“කොයි වෙලේ හරි මරා ගන්නවා” කියන ඉන්දු - චීන යාළුවෝ

“කොයි වෙලේ හරි මරා ගන්නවා” කියන ඉන්දු - චීන යාළුවෝ

“බ්රික්ස්” පටන් ගනු ලැබූයේ “බ්රික්” හැටියට ය. ඒ 2006 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීම අතරවාරයේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය පැවැත්වූ නිල නොවන සාකච්ඡා ඇසුරෙනි. අනතුරුව රුසියාවේ යෙකටෙරින්බර්ග් නුවර 2009 ජුනියේ පැවැත්වූ සිව්දෙස් සංවිධානයක් වශයෙන් එය ප්‍රකාශයට පත් කෙරුණි. එයට දකුණු අප්‍රිකාව 2010 දෙසැම්බරයේදී නිල වශයෙන් බැඳුණු පසු “බ්රික්ස්” විය. මේ වනවිට ඊජිප්තුව නිල වශයෙන් සාමාජිකත්වය ඉල්ලා ඇති අතර, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ද මේ පංචත්දේශ ආර්ථික එකමුතුවට හවුල් වීමේ කැමැත්ත පළ කර ඇත. ඊට අමතරව, එහි සාමාජිකත්වය ගැනීමට ඉන්දුනීසියාව, බංගලිදේශය, පාකිස්ථානය, සවුදි අරාබිය වැනි රටවල් පෝලිමේ සිටිති. මෙහි වැදගත්කම ඇත්තේ ලොව විකල්ප ආර්ථික බලමධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී පියවර තැබීමට ඉන්දියාව හා චීනය එකතු වීමෙහිය.  

එවැනි ගෝලීය පෙළ ගැසීම් ගැන නිසි අවබෝධයක් නොමැතිව, චීනය සමග ලංකාව සමීප සම්බන්ධතාවන් පවත්වා ගැනීමට ඉන්දියාවේ බරපතල විරෝධයක් ඇතැයි තවමත් කතා පවතියි. චීන ආධාර තොගේට ලංකාවට ගෙනාපු රාජපක්ෂ යුගයේ සිට එයට අලුත් ජීවයක් ලැබිණ. ඒ අතර, චීන සම්බන්ධකම් පෙන්වා රාජපක්ෂලා ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නේ යැයි කතා ඇති විය. කෙටියෙන් කියුවහොත් “ඉන්දු-චීන ගැටුම” රාජපක්ෂලා ඔවුන්ගේ වාසියට යොදා ගන්නේ යැයි කතාවක් නාගරික සමාජයේ තිබිණ.

අවුරුද්දකට පමණ පෙර ගාලු මුවදොර “ගෝඨා ගෝ හෝම්” ව්‍යාපෘතියේ සෘජු ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වූ පසු ප්‍රශ්නය මතු වූයේ ඇමෙරිකානු සහාය ඇති වික්‍රමසිංහට, ඩොලර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන සහාය ලබා ගත හැක්කේ කෙසේද යනුවෙනි. එවැනි සහායක් ලබා ගැනීමේදී ඉන්දීය ප්‍රතිචාර කෙසේ විය හැකිදැයි යන්නය. ඒ හැමකම අවසන් වගන්තිය වන්නේ ඉන්දු-චීන බල අරගලයෙහි ශ්‍රී ලංකාවට කුමක් විය හැකිද යන්නය.

මෙය විසඳිය නොහැකි භූ-දේශපාලනික ගැටුමක් යැයි වන පූර්ව නිගමනයක සිට ලාංකීය දේශපාලනය කියවීමේ පුරුද්දක් දැන් ඇත. එහෙත් ඇත්තටම මේ දෙරට - චීනය සහ ඉන්දියාව - සිටින්නේ එකිනෙකා මරා ගන්නා තරමේ දේශපාලන ගැටුමකද?

පරණ මායිමේ ආරවුල  

මේ කතාව කෙටියෙන් හෝ දැන සිටීමේ වැදගත්කමක් ඇත. චීනය හා ඉන්දියාව දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට සන්නද්ධ ගැටුමක පැටළුණේ 1962 දීය. ඉන්පසු, ඉතා සුළු ගැටුම් කිහිපයක් 1967, 1987 සහ 2013 වසරවල ඇති විය. 2017 දී බූතානය හා චීන ආරවුලට ඉන්දියාව පය ගැසුවේ බූතානයේ මායිම් ආරවුල් ඔවුන්ටද යම් බලපෑමක් ඇති කළ හැකියැයි වූ පූර්ව ගණන් හැදීම හේතුවෙනි. එසේ අත පෙවීමට ජාතික ආරක්ෂාව සඳහා ඔවුන් බූතානය සමග අත්සන්කර ඇති ද්වි පාර්ශවීය ගිවිසුම යොදා ගැණුනි. පසුව 2020 දී ඇති වූ ගැටුමෙන් දෙපාර්ශවයේම මිය යෑම් හා තුවාලවීම් වාර්තා විය.

මේ ගැටුම් වලට පසුබිම් වන්නේ හිමාලය කඳුවැටිය ඔස්සේ දුවන දේශ සීමාවන්හි තැන තැන චීනය, නේපාලය, බූතානය සහ ඉන්දියාව අතර මායිම් සඳහාවන මතභේදයන්හි ය. ඒ අතරින් බූතානය හා නේපාලය සමග ඉන්දියාවේ වූ මතභේද ඉන්දියානු බලය මත විසඳාගෙන ඇත. එහෙත් එවැනි ස්ථාවර විසඳුම් චීනය සමග නැත. චීනය සමග පළමු ගැටුම 1962 ඇති වූයේ චීනයේ සිංජියාං ප්‍රාන්තයට අයත් අක්සායි චින් ප්‍රදේශය ඉන්දියානු ලඩාක් ප්‍රාන්තයට අයත් යැයි වන මතභේදය සමගය. අනෙක් ප්‍රධාන ගැටුම වූයේ වත්මන් අරුනචාල් ප්‍රදේශයේ මායිම් ඇසුරෙනි. ඉන් වඩාත් සංවේදී ස්ථානය වන්නේ ඉන්දියාව ඩොක්ලම් යැයි නම් කරන, චීනය ඩොංලාං යැයි නම් කරන, සිකිම් ප්‍රාන්තය ඔබ්බෙහි චීන-ඉන්දීය-බූතාන තුන්මංකඩ ප්‍රදේශයෙහි ය.

මේ සියලු ගැටුම් සඳහා හේතු වන්නේ පැරණි මහා ඉන්දියාව බ්රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබියදී බ්රිතාන්‍යයින් විසින් චීනය හා තිබ්බතය සමග ඔවුන්ගේ වෙළඳාම වෙනුවෙන් ඉන්දියාවේ දේශ සීමා සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම් වලය. ඉන්දියාව නිදහස ලැබූ පසු බ්රිතාන්‍යයින් තීන්දු කළ ඇතැම් මායිම් ඔවුන් නොපිළිගත්තේය. ඒ අතර, තිබ්බතය කිසි දිනක නිදහස් රාජ්‍යයක් නොවූයේ යැයි තිබ්බතය අත්සන් කළ ගිවිසුම් චීනය ප්‍රතික්ෂේප කරන්නේය. චීනය තවමත් තිබ්බතයට අයිතිවාසිකම් කියන්නේ හමුදා බලය සමගය.

තිබ්බතය වෙනුවෙන් චීනයට එරෙහි ලෝක මතයක් මතුව නොමැත. චීන හමුදා ආධිපත්‍ය හේතුවෙන් තිබ්බතයෙන් පිටමංවූ ජනතාවට ඉන්දියාවේ නවාතැන් ලබාදී ඇත්තේ චීනයට පෙනෙන්නට මිස, තිබ්බත ජාතිකයින්ගේ නිදහස් අරගලයට සහාය දීමක් වශයෙන් නොවේ. තිබ්බතයින්ට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව පවත්වා ගැනීමේ කාර්යන්හි නිරත විය හැක. එහෙත් තිබ්බතයේ නිදහස වෙනුවෙන් හඬ නගන්නට ඉන්දියානු භූමිය යොදා ගත නොහැක. එයම, ඉන්දියාව තමන්ගේ මායිම් සම්බන්ධව චීනය සමග ඇති ආරවුල් විසඳා ගැනීමට දක්වන ඉවසිලි සහගත නැඹුරුව පෙන්වන්නකි.

ජාතිකත්වය, දේශපාලන ආධිපත්‍ය හා සාමය

එසේ නම් මේ නිරන්තර ගැටුම් ඇති වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. එසේ වන්නේ ඉන්දියාව හා චීනය, ඔවුන්ගේ මහ ජාතිකත්වය හා එහි දේශාභිමානි ප්‍රකාශන ජාතික දේශපාලනය සඳහා යොදා ගැනීමේදී ඒ වෙනුවෙන් හමුදා බලයද සාධකයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට දක්වන උනන්දුවෙහිය.

එහෙත් එවැනි ගැටුම් දිගු කාලීන යුධ තත්ත්වයකට පරිවර්තනය නොවන මට්ටමෙන් අවසන් කර ගැනීමට පසුගිය අවුරුදු 35 ට වැඩි කාලයේ දෙපාර්ශවයම වග බලා ගත්හ. දේශ සීමා ගැටුම් විසඳා ගැනීමට දෙපාර්ශවය අතර විශ්වාසය තහවුරුකර ගැනීමේ එකඟතාවන් 1993 සහ 1996 දී ඔවුහු අත්සන් කළහ. ඒ සමග ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක්ද, ඊට සහායවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා විශේෂඥ කණ්ඩායම්ද පිහිටුවා ගනු ලැබිණ. 2003 දී විශේෂ නියෝජිතයින්ගේ යාන්ත්‍රණයක්ද තහවුරු කෙරුණි. ඊට අමතරව 2012 දී උපදේශන හා සම්බන්ධීකරණ කටයුතු සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයක්ද පිහිටුවනු ලැබිණ.

මේ අතරවාරයේ චීනය හා ඉන්දියාව හමුදා පුහුණු කටයුතු වෙනුවෙන්ද ගිවිසුම් අත්සන් කළහ. පළමු වරට 2006 දී ප්‍රනාබ් මුකර්ජි ඉන්දීය ආරක්ෂක ඇමති වශයෙන් චීන ආරක්ෂක ඇමති සමග හමුදා කටයුතු වෙනුවෙන් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළේය. ඉන් අපේක්ෂා කෙරුණේ “දෙරටේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් හා නායක පිරිස් අතරත් හමුදා නිලධාරීන් අතරත් නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් ඒකාබද්ධ හමුදා පුහුණුවීම් සහ හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා වාර්ෂික කාලසටහනක් සකස කිරීමත්ය.”

චීන ආරක්ෂක ඇමති ජනරාල් වෙයි ෆෙංහේ 2018 අගෝස්තුවේදී නව දිල්ලි පැමිණි විට, 2006 අත්සන් කළ ගිවිසුමට වඩා දියුණු හා ශක්තිමත් ගිවිසුමක් අත්සන් කිරීමට ඉන්දීය ආරක්ෂක කටයුතු ඇමතිනි නිර්මලා සිතරාමන් සමග සාකච්ඡා පැවැත් වීය. එහෙත් 2020 වන විට, නැවත මායිම් ආරවුල් ඇති වින. ලඩාක් ප්‍රදේශයේ “සැබෑ පාලන රේඛාව” ලෙස හඳුන්වන සීමා මායිම චීන හමුදා මගින් උල්ලංඝණය කෙරිණ. ඊට වසර කිහිපයකට ඉහතින් චීනය ලඩාක් ප්‍රදේශයේ ඔවුන්ගේ සීමා තුල හමුදා ශක්තිය තර කිරීමත් සමග ඉන්දියාවද ඔවුන්ගේ හමුදා යටිතල පහසුකම් දියුණු කළේය. මායිම් දෙපැත්තේ තම ජනතාවට හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ තරගය මේ ගැටුම් වලට එක් හේතුවකි.

එවගේම එවැනි හමුදා ශක්ති වර්ධනයකට හේතුව ලෙස කිව හැක්කේ මෝඩි ආණ්ඩුව ඇමෙරිකානු සබඳතා විවෘතව වර්ධනය කර ගැනීමකට යොමු වීමය. ඊශ්‍රායලයට නිල ගමනක් ගිය පළමු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වීමත් එයට හේතු වන්නකි. ඊට අමතරව මෝඩි ආණ්ඩුව ඇමෙරිකාව, ඕස්ත්‍රේලියාව හා ජපානය සමග සිව් දෙස් සන්ධානයක කටයුතු කිරීමත් එය ඉන්දු පැසිපික් කලාපයේ චීන විරෝධි දේශපාලන හවුලක් ලෙස බෙයිජිංහි ගණන් හදනු ලබන්නකි.

කෙසේ නමුත් 2020 මැයි මස පැන්ගොං ට්සෝ වැව් සංකීර්ණය අසළින් ආරම්භවූ මායිම් හමුදා ගැටුම සිකිම්හි නාකුලා ප්‍රදේශයටද පැතිර ජුනි මස අවසන් වන විට ලඩාක් ගැටුම් ලෙස නම් කෙරුණි. ඒ සමග දෙපාර්ශවයම මායිම් ආරවුල් විසඳා ගැනීමේ ද්වි පාර්ශවීය යාන්ත්‍රණ සියල්ල 2020 අවසන් වන්නට කලින්ම ක්‍රියාත්මක කර ගත්හ. විවිධ මට්ටම්වල සාකච්ඡා කෙරෙන අතරතුර “සැබෑ පාලන රේඛාවෙහි” තැනින් තැන 2021 වසර පුරා කෙනිත්තිලි, රැවුම් ගෙරවුම් ඇති විය. ඒ තත්ත්වය සමනයකට පත් විනැයි කිව හැකි මට්ටමක ගැටුම් විරාමයක් ඇති වූයේ 2022 වසරේ ජනවාරි මාසය අවසන් වන විට නිකුත් කෙරුණු හමුදා ප්‍රධානීන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පසුවය.

ගැටුම් අතරවාරයේ වැඩි ලාභ සෙවීම

මේ ගෝලීය ආර්ථිකයෙහි අධි ලාභ සොයන මහ නගර කේන්ද්‍රීය වෙළඳපල සඳහා ආනයන අපනයන වෙළඳාමට දේශ සීමා ආරවුල් අදාල නැත. කොවිඩ්-19 වසංගතය සමග ලොව සියලු රටවල දේශ සීමා අගුළු වැටුණු පසු, වසරකට ආසන්න කාලයක් ආනයන අපනයන වෙළඳාමද මුළුමනින්ම වාගේ ඇණ හිටිනි. ඒ හේතුවෙන් ලොව තෙවන විශාලම ඖෂධ නිෂ්පාදකයින් වන ඉන්දියාව බරපතල අර්බුදයකට හසු විය. ඔවුන්ගේ ඖෂධ නිෂ්පාදනය රඳා ඇත්තේ චීනයෙන් ආනයනය කරන, “සක්‍රීය රසායනික අඩංගු” (Active Pharmaceutical Ingredients) මත ය. අවශ්‍ය වර්ග අතුරෙන් සියයට 30 ක් පමණ, ඉන්දියාවේ නිෂ්පාදනය කෙරේ. එහෙත් ඉන්දීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය වන්නේ ඉන්දියානු “රසායනික අඩංගු” චීන නිෂ්පාදන මෙන් දෙගුණයක් මිල වීමෙහි ය. 

වෙළඳාම හැමවිටම කෙරෙන්නේ ලාභ රේට්ටු ගණන් හැදීමෙනි. එබැවින් හමුදා ගැටුම් නොතකා ඉන්දු-චීන වෙළඳාම 2021 ඩොලර බිලියන 125.6 ක සිට 2022 අවසන් වන විට ඩොලර බිලියන 135.98 ක් දක්වා වැඩි වී තිබිණ. ඉන්දියාව එම කාලයේ ඩොලර බිලියන 118.5 ක භාණ්ඩ චීනෙන් ආනයනය කළේය. එය පෙර වසරට වඩා ඩොලර බිලියන 21 ක වැඩි වීමකි. චීනය 2022 දී ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමාණය ඩොලර බිලියන 17.5 ක් විය. එය කලින් වසරට වඩා ඩොලර බිලියන 10 ක් අඩුය (චීන රේගුව - 2023 ජනවාරි).

මේ වෙළඳ ගනුදෙනු සතු වැදගත්කම ඇත්තේ ඒවා බොහෝමයක් පූර්ණ නිමි භාණ්ඩ නොවීමෙහි ය. මේ ආනයන “සක්‍රීය රසායනික අඩංගු” මෙන් දෙරටේම නිෂ්පාදන ආර්ථිකයට වැදගත් ගනුදෙනු වන්නාහ. චීනය ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලේඛනයද එය ඔප්පු කරන්නකි. චීනයට ගෙන්වන ඉන්දීය ආනයන අතර වැඩිමනත් ඇත්තේ “යපස් සහ යපස් අපවිත්‍ර, ඓන්ද්‍රීය රසායන, ඛනිජ තෙල් සහ ඒවායේ අතුරු පිරිපහදු නිෂ්පාදන, තාර වර්ග, යකඩ, වානේ, ඇලුමිනියම් අර්ධ නිපැයුම් සහ කපු පුලුන් ආදිය ය.

එවගේම ඉන්දියාවට චීනෙන් ආනයනය කරන භාණ්ඩ අතර වැඩි ප්‍රමාණයක් වන්නේද විදුලි යන්ත්‍ර සහ කොටස්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක, යෝධ බොයිලේරු, යන්ත්‍රෝපකරණ, කාර්මික උපකරණ හා ඒවායේ කොටස්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ පොහොර වර්ග ය.

ඉන්දියාව හා චීනය ආසියානු කලාපයෙන් එපිට ගෝලීය වෙළඳපල තරණය කිරීමේ සැළසුම් සමග ඔවුන්ගේ අන්‍යෝන්‍ය ගනුදෙනු අත හැර දිගු කාලීන බරපතල ගැටුම් ඇතිකර ගන්නේ නැත. ඔවුන්ගේ දිගු කාලීන සැළසුම් ඇත්තේ වෙළඳපල තරගයෙහි සීමා ඇතුළතය.

ඉන්දියාව හා චීනය ශ්‍රී ලංකාව සමග පවත්වා ගන්නා ගනුදෙනු වලට වඩා මියන්මාරයේ හමුදා පාලනය සමග පවත්වා ගන්නා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු මගින් ඔවුන්ගේ වෙළඳපල තරගයෙහි අවශ්‍යතා සඳහාවන ගණන් හැදීම පෙන්වන්නකි. 2008 දී අගමැති මන්මෝහන් සිං විසින් ඩොලර් මිලියන 500 ක ආධාරයක් සමග මියන්මාරයේ වයඹ වෙරළෙහි සිත්වේ වරාය නවීන වරායක් ලෙස දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුවේ ඔවුන්ගේ ඊසාන දිග ප්‍රාන්ත සඳහා මුහුදු මාර්ගයක් ස්ථාපිත කිරීමටත් සිත්වේ වරාය ඉදිකෙරුණු කලඩාන් නදිය ඔස්සේ ඉන්දියානු මිසරොම් ප්‍රාන්තය තෙක් භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත හැකි කුඩා නැව් ගමනා ගමනයත් සඳහාය. එය ඉන්දියාවට වගේම මියන්මාරයටත් වාසියක් ලබා දුන්නකි.

ඒ අතර චීනය, ඔවුන්ගේ ඉතා දුප්පත් ප්‍රාන්තයක් වන මිලියන 48 ක ජනගහනයක් ඇති යුනාන් ප්‍රාන්තය දක්වා සිත්වේ සිට අධිවේගී මාර්ග ජාලයක් සැළසුම්කර තිබිණ. එය ක්‍රියාත්මක නොවුනේ මියන්මාරයේ රකයින් පළාතේ රොහිංජා වාර්ගිකයින්ගේ සන්නද්ධ ගැටුම් උත්සන්නවීම හේතුවෙනි. නුදුරේදී චීන ව්‍යාපෘතිය සම්පූර්ණ වූ විට ඉන්දියාවේ මිසරොම් සිට චීනයේ යුනාන් දක්වා ඉතා කෙටි මාර්ගයක් මියන්මාරයේ සිත්වේ හරහා දෙරට වෙළඳාමට පහසුකම් සපයනු ඇත.

මියන්මාරය සම්බන්ධ අනෙක් කතාව නම්, 2020 දී ආණ්ඩු පාලනයට තේරී පත්වූ අවුන් සාන් සුචි පාලනය 2021 දී අහෝසි කරමින් මියන්මාර් හමුදා ජුන්ටාව නැවත වරක් මියන්මාරයේ පූර්ණ පාලනය සියතට ගත් පසු බටහිර බලවතුන් පැනවූ සම්භාධක කිසිත් චීනය හා ඉන්දියාව නොසැළකීමය.

ඊටත් අමතරව, රසියානු - යුක්රේන යුද්ධයේදී චීනය හා ඉන්දියාව එකම වේදිකාවේ නොවුනත් රුසියාවට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාවද හවුල්වී ඇත. යුක්රේන යුද්ධය හමුවේ රුසියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සියලු යෝජනා සඳහා ඡන්දය දීමෙන් ඉන්දියාව වැළකුණහ. එනිසා යුක්රේන-රුසියානු යුද්ධය සම්බන්ධ ඉන්දීය ස්ථාවරය හඳුන්වනු ලබන්නේ උපාමාර්ගික පලා යාමක් ලෙසින්ය.

අවසන් වශයෙන් කිව යුත්තේ, ආසියානු භූ-දේශපාලන ආධිපත්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ප්‍රවේසමෙන් සැළසුම් කරන ඉන්දියාව හා චීනය ඔවුන්ගේ ස්වදේශීය මාන්නය ඔසවා ගැනීමට දේශ සීමා අවට හමුදා බලය රැස් කළද කලාපීය ආර්ථික උපාමාර්ග ඉදිරියට තල්ලු කිරීමේදී දැඩි පරිස්සමක් ඇතිව කටයුතු කරන බවය. එහිදී ශ්‍රී ලංකාව සමග වන ආර්ථික අත පෙවීම් සඳහාද දෙපාර්ශවයම කටයුතු කරන්නේ ඔවුනොවුන්ගේ මායිම් දැන ගෙනය. ශ්‍රී ලංකාණ්ඩුව සමග වන එවැනි කේවල් කිරීම් ඔවුන් විජිතපුර සටනකට පරිවර්තනය කර ගන්නේ නැති බවද මෙහි සටහන් කළ යුතුය.  

Kusal perera 1

| ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී කුසල් පෙරේරා

2023 ජුනි 19 වන දින