ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස - 1)

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස - 1)

අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ ඇරඹිණි. මේ අරගලයේ ප්‍රධාන තේමාව "ගෝටා ගෝ හෝම්" විය. අරගලයට  වාඩිලා ගැනීම් වලින් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුයේ තරුණ පිරිස්ය. එසේ නමුත් දිනපතා සිදු වූ පාගමන්, පිකටින්, කුඩා පරිමාණ සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගිවූ පිරිස පවතින සමාජ දේශපාලන ක්‍රමයට බැන වැදුණද, සංවර බසකින් කතාකරන, යම් දැනුමකින් හෙබි, පිළිවෙලට හැඳ පැළඳගත්  පිරිසක් වුහ. මොවුන්ගෙන් සමහරක් ඉංග්‍රීසි බසින්ද කථා කරන්නන් විය. සංවිධිත දේශපාලන පක්ෂවලට අයිති නොවූ තරුණයන්ගෙන් බහුතරයක් මේ පිරිසෙහිම දරුවන්වූ බව පැහැදිලිය. මොවුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාකාරකම් බටහිර රටවල උද්ඝෝෂණ ක්‍රියාකාරකම් වලට සමාන විය. එසේම අරගලය කිසිසේත්ම ලංකාවේ ප්‍රධාන නගර වලින් ඔබ්බට ගියේ නැත. අරගලය සන්නිවේදනයේ ප්‍රධාන කාර්යභාරයක් සමාජ ජාලා තුලින් සිදුවිය. ප්‍රධාන ධාරාව යැයි මෙතෙක් හැඳින්වූ පුවත්පත්, රුපවාහිනි නාලිකා බොහොමයක් මේ අරගලය නුදුටුවන්ව සිටියහ. 2022 මැයි 09 වෙනි දින "ගෝටා ගෝ ගමට" එල්ලවූ ප්‍රහාරයෙන් පසුව රටපුරා  බස් ගිනිතැබීම්, දේශපාලඥයන්ගේ නිවෙස් ගිනි තැබිම් වලට සම්බන්ධවූ පිරිස දිනපතා උද්ඝෝෂණවලට සහභාගීවූ පිරිසට වඩා වෙනස් පෙනුමක් ඇත්තෝ වුහ. අවසානයේදී  2012 ජුලි මස 09 වෙනි දින ලංකාවේ මෙතෙක් කලකට සිටි බලය වැඩියන්ම තමන්ට ගොනු කරගත් ජනාධිපති රටින් පන්නා දැමීමෙන් "ගෝටා ගෝ හෝම්"  සටන අවසන් විය. මේ අවසන් සටනෙහි කොළඹ කොටුව හා පිටකොටුව හි සිදුවූ උද්ඝෝෂණද හොඳින් ඇඳ පැළඳ ගත් පිරිසක් විසින් කරන ලද්දක් විය. කොළඹ නගරයේ විශාල දුප්පතුන් පිරිසක් විසුවද මෙදින උද්ඝෝෂණයට ඔවුන්ගේ සහභාගිත්වය අවම විය.

මේ සියල්ල දෙස බැලු කල අරගලය බාහිර පෙනුමෙන් ලංකාවේ මධ්‍යම පංතියේ නැගිටීමක් විය. අරගලයහි තනි අයිතියක් කීමට කිසිවකුට ඉඩ නොලැබිණි.  මෙයට සහභාගිවූ දේශපාලන පක්ෂ වල ක්‍රියාධාරීන් හැරුණු කල අනෙකුන් සමඟ කථා කලවිට ඔවුන් ඇත්ත වශයෙන්ම ලංකාවේ මධ්‍යම පංතියට අයිති, මධ්‍යම පංතික සිතුම් පැතුම් ඇති පිරිසක් බව පෙනී යයි. එසේනම්, ලංකාවේ මධ්‍යම පංතිය මේ වනවිට බලවත් දේශපාලන බලවේගයක් බවට ඇති බව සක්සුදක්සේ පැහැදිලිවේ. මේ පංතිය ලංකාවේ අනාගත දේශපාලන භුමිකාවේ වැදගත් මෙහෙවරක් ඉටුකිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය.   

මධ්‍යම පංතිය පිලිබඳ නව අර්කථන

ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳව නිසි අධ්‍යනයන් නොකිරීම අප රට පිළිබඳව විවිධ ක්ෂේත්‍රවල ගනු ලබන තීරණ වැරදීමට මුලික හේතුවකි. සාමාන්‍ය අවබෝධයක් ලෙස පවතින්නේ ලංකාවේ මධ්‍යම පංතිය ජනගහනයෙන් 18-20% ක් අතර ප්‍රමාණයක්ව පවතින බවයි. මධ්‍යම පංතියේ ප්‍රමාණය පිළිබඳව ඇති මේ හැඟීමට හේතුව ලංකාවේ මධ්‍යම පංතිය එවන් සුළු සමාජ ස්ථරයක් ලෙස නිදහසින් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම විය හැක.

මධ්‍යම පන්තිය නිර්වචනය කිරීමේදී ඒ පිළිබඳව ඇති මාක්ස්වාදී විග්‍රහයට අමතරව අද ලෝකයේ වෙනත් නිර්වචන ඇත. කාල් මාක්ස්ට අනුව ඔහු පංති අරගලය ඇති වන්නේ නිර්ධන පංතිය හා ධනපති පංතිය අතරය. මේ පංති දෙක අතර සිටින පංතිය මධ්‍යම පංතියයි. මෙම පංතිය මාක්ස්-ලෙනින්වාදීන් ඇතැම් විට සුළු ධනේශ්වරය ලෙසින්, තරමක සම්ච්ච්ලයෙන්ද හැඳින්විය. මේ අය උගතුන් හා සුළු ව්‍යවසායකයන්ගේ සමන්විත මොවුන්, පංති අරගලයේදී වැනෙන සුළු "සෙවලයන්" බව ඔවුන්ගේ මතය විය. මේ විග්‍රහය ගැන බොහෝ දෙනා හොඳින් දන්නා නිසා මේ ගැන අලුතින් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. යුරෝපයේ විසු මාක්ස් දුටු, ඔහු "යදම් පමණක් නැතිවීමට ඇති පංතියක්" ලෙස හැඳින්වූ කම්කරු පංතියක්, අද යුරෝපයේද නැත. අද යුරෝපයේ කම්කරුවන් සුවිසල් නිවෙස් ඇති, සුඛෝපභෝගී වාහන පදවන, නිවාඩු ගත කිරීම සඳහා විදේශ සවාරි වල නියුතුවන පිරිසකි. යුරෝපයේ දුගියන් සිටී නම් ඔවුන් රැකියා විරහිතව,"ධනවාදී  සමාජ ක්‍රමය" විසින් සුභසාධක දීමනා වලින් රැකගනු ලබන පිරිසකි. මෙවන් තත්ත්වයක් යටතේ පංති පිළිබඳ මාක්ස්ගේ විග්‍රහය පිළිබඳව විමසීමද නිෂ්ඵල  ක්‍රියාවකි.

අද රටක මධ්‍යම පංතිය සීමා නිර්නය කරගැනීම සඳහා දේශපාලන විද්‍යාවෙන් ඔබ්බට ගිය අර්ථකථන රාශියක් භාවිතා වේ. මේවායින් ඇතැමක් ඒ ඒ පවුල්වල ආදායම් මට්ටම් මත පදනම්ව  කෙරෙන ආර්ථික විද්‍යාත්මක විග්‍රහයන්ය. තවත් ඒවා සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික ලක්ෂණ අනුව කෙරෙන විග්‍රහයන්ය. වඩාත් නවීන සමාජ විද්‍යාත්මක විග්‍රහ අනුව සමාජය බෙදෙන්නේ පංති වශයෙන් නොව සමාජ ස්ථර වශයෙනි. සමාජ ස්ථරයක් ආදායම, හිමිකම්, ප්‍රදේශය, ජනවර්ගය, ආගම, අධ්‍යාපනය, රැකියාව, සමාජ පිළිගැනීම හා සමාජ බලය යම් සමානකමක් ඇති මිනිස් සමුහයකි. එක් සමාජ ස්ථරයක් තුල යම් ආකාරයක සමාන සමාජ, සංස්කෘතික හා දේශපාලන හැසිරීම් රටාවන්  දක්නට ඇත. යම් සමාජ ස්ථරයක් හඳුනා ගැනීමේදී ඒ සමාජ ස්ථරයේ ආදායම, එහි එක් නිර්නායකයක් පමණි. ඒ අනුව යමෙක් මධ්‍යම පංතියට අයිති වෙන්නේ ඔහුගේ ආර්ථික වටිනාකම අනුව පමණක් නොවේ. යමෙක් මධ්‍යම පංතියට ඇතුලත් කිරීමේදී ඔහුගේ සංස්කෘතික වටිනාකම්ද, සමාජීය වටිනාකම්ද එකසේ සැලකිල්ලට ගත යුතුය. මේ වර්ගීකරණය අනුව සමාජයක් බෙදෙන්නේ රටක ආර්ථික  ක්‍රියාවලිය හා පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මත පමණක් පදනම්ව කරන පංති වර්ගීකරණය මත නොවේ.  එනම් ධනපති පංතිය, මධ්‍යම පංතිය හා නිර් ධන පංතිය ලෙස නොවේ.

මේ විග්‍රහයන් මත පදනම්ව ලංකාවේ සිදුකෙරී ඇති පර්යේෂණ අතලොස්සකි. ලංකාව සමාජ විද්‍යා අධ්‍යයනයන්ට සරුබිමක්ව පවතිද්දීත්, අපේ සමාජයට ඵළදායි වන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් අද සමාජ විද්‍යා විද්‍යාර්ථීන් ගෙන් සිදුවන්නේ විරලවය. ඒ නිසා ලංකාවේ මධ්‍යම පංතිය පිළිබඳ යම් සොයා බැලීමක් හෝ සිදුවී ඇත්තේ වෙනත් ක්ෂේත්‍රවල උගතුන් විසිනි. මේ පර්යේෂණ ගැනද බොහෝ උගතුන් දෙනා නොදනී.

මේ පර්යේෂණයන්ට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ලංකාවේ ජනගහනයෙන් 71%-79% ක් අතරවේ. දුගියන් සහ ධනවතුන්ගේ ගණයට වැටෙන්නේ ලංකාවේ ජනගහනයෙන් හතරෙන් පංගුවකට අඩු  ප්‍රමාණයකි. දකුණු ආසියාවේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම පංතිය 50%ක් වන අතර මේ කලාපයේ විශාලම මධ්‍යම පංතිය ඇත්තේ අපේ රටේය.මේ සොයා ගැනීම්වල දේශපාලනික වැදගත්කම අති මහත්ය. ලංකාවේ මේ දැවැන්ත මධ්‍යම පන්තිය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බොහෝ දේශපාලඥයන්ද කටයුතු කරන බව, මේ අධ්‍යනයන් විමසීමේදී පැහැදිලිවේ. මේ අධ්‍යනයන්හි සොයාගැනීම් නිසිලෙස භාවිතයට ගැනීම අනාගත දේශපාලන තීරණ ගැනීමට ඒවා මහත්සේ ඉවහල් වෙනු ඇත.

ආර්ථික අර්ථකතන අනුව ලංකාවේ මධ්‍යම පන්තියේ ප්‍රමාණය

"මිලදී ගැනීමේ හැකියා සැසඳුම" (Purchasing Power Parity (PPP) ) යනු සමාන ආකාරයක බඩු මල්ලක් මිලදී ගැනීමේ හැකියාව විවිධ රටවල පුද්ගල ආදායම ඒ ඒ රටවල බඩුමිල අනුව සැසඳීමේ ලොව ආර්ථික විද්‍යාඥයන් පිළිගත් ක්‍රමවේදයකි. මේ අනුව අපේ රටේ  පුද්ගලයන්ගේ ආදායම ඩොලර් අගයෙන් අඩුවුවත් ඒ රටේ බඩුමිලද  ඩොලර් අගයෙන් අඩු වුවහොත්  "මිලදී ගැනීමේ සැසඳුම" (PPP)  අනුව ලැබෙන ආදායමේ අගය ඉහල යයි. අනෙක් අතට වෙනත් රටක පුද්ගලයන්ගේ ආදායම ඩොලර් අගයෙන් වැඩි වුවත් ඒ රටේ බඩු මිලද ඩොලර් අගයෙන් වැඩි නම් "මිලදී ගැනීමේ සැසඳුම" (PPP) ) අනුව ආදායමේ අගය පහල යයි. ලොව පිළිගත් ආර්ථික විද්‍යා ක්‍රමවේදයන්ට හා ආසියානු සංවර්ධන බැංකුවේ නිර්වනයට අනුව යම් රටක PPP දත්තයන්ට අනුකුලව දිනකට ඩොලර් 2 කට වඩා අඩුවෙන් වියදම් කරන පවුල් දුප්පත් පවුල් ලෙස හැදින්වේ. ඩොලර් 2 හා 20 අතර වියදම් කරන පිරිස මධ්‍යම පංතිය වේ. ඩොලර් 20 ට වඩා වියදම් කරන පිරිස ධනපති පංතිය වේ. 

2013 වසරේදී ආචාර්ය නිශා කරුණාතිලක මහත්මිය විසින් කර ඇති සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනගහනයෙන් PPP අනුව දිනකට ඩොලර් 2කට වඩා අඩුවෙන් වියදම් කරන පවුල් තිබුනේ 20% ට අඩු ප්‍රමාණයකි. ඒ පර්යේෂණය අනුව ලංකාවේ 79%ක් මධ්‍යම පන්තියට අයිතිවේ. මෙම කරුණ 2019 වර්ෂයේදී කෙරුණු ශ්‍රී ලංකා ගෘහ ආදායම් හා වියදම් සංගණනයෙන්ද තහවුරු වී ඇත. එම වර්ෂයේදී රුපියල් 32,000කට වඩා අඩු ආදායම් ලැබූ පවුල් තිබුනේ 20%ක් පමණි.

සමාජ විද්‍යාත්මක සාක්ෂි

2014 වසරේදී ආචාර්ය රවී බමුණුසිංහ මහතා  ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වෙන පරිදි කරන ලද සමීක්ෂණයකදී  ආසියානු සංවර්ධන බැංකුව විසින් පිළිගනු ලබන ආදායම් මට්ටම අනුව මේ අති විශාල මධ්‍යම පන්තිය කොටස් තුනකට බෙදයි. ඒ පහල මධ්‍යම පංතිය, මැද මධ්‍යම සහ ඉහල මධ්‍යම පංතිය ලෙසිනි. පහල මධ්‍යම පන්තිය ඩොලර් 2-4 දක්වාත්, මැද මධ්‍යම පන්තිය ඩොලර් 4-10 දක්වාත්, ඉහල මධ්‍යම පංතිය ඩොලර් 10-20 දක්වාත්  PPP අනුව දිනකට වියදම් කරන අය වශයෙනි. බමුණුසිංහ මහතාගේ පර්යේෂණය අනුව ලංකාවේ ජනගහනයෙන් 71%ක් වන මධ්‍යම පංතියවේ. ආදායම් මට්ටම් අනුව බෙදූ කල ඔවුන්ගෙන් 55%ක් පහල මධ්‍යම පංතියටද, 40.4%ක් මැද මධ්‍යම පංතියටද, 4.6% ක්  ඉහළ මධ්‍යම පංතියටද අයිතිවේ.  

PPP දත්තයන්, සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික දත්තයන් හා සසඳමින් කරන ලද ඒ සමීක්ෂණය අනුව දිනකට ඩොලර් 2 කට වඩා වැඩි වියදමක් කරන ලංකාවේ පවුල් සැබවින්ම මධ්‍යම පන්තියට අයිති වන බව ඔප්පුවේ. ආර්ථික බෙදීම්වලට පසුව ආචාර්ය රවී බමුණුසිංහ මහතා ලොව පිළිගත් සමාජ විද්‍යාඥයින් විසින් කරන අයුරින් අපේ රටේ මධ්‍යම පංතිය සතු වටිනාකම්, ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම් සහ සමාජමය වටිනාකම් ලෙස කොටස් තුනකට බෙදයි.

මෙහි ආර්ථික වටිනාකම්වලට මාසික ආදායම, නිවාස හිමිකම, වාසය කරන නිවසේ ප්‍රමාණය,  නිවසෙහි ඇති ගෘහභාණ්ඩ, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරන, සතු වාහන ගැනේ.

සංස්කෘතික වටිනාකම් ගණයට අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන්, මෙන්ම ඒවා ලබාගෙන සමාජ ස්ථරවල ඉහලට යාමේ හැකියාවද ගැනේ. යමෙක් සතු සංස්කෘතික වටිනාකම් මත ඔහු සහ ඔහුගේ පවුල විවේකය ගතකරන ආකාරය, විනෝදාස්වාද කටයුතු, ගනු ලබන ආහාර වර්ග, දරුවන්ගේ අවශ්‍යතාවයන් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තු රඳා පවතී. එසේම අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන් වැනි සංස්කෘතික වටිනාකම්  ඇත්නම් ඒවා ආර්ථික වටිනාකම්වලට හැරවීමේ හැකියාවද පුද්ගලයෙකුට ඇතිවේ.

යම් පුද්ගලයෙකු සතු සමාජ වටිනාකම් යනු ඔහු වටා ඇති සමාජ සම්බන්ධතා ජාලය තුලින් ඔහුට ලැබෙන වටිනාකමයි. උදාහරණයක් ලෙස යමෙකුට අධ්‍යාපන මට්ටම, හැකියාව හා කුසලතාවයන් මගින් ලැබුණු සංස්කෘතික වටිනාකමක් තිබුනත් තමන් උපන් ස්ථානය, තමන් අයිති ජනවර් ගය, තමන් ඉගෙනගත් පාසල නිසා ගොඩ නැගුනු සමාජ සම්බන්ධතා ජාලයක් නැත්නම් ඔහුගේ සමාජ වටිනාකම අඩුවේ.  මේ සමාජමය වටිනාකම් අනුව යමෙක් ඇසුරු කරන ඥාති හිතමිතුරන් හා  සම්බන්ධවන සංවිධාන තීරණය වේ. ඒ කෙසේ වෙතත් මේ සාධක තුනම යමෙක් මධ්‍යම පන්තියට අයිති වෙන්නේ දැයි සොයා බැලීමේදී වැදගත්වේ.

ආදායම් මට්ටමෙන් ඩොලර් 2 සිට 20 ක් දක්වා දස ගුණයක වෙනසක් තිබුනද ලංකාවේ පහල මධ්‍යම පන්තිය, මැද මධ්‍යම පන්තිය හා  ඉහල මධ්‍යම පංතිය අතර ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම් හා සමාජමය වටිනාකම්වල සැලකිය යුතු වෙනසක් නැති බව බමුණුසිංහ මහතාගේ සමීක්ෂණයෙන් හෙළිවේ.   

මධ්‍යම පන්තියේ ආර්ථික වටිනාකම්වල ඒකාග්‍ර බව 

මධ්‍යම පන්තියේ මේ සියලු සමාජ ස්ථර ජිවත්වන නිවාස සියල්ලේම පාහේ කාමර 3 - 4ක්, වෙනමම කුස්සියක්, කෑම කාමරයක්, සාලයක්, නිවෙස තුල වැසිකිලි 1-2 ක් සහ ගරාජයක් තිබුණි. මෙම අධ්‍යයනයේ සඳහන් නොවුනත්, මෙසේ එකම ආකාරයේ ආකෘතියක් තිබුනත්,  බොහෝවිට මේ සමාජ ස්ථර ජීවත්වෙන නිවෙස්වල බිම් ප්‍රමාණයේ වෙනස්කම් ඇති බව මගේ වැටහීමයි. මෙම අධ්‍යනයට අනුව මීට අමතරව ඉහල මධ්‍යම පන්තියේ අයගේ නිවෙස්වල වල ටී.වී කාමරයක්, සේවක කාමරයක් සහ කාර්යාල කාමරයක් ඇතැම්විට තිබුණි. නිවෙස්වල අයිතිය ගත්කල මධ්‍යම පංතියේ සියලු ස්ථරවල 30%කට තම නිවෙස ලැබී තිබුනේ උරුමයෙනි. ඉහල මධ්‍යම පංතියේ 69% ක් තමන් තනාගත් හෝ තමන් මිලදීගත් නිවෙස්වල ජීවත්වෙත්දී,  පහල මධ්‍යම පංතියෙන් 53% ක් එවැනි නිවෙස්වල ජීවත් විය. කුලී නිවාසවල ජීවත්වූ ප්‍රතිශතය පහල මධ්‍යම පංතියේ 13%ක් වෙත්දී, ඉහල මධ්‍යම පංතියේ එය 2%ක් පමණක් විය. මධ්‍යම පංතියේ මේ සියලු ස්ථර වල නිවෙස්වල විදුලි කේතල්, රුපවාහිනී යන්ත්‍ර, ගෑස් ලිප්, විදුලි සහල් උඳුන්, ශීතකරණ භාවිතය එක හා සමාන මට්ටමේ තිබුණි.මේ පිරිසෙන් පහල මධ්‍යම පිරිස සතුව තිබු පරිගණක ප්‍රතිශතය 2014 වසරේදී අඩුව පැවතියද, මේ වනවිට එය වැඩි මට්ටමක පැවතිය හැක. ඉහල මධ්‍යම පංතිය වැඩිපුර මාළු ආහාරයට ගැනීම හැරුණු කොට, මේ සමාජ ස්ථර වල ආහාර රටාවෙහි වැඩි වෙනස් කමක් නොතිබිණි. අසනීපයක් වූ විට පුද්ගලික වෛද්‍යවරයෙකු හමුවීමේ ප්‍රතිශතය මේ සමාජ ස්ථර අතර සමානව තිබුණි.

මධ්‍යම පන්තියේ සංස්කෘතික වටිනාකම්වල ඒකාග්‍ර බව

අධ්‍යාපන මට්ටම ගත්කල උසස් පෙළ හෝ ඊටත් ඉහලට උගත් වැඩිම ප්‍රතිශතයක් සිටියේ මැද මධ්‍යම පංතියේය. මධ්‍යම පංතියේ සියළු ස්ථරවල අයගේ අති බහුතරයක් උගත්කම, මහන්සිවී වැඩකිරීම, නිහතමානීබව නිසා පිරිපුන් මිනිසෙකු තැනෙන බව විශ්වාස කළේය. සංස්කෘතිය සහ සම්ප්‍රදාය පිරිපුන් මිනිසෙකු තනන බව විස්වාස කලේ 30%ක් පමණි. මුදල් තිබීම පිරිපුන් මිනිසෙකු තනන්නේ යයි පහල මධ්‍යම පන්තියේ 14% ක් විශ්වාස කල අතර, ඒ බව මැද මධ්‍යම පන්තියේ 13% ක්ද, ඉහල මධ්‍යම පන්තියේ ඒ බව විශ්වාස කලේ 8%ක් පමණි.

මධ්‍යම පන්තියේ සමාජ වටිනාකම්වල ඒකාග්‍ර බව

විනෝදාස්වාදය සඳහා කාලය ගත කිරීම අතින් ඉහල මධ්‍යම පන්තිය වැඩිම කලක් ගත කළේය. විනෝද චාරිකා යාම අතර මේ සියලු ස්ථරවල වෙනසක් නැතිවුවද පහල මධ්‍යම පන්තිය කණ්ඩායම් වශයෙන් ගොස් හිතවතුන්ගේ නිවාසවල ගතකල අතර හා මහජන නිවාඩු නිකේතන වල ගතකල අතර, හෝටල්වල නතර වීමේ මැද මධ්‍යම පන්තිය සිදුකල අතර, ඉහල මධ්‍යම පන්තිය පිටරට සවාරිවල පවා නිරතවිය. මේ සියලු දෙනා අතර පුවත්පත් කියවීම, රුපවාහිනිය නැරඹීම අතර වැඩි වෙනස්කම් නොතිබුණි. අන්තර් ජාලය භාවිතය හා සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව මේ අධ්‍යනයේදී විමසා තිබුනේ නැත.

තවත් පර්යේෂණයක්

ගාමිණී කොරයා පදනමේ ආචාර්ය වසන්ති වික්‍රමසිංහ මහත්මිය 2012-2013 ශ්‍රී ලංකාවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණය මත, තරමක වෙනස් අදායම් නිර්වචනයන් මත පදනම්ව කරන ලද විග්‍රහයක් අනුව ලංකාවේ පහල මධ්‍යම පංතිය 42.3% ක්ද, මැද මධ්‍යම පංතිය 21.86% ක්ද, ඉහල මධ්‍යම පංතිය 14.95% ක්ද වේ.මේ අනුවද ලංකාවේ මධ්‍යම පංතිය 79.1% ක්වේ. මේ අනුව ලංකාවේ දුප්පත් පංතිය ලෙස හැඳින්විය හැකි පිරිස 10%ක් වන අතර මධ්‍යම පංතික ආදායමට වඩා ඉහලින් සිටින්නේ 8.5% කි.

මේ සමීක්ෂණයට අනුව පහල මධ්‍යම පංතියට (PPP ඩොලර් 2-4) අයිති පිරිසගෙන් 40%ක් ගුරුවරුන්ය. (ගුරුවෘත්තිකයින්ගේ පසුගිය වැටුප් වැඩිවීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය හැක.) 11%ක් අනෙක් රජයේ සේවකයන් වන අතර ඉතිරි 50% ස්ථිර රැකියා කරන්නන් හෝ පුහුණු කෘෂිකාර්මික සේවකයන්ය. මැද මධ්‍යම පංතියට (PPP 2-6) අයිති පිරිසගෙන් 18% රජයේ සේවකයන් වන අතර, ස්වයං රැකියා කරන්නන් 30% ක්ද, වෘත්තිකයන් හා කළමනාකරුවන් 20%ක්ද විය. මේ පිරිසේ කෘෂිකර්මාන්තයේ නියුතුව සිටියේ 5% ක් පමණි. ඉහල මධ්‍යම පංතියේ (PPP 6-10) 27%ක් රජයේ සේවකයන්ද, 36% විද්වතුන් හා කළමනාකරුවන්ද, 42% ක්  ව්‍යාපාරිකයන්ද විය.

dr ajith amarsinge

     | අජිත් අමරසිංහ

(රචකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි)