සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු

සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු
  • ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්‍ය ප්‍රතිපත්තිය එලිදැක්වීම.

2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී - ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික  අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්‍රී ලාංකික ප්‍රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්‍රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, බලහත්කාරය, වෙනස්කොට සැලකීම, යුක්තියට සේම පොදු සේවාවන්ට ඇති ප්රවේශය අහිමි කිරීම, ඔවුන් කෙරෙහි ප1චන්ඩත්වය මුදා හැරීමට එරෙහිව ඔවුන්ගේ අරගලයේ කතාව සමාජ කතිකාවතක් දක්වා රැගෙනයෑමයි.

මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ සහ කැමැත්ත මත පදනම් වන ලිංගික වෘත්තියේ යෙදී සිටින පුද්ගලයන්ගේ ජීවිත ගැන පිළිබඳව බොහෝ විට අප කතා කරන්නේ සංඛ්‍යා, සමීක්ෂණ සහ සංඛ්‍යා ලේඛන ගැනය. නමුත් ඒ සංඛ්‍යා පිටුපස සැඟවී ඇත්තේ සැබෑ මිනිසුන්ගේ, ලිංගික ශ්රමිකයන්ගේ දරුදැරියන්ගේ, පවුල්වල සහ ඔවුන්ගේ අරගලවලින් පිරුණු ජීවිතයයි. සමාජයේ ඉහළම ස්ථරවල දී ඉතාම ගෞරවයණීයව වැලඳගන්නා ලිංගික සේවා පහළ ස්ථරයේදී ගර්හිත අපරාධයක් ලෙස පිළිගැනීම නීතිය සහ යුක්තිය අභියෝගයට පත්කරයි. පෙර රජ දවස රූපදේව-නගර ශෝබණී - අභිසාරිකා - ගණිකා යන නාමයෙන් ලද ස්ත්‍රීන් රාජ සභාවේ වැදගත් තනතුරු හෙබවූවන් වේ. දේව්දාස් සිනමා නිර්මාණයේ චනද්‍රමුඛී නම් අභිසරුලිය එවැන්නියකට සාධාරණ නිදසුනකි.

වර්තමාන තත්ත්වය: සංඛ්‍යා සහ යථාර්ථය

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ නිවැරදි යවත්කාලීන සංඛ්‍යා ලේඛන ලබා ගැනීම අපහසුය. විවිධ ආයතනවලින් ලබා ගත් දත්ත අනුව, දිවයින පුරා ලිංගික ශ්‍රමිකයන් 40,000 සිට 80,000 දක්වා සිටින බව ඇස්තමේන්තු කෙරේ. මෙයින් අර්ධයකට ආසන්න පිරිසක් කොළඹ නගරයේ සහ එහි ආශ්රිත ප්රදේශවල සිය සේවා සපයන අතර, කුරුණෑගල, හම්බන්තොට, යාපනය, වව්නියාව, මාතර සහ මඩකලපුව වැනි ප්රධාන නගරවලද සැලකිය යුතු සංඛ්යාවක් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ වැඩිම සම්බාහන මධ්‍යස්ථාන (SPA) ඇති නගරය ලෙස අගනුවර දියවන්නාවට ආසන්නයේ පිහිටි තලවතුගොඩ සුපතලය.

2022-2023 වර්ෂ සඳහා ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ ජාතික වාර්තාව - මේ ඵ්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ එම ප්‍රජාව පිළිබඳ සවිස්තරාත්මක සමීක්ෂණයක් - අනාවරණය කළේ කම්පන සහගත කරුණු රැසකි. සමීක්ෂණයට සහභාගි වූ ලිංගික ශ්රමිකයන් 283 දෙනා අතුරින් 125 දෙනෙක් තමන් සිහින දකින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක් ගැන බවත්, 103 දෙනෙක් සමාජයේ පිළිගැනීමක් සහ ගෞරවයක් ඇති ජීවිතයක් ගැන බවත් පැවසූහ.

නීතිමය අපැහැදිලි බව: යටත්විජිත යුගයේ දරුණු උරුම

ශ්‍රී ලංකාවේ ලිංගික ක්රියාකාරකම් සම්බන්ධ නීති මූලික වශයෙන් බ්‍රිතාත්‍ය යටත්විජිත යුගයේ සිට පැවත එන්නක්ය. 1842 වර්ෂයේ ආරම්භ කරන ලද පාදඩ ආඥා පනත (Vagrants Ordinance) සහ 1889 ගණිකා මඩම් ආඥා පනත (Brothels Ordinance) වත්මන් කාලයේදීත් යෙදෙන යල්පැනගිය නීති වේ.

සිත් ගන්නා සුළු කරුණක් වන්නේ, ශ්‍රී ලංකාවේ ලිංගික කාර්යන් සෘජුවම අපරාධයක් නොවන නමුත්, ඒ ආශ්රිත ක්රියාකාරකම් - ලිංගික සේවා සැපයීම,

ගෘහ පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වැරදි වීමයි. මෙම නීතිමය අපැහැදිලි බව නිසා ලිංගික ශ්‍රමිකයන් අසීමිත අසරණ තත්ත්වයකට පත්වෙයි.

2020 වසරේදී විනිශ්චයකාරවරයකු තීරණය කළේ, ජීවනෝපායක් සඳහා ලිංගික ක්‍රියාවල නිරත වන්නේ නම් එය වරදක් නොවන බවය. කෙසේ වෙතත්, මෙය නීතියේ එක්තරා අර්ථ නිරූපණයක පැතිකඩක් පමණක් වන අතර, ප්‍රායෝගිකව ලිංගික ශ්‍රමිකයන් තවමත් නීතිය ක්‍රියාත්මක කරන විධිමත් අධිකාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවලට නිරන්තරයෙන් ගොදුරු වෙති.

| කල්‍යාණී

පොලිස් අත්අඩංගුවේ දී මුහුණ දෙන අපහසුතා

"අප අත්අඩංගුවට ගන්නා විට ඇයි අපිට ගහන්නේ?" කොළඹ ප්‍රදේශයේ සේවා සපයන 43 හැවිරිදි කල්‍යාණී නම් ලිංගික ශ්‍රමිකාවක පසුගිය වසරේ මාධ්ය හමුවකදී අසන ලදී. "අපි මාර්ගයේ සිටි විට පමණක් ඇයි අත්අඩංගුවට ගන්නේ? අපට මුහුණ දෙන්න පිරිමි පොලිස් නිලධාරීන් පමණක් ඇයි එවන්නේ?"

කල්‍යාණී නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ 2022-2023 වාර්තාවේ දත්තයි. අත්අඩංගුවට ගත් ලිංගික ශ්‍රමිකයන්ගෙන් 50% කට අධික පිරිසක් පොලිසිය හෝ නීතීඥයන් විසින්, බල කිරීමට, බිය ගැන්වීමට හෝ හැසිරවීමට ලක් කරන ලද්දේ වරදකරු බව පිළිගැනීමට බවයි. විනිශ්චයකාරවරුන් මෙය සිදුවන බව දන්නා නමුත් සාධාරණව ක්රියා නොකරන බැවින් ඔවුන් මෙම නීතිමය අපරාධයට සම්බන්ධ වෙති. එහි ප්රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගත් අයගෙන් සියයට 85ක් සෑම විටම වරදකරු බව පිළිගන්නා බව වාර්තා වී ඇත.

වඩාත් කම්පන සහගත තවත් කරුණක් වන්නේ, අත්අඩංගුවට ගත් ලිංගික ශ්‍රමිකයන්ගෙන් 70%ක් විනිශ්චයකාරවරුන් ගේ නියෝගයෙන් බලහත්කාරයෙන් ලිංගාශ්‍රිත ආසාදන පරීක්ෂණවලට යොමු කිරීමයි. මෙය ඔවුන්ගේ මානව අභිමානය කඩා බිඳ දැමීමක් පමණක් නොව, පොදු සමාජය ඔවුන්ව රෝග වාහකයන් ලෙස පමණක් දකින සංකල්පයක් නිර්මාණ කරයි.

සමාජයේ අපැහැදිලි ස්ථානයක

ලිංගික ශ්‍රමිකයන් පොදු සමාජයේ බහුවිධ අපහසුතාවලට මුහුණ දෙති. ඔවුන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමාජ ආරක්ෂණ සහ යුක්තිය වෙත ප්‍රවේශය සීමිතය. වාර්තා වල දත්ත අනුව:

  • බොහෝ ලිංගික ශ්‍රමිකයන්ට සෞඛ්‍ය සේවා සහ රාජ්‍ය සේවා ලබා ගැනීමේදී වෙනස්කොට සැලකීමට ගැරහුමට මුහුණ දීමට සිදුව ඇත
  • ඔවුන්ගේ දරුවන් පවුල් තත්ත්වය හේතුවෙන් පාසල්වල හෝ සමාජයේ නොසලකා හැරීමට ලක් වෙති.
  • බොහෝ විට ඔවුන්ගේම පවුල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • ලිංගික හා ලිංගාශ්රිත ප්රචණ්ඩත්වයට ලක් වූ විට යුක්තිය ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි.

විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් වඩා දරුණු වෙනස්කොට සැලකීමට මුහුණ දෙති. පොලිස් අත්අඩංගුවේදී ඔවුන්ට නිදහස් වීමට පෙර නින්දිත කාර්යයන් කිරීමට බල කරන සිදුවීම් වාර්තා වී ඇත.

ආර්ථික අර්බුදය සහ වැඩි වන අසරණ බව

2022 වසරේ ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය ලිංගික ශ්‍රමිකයන්ට දරුණු ලෙස බලපෑවේය. මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවාගේ පර්යේෂණවලින් හෙළි වූයේ, අර්බුදයේ උච්චතම අවස්ථාවේදී කාන්තාවන් ජීවත් වීමේ අවශ්යතා නිසා ලිංගික වෘත්තියට ඇතුළු වූ බවයි.

ටෙලිග්රාෆ් පුවත්පතේ වාර්තාවක් අනුව, එම කාලයේදී ඇඟලුම් කර්මාන්තයේ වැඩ කළ කාන්තාවන්ට තම පවුල් රැක ගැනීමට ලිංගික කාර්යන් වල නිරත වීමට සිදු වූ අවස්ථා විස්තර කරන ලදී. එක් කාන්තාවක් පැවසුවේ: "මේක මගේ එකම ගැලවීම,වෙන කරන්න දෙයක් නැහැ" යනුවෙනි.

යුද්ධය සහ ලිංගික ශ්‍රමිකයන්

2024 වර්ෂයේදී ප්රකාශයට පත් කරන ලද "ශ්‍රී ලංකාවේ යුධ සමයේ ලිංගික ශ්‍රමිකයන්ගේ ඉතිහාස" පර්යේෂණ ව්‍යාපෘතිය අනාවරණය කළේ බොහෝ විට අප අමතක කරන ජනතාවකගේ යුද්ධ අත්දැකීම් ය. යුද්ධය අතරතුර සහ ඉන් පසුව ලිංගික කාර්යන්වල නියුතු වූ කාන්තාවන් ආරක්ෂක බලකා සාමාජිකයන්, සන්නද්ධ කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව විසින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ සිදුවීම් වාර්තා කළහ.

විශේෂයෙන්ම කම්පන සහගත කරුණක් වන්නේ, කඳවුරු වල දරුවන් ලෙස ස්ත්‍රී දූෂණයට ලක් වූ පසු ලිංගික වෘත්තියට පැමිණි කාන්තාවන්ගේ කතාවයි. වව්නියාවේ ගීතා නම් කාන්තාව පැවසුවේ: "මටම විතරක් මේ දේ වුණා නෙමෙයි. මා වගේ බොහෝ දරුවන්ට මේ දේ වුණා. ගොඩක් දෙනෙක් මෙහෙම දුක් විඳලා තියෙනවා... මගේ අත්දැකීම් වලින් මම කියනවා, මේ වැඩේට යම් තත්ත්වයක් ප්රමිතියක් තිබිය යුතුයි."

වෙනසක් සඳහා වන නිර්දේශ

ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ 2022-2023 ජාතික වාර්තාව සහ විවිධ සිවිල් සමාජ සංවිධානවල නිර්දේශ අනුව, පහත වෙනස්කම් කිරීම අත්යවශ්ය වේ:

1. නීති ප්‍රතිසංස්කරණ: යටත්විජිත යුගයේ පාදඩ ආඥා පනත සහ ගණිකා ගෘහ ආඝා පනත අවලංගු කළ යුතුය. ඒ වෙනුවට ලිංගික ශ්‍රමිකයන්ට ආරක්ෂාව සපයන සුරක්ෂිත නීතිමය රාමුවක් සකස් කළ යුතුයි.

2. පොලිස් පුහුණුව: පොලිස් බලකාය තුළ - පොලිස් පුහුණු විද්යාලවල සිට ක්රියාත්මක පොලිස් බලකාය දක්වා - ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කළ යුතුයි.

3. සෞඛ්‍ය සේවා ප්‍රවේශය: රජයේ සාත්තු මාතෘ පාසල්, වෛද්‍ය පීඨ සහ සියලුම සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුයි.

4. සමාජ පිළිගැනීම: මහජන අධ්යාපන ව්යාපාර හරහා ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ සමාජයේ ඍණාත්මක මතය වෙනස් කළ යුතුයි.

5. ශ්‍රමික අයිතිවාසිකම්: ලිංගික වෘත්තිය ස්වයං-රැකියාවක් හෝ කර්මාන්තයක් ලෙස පිළිගැනීම සහ ඒ හරහා ලිංගික ශ්රමිකයන්ට මූලික ශ්රමික අයිතිවාසිකම් ලබා දීම.

ලෝකය සමග සැසඳීම

ලෝකයේ ලිංගික ක්‍රියාකාරකම්, ප්‍රවේශයන් විවිධ වේ. නෙදර්ලන්තය සහ නවසීලන්තය වැනි රටවල් ලිංගික කාර්ය නීතිගත කර ඇති අතර ඒවා නීත්යානුකූල ශ්රමයක් ලෙස පිළිගෙන ලිංගික ශ්‍රමිකයන්ට නීතිමය සහ සමාජීය ආරක්ෂණ සපයයි. මෙම රටවල් වල ලිංගික ශ්රමිකයන්ට සම අවස්ථා, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම වැටුප් සහ වෙනත් ශ්‍රමික ප්‍රතිලාභ ලැබේ.

ජාත්‍යන්තර අධිකරණවේදී කොමිෂම් (ICJ) සහ දේශීය උපදේශන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා පනත සහ වෙනත් වෙනස්කොට සැලකීමේ නීති අවලංගු කිරීමට අරගල කරයි.

|  අශීලා දන්දෙණිය

කටුනායකදී පැවති වැඩසටහන නව ඇරඹුමක්

කටුනායකදී දෙසැම්බර් 14 වැනි දින පැවති මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිගැන්වීමේ වැඩසටහන ජනමාධ්‍යවේදීන් සඳහා මාර්ගෝපදේශයක් විය. එහිදී, Stand Up Movement Sri Lanka වෙනුවෙන් අශීලා දන්දෙණිය මහත්මිය ද Dabindu Collective වෙනුවෙන් චමිලා තුෂාරී මහත්මිය සහ Red වෙනුවෙන් චන්ද්‍රා දේවනාරායන මහත්මිය ද විසින් ඔවුන්ගේ පර්යේෂණ සහ නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

වැඩසටහනේ ප්‍රධාන පණිවිඩය වූයේ ලිංගික වෘත්තිය ස්වයං-රැකියාවක් සහ කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ අවශ්යතාවයයි. එය පමණක් නොව, ලිංගික ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට නොසලකා හැරීම් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක් සපයන සමාජයක් ගොඩනැගීමේ අවශ්යතාවයයි.

සමාප්තිය: පිළිගැනීම සහ ආරක්ෂාව සඳහා කැඳවීමක්

Stand Up Movement Sri Lanka හි විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය මහත්මිය පැවසූ පරිදි, "ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලු දෙනා සූදානම් විය යුතුය."

2024 වර්ෂයේදී ප්රකාශයට පත් කරන ලද බහු අංශ ජාතික ක්‍රියාමාර්ග සැළැස්ම ලිංගික සහ ලිංගාශ්‍රිත ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමට (2024-2028) සියලු ලිංගික අනන්යතා සහ ලිංගික දිශානති නියෝජනය කරන පුද්ගලයන් ආවරණය කරයි. මෙය ප්‍රගතිශීලී පියවරක් වන නමුත්, තව බොහෝ දේ කළ යුතු ය.

ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින අයගේ අරගලය  වනාහී සුළුතර ප්‍රජාවකගේ අයිතිවාසිකම් සඳහා වන අරගලය පමණක් නොවේ. එය මානව අභිමානය, යුක්තිය සහ සැබෑ සමානාත්මතාවය සඳහා වන අරගලයකි.

යටත්විජිත යුගයේ සිට පවතින නීතිවලින් මිදී, සාධාරණ සහ සමානාත්මතාව නීති හරහා, සමාජ අධ්‍යාපනය හරහා සහ සාමූහික සංවේදීතාව වර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමේ දිශාවට සැලකිය යුතු පියවර තැබිය හැකිය.

ඔවුන්ගේම වචන වලින් කිවහොත්, ඔවුන්ට අවශ්ය වන්නේ "ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක්" සහ "සමාජයේ පිළිගැනීමක් සහ ගෞරවයක්" පමණි. මෙය ඕනෑම සමාජයක ඕනෑම පුරවැසියෙකුගේ මූලික අපේක්ෂාවයි. ලිංගික ශ්‍රමිකයන්ට මෙම අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සමස්ත සමාජයේ මානවත්වය සහ යුක්තිය ගැන අපගේ ප්‍රාථමික බව ලොවටම පෙන්වන සාධකයකි.

කටුනායකදී දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වූ සංවාදය ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ අභිමානය සඳහා වන අරගලය ප්‍රගතිශීලී එලඹුමකි. එය සෑම මිනිසෙකුටම අයිතියක් ඇති අරගලයකි. මක්නිසාදයත් ලිංගිකත්වයේ විවිධත්වය පෙන්වන සරාගය සම්බෝගය සෘංගාරය සංවාසය යනු මූලික මිනිස් අවශ්‍යතාවයකි.

| රුවන් මීගම්මන

 

සබැඳි පුවත්