ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

සමාජයේ වරින් වර කාන්තා අයිතිවාසිකම්, හිංසන ගැන කතා කරළියට එන්නේය. නමුත් මේ කතා වලට අවසානයක්, නැවතීමේ තිතක් තැබීමට ලෝකයක් වශයෙන් අප තවමත් අපහොසත් වී ඇත.

පහුගිය දිනවල කාන්තා හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන කතා අපට වැඩි වශයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නට විය. ඒ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙකු කාන්තා මන්ත්‍රීවරියක් වෙත සිදු කළ ප්‍රකාශයක් නිසාය.

මැතිසබේද උණුසුම් කළ කාන්තා හිංසන ප්‍රකාශය නිසා මේ වන විට දේශපාලනයේ ප්‍රබල චරිත කිහිපයකම අවධානය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලැබී ඇත.

මීරිගම නිෂාදි බුද්ධිකා, කඩවත ඉනෝකා සෙව්වන්දි,  කොටදෙණියාවේ සේයා සදෙව්මිණි, හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමට සිටි ඉෂලීනි ආදී චරිත අපට අහිමි වුයේ ඔවුන් විවිධ පුද්ගලයින්ගේ හිංසනයන්ට ගොදුරු වු බැවිනි.

ලංකාවේ අප තවමත් කතා කරන්නේ යමක් සිදු වු පසුවය. ඊට පෙර අප ඒ සඳහා අවධානයක් දෙන්නේ නැත. පවුලක් තුල බිරිඳ සැමියාගේ හිංසනයට නිතර ලක් වෙද්දී ඇය පිහිට පතන්නේ ඥාතීන්ගෙනි. ඒ නීතිය ඉදිරියට යාමට ඇති අකමැත්ත නිසා හා ලංකාවේ කසාඳයක් තුල පවතින රීති අනුවය.

ඇය සිතන්නේ සැමියාගේ එක පහර දීමකට, රණ්ඩුවකට නීතියේ පිහිට පැතීම නොහොබිනා දෙයක් ලෙසිනි. ඒ එයාගේ හැටි කියා බොහෝ කාන්තාවන් තම සිත සනසා ගනියි. ඒ ඇය විසින්ම අපයෝජකයා ආරක්ෂා කිරිමකි.

නමුත් පොදු ස්ථානයක සිදු වන හිංසනයකදි බොහෝ දෙනා නීතියේ පිහිට පතයි. එසේ නම් වෙනස ඇත්තේ ඔබතුලය.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. ප්‍රචණ්ඩත්වයට කායික, ලිංගික හා මානසික හානිද ඇතුලත්ය.

ශාරිරිකව පමණක් නොව මානසිකව කාන්තාවන්ට සිදු කරන හිංසනයන්ද අද ඉහළ යමින් ඇත. මෙය ඉතාම ඛේදජනක තත්ත්වයකි. මෙම හිංසනයන්, ප්‍රචණ්ඩත්වය හමුවේ ඔබ නිහඬව සිටීම තුල සිදු කරන්නේ අපයෝජකයා තව තවත් දිරිමත් කිරිම හා ආරක්ෂා කිරිමක්ය.

ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් සියයට 35 ක් තම ජීවිතයේ යම් අවස්ථාවක දී ශාරීරික සහ/හෝ ලිංගික සමීප සහකරු ප්‍රචණ්ඩත්වය හෝ හවුල්කරුවෙකු නොවන අයෙකු විසින් ලිංගික හිංසනය අත්විඳ ඇති බව ගණන් බලා ඇත. කෙසේ වෙතත්, සමහර ජාතික අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ කාන්තාවන්ගෙන් සියයට 70 ක් දක්වා ඔවුන්ගේ ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකුගෙන් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනය අත්විඳ ඇති බවයි.

තම සහකරුවන් විසින් ශාරීරිකව හෝ ලිංගිකව අපයෝජනයට ලක් වූ කාන්තාවන්ට ගබ්සා වීමට ඇති ඉඩකඩ දෙගුණයකටත් වඩා වැඩිය, මානසික අවපීඩනයට ගොදුරු වීමේ සම්භාවිතාව දෙගුණයකටත් වඩා වැඩි වන අතර සමහර කලාපවල HIV වැළඳීමට ඇති ඉඩකඩ 1.5 ගුණයකින් වැඩි වේ.

ඒ නිසා මෙය ඔබේ අවස්ථාව කර ගන්න. මේ ගෙවෙන්නේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්ව සමය වේ. ඔබත් ඔබේ සහෝදරිය, නැඟනිය, දියණිය, මිතුරිය  වෙනුවෙන් පෙළ ගැසෙන්න.

ඇයගේ ලෝකය තැඹිලි වර්ණයෙන් සරසන්න කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැන්ම අවසන් කරන්න! නැඟී සිටින්න.

ශානිකා මාධවී