පසුගිය 18 වන සියවස ආරම්භයේ දී ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබුණු සමාන ලක්ෂණයකි ගම්වල මිනිස්සු නගරවලට ඇදී ඒම. මේකට හේතුව ගමට නගරය අධිනිශ්චය වීමයි. විශේෂයෙන් කාර්මික විප්ලවය හේතුවෙන් නගරයේ ඇතිවුණු නව රැකියා අවස්ථා සොයාගෙන ගමේ ගැටව් නගරවලට සංක්‍රමණයවීම බටහිර රටවල් හැඳින්වූයේ Dick Whittington යනුවෙනි. Dick Whittington යනු ඉංග්‍රීසි නවකතාවකි. කතාවේ තේමාව වන්නේ ලන්ඩනයට ගොස් නැවත ගමට එන මිනිසුන් ලන්ඩන් ගැන කරන මුසාවාද පුරාජේරු කතාය. ලන්ඩන් යනු "රත්තරන් ගල් බිමට අල්ලා ඇති මනරම් මාර්ගවලින් සුසැදී, විසිතුරු තුරුලතාවලින් හෙවන දෙන මහා මන්දිරවලින් පිරී ගිය සුරපුරයක් බඳු නගරයක් බවත්, ලන්ඩනයට යන ඕනෙම මිනිහෙක්ට ලොකු මිනිහෙක් වෙන්න පුළුවන්" බවත් මේ අය ගමට කියයි. මෙය අසා සිටින ගමේ සිටින මෝඩ පහේ ගැටවරයෙක් දියුණුවීමේ අපේක්ෂාවෙන් ලන්ඩන්වලට පැමිණ විවිධාකාර වූ දුක්ඛ දෝමනස්සයන් අනුභව කර අවසානයේ ලොකු මිනිහෙක් බවට පත්වෙයි. මේ නවකතාව දිව යන්නේ ගමෙන් එන මේ අහිංසක තරුණයාගේ සිහින මාලාව මතයි.
මීට සමාන ඉංග්‍රීසි නවකතාවක් ඉන්දියාවේ ද පළ වී ඇත. එහි නම Untouchable. ඉන් කියවෙන්නේ ඉන්දියාවේ කුලහීන ගම්වලින් නගරයට පැමිණ නගරයේ රදලයන්ගේ ආවතේව බැල මෙහෙවර කරමින් නගරයේ මුඩුක්කුවල සිරවී සිටින මිනිසුන්ගේ ජීවිතයි. ඒ මිනිස්සු නගරයට එන්නෙත් දීප්තිමත් ජීවිතයක් සොයා ගෙන. නමුත් ඔවුන් නැවතත් ගාල් වන්නේ පැරණි කුලවාදී ගොහොරුවල හෙවත් කුලහීන දුප්පතුන්ගේ කොලනිවලමයි. ඔවුන්ට ද ලන්ඩනයට වගේම සිහින තිබුණත් ලන්ඩනයට එන මිනිහාට ජීවිතය ජයගැනීමට තිබුණ සමාජ අවකාශය ඉන්දියාවේ මිනිසාට කුල පීඩනය විසින් එම අහිමි කරනු ලැබීය.
"නාගරික හෝ ග්‍රාමීය උපසංස්කෘති අත්හැර මහා සංස්කෘතිය පිළිබඳ කතා කළ නොහැක" යන්න වේබර් නම් මහා සමාජ විද්‍යාඥයා වරක් පවසා සිටියේ මේ යථාර්ථය පෙරදැරිවයි. කොළඹ අගනාගරික උප සංස්කෘතිය ගොඩනැගී ඇති මුඩුක්කු පැල්පත් ජනජීවිත මේ රටේ මහා සංස්කෘතියේ අනුලංඝණීය අංගයක් බවට අදටත් මේ රටේ සමාජ, මානව විද්‍යා පර්යේෂකයන්, සංස්කෘතික බලධාරීන් හා පුරාවිද්‍යා කෙලිකාරයන් බාරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. පසුගියදා මෙම ලියුම්කරු ඇමතු සංගීත විශාරද කෝලිත භානු දිසානායක මහතා ඉල්ලා සිටියේ ද සැඟවී තිබෙන මෙම නාගරික සැබෑ ඉතිහාසය සහ එම සංස්කෘතික හැඩතල මතු කර ගෙන, එය පොතක් හැටියට මතු පරපුරට දායාද කරන ලෙසයි.
| පැරණි කුරුඳවත්ත පොලිස් ස්ථානය
කුරුඳුවත්ත
අවුරුදු 150කට එහා මහා ඉතිහාසයක් සොයා යන ගමනේ කරන්නට සිදුවී ඇති සමාජ සංස්කෘතික කැණීම් ඉතා ගැඹුරුය. අඳුරුය.අපැහැදිලිය.
එහෙත් හමුවන පුරාවස්තු බඳු චරිත මත මෙම ඉතිහාස කතා ගොඩනැගීම මේ වෑයමයි. සැඟවුණ ඒ ඉතිහාසය මතු කර ගමින් යන ගමනේ දී හමු වූ තවත් මහා සෙල්ලිපියකි, කොම්පඤ්ඤවීදිය නිජබිම කරගත් අකුරැස්සේ ගොඩපිටිය ගමේ නිල්වලා ගඟ අද්දර "මුහන්දිරම් ගෙදර" සිට 1930 දී ලන්ඩන් තරුණයා මෙන් සිහින පොදි බැඳගෙන කොළඹට පැමිණි ගජවීර ආරච්චිගේ ආර්ලිස් ගජවීර පරපුරෙන් පැවත එන G.A.K. ගජවීර හෙවත් කරුණානන්ද ගජවීර. රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු ශිල්පය හැදෑරූ ඔහු දිගු කලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කර අද විශ්‍රාම සුවයෙන් පසුවේ. ඔහු කොළඹ නගරය මෙම උපසංස්කෘති බිහිවීම සහ පැතිර යාම දෙස ඓතිහාසික සහ දේශපාලන අර්ථයෙන් යමක් දකියි.
"පසුගිය සියවස මුල් කාලයේ දකුණේ ගැටවරයන්ට කොළඹට එන එක ඒගොල්ලන්ගේ හීනයක්. මොකද කොළඹ කියන්නේ ඒ කාලේ ආශ්චර්යයක්. අපේ තාත්තත් එහෙම සිහින අරගෙන තමයි කොළඹට ඇවිල්ලා තියෙන්නේ."
18 වන සියවස මැද වෙනකොටත් කොළඹ තිබුණ දුප්පතුන්ගේ කොලනි තමයි මේ මුඩුක්කු පැල්පත්. යටත් විජිතවාදය පැතිර ගිය හැම රටකම මේ නාගරික කොළණි බිහිවුණා. අතිශය අපිරිසුදු ඒ කොලනි බිහි වුණේ නගරයේ රදළයන්ගේ හා නැගී යන ධනපති පන්තියේ ආවතේවලට ආව මිනිස්සුන් ගෙන්. නමුත් ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ නගර පරිපාලන නීතිරීති මගින් යම් දුරකට මේ නාගරික කොලනිවල පිරිසුදුභාවය යම් දුරකට ඉන්දියාවට වඩා හොඳ තත්ත්වයෙන් තිබුණා. “Untouchable“ නවකතාවේ බොහෝ දුරට චරිත පිරී තිබුණේ රදළ හෝ සල්ලිකාර ගෙවල්වල වැසිකිලි රාජකාරී සහ රෙදි හෝදන කටයුතු කරන මිනිස්සුන්ගේ ජීවිත එක්ක. ලංකාවෙත් ඒ කටයුතුවලට ඉන්දියාවෙන් හා ගම්වල එම වෘත්තියට වෙන් වූ කුලවල විශාල පිරිසක් කොළඹට පැමිණියා. ඒ අය ජීවත් වූ තැන් සහ රෙදි හෝදලා වනපු තැන්වල නටබුන් ස්ථාන අදටත් තියෙනවා. කොලෝනියල් කාලයේ රෙදි හෝදපු සහ රෙදි වේලපු විදිහටම තවමත් තිබෙන පැරණි වටිනා ස්ථානයක් අදත් පංචිකාවත්තේ තියෙනවා. අරලියගහ මන්දිරයේ පිටිපස්සෙත් එවැනි තැනක් තිබුණා. (නමුත් අද එම ස්ථානය කාර් පාක් එකක්.) ඒවා නගර සභාව විසින්ම ඉදිකර දුන් හෝ රෙදි හෝදන කොන්ත්‍රාත් ගත් ව්‍යාපාරිකයන් ඉදිකර දුන් ඒවා. ඒ වගේම නගරය පුරා විහිදී ගිය ඇල මාර්ගය දෙපස මෙම රෙදි හෝදන ඩෝබි තොටුපොළවල් තිබුණා. ඇත්තටම මේ ස්ථාන මහා සංස්කෘතික, පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති, සංරක්ෂණය කළ යුතු තැන්. මෙවැනි (ඩෝබි හවුස් ඉන්දියාවේ නම් කරන්නේ Dobby Ghats කියා) රෙදි සෝදන ස්ථාන කොළඹ නගරය පුරාම තිබුණා කියන එක අපිට පිළිගන්න පුළුවන් සත්‍යයක්. මොකද ඒ කාලේ ආණ්ඩුකාරයාගේ සිට මේ මහා මන්දිරවල රෙදි හේදුවේ ඒ සඳහාම විශේෂයෙන් වෘත්තීය වශයෙන් වෙන් වෙච්ච මිනිස්සු සහ ඒ සඳහාම වෙන් වුණ ස්ථානවල. ඔවුන් පවුල් වශයෙන් පදිංචි වී සිටියේ ඒ ස්ථානවලමයි. බොහෝ දුරට නගර සභාවම ඔවුන්ට ඒ කුඩා ගෙවල් හදලා දීලා තිබුණා. මේ රෙදි අපුල්ලන එක මොන තරම් සමාජයට බලපාන වෘත්තියක්ද කියන එක අපිට හොඳටම ඔප්පු වෙන්නේ 1848 ජූලි 01 දා ඇරඹුණ රෙදි අපුල්ලන්නන්ගේ වැඩ වර්ජනයේ දී. ඒ ස්ට්‍රයික් එක නිසා ආණ්ඩුකාරයාට අඳින්න යට ඇඳුමක්වත් නැතිවුණ බව කියවෙනවා.
| රෙදි සෝදන්නන්
රෙදි සෝදන්නන්
"අපේ තාත්තා ඇවිල්ලා මුලින්ම ඉඳලා තියෙන්නේ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද හරියේ. මොකද ඒ කාලෙ දකුණෙන් ආපු තරුණයන්ට කොළඹ ඇවිල්ලා ජීවිතයේ ගොඩ ගන්න ගොඩක් උදව් කරලා තියෙනවා වෑකන්ද පැත්තේ තියෙන පන්සලේ හිටිය හාමුදුරුවෝ. උන් වහන්සේ දකුණෙන් ආපු කෙනෙක්. ඒ කාලේ කොළඹ පන්සල් අති බහුතරයක් හැදුවේ දකුණෙන් ආපු භික්ෂූන් වහන්සේලා. ඒ අය තමන්ගේ ගම්වල තරුණයෝ කොළඹට ගෙනල්ලා ඔවුන්ට දියුණු වෙන්න අවස්ථාවල් හදලා දුන්නා."
ඒ සංසිද්ධිය ඇතුලේ ලොකු ඉතිහාසයක් සහ ඊට අදාළ දේශපාලන කතාවක් ඇත.
එකල සුදු පාලකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අතුරු කොන්ත්‍රාත්, රේන්දකරුවන්, ඉදි කිරීම්, ප්‍රවාහන වැනි ව්‍යාපාර බහුතරයකට සම්බන්ධ වුණේ දකුණේ අය. නැගී ගෙන එන සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරවල යටි බිම් අනුග්‍රහයකයන් වුණෙත් මේ අයයි. එයට හොඳම උදාහරණය කොටහේනේ මහා පංසල දීපදුත්තාරාමය. එය පැරණි වලව්වක්. එසේම මෝදර මහපංසලත් වලව්වක්. මේ අය සුද්දන් සමග එකතුව ව්‍යාපාර කළත් ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටියහ. එකල කොළඹ අලුතෙන් ඉදි වූ මෙම පන්සල්වල ක්‍රියාකාරී දායකයන් වුයේ දකුණෙන් කොළඹට සංක්‍රමණය වුණ තරුණයන් සහ ඔවුන්ගේ පවුල්. දීපදුත්තාරාමයේ සිට ගිය මහ පෙරහැරට දාහකට වඩා සෙනඟ සහභාගි වුණ බවත්, ඔවුන් කිතුල් පොලුවල කොඩි ගැට ගහගෙන ගොස් අවශ්‍ය අවස්ථාවේ දී ඒවා සතුරු පාර්ශ්වයට පහරදීමට යොදාගත් බව කියවෙනවා. 18 වන සියවස කොළඹ කේන්ද්‍ර කරගෙන ඇතිවුණ හැම සිංහල බෞද්ධ ජාතිකවාදී අරගලයකම මහා සටන්කාමීන් වූයේ මෙම නාගරික උප ජනාවාසවල පැලපදියම් වුණ දකුණෙන් කොළඹට පැමිණි අය බව ප්‍රවේශමෙන් කරුණු හැදෑරීමේ දී තහවුරු වේ.
"තාත්තත් ඇවිල්ලා ඉඳලා තියෙන්නේ වෑකන්දේ මේ පන්සලේ. තාත්තට රස්සාවක් හම්බවෙලා තියෙනවා පස්සේ කටුගෙයි. සයිකල් ඕඩර්ලි, පණිවිඩකරු. බයිසිකලයක් දෙනවා. කාකි uniform එක. තොප්පිය සපත්තු දාගෙන තමයි රාජකාරියට යන්නේ. මේ uniform එකයි රස්සාවයි ඉතින් ගමේ කෙනෙක්ට ආශ්චර්යමත් අභිමානවත් රැකියා ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම. ඒක විශ්‍රාම වැටුප් සහිත රස්සාවක්. ඒ නිසා තවත් ඒකෙ වටිනාකම ඉහළ යනවා."
මේ වෙනකොට කොළඹ නගරය පුරාම අනගාරික ධර්මපාලතුමා ආරම්භ කරපු සිංහල බෞද්ධ ජාතිකත්ව සටන හෙමින් ගලා යමින් තිබුණේ. ඒකෙ පදනම වුණේ අධිරාජ්‍ය විරෝධය සහ සිංහල ව්‍යාපාරවල දියුණුව. පන්සලේ හිටිය තාත්තත් මේ ජාතිකවාදී සටන් රැල්ලට එකතුවෙලා තියෙනවා.
සිංහල ජාතිකවාදය
ඒක ඔප්පු වෙන්නේ එයාගේ පොත් පෙට්ටියේ තිබිලා මට හමු වුණ පොත් වලින්. ඒකෙ තිබුණා හිට්ලර්ගේ Mein Kompf පොත. ඒක සිංහල පරිවර්තනය "මගේ සටන" ඒ වගේම මිනිහෙක්ගේ පෞර්ෂය ගොඩනගන්න අදාළ වන සාධක පිළිබඳ පුංචි පොත් ගොඩාරියක්. එයාගේ මේ ජාතිකවාදී නැඹුරුවේ ගුරු වෙන්නේ කොම්පඤ්ඤවීදියේ දොස්තර එස්. ඩී. රත්නපාල. එයා තමයි ඒ කාලෙ මුළු කොම්පඤ්ඤවීදියටම හිටිය ලොකුම හා ජනප්‍රියම දොස්තර. ශ්‍රියානන්ද හෝටලය ළඟ තමයි රත්නපාල දොස්තරගේ ක්ලිනික් එක තිබුණේ. ධර්මපාලතුමාගේ ජාතිකවාදී ව්‍යාපාරය තමයි ජාතික සංගමය හැටියට ඉස්සරහට එන්න ගත්තේ. දොස්තර රත්නපාල එංගලන්තේ ඉගෙනගෙන ඇවිල්ලා සුද්දන්ගේ මේ රට බේරගන්න ඕන වගේ අදහස් පෙරදැරිව තමයි වැඩ කරලා තියෙන්නේ. එයාගේ ඇසුරත් එක්ක තාත්තා ජාතික සංගමේත් සාමාජිකයෙක් වෙනවා. නමුත් මෙයා ඒ සංගමයේ පහළ මට්ටමේ පොඩි කෙනෙක්. සටන්කාමීකම නිසා මෙයා ඒ ව්‍යාපාර වෙත ඇදිලා ගියත්, මෙයාට එළිපිට වැඩ කරන්න බැහැ මොකද මෙයා රජයේ සේවකයෙක්. මෙයාට විරුද්ධව පෙත්සං ගහලත් තියෙනවා. නමුත් ඉහළ නිලධාරී ඒවා පිළිඅරගෙන නැහැ.
මගේ තාත්තට විවාහ දෙකයි. පළමු විවාහය උඩහමුල්ල පැත්තේ කාන්තාවක් සමඟ තමයි සිදුවෙලා තියෙන්නේ. ඒ කාලේ ඇතිවෙච්ච යම් වසංගත තත්ත්වයක් තුළ ඒ අම්මා මිය ගිහින්. එයාට දූවරු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම අද නැහැ. අම්මගේ මරණයෙන් පස්සේ තාත්තා මේ දරුවො දෙන්නව අරගෙන වෑකන්දේ මදනායක මහත්තයාගේ බෙහෙත් ශාලාව ළඟ වත්තේ හිටපු ඥාති ලඟට ඇවිල්ලා තියෙනවා. දැන් කාලේ නම් ඒක මුඩුක්කුවක් වගේ කියලා කියන්න පුළුවන්. නමුත් ඒ කාලේ හැටියට සිංහල උලු හෙවිල්ලපු හොඳ තත්ත්වයේ පොඩි ගෙවල් පේලියක්.
දෙවන ලෝක යුද්ධ කාලයේ දී කටු ගේ තිබුණ වටිනාම කෞතුක වස්තු ගෙනියනවා පැල්මඩුල්ලට. පැල්මඩුල්ලේ ප්‍රබල නිලමේ කෙනෙක්ගේ වලව්වක තමයි ඒවා තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. තාත්තව තමයි යවලා තියෙන්නේ ඒ භාණ්ඩවල මුරකාරයා සහ භාරකාරයා හැටියට. තාත්තා නතර වෙලා ඉඳලා තියෙන්නේ කාමරංගා පිටියේ. අපේ අම්මා ඉඳලා තියෙන්නේ ඒ පැත්තේ. එයා මාතර පැත්තට දීග ගිහිල්ලා එයාගේ මහත්තයත් මේ වසංගත කාලේ මිය ගිහිල්ලා. අම්ම නැවත ගෙදර ඇවිල්ලා ඉන්දැද්දි තමයි තාත්තට මුණගැහිලා තියෙන්නේ. අම්මා ගල්අමුණ පටබැදිගේ පුංචි මැණිකේ.
මම ඉපදුනේ 1949 පැල්මඩුල්ල යාඉන්න ගමේ. මගේ අම්මට දරුවො පස්දෙනයි. මමයි අක්කයි අයියයි නංගිලා දෙන්නයි.
යුද්දෙ ඉවර වුණාට පස්සේ තාත්තා අම්මත් එක්ක කොම්පඤ්ඤවීදීයට එනවා. රස්සාවෙන් විශ්‍රාම අරගෙන තාත්තා බිස්නස්වලට බහිනවා. මේ වෙනකොට ජාතික සංගමය කැඩිලා බණ්ඩාරනායක මහත්තය ශ්‍රී ලංකා එක හදලා. තාත්තා දේශපාලන වශයෙන් බණ්ඩාරනායක මහත්තයත් එක්ක එකතු වෙනවා. ඒකෙත් එයා ක්‍රියාකාරී කෙනෙක් නෙමෙයි බිම් මට්ටමේ පාක්ෂිකයෙක්.
මේ කාලේ ඉතාමත්ම වැදගත් සමාජ සංසිද්ධියක් වෙනවා. ඒ කාලේ හිටපු සමහරු උගත් බුද්ධිමතුන් පෙන්වා දෙන්න ගත්තා සිංහල බෞද්ධයා අධිරාජ්‍යවාදයට විරුද්ධවත් පෞද්ගලිකව තමන්ගේ අභිවෘද්ධිය සඳහාත් නැගී සිටින්නේ නැත්තේ වැඩ කරන්නේ නැත්තේ ශක්තිමත් පෞරුෂය හීන නිසා කියලා. අභිමානයක් නැති හින්දා කියලා. මිනිහෙක් හැටියට පුද්ගලික අභිමානයක් තියෙන්න ඕනේ ජන කොට්ඨාසයක් හැටියට පොදු අභිමානයක් තියෙන්න ඕනේ. මේක ධර්මපාලතුමත් මුල ඉඳන්ම කියපු කතාවක්. මේ ගැන ඒ කාලේ පුංචි පොත් බහුල වශයෙන් පළ වෙන්න පටන් අරන් තියෙනවා. තාත්තා ඒ පොතපත බහුල ලෙස කියවන්න පටන් ගන්නවා. මේ වගේ පොත් පෙට්ටියක් ම තිබුණා තාත්තට. මමත් පොඩි කාලේ මේවා අරගෙන කියවනවා. ඒ කාලේ නගරයේ මේ පුංචි කොලනිවල හිටිය හැම කෙනාම පොතපත කියවන අය. ඒ බොහෝ දෙනෙක් මේ පුංචි පොත් කියවීමට ඇබ්බැයි වෙලා හිටියා කියලා තාත්තගෙ කතාබහවලින් මට ඇහිලා තියෙනවා.
කටු ගෙදර රස්සාවෙන් අස්වෙලා තාත්තා පලතුරු බිස්නස් එකක් පටන් ගත්තා. මුලින්ම බාන්ස් ප්ලේස් එකේ කොනේ. ඊට පස්සේ ඩින්ස් රෝඩ් එකේ බේක් හවුස් කඩපේලියේ පලතුරු කඩයක් දැම්මා. මහ ඉස්පිරිතාලේ ළඟ නිසා පලතුරු වලට හොඳ බිස්නස් එකක් තිබුණා.ඒ කාලේ ඔතන ඇස් රෝහල තිබුණේ නැහැ. තිබුණේ ලොකු පොල් වත්තක් .ඒ කාලේ ඩෝසර් තිබුණේ නැහැ. ඇස් වට්ටුව හදන්න අලි ගෙනල්ලා චේන් දාලා පොල් ගස් උදුරනවා මට මතකයි මම කඩේ ඉස්සරහ ඉදන් බලාගෙන හිටියා.
මට අවුරුදු දහයක් විතර ඇති එතකොට. මේ කඩ පේළියම අයිති නීතිඥ A.R.M.අමීන් කියන කෙනාට. එයා හිටියේ වෝඩ් ප්ලේස් එකේ. ජේ.ආර්.ගේ අසල්වැසියෝ. ඒ අය පාරම්පරික ධනවත් මුස්ලිම් අය.
කුරුඳුවත්තේ ධන කුවේරයෝ
ඊට පස්සේ අපි කොම්පඤ්ඤවීදියේ ඉඳලා රොස්මිඩ් ප්ලේස් එකේ විසි නවය වත්තට අපි ආවා තාත්තා එකේ ගෙයක් ගත්ත නිසා. ඒ වත්තේ ඉස්සරහ පැත්තෙ තිබුණා ලොකු බංගලාවක්. ඒ 29 වත්ත අක්කර පහක් විතර ලොකුයි. ඒ කාලේ ඔය රොස්මිඩ් ප්ලේස් බාන්ස් ප්ලේස් වගේ පැත්තේ ලොකූ ගෙවල් තිබුණේ ලොකු වත්තක් මැද්දේ. එක ගේකට මහා ලොකු ඉඩමක් තිබුණා. දැන් ඒවා පර්චස් ගානට කැඩිලා ගිහිල්ලා. විසි නවය වත්ත කියන්නේ එක පැත්තක් රොස්මිඩ් ප්ලේස් එකට අනිත් පැත්ත වෝඩ් ප්ලේස් එකට. දැන් ඔය වෝඩ් ප්ලේස් එකේ ග්‍රාන්ට් කමිෂන් එක තියෙන තැන ගොඩනැගිල්ලේ ඒ කාලේ හිටියේ ඉන්දියාවෙන් ආව මහා ධන කුවේරයෙක්. අපේ පැත්තට වෙන්න වත්තේ තිබුණ ඒ වගේ විශාල නිවස අයිතිකාරයත් ඉන්දියාවේ මහරාජා කෙනෙක්. ඒගොල්ලෝ ඒ ගෙදරට එන්නේ ලංකාවේ අශ්ව රේස් දුවන කාලෙට. ඒගොල්ලන්ට ඒ කාලේ කොළඹ බාන්ස් ප්ලේස් හෝර්ටන් ප්ලේස් එකෙත් මේ වගේ විශාල ගෙවල් තිබුණා. ළමයි හත් දෙනෙක්ද කොහෙද හිටියා. ඒ අය කවුරුත් හරි හමන් රැකියාවක් කරපු අය නෙමෙයි. පරම්පරාවේ සල්ලි වලින් ෆන්ලයිෆ් එකක් ගත කරමින් තමයි හිටියේ. කාලයක් යනකොට මේගොල්ලන්ගේ ධනය හීන වෙලා ගියා. මේගොල්ලන්ට අශ්වයෝ හිටියා. උන් තමයි මං හිතන්නේ රේස්වලට දිව්වේ. මේ අශ්වයෝ හිටපු අශ්ව ඉස්තාලයක් තිබුණා. ඒ අශ්වයෝ බලාගන්න හිටපු මිනිස්සුන්ට වෙනම පොඩි පොඩි ගෙවල් පේළියක් හදලා තිබුණා. ඒ කුදිරකාරයන්ගේ තලෙවර්, ඒ කියන්නේ ලොක්කා හිටිය ගෙයක් ඒ ගෙවල් පේලියේ කොනේම තිබුණා. ඒක ටිකක් ලොකුයි. මේ වෙනකොට මේගොල්ලෝ ටික ටික දියවෙලා ගිහිල්ලා අස්සයෝ ඔක්කොමත් විකුණලා. ඉතින් මේ නිකන් තියෙන ගෙවල් ටික කුලියට දුන්නා. තාත්තා ගත්තේ ඒ තලවර්ගේ ගේ. දැන් මේ ගෙවල් තියෙනවද දන්නේ නැහැ.
මේ වත්ත පිටිපස්සේ විවිධ ජාතියේ ගස් තිබුණ පොඩි කැලයක්.ඒ කේ දෙල්, පොල්, මසන්, වෙරළු, අඹ, ජම්බු, පේර, එරබදු, මුරුංගා වගේ හැම හැම ජාතියකම ගස් වැල් මේකේ තිබුණා. අතරින් පතර කුරුඳු තිබුණා. මොකද මේක කුරුදු වත්තනේ. ඒකෙ අනිත් විශේෂත්වය තමයි ඒ වත්තේ වැල්ල මැටි පසක් නෙමේ. සුදු වැලි පසක්. ඇත්තටම කොළඹ තිබුණේ සුදු වැලි පසක්. වැල්ලක්. පසු කාලයක ඒක මැටි ගෙනල්ලා දාලා වහලා තිබුණා. මේ සුදු මුහුදු වැල්ල ඇතිවෙන්න හේතුව බොහෝ කාලයකට පෙර මේ හරිය මුහුදෙන් යට වෙලා තියෙන්න ඇති. නැත්තං වැස්සට හේදිලා හේදිලා ගිහිල්ලා යට සුදු වැල්ල මතුවෙලා තියෙන්න ඇති."
මීට සමාන අදහසක් ඇති කතාවක් මෙම ලියුම්කරු ද අසා ඇත. එනම් වර්තමාන ජයවර්ධන කේන්ද්‍රය ඇති ස්ථානයේ ලන්දේසි යුගයේ (හෝ ඉංග්‍රීසි මුල් යුගයේ) කරන ලද යම්කිසි සංවර්ධන කැණීමක දී පොළොව අභ්‍යන්තරයේ විශාල වැලි තට්ටුවක් ද ඊට මැදි වී පැරණි සෙල්ලිපියක්ද හමු වී ඇති බව යම්කිසි දේශනයක දී මෙම ලියුම්කරු අසා ඇත. ලියුම්කරුගේ මතකය නිවැරදි නම් එම දේශනය කළේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාය.
මීට සමාන සුදුවැල්ල සහිත බිම් කුට්ටි කිහිපයක් තිඹිරිගස්යාය ප්‍රදේශයේත් දැකිය හැක. නිවාස ඉදිකිරීමට මිනිසුන් පස් ගෙනත් දැමීම තුළින් එම සුදු වැල්ල යට වී ගොස් ඇත. නමුත් මරදාන (මරද වැල්ල)වැල්ලවත්ත සහ සුදුවැල්ල යන ග්‍රාම නාම වල ද මෙම සුදු වැලි පසට නෑ කමක් කියවේ. අනික මේ ප්‍රදේශය මහා කුරුදු බිමක්. වගාවක් තිබිලා තියෙනවා. සුද්දෝ මේ පැත්තට එනකොට මේක සම්පූර්ණ කුරුඳු කැලයක්. ඒවා සමහර විට වැව්වා නෙමේ අවුරුදු සිය ගණනක් ඉබේ වැවිච්ච ඒවා වෙන්නත් පුළුවන්. නැතිනම් මේ ප්‍රදේශයක්ම වැහෙන්න එකපාරට පුරුදු වගා කරන්න විදිහක් නැහැ. තිඹිරිගස්සාය අශෝකාරාමය සහ ඉසිපතනාරාමය පිටිපස්සට ගිහිල්ලා බැලුවහම හිතාගන්න පුළුවන් නමසිය හතලිස් ගණන් වල කොළඹ තිබුන කැලෑ මණ්ඩියේ තත්ත්වය.
| පැරණි මියුසියස් විද්‍යාලය
අපි දිගටම ජීවත් වුණේ මේ වත්තේ. මමයි අයියයි පාසල් ගියේ කේරි විද්‍යාලයට. ගෑණු අය ගියේ බැප්ටිස් ලේඩිස් කොලේජ් එකට.(යශෝධරා එක ළඟ) ලොකු අක්කලා දෙන්න ගියේ මියුසියස් එකට ඉංග්‍රීසි භාෂාවෙන් ඒගොල්ලෝ ඉගෙන ගත්තේ.
ඒ කාලේ මියුසියස් එක ගැනත් අපූරු පුරාවෘත්තයක් තියෙනවා. ගොඩනැගිලි දෙකක් විතර තමයි තිබුණේ. මේ රොස්මීඩ්, බාන්ස් ප්ලේස් පැත්තේ අපේ වගේ ගෙවල් තියෙන වතු කිහිපයක් තිබුණා. මියුසියස් වත්තේ තෙල් කරත්තකාරයෝ එහෙම හිටියා. බාන්ස් ප්ලේස් එකේ තව වතු කීපයක් තිබුණා. නර්තනාචාර්ය වජිරා හිටියෙත් රොස්මිඩ් එකේ වත්තක. පොඩි පොඩි ගෙවල් පහ හයක් තිබුණා පොඩි වත්තක්. හැබැයි ඒගොල්ලෝ අපිට වැඩිය සශ්‍රීක කට්ටිය. මට යන්තම් මතකයි මම චූටියි එතකොට.
තෝටකාරයෝ
මේ පොඩි පොඩි ගෙවල් වල හිටපු අය තමයි මේ පැත්තේ තිබිච්ච ලොකු ගෙවල්වල වැඩ කළේ. දෙමළ මිනිස්සු වෙනම හිටියා ඒගොල්ලන්ව ගෙවල්වල වැඩට ගත්තෙ නැහැ වත්තේ වැඩවලට තමයි ගත්තේ. ඒගොල්ලන්ට කිව්වේ තෝටකාරයෝ කියලා. තෝටකාරයෝ ගෙන්නුවෙත් නුවරඑළිය පැත්තෙන්. මේ තෝටකාරයන්ට හරි පිළිගැනීමක් තිබුණා ඒ කාලෙත්. ඒ අයට කිව්වේ (ග්‍රීන් ෆින්ගර්ස්) Green fingers කියලා. මොකද ඔය මහා මන්දිර ඇතුලේ හිටපු අයට ඕනැ වුණා තමන්ගේ වත්ත ලස්සනට තියාගන්න.මේ අය විශ්වාස කළා මේ තෝටකාරයෝ ගහකට අත තිබ්බත් ඒක පැලවෙනවා ගෙඩි එනවා කියලා.
මේ මිනිස්සුන්ව දිගටම තමන්ගේ ළඟ තියාගන්න ඕන නිසා, මේ මිනිස්සුන්ට මේ පොඩි පොඩි ගෙවල් හදලා දුන්නෙත් මේ මහා මන්දිරවල අයම තමයි. මොකද ඒගොල්ලන්ගේ සර්විස් නැති වුණොත් තමන්ගේ අභිමානය ගෞරවය බිඳ වැටෙන්න ඉඩ තියෙන නිසා. මේ වැඩ කරන අයව පවුල් පිටින් දිගටම තියාගන්න ඕන නිසා ඔවුන්ව තමන්ගේ ඇස් මට්ටමේ තියාගන්න ඒගොල්ලෝ උනන්දු වුණා. ඒ නිසා ලැයිම් වගේ ගෙවල් හදලා මේගොල්ලන්ව ඒවායේ පදිංචි කරලා තියා ගත්තා. සාමාන්‍යයෙන් එක ගෙදරක වැඩකාරයෝ දහයක් පහළොවක් හිටියා. මේ වැඩට හිටිය ගොඩක් මිනිස්සු ඉන්දියාවෙන් සංක්‍රමණික වුණ සහ ගම් වලින් රැගෙන ආ අය. විශේෂයෙන් කුදිරකාරයෝ ගත්තොත් ඒ රස්සාව කරන්න දන්න අය ලංකාවේ කොළඹ හිටියේ නැහැ ඒ කාලේ. ඒගොල්ලන්ව මෙය ධන කුවේරයෝ එනකොට ඒගොල්ලොත් එක්කම ඉන්දියාවෙන් අරන් ආව අය. ඒ වගේම වතු වැඩ කරන්න මේ වගේ ගෘහස්ථ කම්කරු උප වෘත්තීන්වලට කොළඹට ආව සහ ගෙන්නපු අය නිසා කොළඹ හත කුරුඳුවත්ත ඇතුලෙත් නාගරික උප ජනාවාස කිහිපයක් සැඟවිලා බිහිවෙනවා. මමත් පොඩි කාලේ සෙල්ලම් කළේ මේ ළමයි එක්ක. ඒක නිසා මට දෙමළ කතා කරන්න පුළුවන් වුණා. හැබැයි මගේ දෙමළ යාපනය දෙමළවත් වතු දෙමළත් නෙමේ. අනික සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ගෙයි මේ දෙමළ ප්‍රජාවගේ ආගමික වතාවත් අතර වෙනසක් පේනවා. ඒක වෙන්නේ ඒ අය ඉන්දියාවේ ඉඳලා ආවේ විවිධ ප්‍රදේශවල විවිධ ගෝත්‍රික පසුබිම් යටතේ නිසා ඔවුන්ගේ ඇදහිලි වල විවිධත්වයක් තියෙනවා. වතුකරේ ජනතාව අතරත් මේ ආගමික ව්‍යාභිචාරවල විවිධත්වය දකින්න පුළුවන්. මට මේ අයගේ Roots මොනවාද කියලා හරියටම කියන්න දන්නෙ නැහැ .මේක කවුරුත් හරියට පර්යේෂණ කරලා නැහැ මම හිතන්නේ.
දැන් අපි නැවත අපේ කතාවට එමු. කේරි කියන්නේ බැප්ටිස් කොලේජ් එක. නමුත් තාත්තා ඇයි අපිව ආනන්ද නාලන්දෙට දැම්මේ නැත්තේ කියන එකත් ප්‍රශ්නයක්. කේරි විද්‍යාලය ටිකක් සල්ලි වියදම් යන තැනක්. නමුත් තාත්තා එතනට අපිව දැම්මේ එතන ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳ නිසා වෙන්න ඇති. නැතිනම් සිංහල බෞද්ධ ජාතිකත්වයත් එක්ක හිටපු අපේ තාත්තා ඇයි අපිව ආනන්ද නාලන්දේට දැම්මේ නැත්තේ කියන එක ප්‍රශ්නයක්.
| පැරණි කේරි විද්‍යාලය
ක්‍රිස්තියානි පාසල්වලට එරෙහි වැරදි මතයක්
මෙතන තව සිද්ධියක් තිබුණා. ඒ කාලේ සිංහල බෞද්ධයන් අතර මතයක් තිබුණා ආගමේ ඉස්කෝලවල්වලට ගියොත් ඒ අයගේ බ්‍රේන් වොෂ් කරනවා කියලා. නමුත් බැප්ටිස් කියන්නේ එවැනි ආගමික තෙරපුමක් දෙන්නේ නැති, නිදහස් ක්‍රිස්තියානි නිකායක් හැටියටත්, එම පාසල්වලට එන දරුවන්ගේ අනිත් ක්‍රිස්තියානි කතෝලික පාසල්වලට එන දරුවන්ගේ වගේ brain wash නොකරන බවට අග නාගරික සමාජයේ පිළිගැනීමක් තිබුණා. මේක මම අත්දැකීම් එක්ක හදාගත්ත මතයක්. මේකේ යම් වැරැද්දක් තියෙනවා නම් සමාවෙන්න ඕනේ."
ගජවීර මහතා හැම විටම තමන්ගේ අදහස් දක්වන්නේ ඒ අදහස් වලින් කිසිදු කෙනෙකුට හානියක් නොවන බවට දැඩි අවධාරණයකින් යුතුයි. අනෙක් අතට ඔහු හැමවිටම තමන් විශ්වාස කරන සහ දන්න දේ කියනු හැර තවත් කෙනෙකු කියනු අසා ඇති දෙයක් කියන්නේ ඒ බව ද අවධාරණය කරමින්. කොළඹ නගරය ඇතුළත එදා සිදුවුණ සමාජ, ආර්ථික, සංස්කෘතික දේශපාලන පරිවර්තනයන් පිළිබඳ ඔහුගේ මතකයේ ඇති සංසිද්ධි ඔහුගේ දේශපාලන හා සංස්කෘතික පරිකල්පනයන් සමග මනාව සංකලනය කරමින් තමයි ඔහු තමන්ගේ අත්දැකීම් සහ ඒ මත ගොඩනැගුණු අදහස් ඉදිරිපත් කරන්නේ. එය ඔහුට රුසියානු අධ්‍යාපනයෙන් ලැබුණු ශාස්ත්‍රාලීය විනය ගරුකභාවය විය හැකියි.
"කේරි කොලේජ් වෙන්න කලින් ඒක බැප්ටිස් කොලේජ් එක. වෙස්ලි කොලේජ් එකට අනුබද්ධ පාසලක්. ඒ කාලෙත් මේ ඉස්කෝලේ විශේෂත්වයක් තිබුණ ඒ ඉස්කෝලේට කොළඹ හිටිය චීන වෙළෙන්දන්ගේ ළමයි, බෝරා අයගේ ළමයි, දෙමල, මුස්ලිම් අයගෙන් වැඩිපුරම ආවේ මැලේ ළමයි, දෙමළ ළමයි ආවා. මාලදිවයිනෙනුත් ළමයි ආවා. ඒ වගේම මාත් එක්ක සෙල්ලම් කරපු තෝටකාරයන්ගේ ළමයි දෙන්නකුත් කේරි කොලේජ් එකට ආවා. ඒක ඉතාමත් පහත ආර්ථික තත්ත්වයක් සහ සමාජ පිළිගැනීමක් තිබිච්ච මිනිස්සු. සමහර දෙමළ අය හින්දු කොලේජ් එකට ගියා. වැලවත්තේ හින්දු කොලේජ් එකට ඒත් මේගොල්ලන්ව ගත්තේ නැහැ. නමුත් කොල්ලූපිටියේ සෙන්ට් ඇන්තනීස් කෝලේජ් එක මේ වතුවල දුප්පත් ළමයිව බාරගත්තා.(මෙවර රජයේ පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවය ජනාධිපතිවරයා පැවැත්වූයේ මෙම පාසලේය.) ඩීන්ස් රෝඩ් එකේ ලෝරන්ස් කොලේජ් එක තිබුණත් හැමෝම ඒකට ගියේ නැහැ . ඒක ගණන් වැඩි නිසා. ඒගොල්ලොත් ක්‍රිස්තියානි අය නෙමේ. මේ කේරි කොලේජ් එකට ආව අය හොස්ටල් එකේ හිටියේ. ඒගොල්ලන්ට තමන්ගේ ආගම අදහන්න පල්ලියට යන්න නිදහස දීලා තිබුණා. මේගොල්ලෝ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෝ. අපේ කොලේජ් ටීම් එකේ හැම අවුරුද්දකම මාලදිවයිනේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවමයි. පස්සේ මම තර්ස්ටන් එකට ගියා. සාමාන්‍ය පෙළ කළේ එහි දී.
බට්ට පනිනවා, හොරා පොලිස් කරනවා, ගස් නගිනවා, ගුඩු ගහනවා. ඉස්කෝලේ ස්පොට් මීට් කාලෙට ඒවා කරනවා ඒවා තමයි අපේ සෙල්ලම්. විශ්‍රාම සුවයෙන් ඉන්න මම දවල්ට කරන්නේ TV එක බලන එක.ඔය දෙරණ ගිය සමහර චිත්‍රපටවල යනවා අපි පුංචි කාලේ කරපු සෙල්ලම්. ඒ සමහර වචන අපිට හරි සමීපයි. මොකද මම ආශ්‍රය කලේ පොඩි කාලේ ඉන්දියාවට සම්බන්ධ චරිත නේ. ඒ අයගේ කතා ව්‍යවහාරයේ තිබිච්ච සමහර දේවල් අර චිත්‍රපටවල මට අතරින් පතර ඇහෙනවා. මේ සමහර ක්‍රීඩා අපිට ඉන්දියාවෙන් එන්න ඇති. දැන් ගජබාහු රජ්ජුරුවෝ සොළීන් දහදාහක් ලංකාවට අරගෙන ආවා නේ. ඒ වගේම වෙළඳාමට ආවා අයත් හිටියනේ. ඒගොල්ලන්ගේ මේ ක්‍රීඩා, භාෂාව, සංස්කෘතික අංග අපිට එන්න ඇති. මේ චිත්‍රපට බලන කොට මට ඒ වගේ දේවල් ගොඩක් හමුවුණා. මම එක පොඩි උදාහරණයක් කියන්නම් භාෂාවේ.අපේ ජනවහරේ තියෙනවා "ගඟත් එක්ක තරහවට පස්ස හෝදන්නේ නැතුව ඉන්න එපා" කියලා. මේක ඉන්දීය දමිළ චිත්‍රපටයක වයසක ආච්චි කෙනෙකුත් කියනවා.මේ වගේ හරි සමාන ඉඩියම්ස් ගොඩක් මට මේ චිත්‍රපටවල දී ඇහිලා තියෙනවා. මේක මට දැනෙන්න ගන්නේ මම දිගටම මේ චිත්‍රපට බලන නිසා. මේ නාගරික උපසංස්කෘතිය ඇතුලට ඇතුල් වෙච්ච මෙම සංස්කෘතික උපාංග ගැන හොයලා බලන්න ඕනේ. අද ඒවා අපේ දේවල් බවට පත්වෙලා. මේ නාගරියක උපසංස්කෘතිය ඇතුලේ ඉතාම අපූරුවට මේ සංස්කෘතික සමායෝජනය බද්ධ වෙලා තියෙනවා අපි දන්නේ නැතුවම.
අපි ඒ කාලේ රත්නපාල මහත්තයා ගෙන් ඇර බෙහෙත් ගත්ත නගර සභාවේ ඩිස්පෙන්සරී තිබුණා. දැන් අපි හිටියේ ධන කුවේර කලාපයකනේ. ඒ නිසා ඒ පැත්තේ තිබුණේ නැහැ Dispensary. ආසන්නම එක තිබුණේ හුණුපිටියේ ගංගාරාමය පැත්තේ. රත්නම් වාට්ටුවෙත් දුප්පත් අයට අපිට බෙහෙත් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. අනික ඕපීඩි එකයි මහ ඉස්පිරිතාලෙ ළඟම තිබුණනේ. ඒ කාලේ ටවුන් හෝල් එකේ වටරවුම හරිම ලස්සනයි. එකේ වතුර මල බලන්න අපි යනවා. මෙතන තිබිච්ච හැම බිල්ඩීමකම ඒකටම අනන්‍ය Personality එකක් තිබුණා. Individuality එක තිබුණා. ටවුන් හෝල් එකේ තිබුණ වටරවුම් දෙකයි මහ රෝහලේ වික්ටෝරියා බිල්ඩිමයි තුනම එකම Architectural Ensemble එකක කොටසක් කියලා. අද මේවා විකාර කරලා විනාශ කරලා. කුජීත කරලා.
කොම්පඤඤවීදිය
කොම්පඤ්ඤවීදිය කියන්නේ අතීත ස්ලේව් අයිලන්ඩ් එක. ඒක දිග කතාවක්. නමුත් මේ ස්ලේව් අයිලන්ඩ් එක පටන් ගත්තේ කාපිරි මිනිස්සු ගේන්න කලින්. මේ හරියේ ඒ කාලේ හිටියේ ගොඩක් මැලේවරු. අපි කියන්නේ ජා කියලා. මේ අය මලයාවේ දී බ්‍රිතාන්‍ය කීරීයට විරුද්ධව කැරලි ගහලා ලංකාවට පිටුවහල් කළ අය. ඔවුන් පවුල් පිටින් තමයි පිටුවහල් කලේ. මෙහි වැඩිපුරම හිටිය සිංහල අය ඊට පස්සේ මැලේ මුස්ලිම් අය. මේ මැලේ ජාතිකයන් ලංකාවට ආවට ඔවුන්ගේ පල්ලියක් මුකුත් ඒ හරියේ හැදුනේ නැහැ. මොකද සුද්දෝ විශ්වාස කරන්න ඇති මේ ගොල්ලෝ පල්ලියක් හදාගෙන නැවත එකතු වුණොත් එතන මේ ගොල්ලන්ගේ හමුවීමේ න්‍යෂ්ටිය බවට පත්වුණොත් නැවත මේ ගොල්ලෝ ලංකාවේ කැරලි ගහන්න ඉඩ තියෙනවා කියලා. නමුත් පස්සෙ කාලෙක මේ මැලේ ජාතිකයන් අතර හිටියා.
Worious ලා ලංකාවේ කොලෝනියල් හමුදාවටයි පොලිසියටයි එකතු වුණා. මේ මැලේවරුන්ගේත් ස්ථර දෙකක් හිටියා. ඒකෙ කුලීන කට්ටිය ඉංග්‍රීසි පොලිසිය සහ හමුදාවේ ඉහළ තනතුරුවලට බඳවා ගත්තා. කුලහීන අය පොලිසියේ පහළ තනතුරුවලට බඳවා ගත්තා. සරදියල් අල්ලන්න ගියෙත් ජා හේවා කණ්ඩායමක්නේ. අනික මේ මැලේ අය හිතුවා ඒගොල්ලෝ ඉංග්‍රීසීන්ට කිට්ටු ඉහළ ජාතියක් කියලා. ඒ නිසා ඒ ගොල්ලෝ අහල පහල සිංහල අයත් එක්ක අඩුවෙන් තමයි ගනුදෙනු කළේ. ඒගොල්ලන්ට ආවේණික සංස්කෘතික ලක්ෂණ තිබුණා. ඒගොල්ලෝ තමන්ගේ ජාතියෙන් පිට කාවවත් බැන්දේ නැහැ. විවාහ, අවමගුල්, සාජ්‍ජ, ගීත, ඇඳුම්, කෑම ඔවුන්ට ආවේණික ඒවා තමයි තිබුණේ.
| මැලේ ජාතිකයින්
අදත් කොම්පඤ්ඤ වීදියේ තියෙනවා බැරැක්ක පටුමග. මේ බැරැක්ක කියලා කිව්වේ ඉංග්‍රීසි හමුදාවේ සෙබළුන්ට සේවය කිරීමට වෙන රටවල් වලින් ගෙනාව සුළු හේවායන්ගේ නවාතැන්. මේවා තනි බැචුල ගෙවල්. ඒ පාර කොනේ මැලේ ග්‍රවුන්ඩ් එක ළඟින් ඇතුළට තියෙන පාරේ කොනටම ගියහම ඉස්සර තිබුණා මේ වහල්ලු නතර කරලා තිබුන හිර ගෙවල්. හිරගෙවල් කිව්වට ඒවත් තනි පේළි බැචුල ගෙවල්. ඒකෙ කාපිරි වහල්ලු වගේ අය හිටියා.
ඒ කාලේ කොම්පඤ්ඤ
වීදිය කියන්නේ බොහොම කාර්ය බහුල නගරයක්.ඒ පැත්තේ තිබුණු ප්‍රධාන ස්ථානය තමයි මැන්ෂන් හෝටලය.(Mansion Hotel) ඒක Restaurant and Bar එකක්. ඒකට ගොඩක් ආවේ නැව්වල ඇවිල්ලා බහින කට්ටියයි, රජයේ සහ පෞද්ගලික අංශයේ පහළ මධ්‍යම පංතික සේවකයෝ තමයි. ඊට අමතරව එතනට එන්න පුරුදු වෙලා හිටියා කලාකාරයෝ. ඇවිල්ල කාලා බීලා යනවා. අනික කොම්පඤ්ඤ වීදිය කියන්නේ කෑම බීම වල සුවිශේෂ විවිධත්වයක් ඇති කලාපයක්. මනිපිට්ටු, එළු මස්, බාබත්, ඉඳිආප්ප, හරක් මස් කරි, කොම්පඤ්ඤවීදියේ බොහොම ප්‍රසිද්ධ ආහාර කීපයක්.
(මැන්ෂන් ගොඩනැගිල්ල මේ වන විට බිමට සමතලා කර හමාරය. නමුත් ගජවීර මහතා කියන්නේ එය කඩා දැමූ එක නිවැරදි බවත්, මන්ද එහි කාලය මේ වන විට ඉකුත් වී ඇති නිසා)
කොම්පඤ්ඤ වීදියෙන් පස්සේ අපි පදිංචියට ආවේ රොස්මීඩ් එකට. ඒ කාලේ ටවුන් හෝල් ප්‍රදේශය ඔය විදිහටමයි තිබුණේ. ඩාර්ලි රෝඩ් එකේ විශාල ගබඩා තිබුණා. මහවැලියේ ගොඩනැගිල්ල සහ හැටන් නැෂනල් බැංකුවේ අලුත් ගොඩනැගිලි නිසා ඒ Landscape එක වෙනස් වෙලා තියෙනවා. දැන් ගිනි නිවන හමුදාව තිබෙන තැන තිබුණේ ඒ කාලයේ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ විශාල ගොඩනැගිල්ලක්. අපිට පෝලියෝ දුන්නේ අපේ පපුව පරීක්ෂා කළේ ඔක්කොම කලේ එතන තමයි. පස්සේ ඒ ඔක්කොම මහ ඉස්පිරිතාලෙට ගත්තා.ඒක පිටිපස්සෙ තිබුණේ පොඩි ගෙවල් පේළි එක්ක ඈදුණු වත්තක්. මේ හරිය සුදුවැල්ල. ඒ හරියේ තවමත් පරණ තත්වය පෙන්වන තැන් තියෙනවා.
| පැරණි කොම්පඤඤවීදිය දර්ශනයක්
ඒ කාලේ අපි ඉස්කෝලේ ගියෙත් රික්ෂෝවල. හදිස්සියක් වුණාම කෙනෙක් අසනීපම වුණාම ඉස්පිරිතාලට අරන් ගියෙත් රික්ෂො එකෙන් තමයි.
අපේ පවුල ලොකු වෙනකොට ඉඩ මදි වෙනකොට රොස්මිඩ් ගෙදරින් අපි දෙමටගොඩ කොළොන්නාව පාරේ වත්තක ගෙදරකට ගියා. රේල්වේ එකේ සුභසාධක සමිතිය ඒ පැත්තේ ලොකු ගොඩනැගිල්ලක් හැදුවා. ඒක තිබුණා ඒ පාරට කිව්වේ "සුභසාධක මාවත" කියලා. අපි හිටියේ ඒ පාරේ (ඒ ගොඩනැගිල්ල දැන් ටියුෂන් පන්ති තියන තැනක්) ඒ ගෙවල්වලට තිබුණේ බාල්දි කක්කුස්සි. රොස්මීඩ් එකේ පැත්තෙ ගෙවල්වලට ඩ්‍රෙනේජ් තිබුණා සියවස මුල් හරියෙ දි විතර දාපු. දෙමටගොඩ හරියේ පොඩි පොඩි වතු ගොඩක් තිබුණා, ඒවට තිබුණෙ ඔක්කොම බාල්දි කක්කුස්සි. ගෙවල් සංඛ්‍යාව අනුව නගර සභාව තීන්දු කළා ඒ ගෙවල්වලට බාල්දි වැසිකිලි කීයක් තිබිය යුතු දෙයක් ද යන්න.ගෙවල් අයිතිකාරයා තමයි මේවා හදලා දෙන්න ඕනේ. උදේ පාන්දර දෙමළ මනුස්සයෙක් එනවා කරත්තය තල්ලු කරගෙන මේවා අරගෙන යන්න.
ඒ කාලේ නගරයේ හැමතැනම තිබුණා දරමඩු. වේළුවන පාර, ඥාණවිමලාරම පාර, ඇල්බියන් පාරේ දරමඩු තිබුණා. රොස්මිඩ් ඉන්න කොට අපිට කරත්තයකින් දර ගෙනල්ලා වික්කා.
පසු කාලයක 29 වත්තේ ඉන්දියානු මහරාජාගේ නිවස භික්ෂූන් වහන්සේ නමක් කුලියට අරගෙන බෞද්ධ විශ්ව විද්‍යාල ආයතනය කියලා දාගෙන හිටියා. මෙයාගේ මුරකාරයා හිටියේ ජා මනුස්සයෙක්. 58 දෙමල සිංහල කෝලාහලය වෙලාවේ දී අහල පහල සිංහල මිනිස්සු ආව අපේ වත්තේ දෙමල මිනිස්සුන්ට ගහන්න. එතකොට අර ජා මිනිහා දොර ඇරලා දුන්නා ඒ අයට වත්තට එන්න. අපේ තාත්තා ගිහිල්ලා ඒ ගේට්ටුව වහලා ආපු අයව එළවලා දෙමල මිනිස්සු රැක ගත්තා. නමුත් හාමුදුරුවෝ ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා දේපලවලට හානි කළා කියලා. හාමුදුරු ටිකක් බලගතු කෙනෙක් මට නම මතක නැහැ. අවසානයේ තාත්තට එක දවසක් පොලිස් කූඩුවේ ඉන්න වුණා. නඩුව ටික කාලයක් ගියා. පස්සේ මේ හාමුදුරුවෝ ඉතාම නරක වැඩක් කළා. අපිට වතුර එන පයිප්පය තිබුණේ මේ ගේ මැදින්. හාමුදුරුවෝ ඒ පයිප්පෙ වැහැව්වා. එතකොට ගෙවල් දහයක මිනිස්සුන්ට වතුර නැහැ. ඒ හැම ගෙදරකින්ම කුලිය ගත්තේ මේ හාමුදුරුවෝ. අපේ තාත්තාට ඒ කාලේ තිබුණා අර පාන් බයිස්කලේ වගේ රෝද තුනේ බයිසිකලයක්. ඒකෙ තමයි තාත්තා කඩේට බඩු ගෙනාවේ. ඔය රොස්මිඩ් එකට හැරෙන තැන තිබුණ ශෙඩ් එක අයිති කොහුවල ජයසිංහට.(ඇස් දඇස් ජයසිංහ පවුල) එයා තාත්තගේ යාළුවෙක්. තාත්තා මේ කරත්ත බයිසිකලයේ දෙමළ මිනිසුන්ට දීලා ජයසිංහට කියලයි මිනිස්සුන්ට ෂෙඩ් එකෙන් වතුර දුන්නා. තාර බැරල් දෙකක් සයිකලයට දාලා තමයි වතුර ගෙන ආවේ. ඒ ගෙනල්ලා තමයි වත්තේ ඔක්කොටම වතුර දුන්නේ. ඔය සිද්ධියෙන් පස්සේ තමයි තාත්තා දෙමටගොඩට යන්න තීරණය කළේ.
තාත්තා අපි පොඩි කාලේ ගෙදරට "ජනතා" පත්තරේ ගෙනාවා.අපිට "ලපටි පෙළ" පත්තරේ ගෙනාවා.ඒ නිසා අපි පොඩි කාලේ ඉඳන්ම කියවන්න පුරුදු වුණා.පස්සේ දවස පත්තරය ආවා. ඒ කාලේ ජනතා පත්‍රයට ලොකු ආකර්ෂණයක් තිබුණා.තාත්තා පක්ෂ දේශපාලනයක් කළේ නැහැ.හැබැයි මම අයියත් එක්ක ඉතින් මැයි පෙළපාලි බලන්න ගියා.ඒවායේදි කිව්වා මතකයි "සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්" කියලා.
මගේ තාත්තගේ මල්ලි තමයි කොමියුනිස්ට් පක්ෂයේ හිටිය, පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වුණ වී. ඒ. සමරවික්‍රම. එයා තමයි මාව රුසියාවේ අධ්‍යාපනයට යැව්වේ. රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඇවිල්ලා මම ඉංජිනේරු සංස්ථාවේ දීර්ඝ කාලයක් සේවය කරලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා.
(පින්තූර අන්තර් ජාලය ඇසුරින්)
|උපුල් ජනක ජයසිංහ
සබැඳි පුවත්
- “කොළඹ අයිතිකාරයෝ“ වැල්ලවත්ත රෙදි මෝල කතාව
- “කොළඹ අයිතිකාරයෝ“ පාමංකඩ වමේ බලකොටුවක්
- “කොළඹ අයිතිකාරයෝ“ - BMICH තියෙන තැන හිටපු කම්කරුවන්ට මොකද වුණේ ?
- "කොළඹ අයිතිකාරයෝ" - ලංකාවේ පළමු වර්ජනය සිදුකර ඇත්තේ පාරුකරුවන්
- "කොළඹ අයිතිකාරයෝ" - වැල්ලවත්ත ඇලේ පාරු බත් කෑ ජස්ටින් අයියා
- කොළඹ අයිතිකාරයෝ - සියවසක් කොළඹ දිහා බලාගෙන සිටි ජින්තුපිටියේ පියසිලි අම්මා