පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

parami-rahul

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන්නීය.

මෙම සේවය අත්හිටුවීමට හේතුව ලෙස ඇය එහිදී සඳහන් කරන්නී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීම මෙම සේවය අත් හිටුවීමට හේතුව බවයි. ‘අද පටන් රූපවාහිනිය මාහට තහනම් භූමියක් බවට පත් වී ඇත්තේ මා මගේ මුහුනු පොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසා ය’. ඇය දක්වන මෙම හේතුව සත්‍යක් නම් එය භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් ය. භාෂනයට සහ ප්‍රකාශනයට අපහට අත් හල නොහැකි අයිතියක් ඇත්තේ ය.  ජනාධිපති රටේ රාජ්‍ය නායකයා වූ පමණින්, රජයේ සේවකයෙක් ට තම ප්‍රධානියා විවේචනය කිරීමට බැරිකම් තිබෙන්නට විදිහක් නැත. එසේ විවේචනය කරන්නට නොහැකිනම් එතනින්ම පුරවැසියාගේ මූලික අයිතියක් උල්ලංඝනය වෙන බව කිවයුතුය.

ඇය ඇයගේ වැඩ තහනම් වීම පිළිබඳව ෆේස්බුක් පෝස්ටුවක් දමමින් අවසානයේ මෙසේ ප්‍රකාශ කරන්නීය. ‘හංස වෙෂ් ගෙන පාත්තයින් රඟනවිටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළිමඩලක් නොවීය.’

රූපවාහිනිය යනු ජනතාවගේ මුදල් කොල්ලකන, අන්ත දූෂිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ය. මේ ආයතනයේ රැකියාව කරන බොහෝ අය මාසික පඩිය සහ වරප්‍රසාද ලබා ගන්නේ පුටු රත් කරනවාටය. නැතිනම් පවතින ආණ්ඩුවට කඩේ යනවාටය. රාජ්‍යට තුට්ටු දෙකකවත් සේවයක් නොකරන මෙම ආයතන මහජන මුදල් වැයකරමින් නඩත්තු කරන්නේ ආණ්ඩු පක්ෂයේ හිතසුව පිනිසය. ඒ ඔවුන්ගේ කුණු රජා නිව්ස් ටික ජනතාව ඉස්සරහට ගෙනියන්නය. එහෙත් අද වනවිට රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙන චැනල්වලට මාරුවී ඇති නිසා ඒ දේශපාලන කුණු සේදීමටත් දැන් වළංගුභාවයක් නැතිය.

එහෙම තත්ත්වයක් තුළ නිකමුන්, දේශපාලන එහෙයියන් බල්ටිගසන රූපවාහිනිය වැනි භූමියක, නිවේදන වුර්තියට නිසි ගෞරවය අරගෙන ආ, යම් අනන්‍යතාවයක් පෙන්වනු ලැබූ මෙවැනි තරුණ නිවේදිකාවකට රූපවාහිනී බලධාරීන් සළකන්නේ මෙසේ නම් මෙම ආයතනවලට දිනෙන් දින කෙළවී යාම අපිට තේරුන් ගත හැකිය.

පාරමීට තමන් ෆේස්බුක් බිතේ ලියූ දෙයක් නිසා රූපවාහිනියේ දොර වැසෙන විට හම්බන්තොට සිට මාධ්‍යකරණයේ නිරතවෙන රාහුල් සමන්ත හෙට්ටි ආරච්චිට, කුප්‍රකට භාරත ලක්ෂමන් ඝාතනයට වැරදිකරු වී මරණ දඬුවමට යටත් කර සිටි පසුව ජනාධිපති සමාවෙන් සමාජගත කළ දුමින්ද සිල්වා කෝල් කරන්නේ වීඩියෝ කළ වීඩියෝ දර්ශන හිරු නාළිකාවට නොයවා ඉන්න කියන්න ය. මෙම දූරකථන ඇමතුමත් එක්තරා ආකාරයකින් මාධ්‍යට කළ තර්ජනයක් සේ සැළකිය හැකිය. අනෙක් පැත්තෙන් මෙම ඇමතුම භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසට අනියමින් කළ බලපෑමක් ය.

රජයේ ප්‍රබලයෙක් සහ ජනාධිපතිවරයාට අති සමීප පෞද්ගලයෙක් මෙලෙස මාධ්‍යවේදියෙකුට බලපෑම් කිරීම, ලංකාවේ මාධ්‍ය නිදහසට බලපෑම් කරන ආණ්ඩුවේ ප්‍රබලයන් පිළිබඳව හොඳම නීදර්ශනයක් ය. මෙම මාධ්‍යට කළ අනිසි අතපෙවීම අප පිළිකුල්ව සහ අසෝබන සිදුවීමක් ලෙස හෙළාදැකිය යුතුය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ගැසූ සහාසිකයන් සොයා ගන්නට පොලීසියට නොහැකිවුණොත් ඒ පිළිබඳ සැකය රජය දෙසට යොමුවීම අසාධාරණ නැතැයි කියමින් එය එසේ වුණොත් මාධ්‍ය ඇමතිවරයා ලෙස තමන්ටද යම් යම් ක්‍රියාමාර්ග ගන්නට සිදුවෙනු ඇතැයි ප්‍රකාශ කළ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා මේ සිදුවීම් දෙක දෙසම බැලිය යුතුය. ඔහු මාධ්‍ය අමාත්‍යවරයා ලෙස භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස කණ්ඩනය වූ මේ සිදුවීම් දෙක පිළිබඳව යම් පියවරක් ගත යුතුය.

කේ. සංජීව (aithiya)