පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ලක් වන්නේ මෙහෙමයි

chandra-devanarana

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇතුළු සමස්ත පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ගොදුරු වන්නන් වෙති. අනාදිමත් කාලයක සිට එලෙස කාන්තාවන් හිංසනයට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුවත් ඒවා එලෙසම සිදු වීමේ අඩුවක් තවම සිදු නොවන්නේ බොහෝවිට ඒවා සමාජගත නොවීම හේතුවෙනි. තවමත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වහල් මානසිකත්වයෙන් ලී ගැලී සිටින කාන්තාවෝ තමාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය හෝ හිංසනය වසන් කරගෙන සිටීම නිසා මේවායේ වාසිය එවැනි දෑ සිදුකරන චූදිතයින්ට වාසි සහගත තත්ත්වයන් සලසයි.

නිදහස් වෙළඳ කලාප වැනි කාන්තාවන් බහුතරයක් ගැවසෙන ස්ථානවල හිංසනය සහ ප්‍රචණ්ඩත්වය බොහෝ සෙයින් සිදු වුවත් ඒවා නීතිය හමුවට පැමිණීමේ කාර්යය සිදුවන්නේ ඉතා අල්ප වය.

කර්මාන්තශාලාවේ නිෂ්පාන වල උසස්වීම් ලබාගැනීමට , වෙනත් රාජකාරිමය කටයුතු වලට මෙන්ම කැඩුණු මැසිමක් සාදවා ගැනීමට ගිය අවස්ථාවලදී සේවක කාන්තාවන් බොහෝ සෙයින් ලිංගික සහ වාචික හිරිහැර වලට ලක්වන අතර සේවා ක්‍රියාවලිය තුළදී දෛනික නිෂ්පාදන ඉලක්ක ලබාදීමට නොහැකිවීම වැනි අවස්ථාවල සහ සේවා ස්ථානවලයම් යම් කටයුතු වල දී ඉහළ නිලධාරීන්ගේ වාචික හිංසනයන්ට හා ප්‍රචණ්ඩත්වයන් ට මොහුන් නිරන්තරව මුහුණ දෙමින්.

සේවා ස්ථානයේ පමණක් නොව පොදු ප්‍රවාහන සේවයේදී වෙනත් පොදු ස්ථාන වලදී කාන්තාවන් තවමත් වාචික සහ ශාරීරික ,මානසික ලෙස හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයන් ට තප්පරයෙන් තප්පරය ගොදුරුවන සමාජ ක්‍රමයක් තුළ ඒව දරාගනිමින් ඒවා කඳුළකින් නිමා කරමින් සිද්ධිය සඟවා ගනිමින් එම දරා ගැනීම හේතුවෙන් ශාරීරිකව සහ මානසිකව ජීවිතය කඩා වැටී විවිධ ලෙඩරෝග වලට ලක්වෙමින් කාන්තාවන් ජීවත් වෙමින් සිටී.

එසේ සිටිනවා විනා එවැනි ප්‍රචණ්ඩකාරී හිංසනකාරී ක්‍රියාවන්ට එරෙහිව ඒවාට එරෙහිව ක්‍රියා කර ඒවා සිදු කරන්නන් නීතිය ඉදිරියට ගෙන ඒමට සහ කාන්තාවන් ලෙස කම්කරුවන් ලෙස සාමූහිකව සංවිධානාත්මක මේවට එරෙහිව පෙළ ගැසීමට හෝ තවමත් මේ පුද්ගලික අංශයේ සේවක කාන්තාවන් පෙළගැසී නො සිටීම කනගාටුවට කරුණකි.

පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ මෙම දරාගැනීම, දරිද්‍රතාවය ,සියුමැලි භාවය සහ සංවිධානාත්මක නොවීම හොඳින් හඳුනාගත් පිරිස් මෙන්ම පාලකයෝ ද තවදුරටත් කාන්තාවන් එලෙසම රඳවා තබා ගනිමින් ඒවා තවදුරටත් තමන්ට වාසි සහගත ලෙස හඳුනා ඒවා එලෙසම තබා ගැනීමට පාලකයෝ සහ ඒවාට ගැති මිනිස් කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

විවිධ දුර්වලතාවයන් හේතුවෙන් සහ කාන්තාවන්ගේ මුළු ගැන් වීම හේතුවෙනුත් කාන්තාවන්ට සිදුවන ‍ප්‍රචණ්ඩත්වයන් සහ හිංසනයන් තවමත් අපේ රටේ වැළඳී යන කාරණයක් බවට පත්ව තිබුණත් ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි වීම අයිතිය සැමට පොදු අයිතියකි.

විශේෂයෙන් මෙවැනි අවධියක කොවිඩ් වසංගතය බරපතළ ලෙස රටපුරා ලෝකය පුරා පැතිර යද්දී ඒ පිළිබඳව නොතකා නිදහස් වෙළඳ කලාප ඇතුළු කර්මාන්ත ශාලා තුළ ඇඟලුම් සේවක සේවිකාවන් ඇතුළු කම්කරුවන් සේවයේ යෙදීමත් එසේ සේවයේ යෙදෙන අතරතුර යම්කිසි කම්කරුවකු රෝගී වුවත් සේවය කරන්නට බැරි තත්ත්වයක් ඇති වුවත් සේවයට නොපැමිණියහොත් කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු බලධාරීන් ඔවුන්ට බලපෑම් කරන්නේ කෙසේ හෝ සේවයට පැමිණෙන ලෙසත් එසේ නොපැමිණියහොත් වැටුප් කප්පාදු කරන බවත් කියමිනි.

එසේම මෙම කාලය තුළ සේවයේ යෙදෙන කම්කරු වන් විශේෂයෙන් කාන්තාවන් විවිධාකාරයේ හිංසනයන්ට පීඩනයන්ට ආයතනය තුළ දී ගොදුරු වන බව ද දැනගන්නට ඇත. සමහර ආයතන වල ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ ඇගේ පණ තියෙනවා නම් හුස්ම වැටෙනවනම් වැඩ කරන්න කියන්න නැත්නම් කරුණාකරලා අස්වෙලා යන්න කියාය.
කොවිඩ් තත්වයේ හේතුවෙන් බොහෝ ආයතන වල සේවක සේවිකාවන් අඩුවී ඇති අතර සිටින පිරිස කෙසේ හෝ දවසේ නිෂ්පාදන ධාරිතාවය සැපයිය යුතු වන බැවින් ඒ නිසාම ආයතනය තුලදී ඔවුන් බොහෝ වාචික හිංසනයන්ට භාජනය වීම ද වර්තමානයේ දකින්නට ලැබෙන සුලබ දර්ශනයකි.

කම්කරුවන් ලෙස මොවුන් covid වසංගතය තුළ බොහෝ අසරණ භාවයට පත්ව ජීවත්වීම වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කර්මාන්තශාලා තුල සේවයෙහි යෙදෙමින් සිටී.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය 2019 වසරේ ජුනි මාසයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියාවේ ස්වරූපය සහ රැකියාවේ කොන්දේසි නොතකා ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි ප්‍රමිතීන් ඇතුළත් 190 වන (C190) සම්මුතිය සම්මත කර ඇත.

එය සම්මත කර වසර එකහමාරක් ගතව ඇති මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වන අප රටේ එය ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පුද්ගලික අංශයේ කාන්තාවන් කම්කරු කාන්තාවන් ඇතුළු මේ රටේ හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක් වන සියලුම දෙනා එකතු වී මෙය සම්මත කරවා ගැනීම වෙනුවෙන් බලපෑම් කළ යුතුව ඇත.

මා මෙය ලියන මේ මොහොත වනවිට අප සංවිධානයට ලැබුණ පැමිණිල්ලක මෙසේ සඳහන් වන බව ඔබ සැමට කිව යුතුය.

'ඇය නුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහලක සනීපාරක්ෂක කාන්තාවක් ලෙස සේවය කරන පනස් දෙහැවිරිදි කාන්තාවකි. පෞද්ගලික ආයතනයක් නිසා මොවුන් මෙම ආයතනයේ රැකියාවට යොදවා තිබී ඇති අතර ඇයගේ සේවා කාලය අවුරුදු පහළොවකට අධික ය. මෙහි වෛද්‍යවරයකු නිතර නිතර ඇයට ලිංගික වහල්කාරකම් කරන්නට වාචිකව සහ මානසිකව ශාරීරිකව සූදානම් වූ අවස්ථාවල දී ඇය එරෙහි වීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඇගේ සේවය අවසන් කර ඇය වෙනුවට වෙනත් සේවිකාවක් එම සේවයට අනුයුක්ත කර ඇත.'

ඉහළ නිලධාරියාගේ අයුතු බලපෑම් වලට එකඟ නොවීම වැනි අසාධාරණ ක්‍රියාවන් මේ රටේ තත්පරයෙන් තත්පරය සිදුවන අතර වන් අසාධාරණ සමාජ ක්‍රියාවන් තුළ සිටින මෙරට කාන්තාවන් ඇතුළු සියලු සේවකයින් එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සම්මත කළ c190 සම්මුතිය මෙරට තුළ ක්‍රියාත්මක කරවා ගන්නට සහ එයට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අපි සැම එක්ව ආණ්ඩුවට බල කරමු.

චන්ද්‍රා දේවනාරායන, RED සංවිධානය.
කටුනායක