පෝලිම්වල ඉන්න අයට හිතන්න දෙයක්

පෝලිම්වල ඉන්න අයට හිතන්න දෙයක්

තෙල් පෝළිමේ ඉන්න මිනිසුන්ට සංග්‍රහ කරමින්, පෝළිම පනින එවුන්ට ගේම ඉල්ලමින්, තෙල් නැත්නම් පාර හරස්කර පොලීසිය සමග ඔට්ටු වෙමින් , තෙල් ලැබුණු පසු ඒ සතුට සමරමින් මගේ ආදරණීය මව්භූමියේ මිනිසුන් දවස ගතකරමින් ලං වෙන්නේ ඔවුන් කිසිවෙක් හීනයකින්වත් නොසිතූ ඉතා භයානක අදුරු කාළ පරිච්ඡේදයක් වෙත බව දන්නේ කීයෙන් කීදෙනෙක්ද.

ස්වභාවික විපතකින් තියා තිස් වසරක් තිස්සේ පැවති දරුණු යුද්ධයකින් පවා නොසැලී ඉදිරියට ගිය මගේ රටට මේ විපැත්තිය සිදුකල අසමජ්ජාති පාලකයන් මේ සිද්ධවන්නට යන විනාශය දැන දැනත් තවමත් උන්ගේ පුද්ගලික ඕනෑකම් වෙනුවෙන් කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කරමින් සිටී.

උඹලාගේ අතේ මුදල් තිබුනත් කන්නට කෑමක් ගන්න බැරිවූ දවසට, ලෙඩකට බෙහෙතක් ගන්න බැරිවූ දවසට උඹලාට තේරේවි මේ කියන දෙය.

හිතන්න එපා මෙය සිදුනොවී ලෝකයම ඇවිත් අපිට උදව්කර බේරා ගනීවි කියා. 

ලෝකයේ ඕනෑතරම් රටවල් තියෙනවා සාගින්නේ මිනිසුන් මියයන, මැස්සො පනුවො අහුලාගෙන කාලා හෝ ජීවිතය ජීවත් කරන මිනිසුන් වෙසෙන. ඒවා අදටත් ඒ විදිහටම පවතිනවා.

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් ආධාර දෙන ආයතන පැවතෙන්න නම් ආධාර අවශ්‍ය රටවල් පැවතීම අනිවාර්යක්.

ඉතින් ඒ අනිවාර්යය වෙනුවෙන් ලෝකයේ දැනට පවතින අතිදුෂ්කර රටවල් ලැයිස්තුවට අපේ මව්බිමත් ඇතුලත්කර එහි සතුට සමරන්න බලාගෙන ඉන්නද අද අපට වෙලා තියෙන්නේ.

පහුගිය වසර දෙකේ අපේ රටේ මූල්‍ය පරිපාලනය අද මුලු ලෝකයටම විහිළුවක් වෙලා තියෙද්දි බලාපොරොත්තු වෙන්‍න එපා ලෝක සංවිධාන අපිට ආධාර කරාවි කියලා සිද්ධවු මංකොල්ලය වෙනුවෙන් හරිහමන් විගණනයක් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රනයක් නොමැතිව.

මොකද අපේ ජඩ පාලකයන්ට ‍රටේ මුදල් කිසිම හිරිකිතයකින් තොරව පාලනය කරන්නට පුළුවන් වූවාට, ආධාර සපයන දියුණු රටවලට බැහැ හිතුමතයට හෝ පුද්ගලික දැන-ඇදුනුම්කම් වලට වෙනත් රටකට ආධාර කරන්නට. මොකද ඒ රජයවල් බැදී ඉන්නවා තම පුරවැසියන්ට වගකියන්නට රටේ මුදල් පරිපාලනය සම්බන්ධව.

රාජපක්ෂලා හෝ රනිල්ව හරි සිරිසේනව හරි සජිත්ව හරි පුද්ගලිකව දන්නා පලියට මුදල් ලැබෙන්නේ නෑ හරිහමන් රටකින්. අපේ මූල්‍ය පරිපාලනය වගේම මානවහිමිකම් සුරක්ෂිතභාවයත් වැදගත් වේවි මෙතැනදි.

ඒ නිසා බලාපොරොත්තුවෙන් ඉන්න එපා බටහිර ලෝකය දුවගෙන ඇවිත් අපිව බේරාගනීවි කියලා අගාධයට යන්නට නොදී. උන් ඉතා ආසාවෙන් ඉදීවි ලංකාවත් තවත් අනාථ රටක් බවට පත්වෙන තුරු.

තීරණය ඇත්තේ අපේ අතේමයි. පෝලිම පනින එකාට නොව පෝලිම බිහිකල එවුන්ට එරෙහිව සටන වඩවඩාත් දැඩිකරමින් මේ දුර්ධාන්ථ ක්‍රමයට එරෙහි අරගලය ප්‍රමාද නොවී සවිමත් කරනවාද , ලැබෙන දෙයින් සැනසෙමින් අගාධයකරා අපේ අනාගතය දක්කනවාද.

ජනතා අරගලයට ජය !

මාධව රණ්මන්ඩල