ඇටෝවා බොරුව සහ  බ්‍රෑන්ඩඩ් බොරුව

ඇටෝවා බොරුව සහ  බ්‍රෑන්ඩඩ් බොරුව

"ජයසුමන ඇමතිවරයාගේ වෑයම, තලගොයාව කබරගොයා කරමින් අනුභව කිරීමයි"

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරන අටෝවාස්ටැටින් නම් ඖෂධය, ඇමරිකානු ඩොලර් 1.33 ලබා ගත හැකි ඩොලර් 6.33කට ඉන්දියානු ණය ආධාර යටතේ ඇණවුම් කිරීම සුජාත කරණය කරමින්, ජයසුමන ඇමතිවරයා ෆේස් බුක් සටහනක් යොදා ඇති අතර, එමගින් ජයසුමන ඇමතිවරයාගේ වෑයම කරන්නේ, තලගොයාව කබරගොයා කරවමින් අනුභව කිරීමටයි.

එලෙස අති විශාල ලාබාංශයක් තබා ගැනීම සාධාරණීකරණය කිරීම සදහා, ශ්‍රී ලංකාවේ සමස්ත අටෝවාස්ටැටින් අවශ්‍යතාවයෙන් 10% පමණ පරිභෝජනය කරන පෞද්ගලික අංශය, එසේ කලාට කමක් නැති බව කියන්නට හිටපු ඇමති වරයා උත්සාහ දරයි.

මේ වන විට රෝහල් වලට පැමිණෙන බොහෝ රෝගීන්  ඖෂධ සදහා පෞද්ගලික ෆාමසි වෙත හරවා යැවෙන බැවින්, 10% පිළිබදව නැවත සමීක්ෂණයක් කරන ලෙස අපි ඇමති වරයාගෙන් ඉල්ලා සිටිමු.

තවද වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධයක් නොමැති විටකදී රෝහල් මගින් බාහිර මිළදී ගැනීම් සිදු කිරීම මේ වනවිට විලාසිතාවක් වී ඇති බැවින්, මෙකී වැඩි මිල ඖෂධ වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සිදුවන්නේ රජයේ රෝහල් වලින් බව අප ඇමතිවරයාට අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍ය නැත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ තවත් දේශීය නිෂ්පාදකයන් තිදෙනෙකු මෙම ඖෂධය නිපදවන බව ඇමතිවරයාම පිළිගෙන ඇති තත්වයක් හමුවේ, එක් පැකට්ටුවකට ඩොලර් 5ක් වැඩිපුර ගෙවීමට ‍රටේ අසරණ බව සලකා ලබා දී ඇති ඉන්දියානු  ණය මුදල් කාබාසිනියා කරන්නට හිටපු ඇමතිවරයාට වරමක් ලබා දී ඇත්තේ කවුද?

රට තුල අප දේශීය නිශ්පාදන දිරි ගැන්වීම සදහා, අතිරික්ත ඖෂධ නිශ්පාදනය කර, අපනයනය කිරීම සදහා කටයුතු කිරීමේ පූර්ණ වගකීම දරන ඇමති වරයා විසින්ම, අමාරුවෙන් ගොඩ එන්නට දගලන ඖෂධ නිශ්පාදන සංස්ථාවට සහ දේශීය නිශ්පාදකයන්ට, රජයට ලැබෙන ණය මුදල් නාස්ති කරමින් තරග කරුවන් කැදවීම, මාෆියාවේ මතුපිටට පෙනෙන කොටස පමණි.

බ්‍රෑන්ඩඩ් ඖෂධ ගැන කථා කරමින් විශාල මිල පරාසයක් තුල එකම ඖෂධයක් වෙළදාම් කිරීම හරහා සිදුවන ප්‍රධානතම වෙනස  තැරව් කරුවන් තෘප්තිමත් කර ඇණවුම් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කර ගැනීමයි.

එසේම සැබෑ "බ්‍රෑන්ඩඩ්  කොලෙස්ටරෝල් පෙති" අවශ්‍ය වන්නේනම් එය ඉන්දියාවෙන් පිරිමසා ගන්නට නොහැකි බව ඇමති වරයා හොදින් දන්නා කරුණකි. ඒ සදහා යායුතු රට පිළිබදවද අප ඇමතිවරයාට කියා දියයුතු නැත.

අපේ රටේ නිශ්පාදනයට අතිශයින්ම සමාන කොලෙස්ටරෝල් පෙත්තක්, ඇතැම් විශේෂඥයින්ට සහ තැරැවකරුවන් මුදල් ගෙවමින් බ්‍රෑන්ඩඩ් කිරීම, රට වැසියාව ගොනාට අනදවමින් ගිල්ලවා දැමීම දක්වා මෙම ලාභාංශ බෙදී යෑම සිදුවන නමුත්, රට අතිශය අගාධයකට වැටී ඇති මොහොක, "බොරු බ්‍රෑන්ඩඩ්" සංකල්පයෙන් මිදියයුතු බව අප අවධාරණය කරමු.

ඇමතිවරයාගේ සුදු හකුරු තියරිය  අතිශය සාධාරණ ලෙස උපකල්පනය කලද, ඇති හැකි පදනම මත සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාරය වෙනස් කිරීම අප වහා නවතා දැමිය යුතුය. අනවශ්‍ය, පෙරේත සහ විලාසිතාමය අධි පරිභෝජනය කල සුලු පිරිසජ් හේතුවෙන් රටේම ජනතාවට කුසගින්නේ මිය යන්නට සිදුව ඇති මොහොතක කොලෙස්ටරෝල් පෙත්තක් සදහා අනවශ්‍ය ලෙස රුපියල් 5ක් ගෙවන්නට පුළුවන් කවුරුන් හෝ සිටීනම්, ඔහුට හෝ ඇයට  රුපියල් 1.50ක පෙත්ත අනිවාර්‍ය කර, වැඩිපුර රු5/-  බද්දක් හෝ දඩයක් ලෙස අය කර, පෙත්තක් මිලදී ගැනීමට නොහැකි මහ ජනතාව ගලවා ගැනීමේ සංකල්පයකය අප යා යුතුය.

එනයින් ඇමතිවරයාගේ පරපුර රකින එකට වඩා වෙනස් දශ්ඨියකට එළඹෙන ලෙස අප ඉල්ලා සිටිමු.

ජනතාදේශීයව නිෂ්පාදනය කළ පමණින් යම් ඖෂධයක් ආනයනය නැවැත්වීම හැකියාවක් නැති බව ඇමති වරයා පුන පුනා කියන්නට උත්සාහ දරන්නේ රටේ පවතින සැබෑ සෞඛ්‍ය අර්බුධය නොවටහා ගනිමින් විය හැකිය.

ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට පුරුදු කරවා ඇති බොරු බ්‍රෑන්ඩඩ් උගුලෙන් ජනතාව ගලවා ගත යුතු ඇමති වරයා විසින්ම, ඔවුන්ව එම වලට තල්ලු කිරීම මෆියාවේම කොටසක් බව කියන්නට අප ඉක්මන් නොවෙමු. නමුත් පවතින ක්‍රමයට ඇබ්බැහිවූ, සරල භාවිතාවක් සුජාතකරණය කරන්නට ඔහු විසින් විශාල උත්සාහයක් ගනිමින් සිටින්නේ නොදන්නාකමටම නොවන බව පමණක් අප දන්නා බව කාරුණිකව සිහිපත් කරමු.

අප එක්ව, දැන්වත් මේ ක්‍රමය වෙනස් කරමු!

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය