අභිප්‍රායන් අප ඉදිරියේ ඉදිරිපත් කරමින් සිටිනවා. ඔවුන් වර්ණවත් හා විචිත්‍රවත් පොරොන්දු හා දැක්මවල් ඉදිරිපත් කිරීම ස්භාවිකයි.නමුත්,අවාසනාවකට වගේ, ජනාධිපතිවරණයෙන්, මැතිවරණයෙන් පස්සේ ඔවුන්ට ඔවුන්ගේ පොරොන්දු අමතකව යනවා.කිසිම අයෙකු පරිපූර්න නැතත්, අපි අපගේ පරමාධිපත්‍ය බලයෙන් තෝරා ගන්නා පුද්ගලයා ඉතාමත් නිවැරැදි හා සුදුසුම පුද්ගලයා විය යුතුයි. මොකද අපේ රටේ අනාගතය රදා පවතින්නේ,අපි අපගේ ඡන්දයෙන් තෝරා පත් කර යවන පුද්ගලයාගේ දැක්ම මතයි.මේ නිසා අපි ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ වෙනත් ඕනෑම ඡන්ද විමසීමකදී අපි අපගේ හෘද සාක්ෂියට එකගව අපගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. එය ඔබේත්, මගේත්, රටේත් අභිවෘද්ධියට ඉවහල් වන බව නැවත වරක් මා මතක් කර සිටිනවා.

නැගෙනහිර ආදිවාසි නායක නල්ල තම්බි වේලායුදන්

මාම කැච්චක් හොදමයි. මම පාසල් ගිහින් විභාග පාස් කරලා දැන උගත් කෙනෙක් නෙවෙයි. මම පුංචි කාලේ ඉදලම කැලේ ගහ කොල එක්ක, සතා සිව්පාවා එක්ක මහ පොලව එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මට මේ බිම ගැන හොද අවබෝධයක් පැහැදීමක් තියෙනවා. අපිට සුද්දගෙන් නිදහස හම්බ වෙච්ච දවසේ ඉදන් මේ වෙනකම්ම අපි අපේ ඡන්දය හරියට පාවිච්චි කරාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ ඡන්දය හරියට පාවිච්චි කරා නම්, අද අපේ රට මේ වගේ තැනක තියෙන්න බැහැ. අපි හැමදාම කලේ, ඡන්දයක් වෙලාවට වාසියට, ජාතියට, හැගීමට, බොරුවට ඡන්දය දීලා හොරු පාලකයෝ කරපු එක විතරයි. අපි දැන්වත් අපේ රට ගැන හිතලා අපේ ඡන්දය නිවැරැදිව භාවිතා කල යුතුයි. එහෙම නොවුනොත්, අපේ අනාගත පරම්පරාවටත් සිද්ධ වෙන්නේ අපි විදපු දුක් කන්දරාවෙම කොටස්කාරයෝ වෙන්න. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී ඔබේ ඡන්දය නිවැරැදි කෙනාට විතරක් පාවිච්චි කරන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ආචාර්ය පුෂ්පිකා කුමාරි ගනේගොඩ - සන්නිවේදන අධ්‍යන  හා භාෂා අංශය (ත්‍රීකුණාමළය මංඩපය - නැගෙනහිර විශ්වවිදයාලය)

ඇත්තටම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ වේවා මහ මැතිවරණයක් හෝ වෙනත් ඡන්ද විමසීමකදී මේ කෘතීම බුද්ධිය උපයෝගි කර ගිනිමින් විවිධ නිර්මාණ හරහා ඡන්දදායකයා නොමග යවන සුළු හා විකෘති කරන ලද තොරතුරු සමාජගතවීමේ වැඩි ඉඩක් පවතින්න පුළුවන්. අපිට මේ වන විට මේකට ලෝකයේ අනෙක් රටවල් වලිනුත් උදාහරණ ගන්න පුළුවන්. මේක තුන් ආකාරයකින් සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමා යම් අපේක්ෂකයෙකුගේ ඡායාරූපයක් භාවිතා කරලා  වැරදි තොරතුරු සමාජ ගත කරන්න පුවවන්. දෙවෙනි එක තමා යම් කෙනෙක්ගේ විඩියෝවක් උපයෝගි කර ගෙන වැරදි හා නොමග යවන සුළු ප්‍රවෘත්තියක් සමාජ ගත කරන්න පුළුවන්. තුන්වෙනි එක තමා යම් අපේක්ෂකයෙකුගේ හඩ අනුකරණය කරලත් මේ වගේ දේවල් කරන්න පුවවන්. මේ සැරේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ඉල්ක්ක කර ගෙන ඒ විධිහට ඡායාරූප වෙනස් කිරීම්, විඩියෝ සංස්කරණය කරලා හදපු දර්ශන දැනටත් අන්තර් ජාලයේ සැරිසරන අයුරු ඔබ දැකලා ඇති. දැන් මේ තත්ත්වය ලංකාවේ ඡන්ද දායකයන්ට කොහොමද බලපාන්නේ කියලා කිව්වොත්, අපේ රටේ ඡන්දදායකයන්ගෙන් 98% ස්මාර්ට් පෝන් එහෙමත් සුහුරු දුරකතන පාවිච්චි කරන අය. මේ අතරින් සැලකිය යුතු පිරිසක් වැඩිහිටි අය වෙන්න පුළුවන්. සමහර වෙලාවට තරුණ ප්‍රජාව කෘතීම බුද්ධිය එහෙමත් නැත්නම් AI තාක්ෂණය ගැන දැන ගෙන හිටියත්, වැඩිහිටි ප්‍රජාවගෙන් වැඩි පිරිසකට මේ AI තාක්ෂණය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ අනුව වැඩිහිටි ප්‍රජාව අතරට මේ AI තාක්ෂණය හරහා විකෘති කරන ලද තොරතුරු ගියොත්, ඒකෙන් විශාල හානියක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේක වලක්වා ගන්නේ කොහොමද ? ඇත්තටම මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි, නීතිමය පැත්තෙන් කටයුතු කිරීම. හැබැයි, ඒ සදහා සාමාන්‍ය ජනතාවට ඒ සදහා දැනුම හා තොරතුරු තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒකට තියෙන හොදම විසදුම තමා ජනතාව දැනුවත් කිරීම. ඒ සදහා ජනමාධ්‍යට විශාල වගකීමක් තිබෙනවා. විශේෂයෙන් සම්ප්‍රදායික ජනමාධ්‍යට. මොකද,කවුරු මොන තාක්ෂණය හරහා තොරතුරු ලබා ගත්තත්, අන්තිමේ හවසට ප්‍රවෘත්ති නරඹන්න වාඩි වෙන්නේ, රූපවාහිනිය ඉස්සරහා. ඉතින් ඒ හරහා අපිට පුළුවන්නම්, මොකක්ද මේ AI තාක්ෂණය කියන්නේ, කොහොමද මේ හරහා තොරතුරු විකෘති කරලා ජනතාවට දෙන්නේ කියලා. ඇත්තටම මෙවර ජනාධිපතිවරණයේදී මේ වගේ දැනුවත් කිරීම් මාධ්‍ය මගින් කරනවා නම්, ඒක ඡන්දදායකයාට තමාගේ ඡන්දය භාවිතා කිරීමට විශාල පිටුවහලක් වෙයි කියලා විශ්වාස කරනවා.ඒ වගේම සමාජ මාධ්‍ය හරහා යන වැරදි තොරතුරු නිසා ඡන්දදායකයන් නොමග යන්න පුළුවන්. මේ නිසා රටේ සමස්ථ මහජනතාවගේ යහපැවැත්මට බලපෑමක් ඇති කරවන්න පුළුවන්. මේකට තිබෙන හොදම විසදුම විධිහට මම දකින්නේ,මහජනතාව දැනුවත්වීම හා දැනුවත් කිරීමයි. මෙවර ජනාධිපතිවරනයේදී හෝ ඉදිරියේ පැවැත්වෙන ඕනෑම ඡන්ද විමසීමකදී මේ AI තාක්ෂණය වගේම සමාජ මාධ්‍ය හරහා ඡන්දදායකයන්ට සිදු කෙරෙන බලපෑම ඉතාමත් ඉහල මට්ටමකට පැමිණෙන්න පුළුවන්. මේ තුලින් සැබෑ ජනමතය යට ගිහින් ව්‍යාජ ජනමතයක් මතු වෙන්න හැකියාව තිබෙනවා.මෙන්න මේ කාරණය පිළිබදව ජනතාව දැනුවත්විය යුතුයි. හැම විටම ඔබේ ඡන්දය භාවිතා කිරීමට පෙර, දෙවරක් හිතන්න. මොකද මේ ඡන්දය මත තමයි, රටේ අනාගතය රදා පවතින්නේ.

මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තහම පරමාධිපත්‍ය බලය තියෙන්නේ, රටේ පුරවැසියන්ට. පුරවැසියා මැතිවරණයේදී වැරදී තොරතුරු වලට නොරැවටී වඩාත් නිවැරැදි ලෙස පරමාධිපත්‍ය බලය පාවිච්චි කල යුතුයි. මෙවර ජනාධිපතිවරණයේදී කෘත්‍රීම බුද්ධිය බොහෝ විට මෙවැනි වැරදී තොරතුරු සමාජ ගත කිරීම සදහා යොදා ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ නිසා වඩාත් සුසුදු පුද්ගලයෙකු සිහිනුවනින් බුද්ධියෙන් තෝරා ගැනීම තමයි ඡන්දදායකයා කල යුත්තේ. ඒක පුරවැසියෙකු සතු වගකීමක් වගේම යුතුකමක්.

 

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග

ඡන්ද විමසීමක් කියන්නේ,රටක ප්‍රජාත්‍රන්තවාදයේ මූලිකම ලක්ෂණයක්. ජනාධිපතිවරණයක් හෝ වේවා මහ මැතිවරණයක් හෝ වේවා එහෙමත් නැත්නම් වෙනත් ඡන්ද විමසීමකදී ඔබේ ඡන්ද අයිතිය අතිශයින්ම වැදගත්. සමහරක් අය හිතනවා තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කල යුතු නැහැ. මොකටද මම ඡන්දය දෙන්නේ. මට මේකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒක තමා ඔබ කරන අනුවනම ක්‍රියාව. ඕනෑම ඡන්ද විමසීමකදී ඔබේ පරමාධිපත්‍ය අයිතිය ඔබ පාවිච්චි කල යුතුමයි. ඔබේ රටේ ඊලග නායකත්ව, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම, පාලනය කිරීම, අණපනත් සම්පාදනය කිරීම කරන්නේ කවුරුන්ද කියන කාරණය තීරණය කල යුත්තේ, ඔබමයි. ඒක තමා ඔබේ අයිතිය. ඒ අයිතිය කිසිම විධිහකින් පැහැර හරින්න එපා. ඕනෑම ඡන්ද විමසීමකදී ඔබ හොදින් කියවලා බලලා හොදින් තොරතුරු අරගෙන නිවැරැදි තීරණයක් අර ගන්න. ඒක ඔබේ වගකීම සහ යුතුකම. ඔබ ඡන්ද වීමසීමකදී ගනු ලබන තීරණය අතිශයින්ම තීරණාත්මකයි.රටේ අනාගතය තීරණය වන්නේ, ඔබේ වටිනා ඡන්දයෙන් බව කිසිවිටකත් අමතක කරන්නට එපා.

| මංගලනාත් ලියනආරච්චි - ත්‍රීකුණාමලය

 

සබැඳි පුවත්