ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසද?

ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසද?

පවුලකට ගැහැනු දරුවන් උපදින්නේ එම පවුලේ පියාට බොරු කීමේ විපාක ලැබීමක් ලෙසින් යැයි භික්ෂුවක විසින් කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලාවල සාකච්ඡාවෙමින් පවතී. බෞද්ධ දර්ශනය තරමක් හෝ හදාරා ඇති අයවලු‍න්ට මේ චීවරධාරියා ප්‍රකාශ කරන්නා වූ කරුණෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එවැනි අදහසක් මුල් බුදුසමයේ සඳහන් නොවන බවත් මනාව වැටහෙයි. මුල් බුදුසමය ලෙස සැලකෙන්නේ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකායේ ඇතැම් කොටස් ය. ඛුද්දක නිකායේ ජාතක පාලිය ඇතුළු කොටස් කිහිපයක් මුල් බුදුසමයට අයත් ලෙස සැලකෙන්නේ නැත.

මුල් බුදුසමයට අයත් අංගුත්තර නිකායේ බොරු කීමෙහි විපාක ලෙස දැක්වෙන්නේ බොරු කියන්නා අපාගත වන බව සහ අභූත චෝදනාවලට ලක්වන බවයි. වෙනත් කිසිදු විපාකයක් එහි විස්තර නොවේ.

මුල් බුදුසමයේ එන ඉහත කී අදහස පසුකාලීන වර්ධනය මුලින් ම හමුවන්නේ ජාතක පාලියෙහි (චේතිය ජාතකයෙහි) ය. එය ඛුද්දක නිකායට අයත් පසුකාලීන සාහිත්‍යයට අයත් කෘතියකි. එහි බොරුකීමේ විපාක ලෙස ගැහැනු දරුවන් ලබන බව විස්තර වේ. එය තව දුරටත් වර්ධනය වීම ජාතක අ‍ටුවාවෙන් (ක්‍රි.ව. 5 සියවස පමණ සම්පූර්ණ වූ පසුකාලීන සාහිත්‍යයකි) දැකිය හැකිය. (වල්පොළ රාහුල ආයතනයේ ලිපියක් ඇසුරිනි)

එහි ”‍මහරජ, දන්නා දෙයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදිත්”‍ යනුවෙන් පවසන්නේ මුසාවක් කීමට සූදානම් වන චේතිය රජු හට ය. ඒ චේතිය ජාතකයේ එක කපිල නම් බ්‍රාහ්මණයා (බෝසතාණන් වහන්සේ එක් ආත්මයක) විසිනි. බෞද්ධයින් සරණ යන්නේ ක්ලේශ ප්‍රහීණ කළ බුදුරජාණන් වහන්සේ මිස බුද්ධත්වයට පෙර බෝසතුන් නොවේ. ඒ අනුව අප අවබෝධ කරගත යුත්තේ බුද්ධ දේශනාව සහ ජාතක කතාවන්ගේ වෙනස හඳුනා නොගත් භික්ෂූන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ යුතු ද නැත් ද යන්නයි.

දෙයක් පිළිගැනීමට සුදුසුම ක්‍රමවේදය කෙසේද යන්න අපට කාලාම සූත්‍රයෙන් පැහැදිලි කරගත හැකිය. ඇතැම් අඳබාලයන් කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කරන ඇතැම් දේශනාවන් හා ඒවා ශ්‍රවණය කර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොකර අදහස් දැක්වීම ද අනුවණකමක් ලෙස එහි දැක්වේ. හැකියාවක් ඇත්නම් ඔබ ‍චේතිය ජාතක කතාව කියවන්න. එහි අභ්‍යන්තරය හා දේශිත ක්‍රමෝපායන් පිළිබදව ඔබම ඔබ සමඟ විචක්ෂණය කරන්න. එවිට එම දේශනාව තුළ ජාතක කතාව කෙතරම් විකෘති කර තිබේද යන්න ඔබට වැටහෙනු ඇත.

මෙම භික්ෂුව මීට පෙර සිට ම කිහිප වරක් මෙවැනි ම විවේචනයට ලක් වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කර තිබේ. ‘ස්වාමියා බිරිඳට තේ හැදුවාම බිරිඳ නිරයේ උපදී; දරුවන් සෑදීමේ දී බිරිඳ ස්වාමියාගේ ශරීරය නොදැකිය යුතුයි; අන්තර්ජාලයෙන් ප්‍රේතයෝ ඇඟට ඇතුල් වෙති ; පිරිත්පැන් මගින් එම ප්‍රේතයෝ ගුද මාර්ගයෙන් පිට වෙති’ යනාදි වශයෙන් දැඩි අතිශයෝක්තියෙන් යුත් ධර්ම විරෝධී පෞද්ගලික මතවාද ප්‍රකාශ කරමින් ඔහු බෞද්ධ දර්ශනය සැහැල්ලු‍වට ලක් කිරීම ඉතාමත් පිළිකුල් සහගත ය.

කොසොල් රජුට දියණියක ලදැයි අසා ”‍රජතුමනි සමහර ස්ත්‍රීන් පිරිමින්ටත් වඩා ශ්‍රේෂ්ඨ වන්නී ය. නුවණැති බව ද සිල්වත් බව ද සේවා භක්තිය ද පතිවත රකිනා බව ද ඇයගේ උතුම් බවයි. එබැවින් රජතුමනි දියණිය ආදරයෙන් පෝෂණය කරන්න. ඇය මතු දිනෙක පුතෙකු වදයි ද ඒ වාසනාවන්ත පුත්‍රයා ද ශ්‍රේෂ්ඨ රජෙකු වන්නේ ය.”‍ යනුවෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් මිස වැලිමඩ සද්ධාසීල භික්ෂුව විසින් සිදු කළාක් වන් සැහැසි ප්‍රකාශය මුල් බුදු දහම තුළ කොතැනක හෝ සඳහන් නොවන බව කිව මනා ය.

ධනුෂි ලිහිණිකඩුව (Anidda)