පක්ෂ විපක්ෂ හැමෝම ද මේ ඉල්ලන්නේ?
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් (05) දින කථානායකවරයා වෙත ඉල්ලීමක් භාරදී තිබේ.
වැඩිම කාන්තා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ලෙස දසවන පාර්ලිමේන්තුව කැපී පෙනෙන අතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් ලෙස, ඔවුහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ ඉන් පිටත ස්වකීය රාජකාරි ඉටු කරති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වයේ" කොටසක් ලෙස වාර්ෂික "තැඹිලි පැහැ දිනය" වැනි සංකේතාත්මක වැඩසටහන් සංසදය විසින් සිදු කර ඇතත්, ඒවා සභා ගර්භයේ ක්‍රියාකාරීත්වය තුළින් හරයාත්මක ලෙස අර්ථ ගැන්වීමට නොහැකි වී ඇත. ඒ බව දිනෙන් දිනම විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් විසින් මන්ත්‍රීවරියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රකාශ තුළින් දැකිය හැකිය.
මේ පිළිබඳව තම නිරීක්ෂණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම තුළ සඳහන් වේ.
විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බව සංසදය අවධාරණය කරයි. සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ යෝජනා කරන අතර එය ස්ථාවර නියෝග යටතේ වන "පාර්ලිමේන්තුව තුළ විනය" කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බව ද යෝජනාවේ සඳහන් වේ.
ඒ අනුව, උක්ත කරුණු සලකා බලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.
10 වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට ගත් පියවර ඉතා කාලෝචිතය. නමුත් පක්ෂ දේශපාලනය සහ සාමූහිකත්වයේ අර්බුදය මේ සියල්ලටම වඩා ඉහලින් තිබෙන බවක් දක්නට ලැබේ. මෙහිදී දක්නට ලැබෙන, මේ ඉල්ලීම් සඳහා බාධාකාරී කරුණක් වන්නේ මන්ත්‍රීවරියන් අතර පවතින පක්ෂග්‍රාහී බෙදීමයි.
මෙම සංසදයේ ඉලක්කය සහ ඉල්ලීම් සමාජයීය ඉල්ලීම් වන අතර මෙම ස්ත්‍රීන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන හිංසනය සහ ප්‍රචණ්ඩත්වය සමාජ නිර්මිතයකි. එය වෙනස් කිරීමට නම් ඒ සඳහා සාධාරණ සහ අවංක මැදිහත් වීමක් සිදු කළ යුතුය. තම පක්ෂයේ පිරිමි මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයක මන්ත්‍රීවරියකට අපහාස කරන විට, පක්ෂ භේදයකින් තොරව ඊට එරෙහිව නැගී සිටීමේ ශක්තිය මන්ත්‍රීවරියන් සතු විය යුතුය. තම පක්ෂයේ පිරිමි සාමාජිකයන්ගේ වැරදි හැසිරීම් හමුවේ නිහඬව සිටීම, එම හිංසනය වක්‍රව අනුමත කිරීමක් ලෙස අනිවාර්යයෙන් සැලකේ.
ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජිතවරියන් පිරිසක් සිටින මෙම පාර්ලිමේන්තුවට, මෙතෙක් පැවති "පුරුෂ මූලික ආධිපත්‍යය" සහ "හිංසනකාරී දේශපාලන රටාව" වෙනස් කිරීමට ලැබී ඇත්තේ අනගි අවස්ථාවකි. එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින 16 වැඩසටහනට සමගාමීව තැඹිලි සාරියක් ඇඳීමෙන් හෝ තඩි පිරිමි මත්රිවරුන්ට පළඳනා දීමෙන් ෂෝ වැඩ වලින් ඔබ්බට ගිය එකක් විය යුතුය. නීති රීති වෙනස් කිරීම මෙන්ම, පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් මනුෂ්‍ය ගරුත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටීමේ පොදු එකඟතාවයකට සියලු මන්ත්‍රීවරියන් පැමිණීම මෙම ගැටලුව විසඳීමට ඇති එකම මගයි.
| කල්ප මදුරංග

