යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

yala-national-park

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස නම් දරා ඇත්තේ එහි ඇති අසමසම ජෛව විවිධත්වය නිසා පමණක් නොව, එම ජෛව සම්පත්වලට එල්ල වී ඇති අනේකවිධ තර්ජන හේතුවෙනි. අපටවත් හරි හැටි නිනව්වක් නැති අමිල වටිනාකමකින් යුතු දේශීය හා ආවේණික සතුන්, සත්ව කොටස් හා ජාන සම්පත්වලට එල්ල වී ඇති තර්ජනය ද ඉන් එකකි. මෑත ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී මෙරටට පැමිණ සජීවී සතුන් සහ සත්ව කොටස් ජාවාරම් කිරීමට උත්සාහ කළ විදේශිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා විශාල දඩ මුදල් අයකර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණි. නමුත් ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තවරුන් එවැනි නීතිමය ක්‍රියාමාර්ග හමුවේ පසුබට වන බවක් පෙනෙන්නට නැත. එය මෙම තර්ජනය තවදුරටත් තීව්‍ර කරයි. එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ යාල ජාතික උද්‍යානයේ පරිවාරක කලාපයට අයත් බැඹව, උද්දකන්දර වන සංරක්ෂිත ප්‍රදේශයෙනි.

තිස්සමහාරාම අධිකරණ බල සීමාවට අයත්, වනජීවී රක්ෂිත කලාපයකින් බැහැර ප්‍රදේශයක් වන බැඹව, උද්දකන්දර වන සංරක්ෂිත කලාපයේ විදේශීය ජාතිකයන් දෙදෙනකු හා දේශීය සංචාරක මගපෙන්වන්නකු රාත්‍රී කාලයේ උරගයන් හා කෘමි සතුන් එකතු කරන බවට වනජීවී විශේෂ විමර්ශන කණ්ඩායමකට රහස්‍ය තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබෙන්නේ මෙම මස පළමුවැනිදා රාත්‍රී 8.30ට පමණය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතනයෙන් අමතා, අවශ්‍ය විමර්ශන සිදුකර නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාගත් ඔවුන්, වැටලීම සඳහා සුදුසු නිලධාරීන් ඌව සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් හා මධ්‍යම කලාප කාර්යාලයෙන් කැඳවා අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුදින රාත්‍රියේ වැටලීම ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරකයන් ලෙස පෙනී සිටිමින් වනජීවී නිලධාරීන් හා රියදුරන් ඇතුළු දස දෙනෙකු පමණ පිරිසක් සහභාගී වූහ. නිලධාරීන් පිරිසක් උද්දකන්දර ප්‍රදේශයේ උපායමාර්ගික ස්ථානවල රැඳී සිටි අතර, තවත් කිහිප දෙනෙකු එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කඳවුරු භූමියක රැකවලෙහි යොදවා තිබිණි. රාත්‍රී 9.15ට පමණ තොරතුරුකරු විසින් ලබාදුන් තොරතුරු අනුව ජර්මන් ජාතික විදේශිකයන් දෙදෙනකු සමඟ දේශීය මගපෙන්වන්නකු එම කඳවුරු භූමියට ඇතුළු වීමට උත්සාහ කරන අවස්ථාවේදී වනජීවී නිලධාරීන් විසින් වැටලීම සිදුකරන ලදී.

එම අවස්ථාවේදී ජර්මන් ජාතික සැකකරුවන් දෙදෙනාගේ නවාතැනේ කිසිදු වනසත්ව නිදර්ශකයක් හෝ සැකකටයුතු භාණ්ඩයක් හමු නොවීය. ඒ අනුව දේශීය මගපෙන්වන්නා සේවය කළ හා නවාතැන්ගෙන සිටි වෙනත් නවාතැන්පොළක් පරීක්ෂා කිරීමට නිලධාරීහු කටයුතු කළහ. එහිදී සැකකරු විසින් තම නවාතැන් කාමරය ලෙස පෙන්වා තිබුණේ ඔහු සැබවින්ම නවාතැන්ගෙන සිටි කාමරය නොව වෙනත් කාමරයකි. එහෙත් සැක සිතූ වනජීවී නිලධාරීහු එම ස්ථානයේ කළමනාකරුගෙන් තොරතුරු විමසීමේදී මෙම පුද්ගලයා නවාතැන්ගෙන සිටි සැබෑ කාමරය හඳුනාගත්හ.

එම කාමරය පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන්ගේ සජීවී හා අජීවී නිදර්ශක අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය. සළඹයින්, උරගයන්, ඉත්තෑ කටු, කෘමි සතුන්, හතු, ගවයකුගේ දත් හා මුව අස්ථි ඒ අතර විය. එසේම කාමරයේ තිබී නිදර්ශක සකස් කිරීම සඳහා භාවිත කරන උපකරණ හා ඒ සඳහා භාවිත කළ හැකි බවට අනුමාන කරන ලද, හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් කිහිපයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එමෙන්ම සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණය අනුව ඔහු පෙන්වා දුන් තොරතුරු මත, ඔහුගේ කාමරයට යාබද කාමරයේ තිබී සර්පයන් අල්ලා ගැනීමට භාවිත කරන සර්ප හැඩලයක්, බත්කූරකුගේ නිදර්ශකයක් සහ මොනර පිහාටු කිහිපයක් සොයාගන්නා ලදී. තවද, ඔහුගේ කාමරයේ දොර අසල ප්ලාස්ටික් අයිස්ක්‍රීම් බහාලුමක වැලි තුළ සඟවා සිටි දුර්ලභ උරගයකු වන කොට පිඹුරකු ද සොයාගැනීමට නිලධාරීහු සමත් වූහ. ඒ අනුව මෙම පුද්ගලයන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ අංක 21, සරණ සිරිගම, ගිරිතලේ ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ තුෂාන් සම්පත් විජේකෝන් සහ ජර්මන් ජාතිකයන් වන Bueno Buntz Noah Sebastian (ගමන් බලපත්‍ර අංක C88RP42KN) හා Specht Lars (ගමන් බලපත්‍ර අංක CFY96M3F6) යන පුද්ගලයන්ය. මීට අමතරව, සත්ව කොටස් ගබඩා කර තිබූ අනෙක් කාමරයේ නවාතැන්ගෙන සිටි අංක 16 ඒ, වෙහෙර කන්ද පාර, බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයේ පදිංචි ජී. ඩී. තවිරු නිදිය නැමැත්තා ද පසුව අධිකරණයට ඉදිරිපත් විය.

දේශීය මගපෙන්වන්නාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු විදේශිකයන් දෙදෙනා සමඟ රාත්‍රී කාලයේ විවිධ ස්ථානවලදී සතුන් අල්ලා ගැනීම සම්බන්ධ වීඩියෝ දර්ශන කිහිපයක් ද සොයාගැනීමට හැකි විය. ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, තොරතුරුකරු විසින් ලබාදුන් තොරතුරු ද සනාථ කරමින්, මෙම පුද්ගලයන් තිදෙනා විසින් ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී කෘත්‍රිම ආලෝකය සහ වෙනත් ක්‍රම භාවිත කරමින් සතුන් අල්ලාගෙන ඒවා වීඩියෝගත කර හා ඡායාරූපගත කර ඇති බව අනාවරණය විය. සැකකරුවන් සතුව තිබූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී මෙම සතුන් අල්ලා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර ඇති බවත්, ඒ සඳහා ආලෝකය හා ආහාර ද්‍රව්‍ය යොදාගෙන ඇති බවත් පෙනී ගොස් ඇත.

විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම විදේශිකයන් දෙදෙනා සහ දේශීය සැකකරුවන් යාල ජාතික උද්‍යානය තුළ හා ඒ අවට ප්‍රදේශවල, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය තුළ මෙන්ම දිවයිනේ විවිධ රක්ෂිත කලාප සහ වෙනත් ප්‍රදේශවල ද මේ ආකාරයෙන් සතුන් එකතු කරමින් විවිධ සත්ව විශේෂවල නිදර්ශක රැස්කර ඇති බවත්, එම නිදර්ශක මෙරටින් බැහැර කිරීමට උත්සාහ කර ඇති බවත්ය. මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී, මෙම සිද්ධිය ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක විය හැකි ජාන සම්පත් කොල්ලකෑමේ ජාලයකට සම්බන්ධ සිදුවීමක් විය හැකි බවට බරපතළ සැකයක් මතුවේ.

සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ පසුගිය තුන්වැනිදා තිස්සමහාරාම මහේස්ත්‍රාත් සුරේනි අමරතුංග මෙනවිය වෙත ඉදිරිපත් කෙරුණු අතර, ජීවී වනසතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදෙන ලෙස නියෝග කෙරිණි. හයවැනිදා නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරුවෝ වරද පිළිගත් අතර, ඔවුන්ට රුපියල් 10,692,000.00ක දඩ මුදලක් නියම කෙරිණි.

| කේ. ඩී. එන්. මුතු කැලුම් | හෂාන් හෙට්ටිආරච්චි | තරංග සිරිසේන

වනසත්ව අඩවි ආරක්ෂක කේ. ඩී. එන්. මුතුකැළුම් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද මෙම වැටලීම සඳහා අඩවි ආරක්ෂකවරුන් වන තරංග සිරිසේන හා නලින්ද පෙරේරා, අඩවි සහකාරවරුන් වන හෂාන් හෙට්ටිආරච්චි, කසුන් සෝමසිරි, ඩබ්. පී. ප්‍රගීත් මධුසංක හා එස්. ටී. රුවන් කුමාර, වනසත්ව නියාමක ආර්. එම්. බී. රත්නායක සහ රියදුරන් වන එම්. ජී. චමින්ද හා ආර්. ජී. ධනරත්න යන නිලධාරීහු සහභාගී වූහ.

මෙවැනි ජාවාරම්වල සැබෑ අවදානම පවතින්නේ අත්අඩංගුවට ගන්නා සජීවී සතුන් හෝ භෞතික නිදර්ශකවලට පමණක් සීමා නොවේ. ජානමය තොරතුරු, ජෛව සාම්පල සහ ඒවායේ විද්‍යාත්මක වටිනාකම දේශසීමා හරහා අනවසරයෙන් රැගෙන යාම තුළින් රටකට අහිමි විය හැකි සම්පත් ප්‍රමාණය අපට සිතාගත නොහැකි තරම් විශාල විය හැකිය. විශේෂයෙන්ම, ලෝකයේ වෙනත් කිසිදු රටක ස්වභාවිකව හමු නොවන ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ මෙවැනි ක්‍රියාකාරකම්වල ඉලක්ක බවට පත්වීමේ අවදානම සුළුකොට තැකිය නොහැකිය.

එබැවින් මෙවැනි වැටලීමක සාර්ථකත්වය මැනිය යුත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට දඩ නියම කිරීමෙන් පමණක් නොවේ. මෙම ජාවාරමට සම්බන්ධ දේශීය හා විදේශීය ජාල, ඔවුන්ගේ සම්බන්ධතා, එකතු කළ නිදර්ශකවල මූලාශ්‍ර, ඒවායේ ගමනාන්ත සහ මෙරටින් බැහැර කර ඇති සම්පත් පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුය. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව, රේගු දෙපාර්තමේන්තුව, පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අදාළ විද්‍යාත්මක ආයතන අතර සම්බන්ධීකරණය ද අත්‍යවශ්‍ය වේ. එසේම, සංචාරක මගපෙන්වන්නන්, නවාතැන්පොළවල් සහ සංචාරක ක්ෂේත්‍රයේ අනෙකුත් පාර්ශ්ව ද මෙවැනි සැකකටයුතු ක්‍රියාකාරකම් හඳුනාගෙන වාර්තා කිරීමේ වගකීමෙන් බැහැර නොවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය යනු විදේශිකයන්ගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා විවෘත වූ ස්වභාවික ප්‍රදර්ශනාගාරයක් නොවේ. එය අනාගත පරපුර වෙනුවෙන් අප විසින් ආරක්ෂා කළ යුතු ජාතික සම්පතකි. එබැවින් මෙවැනි සිදුවීම් තනි තනි වැටලීම්වලින් අවසන් නොකර, ඒවා පිටුපස ඇති ජාවාරම් ජාල හඳුනාගෙන අක්‍රිය කිරීමටත්, රටේ ජාන සම්පත් හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් පූර්ව ආරක්ෂණ හා නියාමන යාන්ත්‍රණයක් ගොඩනැගීමටත් බලධාරීන් වහාම පියවර ගත යුතුය. අපේ වනාන්තරවලින් සතෙකු අතුරුදන් වූ පසු හෝ අපේ ජාන සම්පත් රටින් පිටවූ පසු ඒවායේ සැබෑ වටිනාකම තේරුම් ගැනීමෙන් ඵලක් නැත. ආරක්ෂා කළ යුත්තේ ජාවාරම්කරුවන් අතට පත්වීමට පෙරය.

supun lahiru prakash 1

| සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image