"කොළඹ අයිතිකාරයෝ" අසාධාරණයට හා හිංසනයට පත්වූ ගෘහස්ත සේවකයින්ට හා වීදි කතුන්ට සාධාරණය ඉටු කළා
කොළඹ අගනාගරික උපසංස්කෘතිය ඇතුළට ගොස් බලන විට ඊට ආවේණික අනුලංඝණීය ලාංකේය මහා සංස්කෘතියට ඇතුළත් නොවන එම මහා සංස්කෘතියට මැජික් වගේ වුණ සංස්කෘතික සාධක රැසක් තිබෙනවා. මෙම නාගරික ජනපද ජනයා ලාංකේය මහා සමාජයෙන් වෙන් වන්නේ මෙම සංස්කෘතික ලක්ෂණ නිසයි.මහා සංස්කෘතියට ආගන්තුක මෙම සංස්කෘතික ලක්ෂණ ඔවුන් දකින්නේ "මහා නරකාදී ලක්ෂණ" හැටියටය.උදාහරණයක් හැටියට මුඩුක්කුවේ කුණුහරුප යනු එදිනෙදා සාමාන්‍ය භාවිතයට අයත් හැඟීම් ප්‍රකාශන වචන මිසක් ලාංකේය මහා සංස්කෘතියට මෙන් අවවහරක් නොවේ. සමහර කෙනෙක් දරුවෙක්ට පවා ආදරයට කතා කරන්නෙත් කුනුහරුපයකිනි. මෙම ලාංකේය මධ්‍යම පන්තියට සහ නාගරික උපසංස්කෘතියෙන් බැහැර සංස්කෘතික කලාපවලට මැජික්ය.
ලාංකේය මහා සංස්කෘතියේ සහ නාගරික මැද පන්තියට නැති නාගරික උපසංස්කෘතියට පමණක් ඇති අපූරු චරිතයකි "වත්තේ අයියා" හෙවත් ප්‍රජා නායකයා. හරියටම කිව්වොත් ඔහු රැලේ නායකයාය. තමන්ගේ සනුහරේ එවුන්ගේ දුක සැප හොයන හරි වැරැද්ද බලන එම චූල නායකයාගේ වචනය එම චූල ජනපදයේ අවසාන තීරණයයි. ගෝත්‍ර සමාජවල සිටිනා රැහේ නායකයා මෙන් ඇත් පන්තියේ ඇත් නායකයා මෙන් ඔහු තමන්ගේ පරිවාරයේ මිනිසුන්ගේ ජීවිතයත් අරගෙන ඉදිරියට යන්නෙකි. බොහෝ විට එම වත්තේ එහෙම නැත්නම් කලාපයේ නැතිනම් ඒරියා එකේ මිනිස්සු යැපෙන්නේ ඔහුව කේන්ද්‍ර කරගෙනයි.
බොහෝ දුරට මේ චරිතයේ ජීවනෝපාය නීති විරෝධී ව්‍යාපාර හා බැඳී පවතී.මත්පැන්.(රජය නිෂ්පාදිත අරක්කු හෙවත් සීල් අරක්කු සහ කසිප්පු) ගංජා අලෙවිය, කප්පන් ගැනීම, බූරුවා ගැස්සවීම සහ වෙනත් සූදු මෙහෙයවීම, බිලියඩ් මේස පවත්වාගෙන යාම, පොකට් ගැස්සවීම, ක්ලබ් සහ බාර් පවත්වා ගෙන යෑම වැනි නීතියට පටහැනි ජාවාරම් හා ව්‍යාපාර මොවුන්ගේ ජීවනෝපාය මාර්ග වේ.ඒ සඳහා ඔවුන් සමග බැඳුණු පරිවාර බලකායක් ද සිටි.
අතීතයේ කොළඹ නගරයේ සිටි මේ ප්‍රජා නායකයෝ චංඩි, අයියලා, නගරංකාරයෝ, හයිරන්කාරයෝ වැනි නම් වලින් ප්‍රචලිතව සිටියහ.
එසේම මෙම ජනපද නායකයන් එකල ගණිකා වෘත්තිය නොමෙහෙය වූ අතර, ඔවුන් පවත්වා ගෙන ගිය සියලු ආදායම් උත්පාදන මාර්ග තුළ ඉතාම තදින් මනුෂ්‍යත්වය අගය කළ බව ලියුම්කරුගේ දීර්ඝකාලීන එම ජනපද ජීවිතය හා ආශ්‍රය අත්දැකීම් සාක්ෂි දරයි. නමුත් වීදි සරණ කතුන්ට ගැනුම්කරුවන් ගෙන් අසාධාරණයක් වූ විට ඊට මැදිහත් වී සාධාරණය ඉෂ්ට කර දෙන්නේ මේ මිනිසුන්ය. පොකට්කාරයා තුළ පවා මහා මනුස්සයෙක් ජීවත් වූ බවට වන කතා ඕනැ තරම් පෙන්වා දිය හැක. නගරයේ ධනපති නිවෙස්වල ගෘහස්ථ සේවිකාවන්ට බලවත් අසාධාරණයන් වූ බොහෝ අවස්ථාවල ඒ වෙනුවෙන් පෙනී සිට ඈත සාධාරණය ඉෂ්ට කර දෙන්නේ මේ නාගරික සරදියෙල්ලාය. ඒ වගට කතා ද බොහෝය.
වැල්ලවත්තේ කළු, විහාර ලේන් එකේ කොලින්, වැල්ලවත්ත හන්දියේ හුණු කඩේ චන්දරේ, රාමන්, රෙදි මෝල ළඟ බාලසූරිය, කොල්ලුපිටිය සරණපාල, සුදුවැල්ලේ චොප්පේ, දෙමටගොඩ පාල, තොටළඟ කොල්වින්, ඌරුවිල්බා, ලූෂන්, විල්බට්, කොටහේන හෙවත් බෙරවාමුල්ලේ ජෝතිපාල, බ්ලුමැංඩල් හන්දියේ බිලින්වත්තේ රාජා, මට්ටක්කුලිය ඉබ්බගේවත්තේ සීමන් සනී, අලුත් මාවතේ හැරල්ඩ් හැටේවත්ත මයිකල්, ඇක්මන් අයියයි මල්ලී දෙන්නා, නරාහේන්පිට මෝඩ සයිමා අර්නස්ට් (මේ පුද්ගලයන්ගේ නම් කියවෙන විදිහ ඔවුන්ට අපහාසයක් ලෙස නොසලකන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. මේ ඔවුන් හැඳින් වූ ප්‍රකට නම්ය) මේ ආදි වශයෙන් එකල නාගරික උපසංස්කෘතියේ ජන නායකයන්ගේ විශාල නාම ලේඛනයක් ඉදිරිපත් කළ හැක. ඒ බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැතත් ඒ හැම දෙනාම පිළිබඳ ඒ ප්‍රදේශවල වැඩිහිටි සමකාලීන ජනතාව කතා කරන්නේ ඉමහත් ආදරයෙනි භක්තියෙනි.
ඔවුහු කිසි දිනක ස්ත්‍රී දූෂකයෝ නොවූහ. තම ප්‍රදේශයේ තරුණ තරුණියකට කාන්තාවකට නිදහසේ බය නැතුව පාරේ යන්න පුළුවන් වාතාවරණය හදා දුන්නේ මේ අයය. කුමන ආකාරයට හම්බ කළත් එය සාධාරණව කිරීමට ඔවුන් වග බලා ගත්තා පමණක් නොව අනෙත් අය මෙහෙයවීමටද පියවර ගත්තේය. අයුක්තියක් අසාධාරණයක් වූ අයෙක්ව පැමිණ ඔවුන්ට කී විට ඒ වෙනුවෙන් ඉදිරිපත්ව එම වින්දිතයාට උපරිම සාධාරණය ඉටු කර දීමට මේ අය දෙවරක් සිතන්නේ නැත.
පසුගිය සියවසේ පහ හය හත දශකවල බොහෝ කලාකරුවන් මේ අයගේ ඉතාම සමීපතම මිත්‍රයෝ වූවාසේම, එම කලාකරුවන්ගේ ආර්ථික ගැලවුම්කරුවන් ලෙස ද මේ අය බොහෝ විට කටයුතු කර ඇති බව මෙම ලියුම්කරු පෞද්ගලිකව දනී.
| සේරසිංහ පොඩි මහත්තය
එසේම සමාජයේ මතුපිට පෙනුමට අපායවාචී මිනිසුන් වුව ද එකල දේශපාලනඥයන්ටද, මහා ව්‍යාපාරිකයන්ට ද පොලිසියේ ලොකු ලොක්කන්ගේ ඉඳන් කොස්තාපල් දක්වා බොහෝ කෙනෙක්ට ද මේ මිනිසුන්ගේ සේවය සහ සෙවන අත්‍යවශ්‍ය සාධකයක්ව තිබුණි.
දිවංගත ලේඛක එස්. විජේසූරිය මහතා මෙම ලියුම්කරු සමග කියූ පරිදි මරදානේ කේ. ඩී. ඩේවිඩ් යනු ඩී. එස්. සේනානායකගේ අත කොනේ සිටි හයිරන්කාරයාය. පෙර ලිපියක සඳහන් කළ පරිදි ජාවත්ත හැටේවත්තේ මයිකල් ඇක්මන් අයියා මලෝ දෙදෙනා ද ඩී. එස්ගේ හයිය ඇති බව පොලිසියට පෙන්නා තමන්ගේ නීති විරෝධී වැඩ කරගෙන ගිය අය ය. කොළඹ නගරය අතීතයේ සිටි පොලිස් ස්ථානාධිපතිවරු මේ මිනිසුන්ගේ සැබෑ තත්ත්වය ඉතා හොඳින් දැන හඳුනාගෙන සිටි අය වූහ. නාගරික උපසංස්කෘතිය නිවැරදිව තේරුම් නොගෙන කොළඹ නගරයේ පොලිස් ස්ථාන වල සේවයට එන බොහෝ දෙනකු ට තමන්ගේ රාජකාරිය වැරදුණු අවස්ථා නැත්තේ නොවේ.
එසේම මේ අය නාගරික ජනපද ජනනායකයන් බව තේරුම් ගත්ත පොලිස් හා අවශේෂ නිලධාරින් ද දේශපාලඥයන් ද නොසිටියේ නොවේ. ඉහල ජනපතියන්ට විසඳාගත නොහැකි වූ බොහෝ ප්‍රශ්ණ වින්ද විසඳීමට හැකි වූයේ මේ අයගේ සහයෙනි.
හැත්ත හතෙන් පසු මේ තත්ත්වය වෙනස්වූ බවද අසත්‍යයක් නොවේ. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම නගරය බිලිගැනීමත් සමග මනුෂ්‍යත්වය හෙවනැල්ල සේ සැලකූ නාගරික ලුම්පන් ප්‍රභූ පරපුර වෙනුවට දේශපාලනඥයන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගොඩනැගූ අසමජ්ජාති දේශපාලන වහල් චන්ඩි පරපුරක් බිහි විය. මේ අය පසු කාලයක දේශපාලන මහජන නියෝජිතයෝ ලෙස ද බොහෝ පරිපාලන සභාවල අසුන් ගත්හ. ඒ සඳහා ඔවුන්ට තිබූ එකම සුදුසුකම මනාප දේශපාලනයේ දේශපාලනඥයන්ගේ ඡන්ද මැෂින් ලෙස ක්‍රියා කිරීම සහ විරුද්ධවාදීන්ට එරෙහිව අවි එසවීමට ඇති හැකියාව පමණි.
එසේ දේශපාලඥයන්ගේ අත කළු නොවී පැරණි නාගරික ලුම්පන් ප්‍රභූ සංස්කෘතිය ඇතුලේ ජීවත් වූ අවසන් නාගරික නායකයා වූයේ "පාමංකඩ අශෝකා"ය. දේශපාලනඥයන්ට වහල් නොවීම හේතුවෙන් ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
ලංකාවේ පැදුරු සාජ්ජ ආරම්භකයෝ මේ අයියලාය. ඒ අතර ඉහළින්ම කියවෙන නමකි තිඹිරිගස්සායේ සේරසිංහ පොඩි මහත්තයා.
සේරසිංහ පොඩි මහත්තයා කී විට එකල කොළඹ නගරයේ නොදන්නා කෙනකු නැත. නමුත් ඔහු ඇසුරු කළ අය ඇත්තේ කීපදෙනෙකි. මන්ද ඔහු විවෘත සමාජයේ නගරයේ භාෂාවෙන් කියන්නේ නම් "ෂෝ දැමු අයෙකු" නොවීය.
මේ පිළිබඳ තොරතුරු අපිට ගෙනාවේ සේරසිංහ පොඩි මහත්තයා සමීපව ඇසුරු කළ නිව්ටන් මාර්ටිස් සහ ඔහුගේ සොයුරු නෙවිල් මාර්ටිස් ය.
1928 මාතර උපන් ඩී. සේරසිංහ පැටී වියේ දි තිඹිරිගස්යායට පැමිණෙන්නේ දකුණේ බොහෝ තරුණයන් ජීවනෝපායන් සොයාගෙන කොළඹට ආ ඒ ඉතිහාසය ඇතුළේය. ඔහු පැමිණෙන්නේ තිඹිරිගස්සායේ ජාවත්ත හන්දියේ ජයරත්න ඇවනිව් එකේ හිටිය ඔහුගේ අක්කා ළඟටය.
| නෙවිල් මාර්ටිස්
"ඒ කාලේ ජාවත්ත හන්දියේ ගැන්සිය රන් කළේ ක්‍රිෂ්ණා ය. (කොච්චි)පොඩි මහත්තයාගේ මාම තමයි ඒ කාලේ තිඹිරිගස්සාය හන්දියේ සුමනගිරි හෝටලය (දැන් අශෝක ලොජ්) කළේ. ජාවත්ත හන්දියේ ගැන්සියක් ඉන්න නිසා මෙයා එතනට බහින්නේ නැතුව මාමගේ කඩේ ළඟට ඇවිල්ලා ඉන්න ගත්තා. ඔතන හන්දියේ හිටියා අයියලා මල්ලිලා තුන් දෙනෙක් රිචඩ්, ආතර්, තේමිස් සේරම් කියලා. රිචඩ් තමයි ලීඩර්. මේගොල්ලෝ තමයි බම්බලපිටියේ මාකට් එක රන් කරන්නේ ඒගොල්ලන්ගේ (කඩ) ලෑලිත් තිබුණා. මොකක් හරි ප්‍රශ්නයකට මේ ගොල්ලෝ තිඹිරිගස්සාය හංදියට ඇවිල්ලා එතන තිබුණා "හොලිවුඩ් ක්ලබ්" එක ගත්තා.
මේගොල්ලෝ බම්බලපිටියේ තෙල් කරත්ත වත්ත ළඟ (වජිර පාර අසල තිබු මෙම තෙල් කරත්තවත්ත. අද දක්නට නැත. මෙම තෙල් කරත්ත එකල අයිතිව තිබුණේ දොස්තර පී. ආර්. ඇන්තනිස්ගේ තාත්තට. එකල ලංකාවේ සිටි සුවිශේෂ වෛද්‍යවරු තිදෙනා නම් ඩොක්ටර් ඇන්තනීස්, ඩොක්ටර් ඔස්ටින් සහ ඩොක්ට බර්තලමියුස්ය) බිලියඩ් මේසයත් එක්ක. මේකට ඉතින් ටුවරිස්ලත් එනවා. පොඩි මහත්තයත් කොහොම හරි රිචඩ් අයියාගේ යාළුකමින් මෙතනට සෙට් වුණා. පොඩි මහත්තයා ඉතින් කොට කලිසම ඇඳලා මෙතන ඉස්සරහ ඉන්නවා බොඩිගාඩ් වගේ. එයා අඳින්නේ "චාල්ස් කිං" රෙද්දෙන් මහපු කොට කලිසං විතරයි. තෙල් කඩේ වත්තේ හරියේ හිටපු කොල්ලෝ ඉතින් පොඩි ඔරොප්පුවක් තිබුණා ඒකට. මොකද මෙයා ඉන්නේ ජයරත්න ඇවිනිව් එකේ. මෙතන ඇවිල්ලා පොර වගේ ඉන්නවා. මේක ගමේ කොල්ලන්ට එච්චර ඇල්ලුවේ නැහැ.
පොඩි මහත්තයාගේ යාළුවෙක් ඒ කාලේ හිටපු වේස ගෑණියෙක් එක ලව් එකක් තිබුණා.(මෙම වචනය භාවිතා කරන්නේ ඒ කාන්තාවන්ට අපහාසයට නොවන බව සලකන්න.සාමාන්‍ය භාවිතයේ එන වචනයකි. දවසක් මේ දෙන්නා පාරේ යනකොට අර කොල්ලෝ ටික නක්කලයක් දාලා තිබුණා. එයා එතනින් ෂේප් වෙලා ඇවිල්ලා මේක පොඩි මහත්තයට කිව්වා. යළිත් ඇවිල්ලා එහෙම කිව්වම ඉතින් නොගිහිල්ලා බලන්නේ නැතුව ඉන්න බෑනේ. තෙල් කරත්තවත්ත (මෙය සමහරු තෙල් කඩේ වත්ත යනුවෙන්ද හඳුන්වයි) ළඟ තිබුණා පොඩි තේ කඩයක්. පොඩි මහත්තයා මේ යාලුවත් එක්ක ගියා කවුද මේ විහිළු කළේ කියලා බලන්න. අර කොල්ලෝ කඩේ ඇතුලේ හිටියා. පොඩි මහත්තයා ඇතුළ බලනකොට අර කොල්ලො ඇහුවා "මොනාද ඩෝ බලන්නේ" කියලා. එතකොට පොඩි මහත්තය කිව්වා "ඇස් තියෙන්නෙ බලන්නනේ" කියලා. එතකොට ඇතුලේ හිටිය එවුන් ගේමට ආවා. එකෙක් ආවා "මරපන් ඕකව" කියාගෙන. ඒ කතාව පොඩි මහත්තයාගේ හිතට තදින් වැදුනා. එයාට ඒක ටිකක් රිදුනා. සාමාන්‍යයෙන් එයාගේ අතේ හැම තිස්සෙම පිහියක් තියෙනවා. ආව කේන්තියට අර කියපු එකාට එක පාරටම ඇන්නා. ඊට පසු මෙයා ක්ලබ් එක පැත්තට එනකොට රිචඩ් අයියා ඇහුවා මොකද උඹේ ඇඟේ ලේ කියලා. "නැහැ පොඩි ගේමක් ගියා. මං එකෙක්ට ඇන්නා" කියලා ෂේප් වුණා. අර කොල්ලො රිචඩ් අයියා බෙහෙත් දාන්න අරන් ගියත් එතකොට ඌ මැරිලා.
| නිව්ටන් මාටිස්
කේස් එකක් නැහැ මෙයා බාර වුණා. ඉන් රිමාන්ඩ් එකට හැමදාම රිචඩ් අයියා කෑම අරිනවා. සල්ලි අරිනවා. වෙනම එකෙක්ව තිබ්බා උදේට දවල්ට කෑම අරින්න."
මෙම ජන සමාජයේ පවතින මූලික නියමයකි, තමන්ගේ බොඩි වළල්ලේ එකෙක් යම්කිසි අර්බුදයකට ලක් වූ විට ඔහු වෙනුවෙන් නොපැකිලිව ඉදිරිපත් වී කටයුතු කිරීම. ඔවුන් කිසිම දවසක ඒ සිද්ධියට පොලිසියට උසාවියට ගෙන ගිය කෙනා තනිකරන්නේ නැත.
අවුරුදු දෙකක් විතර රිමන්ඩ් එකේ හිටියා. හැමදාම නිවැරදිකරු කියලා තමයි කිව්වේ. අන්තිමටම පෙරකදෝරුවෝ කිව්වා වැරදිකරු කියලා කියන්න කියලා. ඒ පාර මෙයා ඇහැව්වා "එහෙම කොහොමද, මෙච්චර කාලයක් නිවැරදිකරු කියලා දැන් වැරදිකරු කියන්නෙ" කියලා.
"නමුත් දැන් මිනියක් මැරිලා තියෙනවා. ඇනපු එකෙක් ඉන්න ඕනෙනේ. ඒ නිසා අනියම් මිනීමැරුමකට වරද පිළිගමු" කියලා පෙරකදෝරුවෝ කිව්වා.
ඒ නඩුව කතා කළේ ජූරි සභාවක් ඉස්සරහා. කොළඹ වටේම මෙයාගේ සෙට් එක ඉන්නවනේ. සේරම චන්ඩි මෙයත් එක්ක තමයි හිටියේ. උසාවි දවසටත් හෙන සෙට් එකක් එනවා. ඒගොල්ලෝ කොහොම හරි ජූරි සභාව අල්ලලා මොකක් හරි ගේමක් ගැහුවා. පස්සේ මෙයාව නිදහස් කළා. රිචඩ් අයියා තමයි සේරම වියදම් කළේ ගේම පිටිපස්සේ හිටියේ. ටූත්පේස්ට් එක දිග ඇරලා ඒකෙ තමයි සල්ලි දාලා යවන්නේ.
දැන් මෙයා හංදියට ආවට මෙයාට සල්ලි නැහැ. සුවාසේ ගහලා හිටියේ. එතකොට රිචඩ් අයියත් බොහොම අමාරුවෙන් තමයි ක්ලබ් එක කරගෙන ගියේ. පොඩි මහත්තය හිතුවා මෙයා මට සෑහෙන්න වියදම් කළා. මම මෙයාට උදව් කරන්න, සල්ලි හොයලා දෙන්න ඕනේ කියලා.
එයා මේ හිරෙන් එළියට එනකොට එයාට මාර පුරුද්දක් අරන් ආවා. එයා මැරෙනකම්ම කාත් එක්ක හරි කතා කරොත් එක තැන ඉදගෙන කතා කරන්නේ නැහැ. ඇවිද ඇවිද තමයි කතා කරන්නේ.මොකද එයා කූඩු ඇතුලේ ඉන්දැද්දි අනිත් එවුන් වගේ බුදිය ගත්තේ නැහැ. හැම තිස්සෙම කළේ ඇවිද ඇවිද හිටිය එක.ඒක එයාගේ බොඩ් ෆිට් එකටයි අභිමානෙටයි තමයි කළේ. ඒකයි මං කියන්නේ එයා හෙන සුපිරි කොලිටි මිනිහෙක්. සුවාසේ ගහලා වැටිලා පොඩි මහත්තයට බහායි මධ්‍යස්ථානයේ පියන් ඇවිල්ලා කිව්වා, අද පල්ලියේ පඩි ගේනවා කියලා. මිනිහා නිකං කිව්වේ. මෙයා එක ටිකත් තදින් කල්පනා කළා. ඊට පස්සේ මෙයා නන්දසිරිලැවත්තේ විල්බට්ට කතා කළා. ඌ හොඳ චීනාඩිකාරයා. ඌ පොඩි කාලේ ඉඳන්ම මග්ගොන ගිය වතුපිටිවල දාපු ඊට පස්සේ IRC, DC (DC යන වචනය ඔවුන් භාවිතා කළාට එහි හරි තේරුම දන්නේ නැහැ. එය පොලිසිය විසින් ඒ කාලයේ අපරාදාශ්‍රිත පුද්ගලයන් නම් කිරීමට දැමූ සංකේත වචනයක් ලෙස සැලකේ) නාම හම්බ වෙච්ච එකෙක්. ඒ කාලේ ඒ පැත්තේ මහ දවල් වුණත්, මොකක් වුණත් පොලිසියෙන් ඇවිල්ලා ගෙනියන්නේ විල්බට්ව. මිනිහා කල්පනා කරා මම මේ පැත්තේ පොරක්. මට ඒ තියෙන තැන නැති කරගන්න බැහැ මේකට බැහැයි කියලා. නමුත් මූ ඒ වෙලාවට වැඩේ කට් කෙරුවා.
පොඩි මහත්තයා තනියම වැඩේට බැස්සා. දවල් දෙකට විතර පඩි බෑග් එක අරගෙන ඇවිල්ල කාර් එකෙන් බැස්සා. මෙයා ඉදිරුවා බෑග් එක ආවේ නැහැ. ඇන්නා අතේ තිබිච්ච පිහියෙන් උගේ අතට. මිනිහා බෑග් එක අරං ගියේ ජාවත්ත කනත්තට ගිහින් කෝට්ටේ වලේ තමයි හැංගුවේ.
(මේ කෝට්ටේ වල යනු අපූරු කතාවක් රැගත් තැනකි. ජාවත්ත කනත්තේ ඇති මෙම වල "පරංගියා කෝට්ටේ ගිය වළ" ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වයි. ඒ වල තුළින් ඇති උමග ඔස්සේ කෝට්ටෙට යා හැකි බව මොවුන්ගේ විශ්වාසයයි. තවමත් තියෙනවා ඒ වල වටකර ඇති බව කියවේ)
| ජාවත්ත කනත්ත
මේ වලේ ටිකක් දාලා තව ටිකක් ගෙනිහිල්ලා එහා පැත්තේ මරක්කල කැරකෝප්පුවේ හැංගුවා. පොඩි සල්ලි ටිකක් සාක්කුවට දාගෙන මෙයා දැන් ජාතික පාර දිගේ ඉස්සරහට එනකොට පොලිසියෙන් ඇවිල්ලා මෙයාව අල්ලා ගත්තා. බුල්ජන් තමයි OIC. පොලිසියට ගෙනිහිල්ලා පොඩි මහත්තයට හොඳටම ගහලා සල්ලි ඉල්ලුවා. බුල්ජන් ගහනකොට ඉවසලා බැරිම තැන පොඩි මහත්තයා ගැහුවා බුල්ජන්ට. පොඩි මහත්තයටත් හොඳට අතින් පයින් ගහගන්න පුළුවන්. පස්සේ බුල්ජන් පොඩි මහත්තයට සාමාන්‍ය විදිහට සැලකුවේත් මේ රිටන් එක දීපු නිසා කියලා කතාවක් තිබුණා. ඔච්චර ගැහුවත් පොඩි මහත්තයා කිව්වේ මගේ ළඟ සල්ලි නැහැ කියලා.
පස්සේ මේක උසාවියට දැම්මහම පරණ මර්ඩර් එකේ කේස් එකේ ඇඟ බැඳපු එකත් එක්කම එකතු කරලා මෙයාට අවුරුදු 15 කට අච්චු කළා. අවුරුදු දහයකින් එවුනාට මෙයා එළියට ආවා.
මිනිහා මාර සරුංගල්කාරයා. මිනිහා වවුලා සරුංගලයක් හදනවා උඩට ගියහම ඒකේ අත්තටු දෙක වදිනවා පට පට ගාලා හරියට පරයියෙක් යනවා වගේ. මොකද මෙයා මාර පරේයිකාරයා."
එකාල කොළඹ නගරයේ සිටි හොඳම පරවියෝ සිටි අයෙකි පොඩි මහත්තයා. එකල නගරික චන්ඩින්ගේ ප්‍රධාන විනෝදාංශයක් වූයේ ද ඔවුන්ගේ බල පුළුවන්කාරකම, ලොකුකම පෙන්වන එක සාධකයක් වූයේ ද එම චන්ඩියා සතුව සිටින පරවියන්ගේ සුවිශේෂතාවය. මෙම පරවියන් නිසා ඇති වූ දැවැන්ත ගැටුම් ද මිනීමැරුම්ද නාගරික ගර්හිතයන්ගේ ඉතිහාසයේ ඕනෑ තරම් ඇත.
එළියට ආවට පස්සේ පොඩි මහත්තයා ගිහිල්ලා රිචඩ් ගෙන් සල්ලි ඉල්ලුවා. මොකද පොඩි මහත්තයා ඇතුලට යනකොට රිචඩ්ට කියලා ගියේ අතන සල්ලි තියෙනවා කියලා. එයා ඉල්ලුවේ ඒ සල්ලි තමයි. රිචඩ් කිව්වා සල්ලි නැහැ කියලා. මොකද මිනිහා ඒ සල්ලි අරන් වියදම් කරලා ඉවරයි. මාළු කඩේ බණ්ඩයියත් සල්ලි වගයක් අරන් තිබුණා එතනින්. බංඩයියත් නැහැ කිව්වා. මොකද වැඩේ වෙලා තියෙන්නේ අන්තිමට බලන කොට ඒකේ තිබිලා තියෙන්නේ රුපියල් හයදාස් ගානයි. මොකද සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම මෙතන තමයි මුලින්ම පඩි බේරන්නේ. වෙනදට ඒකේ 65000ක් ගේනවා. නමුත් එදා වටේම පඩි බේරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සල්ලි තිබිලා තියෙන්නේ රුපියල් හයදාහක් හරි පහලොස් දාහක් වගේ ගානක් තමයි තිබිලා තියෙන්නේ.
ඒ වෙනකොට රිචඩ් අයියගේ ක්ලබ් එක පොලිසියෙන් අල්ලලා උසාවියෙන් රුපියල් සීය ගානේ දඩ ගහලා තිබුණේ. රුපියල් සීයක දඩයක් ගැහුවොත් ඒ ක්ලබ් නොම්බරයට ක්ලබ් එක කරගෙන යන්න බැහැ ආයිත්. ඒ දඩ ගහලා තිබුණේ ක්ලබ් එක ඇතුලේ බූරුවා ගහලා අහුවෙලා. ඒ පාර රිචඩ් අයියා පොඩි මහත්තයට ක්ලබ් එක දුන්නා කරගෙන යන්න. බිලියඩ් මේසේ තිබුණා හැබැයි, අරක්කු වික්කෙ නැහැ ඇතුලේ. අරක්කු වික්කේ ක්ලබ් ඇතුලේ හොරෙන්. ක්ලබ් එක පිටිපස්සේ වෙන කෙනෙකුත් අරක්කු වික්කා. ක්ලබ් එකේ ආදායම් මාර්ගය වුණේ බූරුවා ගස්සපු එක.
සේරසිංහ පොඩි මහත්තයා බර්නාඩ් සොයිසාගේ දකුණු අත වගේ තමයි හිටියේ. පොඩි මහත්තයාට බර්නාඩ් සොයිසා බොහොම හිතවත්. බර්නාඩ් සොයිසගේ හයියෙන් තමයි පොඩි මහත්තයා හන්දිය රන් කළේ.හැ බැයි ඉතින් පොඩි මහත්තයාගේ වැරැදි වැඩවලට හැම එකටම එයා කතා කරන්න මැදිහත් වෙන්න ගියේ නැහැ. නමුත් පොඩි මහත්තයාට බර්නාඩ් සොයිසා ගරු කළා.
මොකද බර්නාඩ් සොයිසා දන්නවා පොඩි මහත්තයා නරක මිනිහෙක් නෙමෙයි කියලා. ඒ වගේම එයා දන්නවා පොඩි මහත්තයට ඒ පැත්තෙ මිනිස්සුන්ගේ තියෙන හයිය. පොඩි මහත්තයත් බර්නාඩ් සොයිසාගේ ඕනැම කේස් එකට දෙපාරක් හිතන්නේ නැතුව බහිනවා.
වරක් වැල්ලවත්තේ රෙදිමෝලේ වෘත්තීය සමිති සාකච්ඡාවකට ගිය බර්නාඩ් සොයිසව ගුණසිංහගේ වෘත්තීය සමිතිය පිරිසක් වට කරගෙන ගැටුමක් ඇති වූ අවස්ථාවේ සේරසිංහ පොඩි මහත්තයා ටැක්සි තුනක මිනිස්සු සමග රෙදි මෝලට ගොස් ඇත. පොඩි මහත්තයා එනු දුටු සියලු දෙනාම පසුබැස ගොස් ඇති අතර බර්නාඩ් සොයිසා තමන් පැමිණි ටැක්සියේම නංවාගෙන පොඩි මහත්තයා තිඹිරිගස්සායට පැමිණි බව පැරණි වෘත්තිය සමිති නායකයකු වූ ආතර් මහතා වරක් පැවසීය.
| බර්නාඩ් සොයිසා
එසේම බර්නාඩ් සොයිසා ගේ මැතිවරණ සමයේ ඔහු සහභාගී වන සෑම රැස්වීමකටම ඔහුට පෙර සේරසිංහ පොඩි මහත්තයා තමන්ගේ පිරිවර සමඟ ගොස් රැඳී සිට බර්නාඩ් සොයිසාගේ කතාව අවසන් වන විට නැවත එතනින් පිටත් වී ඊළඟ රැස්වීමට යන බවත්, පොඩි මහත්තයා පැමිණෙන විට බර්නාඩ් සොයිසට හතුරු පාර්ශවයෙන් යම් අයෙක් පැමිණී සිටියේ නම් ඔවුන් වහා මෙම ස්ථානයේ ඉවත්වන බව පැරණි සමසමාජ ක්‍රියාකාරියකු වූ අළුවලවත්තේ තෝමස් පෝල් මෙම ලියුම්කරු සමග පවසා ඇත.
පොඩි මහත්තයා බර්නාඩ් සොයිසාට වැඩ කළාට අනිත් පක්ෂවලටත් තමන්ගේ වැඩ කරගෙන යන්න කිසිම හිරිහැරයක් කළේ නැහැ. ඡන්ද කාලෙට පාරේ අලියා ඇඳලා තියෙනවා. සමසමාජ පෙළපාලි යනකොට ඒවා පා ගන්නවත් දෙන්නේ නැහැ. එයා හරිම කොලිටි මිනිහෙක්.
ඒ වගේ තමයි එයා ඕනැම කාරණයක දී යුක්තිය පැත්ත තමයි හැමදාම ගත්තේ. ඒකට හොඳම උදාහරණය එයාගේ වයිෆ් මාරි.(නමුත් පොඩි මහත්තයා මාරි බැඳලා හිටියේ නැහැ) මාරිගේ මල්ලි ගෙදර වැඩ කරපු ගෑනු කෙනෙක්ට පොඩි කරදරයක් කරන්න ගිය වෙලාවේ පොඩි මහත්තයා ගත්තේ වැඩකාරිගේ පැත්ත. ඒක කොච්චර දුරදිග ගියා ද කියනව නම් අන්තිමටම පොඩි මහත්තයා මාරිව අත්හැරියා ඒ සිද්ධිය නිසා. පස්සේ ඒ ගෑණිව ආරක්ෂා කරගෙන බලාගෙන හිටියෙත් පොඩි මහත්තයා තමයි.න මුත් පස්සේ කාලෙක මාරි අසරණ වෙලා ඉන්නවා කියලා ආරංචි වෙලා නැවත මාරි එක්ක එකට හිටියා. මොකද පොඩි මහත්තයා මාරිට මාර ආදරෙයි. නමුත් එදා එයා වැරදි කරපු මල්ලිගේ පැත්ත ගත්ත නිසා පොඩි මහත්තයාව එයාව දාලා ආවා. මැරෙනකම් පොඩි මහත්තයාව බලාගත්තේ මාරි තමයි. අනික පොඩි මහත්තයාට මාර හයියක් මාරි. යකෙක්ටවත් බය නැහැ. එක සැරයක් පොලිසිය පොඩි මහත්තයට ගහන්ඩ ආවම මාරි කාර් එක උඩට නැගලා පොලිසියට පාට් එක දැම්මා මාරි. පොලිසිය ඩවුන් ගියා.
නමුත් පොඩි මහත්තයා බැඳලා හිටියේ සෝමව. ඒ හැම දෙනාටම පොඩිමහත්තයා සැලකුවා අපි දන්න විදිහට. ඒ වගේම තමයි මාරි පොඩි මහත්තයාගේ සෝමගේ පුතාට තමයි තිබිච්ච දේපළ දුන්නේ අන්තිමටම. ඒවා නියම චරිත.
ඒ වගේම තව ගෑණු කෙනෙක් හිටියා මට නම මතක වයලට් වගේ. එයා මරදානේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක්. හිටයේ මිරිහානේ. හැබැයි මාර ලස්සනයි. පොඩි මහත්තය හරි වියදම්කාරයා. එයාගේ සල්ලි පාලනය කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ . පොඩි මහත්තයා හැමදාම හවසට වයලට්ගේ ගෙදරට යනවා. වයලට් පොඩි මහත්තයට ෆොක්ස්වගන් කාර් එකක් අරන් දුන්නා ගෙවන්න. එතකොට මෙයා අනිවාර්යයෙන්ම ගෙවනවනේ සල්ලි. එයාව ටිකක් පිළිවෙල මිනිහෙක් කළේ ඒ ගෑනි තමයි. ඒ වගේම එයාට තව ගෑණියෙක් හිටියා. එයා චීන එක්කෙනෙක්. එයා හිටියේ ඇන්ඩර්සන් රෝඩ් එකේ."
නාගරික උපසංස්කෘතියේ ජීවත්වෙන මිනිසුන්ගේ ජීවිතවල සඳුන් අරටුව ඒ මිනිස්සුන්ගේ ළඟ ගැවසෙන ගෑනු තමයි. සෝමා, මාරි,වයලට් වැනි චරිත මධ්‍යම පංතිය ඇතුලේ හමුවුණා නම් ඔවුන්ව උත්තර බිරින්දෑවරු ලෙස මහා ඉහළට ඔසවා තබන්න ඉඩ තිබුණා. නමුත් මේ අය ජීවත් වෙන්නේ ගර්හිත සංස්කෘතිය ඇතුලේ නිසා ඔවුන්ගේ ජීවිතවල තියෙන මේ මහා පරමාදර්ශී චරිත ලක්ෂණ කිසි කෙනෙක්ගේ ඇස ගැසෙන්නේ නැහැ. මේ පාදඩ කුලකය තුළ හමුවන මේ මහා ස්ත්‍රීන්ට කියන නම අපි සොයා ගත යුතුයි.
"සේරසිංහ පොඩි මහත්තයා කියන්නේ වෙන චණ්ඩි වගේ දෙකේ කොළේ වැඩ කරපු මිනිහෙක් නෙමේ. ගමට කිසි කරදරයක් නැහැ. ගමට එයාව ආරක්ෂකයෙක් වුණා. අදටත් තිඹිරිගස්සාවේ කිසිම කෙනෙක් පොඩි මහත්තයාට වචනයක් කියන්නේ නැහැ. එයා ගැන දන්න ඕනෑම කෙනෙක් එයාට ගරු කරනවා. ආදරේ කරනවා. හැබැයි ගමේ කවුරුත් පුම්බගෙන එහෙ මෙහෙ යනවටත් එයා කැමති නැහැ. එයා ගමේ කොල්ලන්ට හරි ආදරෙයි.
සේරසිංහ පොඩි මහත්තයා බර්නාඩ් සොයිසාගේ දකුණු අත වගේ තමයි හිටියේ.පොඩි මහත්තයාට බර්නාඩ් සොයිසා බොහොම හිතවත්. බර්නාඩ් සොයිසගේ හයියෙන් තමයි පොඩි මහත්තයා හන්දිය රන් කළේ. හැබැයි ඉතින් පොඩි මහත්තයාගේ වැරැදි වැඩවලට හැම එකටම එයා කතා කරන්න මැදිහත් වෙන්න ගියේ නැහැ.නමුත් පොඩි මහත්තයාට බර්නාඩ් සොයිසා ගරු කළා.
මොකද බර්නාඩ් සොයිසා දන්නවා පොඩි මහත්තයා නරක මිනිහෙක් නෙමෙයි කියලා. ඒ වගේම එයා දන්නවා පොඩි මහත්තයට ඒ පැත්තෙ මිනිස්සුන්ගේ තියෙන හයිය. පොඩි මහත්තයත් බර්නාඩ් සොයිසාගේ ඕනැම කේස් එකට දෙපාරක් හිතන්නේ නැතුව බහිනවා.
වරක් වැල්ලවත්තේ රෙදිමෝලේ වෘත්තීය සමිති සාකච්ඡාවකට ගිය බර්නාඩ් සොයිසව ගුණසිංහගේ වෘත්තීය සමිතිය පිරිසක් වට කරගෙන ගැටුමක් ඇති වූ අවස්ථාවේ සේරසිංහ පොඩි මහත්තයා ටැක්සි තුනක මිනිස්සු සමග රෙදි මෝලට ගොස් ඇත.පොඩි මහත්තයා එනු දුටු සියලු දෙනාම පසුබැස ගොස් ඇති අතර බර්නාඩ් සොයිසා තමන් පැමිණි ටැක්සියේම නංවාගෙන පොඩි මහත්තයා තිඹිරිගස්සායට පැමිණි බව පැරණි වෘත්තිය සමිති නායකයකු වූ ආතර් මහතා වරක් පැවසීය.
එසේම බර්නාඩ් සොයිසා ගේ මැතිවරණ සමයේ ඔහු සහභාගී වන සෑම රැස්වීමකටම ඔහුට පෙර සේරසිංහ පොඩි මහත්තයා තමන්ගේ පිරිවර සමඟ ගොස් රැඳී සිට බර්නාඩ් සොයිසාගේ කතාව අවසන් වන විට නැවත එතනින් පිටත් වී ඊළඟ රැස්වීමට යන බවත්, පොඩි මහත්තයා පැමිණෙන විට බර්නාඩ් සොයිසට හතුරු පාර්ශවයෙන් යම් අයෙක් පැමිණී සිටියේ නම් ඔවුන් වහා මෙම ස්ථානයේ ඉවත්වන බව පැරණි සමසමාජ ක්‍රියාකාරියකු වූ අළුවලවත්තේ තෝමස් පෝල් මෙම ලියුම්කරු සමග පවසා ඇත.
බර්නාඩ් සොයිසා සහ සේරසිංහ පොඩි මහත්තයා අතර ඇති සබඳතාවය වගේම බර්නාඩ් සොයිසා පිළිබඳ බොහෝ තොරතුරු මේ අයියා මලෝ දෙදෙනාගේ මතක අතර රැඳී ඇත. ලියුම්කරුගේ විශ්වාසයට අනුව ඒවා කිසිදිනෙක කොතැනක හෝ ලියැවී නොමැති නිසා එම ඓතිහාසික සැඟවුණ තැන් ද මේ ලිපියෙම බහාලමි.
බර්නාඩ් සොයිසා සහ සේරසිංහ පොඩි මහත්තයා කියන්නේ කිට්ටුවෙන් හිටිය දෙන්නෙක්. ඒ දෙන්නම දෙන්නව වැරදි විදිහට භාවිතා කළේ නැහැ. හැබැයි දෙන්නටම දෙන්නා නැතුවම බැරි දෙන්නෙක්.
බර්නාඩ් සොයිසා හිටියේ හන්දිය තියෙන ඔය ගෙදර තමයි. තාත්තයි අම්මයි දෙන්නම තනිකර යූ.එන්.පී. 56 බණ්ඩාරනායක මහත්තයා මහජන එක්සත් පෙරමුණ දිනපු වෙලාවේ, වැල්ලවත්ත, පාමංකඩ, කිල්ලපන, නාරහෙන්පිට හැම පැත්තෙන්ම පෙරහර වගේ මිනිස්සු ජයඝෝෂා කර කර පෙළපාලි ආවා බර්නාඩ් සොයිසාලගේ ගෙදරට. පුතාට තියන මේ ජනතා ප්‍රසාදය දැක්කහම අම්මටයි තාත්තටයි දරා ගන්න බැරි සතුටක් ආවා. එතකං ඒගොල්ලො දන්නේ නැහැ මෙයා තරම් මිනිස්සුත් එක්ක වමේ දේශපාලනය කරනවා කියලා.
මෙයාව මේ දේශපාලනය කළේ ගෙදරට හොරෙන් රහසේ. ඒ කාලය කොළඹ විශ්වවිද්‍යාල ඉස්සරහ රහිමා එක හරියේ මේගොල්ලන්ගේ ඔෆිස් එකක් තිබුණා. අත කපපු රෙජි අයියා (රෙජී මැන්ඩිස්) තමයි මෙයත් එක්ක ඔෆිස් එකේ ළඟම හිටියේ. මොකක් හරි දේශපාලන හරි ස්ට්‍රයික් පෙළපාලියක දී ටවුන් හෝල් එකේ දි ඇන්.ඇම්ට ගහපු බෝම්බේට තමයි මෙයා අතින් දැම්මේ. එයා හිටියේ පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ.
ඒ කාලය කොළඹ විශ්වවිද්‍යාලයේ කොල්ලෝ තේ බොන්න එන්නේ බම්බලපිටිය ලයන් හවුස් එකට. බර්නාඩ් සොයිසායි රෙජි අයියයි ගිහිල්ලා බර්නාඩ් සොයිසා මේ අයට දේශනාව දෙනවා. රෙජි අයියා සයිට් එකෙන් බලාගෙන ඉන්නවා.ඉතින් මේ දේශනා දීලා ඔක්කොම කරලා බර්නාඩ් සොයිසා ගෙදරට එනකොට රෑ එක දෙක වෙනවා. රෙජී අයියා තමයි ඇවිල්ලා ගේ ළඟටම බස්සලා යන්නේ. ගෙදර දොරවල් ඔක්කොම වහලා. බර්නාඩ් ගෙට යන්නේ කුස්සිය පැත්තෙන්. බත් එක බෙදලා එළියෙන් තියලා රුපියලක් දුරට අස්සෙන් අම්මා දාලා තියෙනවා තාත්තට හොරෙන්. මෙයා බත් එක කාලා බූරු ඇඳේ එළියේ බුදියගෙන අර රුපියල් අරන් උදෙන්ම නැගිටලා යනවා තාත්තට එළියට බහින්න කලින්. ඇයි තාත්තා උග්‍ර යූ.ඇන්. පිකාරයානේ. අර පෙළපාළි ගෙදරට ආවට පස්සේ බර්නාඩ්ගේ තත්ත්වය දැන ගත්තට පස්සේ තමයි අම්මා තාත්තගේ දේශපාලනය වෙනස් වුණේ.
බම්බලපිටියේ දැන් සරස්වති ලොජ් තියෙන එක බිල්ඩිම තමයි බර්නාඩ්ලගේ මහ ගේ. මේක බර්නාඩ්ගේ අයියගේ (වීමන් සොයිසා) ගේ බර්නාඩ් කසාද බැන්දේ නැහැ. ඒ නිසා එයා මැරෙනකම්ම වගේ හිටියේ අයියත් එක්ක. මුළු ජීවිතේම දේශපාලනයටයි මිනිස්සුන්ටයි කැප කරපු මිනිහෙක් තමයි බර්නාඩ් සොයිසා කියන්නේ. හැබැයි ඡන්දදායකයෝ එයාගේ ගෙදරට එනවට කැමති නැහැ. මොකද ඒක අයියගේ ගෙදරනේ. එයා ගෙදරට එන ඕන මිනිහෙක්ට කියන්නේ ඔෆිස් එකට එකට වරෙන් කියලා.
බර්නාඩ් සොයිසා වගේ අවංක පොඩි මිනිස්සු වෙනුවෙන් වැඩ කරන දේශපාලඥයෙක් මං නම් දැකලා නැහැ.
ඔය නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, (ඒ කාලේ මේ දෙකම දකුණු කොළඹ) බොරැල්ල පොඩි මිනිස්සු ඉන්න සියයට අසුවක් ගෙවල් බර්නාඩ් සොයිසා අල්ලලා දීපුවා තමයි.
බර්නාඩ් සොයිසා පිළිබඳ අපූරු කතාවක් වැල්වත්ත ප්‍රදේශයේද ඇත. ඔහු තමන්ගේ අනුගාමිකයන්ට ඉතාම ලෙන්ගතුව සැලකූ ගෞරවනීය දේශපාලනඥයෙකි. වැල්ලවත්තේ සිටි සිරිපාල උග්‍ර සමසමාජකාරයකි. අධික ලෙස බුලත්විට කන ඔහු තරමක ලූස් (සාමාන්‍ය තත්ත්වයෙන් නැති) පුද්ගලයෙකි. වැල්ලවත්ත මංසන්ධිය ඒ කාලේ නිතරම දකින්න ලැබුණ ගැවසුණු ඔහු හැමෝගෙම විහිළු තහලුවට ලක් වූ හැමෝටම සෝපාහාසය දනවන කාගෙත් ආදරයට පාත්‍ර වූ චරිතයකි. රතු ෂර්ට් එකක් ඇඳ රතු තොප්පියක් පැළඳ තම බිරිඳ සමඟ දරුවා කරේ තියාගෙන සිරිපාල මැයි පෙළපාළිගේ හැටි මෙම ලියුම්කරුට මතකය. එකල වැල්ලවත්ත රතු බලකොටුවක් වූ නිසා වැල්ලවත්තෙන් යන සම සමාජ පෙළපාලිය ඉතා ඉහළය. එස්. කේ. කොලින් පියරත්න හෙවත් විහාර ලේන් එකේ කොලින් අයියා, හුණු කොටුවත්තේ කුසුමන් අයියා, පීටර් සිංඤෝ බාසුන්නැහේ හෙවත් විවාහ ලේකම්, ලාල් චන්ද්‍රසේන, රතු සෙබලුන් වූ විහාරලේන් එකේ පියල් සහ සුසිලා එකල එම පෙළපාළියේ ජනප්‍රිය චරිත වූහ.
සිරිපාලගේ බිරිඳ හැමදාම සිරිපාලට කරදර කරන්නේ ඇමති ගෙන් රස්සාවක් ඉල්ලා ගන්නා ලෙසයි. මන්ද රස්සාවට සිරිපාල කළේ කරත්තයක් තල්ලු කිරීම සහ කුලී වැඩයි. මේ කන්දොස් කිරියාව අසා ගෙන සිටිය නොහැකි සිරිපාල, දිනක් සිරිපාල බර්නාඩ් සොයිසාගේ අමාත්‍ය කාර්යාලයට ගොස් "මට මේසයක් පුටුවක් තියෙනවා රස්සාවක් ඕනේ" යැයි බර්නාඩ් සොයිසාට තර්ජනය කර ඇත. මඳක් අසුන් ගන්නා ලෙස සිරිපාලට දැනුම් දුන් බර්නාඩ් සොයිසා ටික වෙලාවකින් පැමිණ සිරිපාලව තමන්ගේ ඇමති ආසනයේ වාඩි කරවා, "තමුසෙගෙ සුදුසුකම්වලට දෙන්න රස්සාවක් මෙතන නැහැ. මට දෙන්න පුළුවන් එකම රස්සාව මගේ ඇමතිකම විතරයි. තමුසේ ඒක කරනවා මම ගෙදර යන්නම්" කියා ඇත. මඳ වේලාවක් ඇමති ආසනයේ අසුන් ගෙන සිටි සිරිපාල කට පුරෝලා හිනාවෙලා "නැහැ ඔයාම ඇමතිකම කරගෙන යන්න. මං ගෙදර ගිහිල්ලා කුලී වැඩ කරන්නම්" කියා පිටව ගොස් ඇත. නමුත් ඉන් පසුව ද බර්නාඩ් සොයිසා සිටියේ කොතනද කොළඹ එතන සිරිපාල අනිවාර්යෙන්ම හිටියේය.
බර්නාඩ් සොයිසා හැමවිටම ජීවත් වූයේ ඉහල රදළ පැලැන්තියේ මිනිසුන්ගේ ඇසුරට සමානවම නාගරික ලුම්පන් පන්තියේ මිනිස්සුන්ගේද සමීප ආශ්‍රයේය. ඒ නිසා කොළඹ පැරැන්නෝ අදත් බර්නාඩ් සොයිසාට ඉමහත් ආදරයක් ගෞරවයක් දක්වති.
| මෝදරගේ රිචඩ් මාටිස් (පියා) | හෙට්ටිගේ බේලි මාටිස් (මව)
ඉපැරණි ලංදේසි පරපුරකින් පැවත එන මෙම මාටිස් පරපුරේ ඉතිහාසය මේ වන විට සැඟවී ඇතත්, කොළඹ ගුණසිංහ ප්‍රතිමාව අසලින් අරඹෙන මිහිඳු මාවතේ මඳ දුරක් යන විට මාටිස් ලේන් නමින් පාරක් ද නම් කර ඇත. මාටිස් පරපුරේ අය,සැඟවුණු චරිත තවමත් මට්ටක්කුලිය ෆර්ගියුසන් පාරේ ඇති බව මාටිස් සහෝදරයෝ පවසති.
තිඹිරිගස්යාය පුරාණය අප වෙත ගෙනා මාටිස් සහෝදරයන්ගේ මව සහ පියා. හෙට්ටිගේ බේලි මාටිස් (මව) මෝදරගේ රිචඩ් මාටිස් (පියා) සේරසිංහ පොඩි මහත්තයා කියන්නේ නීට් එකට සුදු සරම අඳින,කෙලින්ම අතින් පයින් ගහගන්න පුළුවන්, සද්දන්ත පුරුෂයෙක්. මුල් කාලේ කොට කලිසම ඇන්දත් පස්සේ එයා සරමට බැස්සා. හැබැයි මිනිහට පොලිසිය පෙන්නන්න බැහැ. ඒ වගේම පොලිසියට බයත් නැහැ. එක නඩුවකදී නාරාහේන්පිට පොලිසියේ එස්.අයි කෙනෙක් කියලා තිබුණා පොඩි මහත්තයව ගස් ඇරියේ නැත්තං එයා කෝට් එක ගලවනවා කියලා. ඇත්තටම එයා කෝට් එක ගලවලා ගෙදර ගියා පොඩි මහත්තයා නඩුව දිනපු නිසා. තව සැරයක් පොඩි මාත් අර පාට් එක දාපු පොලිස් කාරයෙක් වගේ ගෙනල්ලා බිලියඩ් මේස යටින් රිංගෙව්වා. තව පොලිස්කාරයෙක් දවසක් කොහෙද හරි තැනකදි පොඩි මහත්තයා ගැන ලොකු ටෝක් එකක් දීලා. පොඩි මහත්තයා ක්ලබ් එක ඉස්සරහ ඉන්නකොට මූ එහා පැත්තෙන් ගියා. පොඩි මහත්තයා එකපාරටම "අඩෝ උඹ ඉන්නවද" කියලා අහනකොටම පොලිස් කාරය පණ එපා කියලා දිව්වා.
යුක්තිය අයුක්තිය ඉතාම හොඳින් දන්න මේ නාගරික ලුම්පන් සරදියෙල්ලා තමන්ගේ අභිමානයට හානි කරන වචනයක් හරි කියපු මිනිහෙක් කවදාවත් අත්හැරියේ නැහැ.වැල්ලවත්තේ හුණු කඩේ චන්දරේ ද ඒ විදිහට වැල්ලවත්ත පොලිසිය එස් අයි කෙනෙක්ට රිදෙන්න ගහපු මිනිහෙක් තමයි. ඒ වගේම තමයි වැල්ලවත්ත පොලිසියේ හිටපු ඕ.අයි.සී (පසුව නියෝජ්‍ය පොලිස්පති) ආනන්ද හෙට්ටිආරච්චි කියන්නේ මේ නාගරික සංස්කෘතිය ඉතාම හොඳින් තේරුම් ගත්ත පොලිස් නිලධාරියෙක්.ඔහු හුණු කඩේ චන්දරේගේ වැල්ලවත්ත මැණිං පෙදෙස පාරේ පිහිටි ක්ලබ් එකට පැමිණ වරක් බිලියඩ් මේසේ සූදු කෙළිනවා නේද කියා අසා ඇත."බිලියඩ් සෙල්ලම් කරන අය සල්ලි ඔට්ටුවට කරනවද නැද්ද මම දන්නේ නැහැ සර්... හැබැයි මාකර්ට ගානක් දෙන බව මම දන්නවා.මම ජීවත් වෙන්නෙත් ඒකෙන් තමයි සර්"යැයි කියා ඇත.
එවිට "ලෙඩ දාගන්නේ නැතිව කරගෙන යනවා" කියා ඇත. නාගරික උප සංස්කෘතිය පිළිබඳ ඉතාම ඉහළ කියවීමක් තිබූ කෙනෙක් හැටියට ආනන්ද හෙට්ටිආරච්චි නම් කරන්න. මෙම ලියුම්කරු මැලි වන්නේ නැත. මෙම ලියුම්කරු අසා ඇති අන්දමට චූලා සිල්වා,එරික් සිල්වා හෝ පෙරේරා (පසු කලෙක ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ) නම් පොලිස් නිලධාරින් ද එවැනි නාගරික උප සංස්කෘතිය තේරුම් අරගෙන පොලිස් රාජකාරිය කළ අය වෙති.
පොඩි මහත්තයට බල්ලෝ දෙන්නෙක් හිටියා මේටා සහ බුකී කියලා. පොඩි මහත්තයාගේ හැඟීම් දැනගෙන වගේ මුන්ටත් පොලිස්කාරයෝ පෙන්නන්න බැහැ. පොලිස්කාරයෙක් ඈත එනකොටම බුරනවා. (බොහෝ චන්ඩි ලඟ එවැනි ඔත්තු සේවා බල්ලෝ සිටියහ. පොලිස් නිලධාරීන් එවැනි බල්ලො මරා දමපු කතා ද මෙම ලියුම්කරු අසා ඇත.)
| එච්.ආර්.ජෝතිපාල
පොඩි මහත්තයා බොරු ෂෝ වලට එච්චර කැමති නැහැ. දෙහිවල පොඩිරාළහාමිත් පොඩි මහත්තයාගේ ක්ලබ් එකට එනවා. දවසක් මේක ක්ලබ් එකට ඇවිල්ලා හංදියේ කොල්ලන්ට පාට් එකක් දැම්මා. පොඩි මහත්තයා ඊට පස්සේ එයාගේ කාඩ් එක කපලා දැම්මා. පොඩි මහත්තයා උවමනාවකට දෙහිවල පොඩි රාළහාමි ගෙන් ආයුධයක් ඉල්ලුවා. එක අරන් එන්න යැව්වේ ජෝතිපාලව.(එච්.ආර්.ජෝතිපාල ගායකයා) ඌ එවලා තිබුණේ තුවක්කුවක් පොඩි රාලහාමි ජෝතිපාලටත් බැනලා එයාගේ අතේම ඒක හරවලා ඇරියා. පොඩි මහත්තයා මේ ආයුදේ ඉල්ලුවේ ක්ලබ් එකට ඇවිල්ලා පාට් එක දාපු එකෙක්ට ගේමක් දෙන්න. එයාගේ තාත්තව ගෙන්නලා කිව්වත් එයාගේ තාත්තත් පොඩි මහත්තයාට වලංගු වුණේ නැහැ.ඒක නිසා තමයි තීරණය කළේ පොඩි මහත්තයා මූට ගේමක් දෙන්න ඕනේ කියලා. එහෙම දුන්නට පස්සේ පොඩි මහත්තයාව ඇල්ලුවා. පස්සේ ජෝතිපාලත් හැංගුණා කේස් එක පත්තු වුණාම. නඩුව කතා කළේ තුම්මුල්ලේ තිබිච්ච උසාවියේ (වර්තමාන STF මූලස්ථානය) මරදානේ චංඩියෙක් හිටියා මිල්ටන් කියලා. එයත් එක්ක ඒ කාලේ කොළඹ හිටිය සේරම චණ්ඩි ටික සේරසිංහ පොඩි මහත්තයාගේ සපෝට් එකට බැස්සා. ඒගොල්ලන්ට තියෙනවා උසාවි ඇතුලේ Under Ground කන්ටැක්. ඒගොල්ලන්ට ඔය ඕන උත්සවයක් ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්.ඒගොල්ලෝ ගානට වට කරලා ජූරියම ඇල්ලුවා. සේරසිංහ පොඩි මහත්තයා නිදහස් වුණා. අරයා කෝට් එක ගලවලා ගෙදර ගියා. පොඩි මහත්තයා සත පහක්වත් වියදම් කරේ නැහැ මේ වැඩේට. සේරම සල්ලි විසි කළේ අර සෙට් එක තමයි. මොකද හැමෝම දන්නවා සේරසිංහ පොඩි මහත්තයා කියන්නේ සුපිරි මිනිහෙක් කියලා.
මේ මහා සංවාදය අවසන් කරමින් නිව්ටන් මාටිස් මහතා පවසා සිටියේ ...
“මම රස්සාවට ගියේ අවුරුදු දාහතේදී. කාර්මාර්ට් එකේ. එතකොට තිඹිරිගස්යාය හන්දියේ ජයසිරි එකේ තමයි බිලියඩ් මේසෙ තිබුණේ. පාරට පේනවා. මගේ ජීවිතය මාව මේ තත්ත්වයට උස්සලා ගත්තෙත් ඇදලා දැම්මේත් ඒ බිලියඩ් මේසේ තමයි.“
| උපුල් ජනක ජයසිංහ
සබැඳි පුවත්
- “කොළඹ අයිතිකාරයෝ“ - රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය
- “කොළඹ අයිතිකාරයෝ“ වැල්ලවත්ත රෙදි මෝල කතාව
- “කොළඹ අයිතිකාරයෝ“ පාමංකඩ වමේ බලකොටුවක්
- “කොළඹ අයිතිකාරයෝ“ - BMICH තියෙන තැන හිටපු කම්කරුවන්ට මොකද වුණේ ?
- "කොළඹ අයිතිකාරයෝ" - ලංකාවේ පළමු වර්ජනය සිදුකර ඇත්තේ පාරුකරුවන්
- "කොළඹ අයිතිකාරයෝ" - වැල්ලවත්ත ඇලේ පාරු බත් කෑ ජස්ටින් අයියා
- කොළඹ අයිතිකාරයෝ - සියවසක් කොළඹ දිහා බලාගෙන සිටි ජින්තුපිටියේ පියසිලි අම්මා