ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම පිළිබඳ විමර්ෂණය කිරීමට ඇමතිවරයාට වුමනාවක් හෝ හැකියාවක් නෑ

NMRA

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද ගැටලුව, රටේ මහ ජනතාවගේ ගැටලුවක් ලෙස හදුනා ගනිමින් ස්වාධීන පාර්ශවයක් ලෙස අදාල විමර්ෂණයන් සිදු කිරීමට ඖෂධ පිළිබද රාජ්‍ය අමාත්‍යවරයාට වුවමනාවක් හෝ හැකියාවක් නොමැති බව යලි යලිත් තහවුරු කරමින් සිටී.

පසුගිය දිනයේදී පාර්ලිමේන්තුව තුල ඔහු විසින් සිදු කල ප්‍රකාශයට අනූව, දත්ත මකා ඇත්තේ පහුගිය රජයේ ඖෂධ හොරකම් කල කණ්ඩායම බව පෙන්වා දෙමින්, ඔහු ඉතා උපායශීලී ලෙස ගැටලුව වෙනතකට යොමු කර ගැනීමට උත්සාහ කලද, ප්‍රධාන කරුණු දෙකක් සැලකීමේදී ඔහුගේ හේතු දැක්වීම පදනම් විරහිත සාවද්‍ය එකක් බව පෙනෙන්නට තිබේ.

ඖෂධ නියාමන අධිකාරිය ENMRA පද්ධතිය හරහා තම.කටයුතු සිදු කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 2020 ජූලි මාසයේ සිට වන අතර, එහිදීද මාස හයක කාලයක් සදහා එම පද්ධතියට සමාන්තරව සාමාන්‍ය ක්‍රමයද භාවිතා කොට ඇත. එනයින් යහපාළණ රජය සමයේ ඖෂධ අක්‍රමිකතා සහ ENMRA දත්ත අතර සෘජු සම්බන්ධයතාවක් නොමැති බව ඉතා හොදින් දන්නා ඇමතිවරයා, දත්ත වංචාව පක්ෂ දේශපාළණ උගුලක පටලවා, යට ගැසීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.

එසේම පසුගිය රජය සමයේ සීදු වූවායැයි කියන පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ මිලදී ගැනීමේදී සහ හදිසි මිලදී ගැනීමේදී සිදු වූ වංචාවන් වසා ගැනීම සදහා මෙම දත්ත වංචාව සිදු බව කියන්නට ඔහු උත්සාහ කරණු ලබන්නේ කිනම් පදනමක් යටතේද යන්නද පැහැදිලි නැත.

සාමාන්‍යෙයන් ඖෂධ මිලදී ගැනීම සදහා මිළ කේවල් කිරීම සහ හදිසි මිලදී ගැනීම් සදහා තීරණ ගනු ලබන්නේ ඖෂධ නිතීගත සංස්ථාව සහ ඖෂධ සැපයීම් අංශයය හරහා වන බැවින්, ඊට අදාල පරීක්ෂණ සදහා නියාමන අධිකාරීයේ දත්ත මකා දැමීම ගැටළුවක් වී ඇත්තේ කෙසේද යන්න රාජ්‍ය අමාත්‍යවරයා රටට පැහැදිළි කල යුතුය.

එනයින් පැහැදිළි ලෙසම නියාමන අධිකාරියේ දත්ත මැකීම, ඖෂධ මාෆියාවේ අතරමැදි ස්වරූපයක් බව හදුනාගත හැකිව තිබියදී, එය දේශපාලන ගැටළුවක් බවට පත් කර ගනිමින් යට ගැසීමට අදාල ඇමතිවරයා අනවරත උත්සාහයක යෙදීම බරපතල සැකයකට හේතුවක් වන අතරම ඖෂධ නියාමන අධිකාරියේ ගැටලුවට ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට උත්සාහයක් නොමැති බව ද පැහැදිළිවේ.

පසුගිය රජය සමයේ ඖෂධ වංචාවක් සිදු වූයේනම්, ඒ ගැන නිසි පරීක්ෂණයක් සිදු කිරීමේ වගකීම ඇති ඇමතිවරයාම, තවත් හොරකමක් වසා ගැනීමට කේවල් කිරීමේ අවියක් ලෙස හොරකම යොදා ගැනීම බරපතලය.

එනයින් මෙම ගැටලුව විසදාගන්නාතුරු හෝ රාජ්‍ය ඇමතිවරයාගේ ග්‍රහණයෙන් ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර, කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

ravikumudesh photo

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය