වැඩ ලෝකයෙහි ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් දුරලමු

chandra-devanarayana

සමස්ත ශ්‍රී ලංකාවේ ම කාන්තාවන් ප්‍රමුඛ පුරුෂයින්ද ගතවන සෑම තත්පරයක් පාසාම නිවසේදී මගතොටේදී ප්‍රවාහනයේදි වැඩ බිමේ දී ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයන්ට ගොදුරු වන්නන් වෙති.

එදා සිට අද දක්වාම එය එලෙසින්ම සිදුවන්නේ විශේෂයෙන් ආසියාතික කාන්තාව සිරකර තබා ඇති සංස්කෘතික සහ ආකල්පමය වහල් භාවයන්හි කාන්තාවන් ඇලී ගැලී සිටීම හේතුවෙන් සහ පුරුෂ පක්ෂය අභිබවා යාමට ඇති අකමැත්තක් ද නීතියේ පිළිසරණක් ද නැතිකම නිසා ද වේ.

හිංසනය ශාරීරික, මානසික, වාචික සහ ආර්ථික වශයෙන් සිදු වුවත් සමහර හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් නීතිය හමුවේ ඔප්පු කිරීමේ ගැටලු ද ඇති අතර ඒවා අවම කිරීමට වත් නීතිමය මැදිහත්වීම් සිදු කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැත.

ඒ නිසාම වැඩ ලෝකය තුළ විශේෂයෙන් පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සෑම මොහොතකම මේවට එරෙහිව සාමූහිකව පෙළ නොගැසීම කනගාටුවට කරුනකි. සේවිකාවන් එම තත්ත්වයට තල්ලු කිරීමට වැඩ ලෝකය තුළ විවිධ අන්දමේ කායික හා වාචික බියගැන්වීම් ඇති බව ද ඒ නිසා ම රැකියාව අහිමි වේ යැයි ඔවුන් තුළ ඇති කර ඇති බිය හේතුවෙන් ද, වැඩ ලෝකයේ කාන්තාවන් ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් සමාජය ඉදිරියට ගෙන නෑවිත් සඟවා තබා ගැනීමට පෙළඹී ඇත.

සමස්ත ලෝකයම වෙලාගත් covid 19 වසංගතය තුළද ශ්‍රී ලංකාවේ කාන්තාවන් පුරුෂයන් බරපතළ ලෙස හිංසනයන්ට පීඩාවන්ට වැඩ බිම තුල දී පත්වූ බව අප සැම දන්නා කරුණකි. ඒ අතරින් වඩාත් පීඩාවට ලක් වූයේ ද බහුතරය කාන්තාවන්ය.

දෛනික සේවා ක්‍රියාවලියේ දී covid වසංගතය රට පුරා පැතිර යද්දී මරණයට මුහුණ දෙමින් රටේ ආර්ථිකයට පණ දීම සදහා සේවය කරන්නට ඔවුන්ට සිදුවිය. එහිදීද නිෂ්පාදන ඉලක්ක සපුරා ලීමට නොහැකි වූ විටදී, මාසික වැටුප් ගණනය කිරීමේදී, මැසිමක් කැඩුණු විට දී වැනි අවස්ථාවල සහ සේවා ස්ථානයේ යම් යම් කටයුතු වලදී ඉහල පාර්ශ්වයන්ගේ හිංසනයන්ට හා ප්‍රචණ්ඩත්වයන්ට මොවුන් නිරන්තරව මුහුණ දෙන්නට සිදුවිය.

එමෙන්ම සේවා ස්ථාන තුළ හිංසන ප්‍රතිපත්තීන්, චර්යාධර්ම, ලේඛන වලට පමණක් සීමාවී ඇති අතර ඒවා ක්‍රියාවට නැංවීමක් හෝ ඉන් සේවකයන්ට රැකවරණයක් ලබාදීම ද සිදු වන්නේ නැත.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය 2019 වසරේ ජූනි මාසයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියාවේ ස්වරූපය හා රැකියාවේ කොන්දේසි නොතකා ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි ප්‍රමිතීන් ඇතුළත් c190 සම්මුතිය සම්මත කරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව සිදු කරනු ලබන හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව විවිධ වූ හේතුන් මත වින්දිතයින් ඉදිරියට නොඒමත්, ලංකාවේ නීති පද්ධතියේ යම් යම් ස්ථානවල මේවාට ඉඩකඩ තිබුණද ඒවායේ මැදිහත්වීමක් හෝ රැකවරණයක් වින්දිතයන්ට නොලැබීමත් හේතුකොටගෙන අප හට දැන් කළ යුතුව ඇත්තේ වැඩබිම තුල සිදුවන හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් වළක්වා ගැනීම සඳහා c190 සම්මුතිය අපරානුමත කර ගැනීමට කටයුතු කිරීම සඳහා පෙරමුණ ගැනීමය.

ඒ සඳහා එකාවන්ව පෙළගැසී අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කර c190 ක්‍රියාවට නැංවීම සඳහා ආණ්ඩුවට බල කරමු.

චන්ද්‍රා දේවනාරායන, රෙඩ් සංවිධානය