විශේෂ ජන ප්‍රජාවන්ගේ සංස්කෘතික අයිතීන් රැකදීම ආණ්ඩුවේ වගකීමක්

විශේෂ ජන ප්‍රජාවන්ගේ සංස්කෘතික අයිතීන් රැකදීම ආණ්ඩුවේ වගකීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දිනක් තිබිය දී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැනයක් යොමු කළේය. එමඟින් ඔහු ප්‍රකාශ කර සිටියේ වැදි ජනතාවගේ සංස්කෘතිය හා බද්ධව පවත්නා කෙටේරිය රැගෙන ඡන්ද පොළට යන්න අවසර නොමැති නම් වැදි ජනතාව පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීමෙන් වැලකී සිටින බවයි. වැදිනායකයා එවැනි ප්‍රශ්නයක් හදිසියේ යොමු කළේ ඇයි ද යන්න සම්බන්ධව බොහෝ අය ප්‍රශ්න කරන්නට වූයේ ඊට හේතු පාදක වූ අතීත සිද්ධිය සම්බන්ධව නොදැන සිටීම නිසාය. වන්නියලෑ ඇත්තන් ගේ මෙම ප්‍රශ්නය හා බැදුණු සිද්ධියේ ආරම්භය පසුගිය වසරේ නොවැම්බර් මස 14 දින පැවැත් වූ මහමැතිවරණය දක්වා ඈතට දිවෙයි. එදින ඡන්දය පාවිච්චි කිරීම සඳහා කෙටේරිය ද  කරේ දමාගෙන දඹානේ කණිෂ්ඨ විදුහලේ ඡන්ද පොළොට ගිය වැදි රැහේ නියෝජ්‍ය නායක නොඑසේනම් මීළඟ නායකයා ලෙස පිළිගැනෙන ගුණබණ්ඩියලෑ ඇත්තන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවසර ලබා ගැනීමට කෙටේරිය බාධාවක් විය. එහි රාජකාරි කළ පොලිස් නිලධාරිවරයා දැක් වූ විරෝධයට ශක්තියක් වෙමින් ඡන්ද පොළ භාර නිලධාරිවරයා ද දැන්වූයේ ඡන්දය පාවිච්චි කිරීමට නම් කෙටේරිය පිටතින් තබා එන ලෙසයි. මෙහි අවසන් ප්‍රතිපලය වූයේ ඔහු ඡන්දය දැමීම ප්‍රතික්ෂේප කර ආපසු හැරී ඒමය.

තම පියා වන වැදිනායක වන්නිලෑ ඇත්තන්ට සිද්ධිය සැල කිරීමෙන් පසු කෙටේරිය ද උරහිසේ හොවාගෙන ඡන්ද පොළට ගිය වැදිනායකයා කිසිදු බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කර ආපසු පැමිණියේය. පොලිස් නිලධාරිවරයාගෙන් හෝ ඡන්ද පොළ භාර නිලධාරිවරයාගෙන් ඔහුට කිසිදු බාධාවක් එල්ල වී නොතිබිණි. කෙසේ වුවත් වැදි රැහේ ආනගත නායකයාට සිදුකළ වෙනස්කොට සැලකීමට විරෝධය දක්වමින් වැදි සාමාජිකයින් සිය ගණනක් එදින ඡන්දය දීමෙන් වැලකී සිටියහ. අවසානයේ ගුණබණ්ඩියා තම  මානව අයිතිවාසිකම් කඩවූ බව කියමින් ප්‍රශ්නය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද රැගෙන ගියේ වැදි පරම්පරාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිවය.

ගුණබණ්ඩියලෑ ඇත්තෝ එදා තමන් මුහුණ දුන් සිද්ධිය මෙසේ විස්තර කළේය. උදේම මම තමයි ඡන්ද පොළට ගියේ.  යන හැම තැනම මම කෙටේරිය අරන් යන්නේ. එදා ඡන්ද පොළට ගියාම ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියා කෙටේරිය අරන් ඡන්දය දාන්න යන්න දෙන්න බැහැ කිව්වා. මම කිව්වා මේක ආයුධයක් විදිහට සලකන්න එපා, මේක අපේ රැහේ අන්‍යන්‍යතාව කියලා. එයා ඒක පිළිගත්තේම නැහැ. ඊට පස්සේ පොලිස් නිලධාරි මහත්තයා ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරි මහත්තයාට කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා. එයත් ඇවිත් කෙටේරිය අරන් ඡන්දේ දාන්න දෙන්න විදිහක් නැහැ කිව්වා. මම වැදි පරම්පාරවේ උප නායකයා. වැදි පාරම්පරායේ සංඛේතයක් විදිහට සලකන කෙටේරිය තැන් තැන් වල තියලා යන්න පුළුවන්කමක් නැහැ. මටත් මේ විදිහට සලකනවා නම් ඒක අපේ සංස්කෘතික අන්‍යන්‍යතාවට ප්‍රශ්නයක්. ඡන්දේ දාන එකට වඩා මට මගේ පරම්පාරවේ අයිතිවාසිකම් වටිනවා කියලා මම ආපහු හැරිලා ආවා. මට මුහුණ දෙන්න වූ සිද්ධියට විරෝධය දක්වලා අපේ රැහේ සිය ගණනක් එදා ඡන්දය දීමෙන් වැලකී සිටියා. අපේ අයිතිවාසිකම් අපේ ඇස්පනාපිට කඩා වැටෙන්න දෙන්න  බැහැ. ඒ නිසා තමයි මම මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේ.

පළාත් පාලන ඡන්දයට පෙර වැදිනායක වන්නයලෑ ඇත්තෝ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් කරමින් කෙටේරිය රැගෙන ඡන්ද පොළට යාමට ඇති හැකියාව විමසා බැලුවේ මෙම පසුබිම තුළය. මේ සම්බන්ධයෙන් වැදිනායක වනස්පති ඌරිවරි‍ගේ වන්නියලෑ ඇත්තෝ මෙසේ අදහස් දැක්වීය. කෙටේරිය කියන්නේ ආදිවාසීන් ගේ සංඛේතයක්. රජයෙන් නිකුත් කරන ජාතික හැඳුන්පතේ ඡායාරූපයට පවා අපි පෙනී සිටින්නේ කෙටේරිය කර තිබියදී යි. පසුගිය මහ මැතිවරණයට කලින් ඡන්ද ගණනාවක දී අපි ඡන්දය පාවිච්චි කරලා තියෙනවාද?. ඒ කිසිම අවස්ථාව කෙටේරිය තියෙන නිසා ඡන්දය ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කරලා අපිව හරවලා එවලා නැහැ. මෙහෙම සිද්ධියක් වුණේ පළමු වතාවටයි. මේ රටේ ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය පිළිබඳ රජයේ නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි. පොරොව විතරක් නෙවෙයි සමහර වෙලාවට දුන්නයි ඊතලය යි පවා ඡන්දය දාන්න යනකොට රැගෙන ගිය අවස්ථා තිබෙනවා. මේ බාධා කිරීම සිදු කරලා තිබෙන්නේ අපේ රැහේ උපනායක තුමාට යි. එයාට පස්සේ මම කෙටේරිය කරේ දාගෙන ඡන්දය ප්‍රකාශ කළා. කවුරුවත් වැලැක්කුවේ හෝ විරෝධයක් දැක්වූයේ නැහැ. ආදිවාසි ප්‍රජාව හඳුනා ගන්නා විශේෂ සංඛේතයක් ලෙස මිස මේක අපි අයුධයක් ලෙස පාවිච්චි කරන්නේ නැහැ. දැන් මුස්ලිම් ජනතාව ඔවුන් ගේ අන්‍යන්‍යතාව පෙන්වන්න තොප්පියක් පළඳිනවා. ඒ වගේ තමයි අපිත් මේ කෙටේරිය පාවිච්චි කරන්නේ. මට කෙටේරිය කරේ දාගෙන ඡන්දය ප්‍රකාශ කරන්න අවසර දෙන්නත් නියෝජ්‍ය නායකයාට නොදෙන්නත් හේතුව මොකක්ද කියලා අපි දැන ගන්න ඕන. මේ වෙනස්කොට සැලකීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේ. වැදි ප්‍රජාව නියෝජනය කරන ලක්ෂ පහක පමණ පිරිසක් රටේ දිස්ත්‍රික්ක පහක ගම්මාන 62 ක ජීවත් වෙනවා. මේ අවස්ථාවේ ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඒක අපේ වැදි ප්‍රජාවට කරන අසාධාරණයක්. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණයට කලින්ම මැතිවරණ කොමිසාරිස් ජනරාල්වරයාගෙන් පැහැදිලි කිරීමක් ලබා ගත්තේ. මොකද නැවත වරක් මෙවැනි සිදුවීමක් විය යුතු නැහැ. එවැන්නක් සිදුවන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට වඩා අපි වැදි ජනතාවගේ සම්ප්‍රාදායික අන්‍යන්‍යතා ආරක්ෂා කර ගැනීම වැදගත්.

මහ ඡන්දයේ දී දඹානේ ආදිවාසි නියෝජ්‍ය නායකයාට කෙටේරිය සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. එහි දී සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ රාජකාරි වල යෙදෙන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ මේ රටේ එක් එක් ජන කණ්ඩායම් වල සංස්කෘතික අන්‍යන්‍යතා පිළිබඳව නිසි අවබෝධයකින් රාජකාරි කටයුතු වල නිරත වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී  ඒ මහතා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. “විදේශ ගතවන අවස්ථාවල පවා වැදි ප්‍රජාව කෙටේරිය රැගෙන යනවා. මේක ආයුධයකට වඩා ඔවුන් ගේ සංස්කෘතික අන්‍යන්‍යතාව පෙන්වන සංඛේතයක්. වැදි ජනතාව කෙටේරිය සලකන්නේ ඔවුන් ගේ ශරීරයේම කොටසක් ලෙසයි. ආයුධ සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස පොදුවේ කරනු ලබන ප්‍රකාශ වැරදි ලෙස තේරුම් ගෙන ඇතැම් නිලධාරීන් කටයුතු කරන අවස්ථා තිබෙනවා. මෙම සිදුවීම මූලික කරගෙන අපි මේ ආකාර සිදුවීම් නැවත සිදු නොවන්නට නිලධාරින්ට විශේෂ උපදෙස් මාලාවක් ලබා දුන්නා. ඡන්දයක දී අපේ අපේක්ෂාව හැකි තරම් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම මිස ඡන්ද දායකයා හරවා යැවීම නෙවෙයි. මැතිවරණ පවත්නේ ඡන්ද දායකයින්ට ඡන්දය දාන්නයි. ඒ නිසා යම් ගැටලුවක් තිබෙන්නේ නම් ඡන්ද දායකයා ආපසු හරවා නොයවා ඉහළ නිලධාරි මහත්මයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරින් කටයුතු කළ යුතුයි.“

අදාළ සිදුවීමට විරෝධය දක්වා ආදිවාසි ප්‍රජාව නියෝජනය කරන සිය දෙනෙකුට ආසන්න පිරිසක් මහ ඡන්දයේ දී ඡන්ද පොළට නොගියහ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී ඔහු මෙසේ අදහස් දැක්වීය. මෙම සිදුවීමේ දී පැහැදිලි ලෙසම වෙනස්කොට සැලකීමක් සිදුව තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි නිලධාරියා වැදි නායකයාට එක විදිහකටත් නියෝජ්‍ය නායකයාට තවත් විදිහකටත් සලකා තිබෙන බව පැහැදිලියි. අනෙක් කාරණය තමයි මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍යය පහසුකම් සැලසීම ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් ගේ වගකීමක්. ඡන්දය ලබාදීමට එන අයව ඔවුන් ආපසු හරවා යවනවා නම් ඒක ගැටලුවක්. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට.  ‍මෙහි දී යම් කොට්ඨාසයක 100 ක් වගේ පිරිසක් ඡන්දය ප්‍රකාශ නොකළොත් ඒක අවසන් ප්‍රතිපලයට විශාල බලපෑමක් කරනවා. මෙය අප නිවැරදිව තේරුම් ගත යුතුයි.

විදේශ ගතවන අවස්ථාවල වැදි ප්‍රජාව කෙටේරිය රැගෙන ගියත් ගුවන් යානයේ දී එය තබන්නේ ගුවන් නියමු කුටියේය. වැදි නායකයා හෝ නියෝජිතයා වෙත එය යළි ලබා දෙන්නේ යානය ගොඩ බැස්සවූ පසුය. මෙවැනි පසුබිමක ඡන්ද පොළට කෙටේරිය රැගෙන යායුතුම ද යන ප්‍රශ්නය ද පැන නගී. මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් අපි විමසීමක් කළෙමු. එහි දී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට විවිධ රටවල ආදිවාසීන් පැමිණෙනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒ අය පාවිච්චි කළ සම්ප්‍රදායකව ඒ අයගේ අන්‍යන්‍යතාව පෙන්නුම් කරන යම් යම් ආම්පන්න ආදිවාසීන් රැගෙන එනවා.

මේ අය තමන් ගේ සිරිත් හා සම්ප්‍රදායන් වලට ගරු කරමින් තමයි එන්නේ. බටහිර රට වලින් ලංකාවට එරෙහිව කරන යම් යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව වැදිනායකයා මානව හිමිකම් කවුන්සිලයට 2013 දී පෙත්සමක් බාර දෙන්න ගියා. එතුමා ආවේ පොරව කරේ දාගෙනයි. ඒ අවස්ථාවේ පොරව සමඟ සමුළුවට සහභාගි වෙන්න දෙන්න බැහැ කියලා සංවිධාකයෝ පැවසුවා. නමුත් විශේෂ අවසරයක් අරගෙන සමුළුවට සහභාගි වුණා. පිළිගත් ආචාරධර්ම සමඟ තමයි මේ ආදිවාසීන් කටයුතු කරන්නේ. ජත්‍යන්තර සමුළුවල දී පවා ඒක පිළිගැනීමට ලක්වෙනවා. මේ පොරව සංඛේතයක් මිස ආයුධයක් ලෙස වැදි ප්‍රජාව කොහේවත් පාවිච්චි කරලා තිබෙන බවට තොරතුරු නැහැ. මේ නිසා ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ වැදි ප්‍රජාව පොරව කරේ දාගෙන යන එක ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. නවසීලන්තය වගේ රටවලත් ආදිවාසී ප්‍රජාවට ඔවුන් ගේ අන්‍යන්‍යතාව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්න අවස්ථාව තිබෙනවා. ගුවන් යානයක ගමන් කරන විට මේ පොරව ගුවන් නියමු කුටිය තබන කාරණය වෙනස්. මොකද ගුවන් යානයක් තුළ දී වෙනත් මගියෙකුට මේ පොරොව පාවිච්චි කරලා අනතුරක් කිරීමේ අවස්ථාව තිබෙනවා. මේවා අපි නිවරුදිව තේරුම් ගත යුතුයි. 

 

කෙසේ වුවද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැදි ජනතාව තම අන්‍යන්‍යාතව පෙන්නුම් කරන කෙටේරිය ද කරපින්නාගෙන දඹාන කණිෂ්ඨ විදුහලේ දී කිසිදු බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කළේය. වැදිනායක වන්නියලෑ ඇත්තෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ විමසීමට ඒ මහතා ද පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ වැදි ජනතාවට කෙටේරිය රැගෙන ඡන්ද පොළට පැමිණීමට බාධාවක් නොවන බවයි. මෙම සිදුවීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් වූ පරිණම ලක්ෂ පෙන්නුම් කරන්නකි. ගැටුමකට නොගොස් ප්‍රශ්න විසඳා ගැනීමට ආදිවාසි ප්‍රජාව ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතුය. ගැටුමක් ඔස්සේ අර්බුදයක් මතු කරනු වෙනුවට යළි ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් ඊට විසඳුම් සෙවීමට වන්නියලෑ ඇත්තන් කළ මග පෙන්වීම වැදි ජනතාවට පමණක් නොව අප සැමට ආදර්ශයකි

| විහඟ කුමාරවංශ