නිවාස නැතිව දුක්විඳින මිගමුව කම්කරු පවුල්

Homeless-workers-sri-lanka

රටක ජීවත්වන සැමට නිවසක අයිතිය හිමිවිය යුතුය. නිවාස අහිමි විම පරම්පරාවෙන් පරම්පරාවට සිදුවන්නක් බවට පත්වී තිබීම බේදවාචකයකි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ යහමින් සිදුවන සංවර්ධනය සමබර වන්නේ ජීවත්වන පුරවැසියන් සැමට සෙවනක් හිමි වුවහොත් පමණි- ලංකාවේ මිලියන 1-5ක් වාසස්ථාන අහිමිවුවන් වෙත ක්‍රමවත් අවධානයක් යොමු වී “හිසට සෙවනක්” ප්‍රමුඛත ම අවශ්‍යතාවයක් ලෙස සළකා, තිරසර විසඳුමක් ලබාදීම නව ආණ්ඩුවේ අංක 1 අවශ්‍යතා ලැයිස්තුවේ තිබිය යුතුය. ඒ සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් නිවසක අයිතිය තහවුරු කරන නව නිවාස ප්‍රතිපත්තියක් බිහිකර 2025 වසරේ ඔක්තෝබර් මාසය 06 වන දා ට යෙදෙන ලෝක වාසස්ථාන දිනය සැමරීමට පියවර ගැනීම යුක්ති සහගතය.  

” වාසස්ථාන අහිමි ජනතාව සීතලේ මහ පාරේ මිය යමින් සිටිති. එහෙත් ඒවා වැදගත් ප්‍රවෘත්ති නොවේ. නමුත් තොග වෙළෙඳපළ (Stock Market) ලකුණු 10ක් අඩුවීම විශාල ඛේදවාචකයක් බවට පත්ව තිබේ. මේවා අද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.” යනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කරයි. ලෝකය පුරා මේ වන විට මිලියන 150කට අධික ජනතාවක් වාසස්ථාන අහිමි ව ජීවත්වන බව වාර්තා වන අතර , ශ්‍රී ලංකාවේ ද මිලියන 1-5ක් වාසස්ථාන අහිමිවුවන් ජීවත්වන බව The Borgen Project නැමති ව්‍යාපෘතියේ  වෙබ් අඩවිය වාර්තා කරයි. (https://borgenproject.org/homelessness-in-sri-lanka/)

ශ්‍රී ලංකාවේ නිවාස අහිමි ජනගහනය පිළිබඳව නිශ්චිත සංඛ්‍යාවක් නොතිබුණ ද, ශ්‍රී ලාංකීකයින් මිලියන 1-5කට ඉඩම් නොමැති බවත්, එය නිසැකව ම නිවාස නොමැතිකමට බලපාන සාධකයක් බවත්, නිවාස නොමැති අය කොළඹ නගරය අවට බස් නැවතුම්පොළවල් සහ වීදි කොනවල වාසය කරන අතර, තවත් කාණ්ඩයක් බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බවත්, ශ්‍රී ලංකාවේ නිවාස නොමැතිකම රටේ දරිද්‍රතාවයේ වඩාත්ම දෘශ්‍යමාන ආකාරයක් බවත් The Borgen Project නැමති එම ව්‍යාපෘතිය පෙන්වා දෙයි.

මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය වැනි විශේෂිත දින පාදක කරගනිමින් මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය, යන අඩු ආදායම්ලාභි නිවාස අහිමිවූවන්ගෙන් ම සැදුම්ලත් සංවිධානය විසින් වසර 40ක් පුරාවට  මීගමුව ප්‍රදේශය පුරා විසිරී ජීවත්වන වාසස්ථාන අහිමි ජනතාව වෙනුවෙන් ”හිසට සෙවනක්” සොයා ගනු වස් නිරන්තර අරගලයක යෙදී සිටින ජනතා සංවිධානයකි.

‍| මේරි මානෙල් ප්‍රනාන්දු

“මීගමුව ප්‍රදේශය තුළ ජීවත්වන අඩු ආදායම් ලාභි, වාසස්ථාන අහිමිවුවන් වෙනුවෙන් ක්‍රියාකාරී වන, මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානයට අරමුණු දෙකක් තිබෙනවා. හිසට සෙවනක් අහිමි සමස්ත ජනතාව වෙනුවෙන් හඬක් නැගීම හා විවිධ වු සාධාරණ හේතු මත වාසස්ථානයක් අහිමි වීම පරම්පරාගත ක්‍රියාවක් බවට පත්වීම හේතුවෙන් ඒ වෙනුවෙන් රාජ්‍ය අවධානය යොමුකරවමින් නිවෙසක අයිතිය මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලෙස බලපෑම් කිරීම” යැයි ජනාවබෝධ කේන්ද්‍රයේ නිවාස අහිමිවුවන් ගේ වැඩසටහනේ සම්බන්ධිකා මේරි මානෙල් ප්‍රනාන්දු සඳහන් කළේය.

වාසස්ථාන අහිමි, මීගමුවේ ජීවත්වන අඩු ආදායම් ලාභි පවුල්වලට සෙවනක් ලබාදීම සඳහා වසර 40ක කාලසීමාවක් තුළ දී මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය විසින් මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය සඳහා අවශ්‍ය සජීවනය ලබාදෙමින් , මගපෙන්වමින් පහසුකම් සළසා දෙනු ලබයි.

එපමණ කාලයක් තුළදී මීගමුවේ නිවාස අහිමිවුවන් වෙනුවෙන් දියත්කරන ලද විශාල අරගලයන්ගෙන් පසුව කඩොල්කැලේ නිවාස 64 යෝජනා ක්‍රමයක්, අක්කර 50 නිවාස යෝජනා ක්‍රමයක්, ශාන්ත පේදුරු නිවාස යෝජනා ක්‍රමය සහ කුරුසවත්ත, පත්තායම්වත්ත ඉඩම් වෙන්කර, මීගමුවේ විසිරි සිටි අඩු ආදයම් ලාභි නිවාස අහිමිවුවන් යම්කිසි ප්‍රමාණයකගේ හිසට සෙවණක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බව මානෙල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

වින්දිතයින් වර්ධනය වුව, ප්‍රශ්නය එසේමයි

ඒ වසර කිහිපයකට මතුව දී සිදූවුවක් වු අතර වර්තමානයේ දී අඩු ආදායම් ලාභිී වාසස්ථාන අහිමි සිංහල, දෙමළ සහ මුස්ලිම් සාමාජික සාමාජිකාවන් 2000ක් පමණ මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය හා සම්බන්ධ වී සිටින අතර, පොදුවේ ගත්කළ මීගමුවේ පමණක් වාසස්ථාන අහිමි සංඛ්‍යාව 20000 කට වඩා අධික යැයි මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානය තොරතුරු ගවේෂණය කර සකස්කර ඇති සංදේශයේ සටහන් කර ඇත. මේ වන විට අඩු ආදායම් ලාභි නිවාස අහිමිවුවන්ගේ තෙවැනි සිව්වැනි පරම්පරාවන් ද සිය සංවිධානය සමඟ සම්න්ධ වී හිසට සෙවණක් සොයන අරගලයෙහි නිරතව සිටින බව ද එහි සඳහන් කරයි.  

මෙකී පවුල් බොහෝවිට දිවි ගෙවන්නේ කුලී නිවාසවල, ඥාතී නිවෙස්වල, හිතවතුන්ගේ නිවෙස්වල, එහෙත් සීමාකම්, නීති රීති, සීමාපැනවීම් යනාදිය  හමුවේ සිය නිදහස ද තර්ජනයට ලක්වන වාතාවරණයන් යටතේය. “මිදුලක පැලයක් සිටුවීමට හෝ මරණයක අවසන් කටයුතු සිදුකිරීමට හෝ අවසරයක් නොමැති අකාරුණීක පසුබිමක ජීවත්වනවාට වඩා, අනේක විධ අඩුපාඩුකම් මැද අපහසුතා මැද එකම පවුලේ වුවත් එකම නිවසක් තුළ සණ්ඩුසරුවල් වෙමින් ඇනකොටා ගනිමින් ජීවත් වනවාට වඩා, ගල් ගුහාවක දිවි ගෙවීම දහස් ගුණයකින් සැනසීමක්”යැයි ප්‍රකාශකරන්නට තරම් ඔවුන් වාසස්ථාන “නැති කමේ” පීඩාවෙන් පෙළෙති.

නිවෙසක අයිතිය මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලෙස, අඩු ආදායම්ලාභි සැමට නිවසක අයිතිය හිමිවන ක්‍රියාකාරී නිවාස ප්‍රතිපත්තියක් සැකසීම , මීගමු සංවර්ධන සැලසුම්වල ද අඩු ආදායම් ලාභි ජනතාවට නිවාස වැඩපිළිවෙලක් ඇතුලත් කිරීම, පළාත් පාලන ආයතනවල වාර්ෂීක සැළසුම් වලදී ජනතා සහභාගීත්වයෙන් යුතුවු සැළසුම් සකස් කිරීම, පළාත්පාලන පරිපාලන ආයතන තුළ පවතින කමිටුවලට සිවිල් සංවිධානය හා ජනතා සහභාගිත්වයෙන් යුතු වු කමිටු පණගැන්වීම, සහ අඩු ආදායම් ලාභී ජනතාවගේ නිවෙසක ගෞරවනීය අයිතිය ඡන්ද ලබාගැනීමට භාවිතා නොකරන ලෙසට වගකිවයුතු පාර්ශවයන් කටයුතු කිරීමත් යනාදී වශයෙන් ඉල්ලීම් සමූහයක්, මීගමුවේ වාසස්ථාන අහිමි ජනතාව, නොයෙක් වර නොයෙක් රාජ්‍ය බලධාරින් සහ ආගමික නායකයින් වෙත භාර දුන් සංදේශවල සඳහන් වෙයි.

දහස් ගණනක් වැයකළත් නිදහසක් නැතිවීම

කුලී වැඩ කරලා උපයා ගන්නා සොච්චම් මුදලින් ගෙවල් කුලී ගෙවලා පවුලේ ඉන්න අය කන්න බොන්න ලෙඩට දුකට වියදම් වුණා ම ඉතිරියක් කෙසේවත් නැතිවෙද්දි, ටික කාලයක් යද්දි කුලී ගෙවා ගන්න බැරුව ගෙවල් අයිතිකාර අය ගෙවල් ඉස්සරහට ඇවිත් කෑ ගහන නිසා ණයට අරං කුලී ගෙවන්න වුනා ම, ඒ ණය ගෙවාගන්න බැරි වෙද්දි පොලියට ගන්න වුණාම කොහොමද කුලී වැඩකරලා ජීවිතේ ගැටගසා ගන්න අපේ ජීවිත කියා ප්‍රශ්න කළේ, සිය කුටුම්භය නියෝජනය කරන, ස්ථීර වාසස්ථානයක් අහිමි නිසා අසරණ තත්ත්වයට පත් සුභද්‍රා කුමාරි ය.

මීගමුවේ වාසස්ථාන අහිමි ජනතා සංවිධානය ට බැඳී වසර 20ක් වන, වර්ථමානය වන  විට කුලී නිවාස 15ක ජීවත් වූ සිව්දරු මවක් වන, සිය සැමියා සමඟ කුලියට කරවල වේලන රැකියාවේ නිරත වැල්ලවීදීය ගමේ ජීවත්වන, විජය අම්මාගේ සමූර්ධි දීමනාව ද පසුගිය රජයෙන් කපා හැරීම තුළ අන්ත අසරණ බවට පත්වූ බව කීවේය.

“එපමණක් නොව, ඇතැම් කුලී නිවෙස් මාස 06න් ආපසු ඉල්ලනවා, එහෙම නැත්නම් හිටපු ගමන් කුලිය වැඩි කරනවා, වර්ෂා කාලෙදි ගේ හැම තැනම තෙමෙනවා. අඳින වස්තරේ ඉඳලා නිදාගන්න තැන්, උයාපිහා ගන්න තැන් තෙමෙනවා, ගෙට වතුර දානවා නමුත් කිසිම පිළිසරණක් නැහැ”, යනුවෙන් විජය අම්මා කීවේ තමන් විවාහ වී වසර 30ක් ගත වන මේ මොහොතේ ත් තමන්ගේ ම කියා හිසට සෙවනක් නොමැතිකම තුළ ජීවිතයට කිසිම නිදහසක්, සතුටක් ළඟා වි නොමැති බවයි.

| විජය අම්මා 

“අපට කියලා ඉඩමක් ගන්න හෝ නිවසක් සල්ලි දීලා ගන්න කිසිම වත්කමක් නැහැ. ඒ නිසා අපිට අඩුම තරමේ තට්ටු නිවාස සංකීර්ණයක්වත් ලබාදෙන්න කියලා අලුත් ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.”යනුවෙන් 72 හැවිරිදි විජය අම්මා හැම දෙනාවෙනුවෙන් ම සිය අසරණකමේ ඉල්ලීම එසේ ගොණු කළේය.

මීගමුවේ වාසස්ථාන අහිමි ජනතා සංවිධානය වෙනුවෙන් උරෙන් උර ගැටි කටයුතු කරන  ජනාවබෝධ කේන්ද්‍රයේ හිටපු පරිපාලන ලේකම් සහ වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශක වින්සන්ට් බුලත්සිංහල කීවේ මේ ජනතාව දිනෙන් දින ජීවන ප්‍රශ්න සමගින් පීඩාවට පත්වන අතර, කුමන පාර්ශවයකින් හෝ තමන්ගේ දැවෙන ප්‍රශ්ණයට එකම විසඳුම “හිසට සෙවනක්” ලබාගැනීම සඳහා ජනාවබෝධ කේන්ද්‍රය සමග අත්වැල් බැඳගෙන විවිධ දේශපාලනඥයින් සමග ආගමීක නායකයින් සමඟ සාකච්ඡා කරමින් ගත හැකි සෑම උත්සාහයක් වෙනුවෙන් ම පෙළගැසෙන බවයි. 

ආන්තීක ප්‍රජාව කෙරෙහි බලධාරීන්ගේ අවධානය

මීගමුව ප්‍රදේශයේ නිවාස අහිමි අය වෙනුවෙන් නගර සභාව මොනවාද කරලා තියෙන්නේ? නිවාස යෝජනා ක්‍රම හදන්න පුලුවන්ද? ඒ ගැන විමර්ශනයක් කෙරුවාද? මීගමුවේ ඉඩම් තිබෙනවාද? පැල්පත් නිවාස තිබෙන ස්ථානවල ඒ පැල්පත් ඉවත් කරලා තට්ටු නිවාස හරි හදලා මේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව පොඩිහරි උත්සාහයක් ගත්තද? යන ප්‍රශ්නවලට, වින්සන්ට් බුලත්සිංහල ප්‍රකාශ කරන ආකාරයට 80 දශකයේ දී වරින්වර ඉඳිකළ නිවාස ව්‍යාපෘති කිහිපයක් (04ක් පමණ) හැරුණුකොට මේ වන විට උග්‍රවී ඇති නිවාස ප්‍රශ්නයට කිසිඳු ආකාරයක විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැති බවය.

“පළාත් පාලන නියෝජිතයින්ගේ පිළිතුර වුණේ කිසිදෙයක් කරන්න පිළිවෙලක් නැහැ කියන එකයි. නමුත් පළාත්පාලන ආයතනවල එක කාර්යභාරයක් තමයි නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීම- මේ වන විට පළාත්සභා අක්‍රීය වුණත් පළාත් ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා, නමුත් නිවාස වැඩපිළිවෙලක් වෙනුවෙන් කිසිම දෙයක් සිදුවන්නේ නැහැ- ඒ වගේම තමයි මධ්‍යම රජය. මේ දෙගොල්ලටම සම්පූර්ණ වගකීමක්, අයිතියක් තියෙනවා රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය නිසි විදියට ආමන්ත්‍රණය කරන්න. හිටපු නිවාස ඇමතිවරු මුණගැසීම පවා අසීරු වුණා. මුණගැසුණු අයත් මේ මිනිස්සූන්ට බොරු පොරොන්දු දුන්නා විතරයි.” යැයි ඔහු හිසට සෙවනක් සෙවීමෙහි අරගලයේ අතීතාවර්ජනයක් සිහිපත් කළේය. 

මෙපමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳව නිසි සැලැස්මක් තිබී නොමැත. වසර පහෙන් පහට මහජනතාවගේම ඡන්දයෙන් බලයට පැමිණෙන මහජන නියෝජිතයින් තමන් පත්කළ පුරවැසියන්ගේ අවශ්‍යතා අමතක කරදමා සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් ඉඩම් පෞද්ගලීක සමාගම්වලට බදු දීම සිදුකරයි. පුරවැසි කතිරයෙන් බලයට පත්වූ විට තමන්ට බලය ලබාදුන් ඒ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නොවීම යුක්ති සහගත නොවේ.    

කඩදාසියට පමණක් සීමාවූ ප්‍රතිපත්ති

බලයට පැමිණීමට පෙර සියලුම දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙකී නිවාස අවශ්‍යතාවය සම්භන්ධයෙන් මහා ඉහළින් ප්‍රමුඛතා දී තිබුණ ද, මෙතෙක් සිදුවුයේ ඡන්දයෙන් පසුව ඒවා නිකම් ම නිකම් කඩදාසි ප්‍රකාශ බවට පත්වීම පමණි.

2024 - අලුතෙන් පත්වූ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද නිවාස ප්‍රශ්නය පිළිබඳව සඳහන් වෙන බවත් ඔවුන් එම ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතා ඇසින් අවධානය යොමුකරන බව ප්‍රකාශකර ඇති බවත් සඳහන් කළ වින්සන්ට් බුලත්සිංහල, මේ ආණ්ඩුවෙන්වත් තමන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි යන බලාපොරොත්තුව මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානයේ ජනතාව තුළ අලුත් බලාපොරොත්තුවක් දල්වා ඇති බව සඳහන් කළේ.

වින්සන්ට් බුලත්සිංහල

අනෙක් අවශ්‍යතාවන් මෙන් නොව, නිවාස, මිනිස්සුන්ගේ ජීවිත හා බැඳුණු මූලික අවශ්‍යතාවයක් හෙයින්, ජනතාවගේ රජයක් යැයි හඳුන්වා දුන් මෙම නව රජය ඊට විශේෂ අවධානයක් ලබාදිය යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

“ඒ නිසා, මීගමුවේ පවතින මේ නිවාස අර්බුදයට එකම පිළියම වශයෙන් නිවාස ව්‍යාපෘතියක දැඩි අවශ්‍යතාවය තියෙනවා, ඇතැම් අය අකමැති වුනත් මහල් නිවාස ව්‍යාපෘතියක් තමයි මිගමුවට ගැලපෙන්නේ. මොකද, මීගමුවේ දැනට පවතින භූමියේ ප්‍රමාණය නිසාම මහල් නිවාස ව්‍යාපෘතියක් තමයි සුදුසු. ඒ නිසා අපි දැන් අඩු ආදායම්ලාභි මිනිසුන් ගේ මනස සකස්කිරීමේ උත්සාහයක නිරතව සිටිනවා, වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටියත්, නොලැබුණු තනි නිවාස නෙවෙයි, අඩුම තරමේ මහල් නිවාසවත් දැන් ලබාදෙන්න කියා ඉල්ලා සිටිමු කියන නව අදහස වෙනුවෙන්” යැයි ඔහු කීවේය.  

විග්නේෂ්වරන් කුවේනි

“මෙතෙක් කාලයක් තුළ දී පැවති රජයන් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් හෝටල් හදමින් නගර සංවර්ධනය කළා මිස ඉන්න තැනක් නැති අපි ගැන බැලුවේ නැහැ. අපි ගිහිං අපේ ප්‍රශ්නය කිව්වම අපිට කියන්නේ කොහෙ තියෙන ඉඩම් ද කියලා. ඉඩම් නැත්තේ නැහැ. ලංකාවේ ඕනතරම් ඉඩම් තියෙනවාඔ. නමුත් ඒවා පිටරටවලට විකුණලා. විකුණන්න ඉඩම් තියෙනවා. නමුත් මිනිස්සුන්ට ජීවත්වෙන්න දෙන්න ඉඩම් නැහැ.” ඒ, තවත් අඩු ආදායම්ලාභී පවුලක, ජීවිත සටනට මුහුණ දෙමින් හිසට සෙවනක් සොයා ලතවන විග්නේෂ්වරන් කුවේනිගේ හදවතින් නැගුණු චෝදනාවයි. ඇය, මීගමුවේ වාසස්ථාන අහිමි ජනතා සංවිධානයේ සභාපතිනිය ද වේ.

අඩු ආදායම මානසීක පීඩනය ත්‍රීව්ර කරයි

වසර 19ක් තුළ කුලී නිවාස 13ක පදිංවි වී ඇති කුවේනී, එම නිවසට මසකට රුපියල් 20,000.00ක් ගෙවන අතර වසර 13කට පෙර රුපියල් 1000.00 කින් ආරම්භ කළ බව කීහ. එහෙත්, කුවේනිගේ සැමියා ෂතීශන් විග්නේෂ්වරන් ද කිීවේ එතරම් විශාල මුදලක් ගෙව්ව ද, වැස්සට තෙමි තෙමි සන්තකයට තියෙන බඩු භාණ්ඩත් නාස්තිකරගෙන ලයිට් බිල, වතුර බිල යනාදී අනිවාර්යය මාසික ගෙවීම් කරන්නට තමන් උපයන්නේ, දවසට රුපියල් 2000-00 ක් පමණක් බවය.

දරුවන් තිදෙනෙකුගේ පාසැල් අධ්‍යාපනය සඳහා ද මුදල් සෑහෙන පමණ අවශ්‍ය බව පැවසූ කුවේනිී දරුවන් පාසැල් ඇරී නිවසට පැමිණෙන වේලාව වන විට ඇය සිහිමුර්ඡා වන තරමට හිතට පීඩනයක් , බියක් දැනෙන බව කීවේය. “අම්මේ හෙට ස්කෝලෙට රුපියල් 500ක් ගෙනියන්න ඕනේ, මටත් 500ක් ගෙනියන්න ඕනේ. ටියුෂන් පංතියට මාසේ ගාස්තු ගෙවන්න ඕනේ” කියා ඉල්ලා සිටින හඬවල් කොහෙන් ඇසේවිදෝ යී සිත සලිත වන බව පැවසීය.

ෂතීශන් විග්නේෂ්වරන්

මුන්නක්කරය ප්‍රදේශයේ 15වැනි කුලී නිවසෙහි ජීවත්වන 43න් වියැති නිලූකා කුමාරි මීගමුවේ වාසස්ථාන අහිමි ජනතා සංවිධානයේ සාමාජීකාවක් වන අතර වසර ගණනාවක් තිස්සේ කුලී නිවාසවල ජීවත්වීම තුළ පුරවැසියන් ලෙස තමන්ට අහිමි වී ඇති එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සම්භන්ධයෙන් අදහස් දක්වමින්, ”අපිට කියලා ස්ථීර ලිපිනයක් නැහැ. ග්‍රාමසේවක සහතිකයක් ගන්න විධියක් නැහැ, හදිසියේ අප මළොත් අපේ මිණිය අපි ඉන්න ගෙදර තියාගන්න බැහැ, අපට අවශ්‍ය කරන විධියට බිත්තියට ඇණයක් ගහලා පිංතූරයක් ක්ලැන්ඩරයක් එල්ලන්න බැහැ, අපේ අතින් නිවසට පුංවි හරි තුවාලයක් හානියක් වුනොත් අපි දීලා තියෙන ඇඩ්වාන්ස් මුදලින් කපනවා, වශයෙන් නිලූකා කුමාරී විස්තර කළේය.

“ඇඩ්වාන්ස් දෙන්න ලක්‍ෂයක් ගත්තේ පොලියට, දැන් පොලිය ගෙවාගන්න බැරිව දස අතේ කල්පනා කරන්නේ මේ ණය ගෙවාගන්නේ කොහොමද කියලා. මම විතරක් නෙවෙයි, නිවාස අහිමි අපි හැමෝම එදා වේල් තුනම කාපු අපි දැන් එක වේලයි දෙකයි කන්නේ. හැම පවුලක් ම ඉන්නේ පුදුම විධියක චිත්ත පීඩාවක” ඒ නිලූකාගේ අපේක්‍ෂා භංගත්වයේ බිඳුණු ස්වරයයි.    

| නිලූකා කුමාරී

“විශේෂයෙන් මීගමුව ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලටත් ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ලංකාව පුරා ජීවත්වෙන නිවාස අහිමි සියලු පවුල්වලටත් “හිසට සෙවනක්” ලබාදෙන ආකාරයේ “නිවාස ප්‍රතිපත්තියක්” ගෙනෙන්න කියලා අලුත් රජයෙන් අපි ඉල්ලා සිටිනවා.  ඒ වගේම, මීගමුව අඩු ආදායම්ලාභී පවුල්වලට මහල් නිවාස පද්ධතියක් ලබාදෙන්න කියලා නව රජයෙන් අපි ඉල්ලා සිටිනවා. තවදුරටත් හිසට සෙවනක් නොමැතිව මේ දුෂ්කර ගමන ඉදිරියට යන්න ශාරීරිකවත් මානසීකවත් අපිට හය්යක් නැහැ. මේ පීඩාවෙන් මිදිලා නිදහසේ ජීවත් වෙන්න අපිත් කැමතියි” නිලූකා කීවේය.  

වසර 40ක් පුරා එකම අපේක්‍ෂාවක් වෙනුවෙන් අත්නොහල අරගලයක යෙදුණු මීගමුව වාසස්ථාන අහිමි ජනතා සංවිධානයට අයත් සියලුම පුරවැසියන් ඉල්ලා සිටින එකම විසඳුම “හිසට සෙවනක් ” ලබාගැනීමේ අවශ්‍යතාව සැබෑවක් කරගැනීමට, ඕනෑවටත් වඩා ප්‍රමාණයකින් බලය හිමිකර ගත් ජනතාවගේ රජයකට ඉතා සරළ කාර්යයකි- එදා කතිරයේ බලයෙන් ජයග්‍රහණය ලබාදීමට ගරු කිරීමක් ලෙස මෙදා බලයේ සිටින, ජනතාවගේ ආණ්ඩුව වෙතින් ඔවුන් ඉල්ලා සිටින “සාධාරණ ඉල්ලීම ඉටුකිරීමට” පමාවිය නොයුතුය. පමාවීමට ද කාරණා නොමැත.

Melani Manel Perera 2

| මෙලනි මානෙල් පෙරේරා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.