දේශීය ගෘහ සේවිකාවන් ගැන කතාකරමු

domestic-workers-in-sri lanka

දේශපාලනඥ රිෂාඩ් බදිඋදීන්ගේ නිවසේදී පසුගිය ජුලි මාසයේදී මියගිය 16 හැවිරිදි ගැහැණු ළමයා වතුකරයේ සිට මිනිස් ජාවාරම්කරුවකු හරහා ලබාගත් ගෘහ සේවිකාවක්.

1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී තිබෙනවා. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් නීතිමය අඩුපාඩු තිබෙනවා. ළමයකුට වයස අවුරුදු 14 සිට රැකියාවල යෙදීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීති අනුව තිබෙනවා. එහෙත්, වෘත්තීය සමිතියකට බැඳිය හැක්කේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ අයට පමණයි.

ගෘහ සේවක/ සේවිකාවන් යනු ශ්‍රීලංකාවේ අඩුම ශ්‍රම අයිතිවාසිකම් සහිත සේවක පිරිසක්. 1871 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගෘහ සේවිකාවන් ලියාපදිංචි කිරීම සඳහා පනතක් සම්මත කළා. ගෘහ සේවිකාවන් නොව, සේවායෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ගෙන එන ලද මෙම පනත වර්තමානයේ වාසනාවකට මෙන් අක්‍රියයි.

වර්තමානය වන විට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන්ගේ වැටුප ආහාර හා ඉඳුම්හිටුම් සහිතව දෛනිකව රු. 750-1000 අතර වෙනවා. සේවක අර්ථ සාධක, සේවක භාරකාර වැනි අරමුදල්වලට දායකවීම් හෝ රක්ෂණාවරණ ආදී කිසිවක් ඔවුන්ට නැහැ. එසේම, සේවා කාලය ලෙස නිශ්චිත පැය ගණනක්වත් නැහැ. නිවාඩු ක්‍රමයක් නැහැ. සේවයේ යෙදී සිටියදී සිදුවන අනතුරු ආදිය සම්බන්ධයෙන් කිසිදු රක්ෂණාවරණයක් හෝ වන්දි ගෙවීමක් ප්‍රායෝගිකව නැහැ. ගෘහස්ථ සේවකයන්ගෙන් 76% ක්ම වාචික, චිත්තවේගීය, ශාරීරික, ලිංගික,හෝ ආර්ථික ප්‍රචණ්ඩත්වයට හෝ හිරිහැර වලට මුහුණදෙන බවත්, ඔවුන්ගේ දායකත්වය නිතරම අඩු තක්සේරුවට ලක්වන අතර නිදහස, විවේකය, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ සාමූහික කේවල් කිරීම යන අයිතිවාසිකම් ද නොසලකා හැරෙන බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.

ගෘහ සේවක/ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පිළිගත හැකි නීතිමය ප්‍රතිපාදනයක් පනවා නොමැත. ඔවුන් පඩි පාලක සභා නීතිවලින් හෝ ආවරණය වන්නේ නැහැ. එසේම කිසිදු සමාජ ආරක්ෂණ නීතියක් ද ඔවුන්ට අදාළ වන්නේ නැහැ. ගෘහ සේවක/ සේවිකාවන් ආවරණය වන නීතියක් ලෙස පෙනෙන 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනත අනුව ස්වාමි සේවක සම්බන්ධයක් පැවතීම හා වාචික එකඟතා සම්බන්ධයෙන් එහිදී නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත්, ගෘහ සේවිකාවන් හට මෙම නීතිවලින් පිළිසරණක් ලැබුණු අවස්ථා ගැන තොරතුරු විරලයි.

සංවර්ධිත රටවල ගෘහ සේවිකාවන් සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ශක්තිමත් නීතිමය විධිවිධාන තිබෙනවා. පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ හොංකොං වැනි සමහර ආසියානු රටවල් පවා ගෘහ සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා එවැනි නීති පනවා තිබෙනවා. එබැවින් ශ්‍රම වෙළදපල තුල  ඉතා වැදගත් සේවයක්  කරන මෙම කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද එවැනි නීති සම්පාදනය කිරීම කාලෝචිත බව රජයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පසුගියදා ඉල්ලා සිටියා.

සාමූහිකව සංවිධානය වීමට විශාල ඉඩකඩක් නොමැති ගෘහ සේවක/ සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමත් ඉතා අවමයි. මෙම සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නීතිමය විධිවිධාන නොමැතිකම හේතුවෙන් ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ ගෘහ සේවක අයිතින් ආරක්ෂා කිරීම සදහා  වු සම්මුතිය වන, 2011 (අංක 189) හි අදාළ වගන්ති ඇතුළත් කර එවැනි නීතියක්  සම්පාදනය කිරීමට මුලීකත්වය ගන්නා ලෙස සිවිල් සංවිධාන විසින් කම්කරු හා නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

වසර 2011 ජුනි 16දා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනය විසින් ගෘහ සේවකයන් සඳහා සුනිසි වැඩ පිළිබඳ සම්මුතිය පිළිගන්නා ලදී. එය 2011 අංක 189 දරණ ගෘහස්ථ කම්කරුවන් සම්මුතිය ලෙස ද හැඳින්වෙනවා. අංක 201 දරණ ගෘහ සේවකයන්ගේ නිර්දේශය ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2011දී අනුමත කරනු ලැබුවා. එය අංක 189 දරණ සම්මුතියට අතිරේක වශයෙන් එකතු වේ. සම්මුතියෙහි ප්‍රකාශිත හිමිකම් සහ මූලධර්මක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විය හැකි නීතිමය සහ වෙනත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශය විසින් ප්‍රායෝගික මාර්ගෝපදේශයක් සපයනු ලබනවා.

අංක 189 දරණ සම්මුතිය විසින් ගෘහස්ථ වැඩ අර්ථ නිරූපණය කරන්නේ “ගෘහයක් හෝ ගෘහයන් වෙනුවෙන් හෝ ගෘහයක් හෝ ගෘහයන් තුළ කරනු ලබන වැඩ” ලෙසයි. මෙම වැඩ අතරට, නිවාස පිරිසිදු කිරීම, ඉවුම් පිහුම්, රෙදි සේදීම හා මැදීම, ළමයින්, වැඩිහිටියන් හෝ පවුලක අසනීප සාමාජිකයන් බලාගැනීම, ගෙවතු පාලනය, නිවාස මුර කිරීම, පවුල වෙනුවෙන් රිය පැදවීම හා ගෘහස්ථ සුරතල් සතුන් රැක බලාගැනීම ද අයත් වේ. සම්මුතිය අනුව, ගෘහස්ථ සේවකයකු යනු “වෘත්තීය සම්බන්ධකම් සහිතව ගෘහ සේවයෙහි යෙදී සිටින ඕනෑම පුද්ගලයෙකි.”

ගෘහ සේවකයකු පූර්ණ කාලීනව, අර්ධ කාලීනව හෝ තනි නිවසක හෝ සේවායෝජකයන් සමූහයකට හෝ සේවය කරනු ලැබිය හැකියි. සේවායෝජකයාගේ නිවසේ ම ජීවත් වන සේවකයකු හෝ තමන්ගේ නිවසේ ජීවත් වන සේවකයකු විය හැකියි. ගෘහ සේවකයකු තමන් පුරවැසි නොවන රටක ද සේවය කළ හැකියි.

ගෘහ සේවකයකුගේ සේවායෝජකයා එම සේවකයා සේවය කරන ගෘහයේ සාමාජිකයකු හෝ ගෘහ සේවකයන් සේවයේ යොදවා නිවෙස් වෙත සපයන නියෝජිතායතනයක් හෝ ව්‍යවසායක් හෝ විය හැකි ය.

අංක 189 දරණ සම්මුතිය මගින් ගෘහ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරමින් අවම ශ්‍රම ප්‍රමිති නිර්ණය කර තිබේ. ඒ අනුව, ගෘහ සේවකයන්ට සහ/ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්දේශනයේ යෙදෙන අයට පහත දැක්වෙන අන්දමින් කටයුතු කළ හැකියි:

  • තම රජයන් මගින් සම්මුතිය අපරානුමත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය සංවිධානය කිරීම හා බලමුළුගැන්වීම කළ හැකියි.
  • නීතිවල වෙනස්කම් සිදු කිරීමට බලපෑම් කිරීමට සහ ගෘහ සේවකයන්ගේ සේවා සහ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට බලපැම් කිරීම සඳහා සම්මුතියේ සහ නිර්දේශයේ විධිවිධාන භාවිතා කළ හැකියි. එහිදී ඔවුන් සේවය කරන රට විසින් අංක 189 දරණ සම්මුතිය අපරානුමත කර තිබේ ද නැද්ද යන්න අදාළ නැත.

(praja.lk)