ආණ්ඩු කරන්නේ “රාජ්‍ය” පැහැරගත් ත්‍රිමූර්තියක්

ආණ්ඩු කරන්නේ “රාජ්‍ය” පැහැරගත් ත්‍රිමූර්තියක්

ලාංකීය “රාජ්‍ය” දූෂිත කල්ලියක් විසින් පැහැර ගෙන තියෙන්නේ යැයි කියූ විට, තුෂ්නිම්භූත වූ කිහිප දෙනෙක් මගෙන් ඇහුවා, “කොහෙද බං ඒක හංගලා තියෙන්නෙ?” කියලා. මේ ලියන්නේ ඒ අයට සහ එහෙම හිතන්න ඉඩ තියෙන අයටත් ලාංකීය ආණ්ඩු පාලනය ගැන උනන්දුවක් ඇති අයටත් අලුත් සංවාදයකට හවුල් වන්නයි.

ලංකා ද්වීපයේ රජවරුන්ගේ පාලනයක් තිබූ අතීතයේ අද “රජය” කියලා කතා කරන සංවිධාන යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ඒ කාලේ රජවරුන් කෙරුවේ රට එක්සේසත් කරන එකයි. ඒ කියන්නේ අනුන්ට අයිති පළාත් අල්ලා ගෙන, යුව රජවරුන් නැතිනම් සෙනෙවියන් දාලා, ඒත් නැත්තං පැරදුන රජවරුන්ගෙන් කප්පම් අරගෙන රට තනිව පාලනය කරන එක. එහෙම රජවරුන් ලංකා ඉතිහාසයේ ඉඳලා තියෙන්නේ 11 යි කියලා මගේ මතකය.

අපට නිදහස ලබා දෙන විට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් අපට බාර දුන්නේ එහෙම එක්සේසත් කළ රටක් නෙවෙයි. ඔවුන් බාර දුන්නේ තනි රටක් හැටියට ඔවුන් ස්ථාපිත කළ “ඒකීය රාජ්‍ය” පාලනය කිරීමේ නිදහසයි. ඒකීය රාජ්‍යයක් කියන්නේ සමස්ථ රටම ආවරණය කෙරෙන කාර්යාලගත පරිපාලනයක්, නීති පද්ධතියක් සමග අධිකරණයක්, රට පුරා නීතිය හා සාමය පවත්වා ගැනීමට පොලීසියක්, ජාතික ආරක්ෂාවට හමුදාවක් සහ ඒ සියල්ල මධ්‍යගත ආණ්ඩු පාලනයකට යටත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විසින් ලබා දෙන ස්වෛරී බලයක් සහිත සක්‍රීය යාන්ත්‍රණයක්.

 බ්‍රිතාන්‍යයන් අපට දුන්න එක්සත් නොකළ “ඒකීය රාජ්‍ය“

අපට ලැබුණු ඒකීය රාජ්‍ය ඒ වනවිට අනාගමික, සියල්ලන් සඳහාවන රාජ්‍යයක් හැටියට තමයි පැවතුනේ. එහි ව්‍යවහාරික බස ඉංග්‍රීසි වුන නිසා, බහුතරයකට රජය හා ගනුදෙනුව දුරස්ථ ගනුදෙනුවක් උනා. ඒ නිසා නිදහස සමග අපට පැවරුණු වගකීම වුනේ මේ රාජ්‍ය නිත්‍ය වශයෙන්ම අනාගමික, බහු සංස්කෘතික හා ද්වීභාෂාමය ලාංකීය සමාජයේ සියල්ලන්ට, තමන්ගේ යැයි කිව හැකි ස්වාධීනත්වයක් සහිත රාජ්‍යයක් ලෙස තහවුරු කිරීමයි.

නමුත් අප ගමන් ගත්තේ ප්‍රතිවිරුද්ධ දිසාවටයි. නිදහස ලැබූ විගස ඉන්දියානු සම්භවයක් ඇති වැවිලිකරයේ කම්කරුවන් ලක්ෂ දෙක තුනකගේ පුරවැසි හා ඡන්ද අයිතිය අහෝසි කිරීමෙන් පළමු වරට මේ ඒකීය රාජ්‍ය විසින් අතහැර දැමුණු ප්‍රජාවක් බිහි කෙරුණා. වැවිලිකරයේ ශ්‍රමික ප්‍රජාවටද යම් අයිතියක් තිබූ, සුද්දන් අපට බාර දී ගිය රාජ්‍ය ඔවුන්ට අහිමි කෙරුවා.

ඒ හයිය මත සිංහල-බෞද්ධ මතවාදය විශේෂයෙන් මැදපංතිකයින් අතර ශක්තිමත් වුනා. සමස්ථ ලංකා බෞද්ධ සංගමය ඒ සමග බෞද්ධ කොමිසමක් 1954 දි පත් කෙරුවා. ඒ කොමිසමේ නිර්දේශ 1956 මැතිවරණයට කලින් බණ්ඩාරනායක භාර ගත්තා. ‘56 අප්‍රේල් මැතිවරණය ජය ගෙන අගමැති බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමත් බෞද්ධ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ආරම්භ කෙරුවා. බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට විශේෂත්වයක් ලබාදීමට පෙර බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ආරම්භ වුනේ ‘56 බණ්ඩාරනායක අගමැතිගේ ආණ්ඩුවෙන් එහෙමයි.

 සිංහල භාෂාව රාජ‍්‍ය භාෂාව කිරීම

සිංහල-බෞද්ධ බලපෑම රාජ්‍යගත වන්න පටන් ගන්නේ එහෙමයි. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් දෙමළ සමාජයට රජයේ රැකියා ලබා ගැනීමේ ඉඩ ඇහිරුණා විතරක් නෙවෙයි, ඔවුන්ට රජය සමග ගනුදෙනු කිරීමේ අවකාශයත් ඇහිරුණා. උතුරු-නැගෙනහිර සාමාන්‍ය දෙමළ හා මුස්ලිම් ජනතාවට එතෙක් රාජ්‍ය හා තිබූ ගනුදෙනුව බිඳ වැටෙනවා. දෙමළ ජාතික දේශපාලනය ඔවුන්ගේ පළාත්වල රාජ්‍ය ගනුදෙනු දෙමළ භාෂාවෙන් කිරීමේ අයිතිය පළමුව ඉල්ලුවෙත් පසුව ඔවුන්ගේ පළාත් වල සංවර්ධන හා පරිපාලන කටයුතු කිරීමට දේශපාලන බලය බෙදා ඉල්ලුවෙත් අනෙකුන් හා සමානව ඔවුන් සතු විය යුතු රාජ්‍ය පිළිගැනීම ඔවුන්ගෙන් පැහැර ගැනීම නිසයි.

මේ අතර ‘78 සිට ජයවර්ධන ජනාධිපති ලිහලා දාපු ආර්ථිකය සමග තමන්ගේ යැයි සිතු සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍ය සිංහල-බෞද්ධ බැතිමතුන්ටත් අහිමිවන බව තේරුම් ගන්න ඔවුන්ට තවමත් බැරිවෙලා තියෙන්නේ. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හඩු ජාවාරම්කාරයින් හැදෙන්නෙත් සිංහල-බෞද්ධ ආධිපත්‍ය සමගයි. එක අතකින් බහුතරයේ වාර්ගික ආගමික ව්‍යාපාර නඩත්තු කරන දේශපාලනයටත් අනෙක් අතින් අන්ත දූෂිත ආණ්ඩු පාලන වලටත් විවෘත වෙළඳපල ආර්ථිකවල ඉඩ ලැබෙනවා. ඒක විශේෂයෙන් අපේ කලාපයේ රටවල වැඩියෙන් දකින්න පුළුවන්.

ඒ සන්දර්භයෙහි සිදුවුනු තවත් ප්‍රධාන බිඳ වැටීම් පොකුරක් තියෙනවා. මානව පරිනාමය පුරා “සමාජ සත්වයෙක්” වුන “මිනිසා” ලාභය හා වත්කම් පසු පස හඹා යන හදුකලා ගිජුලිහිණියෙකු වැනි කෑදර සත්වයෙකු බවට විවෘත වෙළඳපල ආර්ථිකය විසින් පත් කරනවා. ඒවගේම ‘70 දසකයේ අවසානය දක්වා සමාජයේ පැවති සාරධර්ම, විනය, සමාජ වටිනාකම්, ආචාර ධර්ම සියල්ල විනාශ කෙරෙනවා. ඒවා සමග සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑර පැතිර ගිය අපරාධ, මිනී මැරීම්, මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය, කප්පම් ගැනීම්, ස්ත්‍රීන් සහ බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා අපචාර, ලිංගික හිංසන සාමාන්‍ය සිදුවීම් බවට පත් වෙනවා. දෛනික ජීවිතයේ කාර්යන් ඉටුකර ගැනීමට රජයේ කාර්යාලවල හැමෝටම අතමිට මොලවන්නට සිදුව ඇති තත්ත්වයකට සමාජයම පත් කෙරෙනවා. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමේ ආයතනත් සමස්ථ රාජ්‍ය පරිපාලනයත් දූෂිත, අකාර්යක්ෂම ආයතන ජාලයක් බවට පත්ව තිබෙනවා.

මේවා බරපතල ගැටළු ලෙස සැළකීමටවත් අද සිංහල-බෞද්ධ සමාජය උනන්දු නොවන වටපිටාවක, රාජ්‍ය පිරිහීම ගැන සිතනවුන් පුරුදු කර ඇත්තේ ආණ්ඩු පාලනයට අවංකයින් සෙවීමටයි. ඊළඟ ඡන්දෙන් අවංකයින් තේරීමට සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ආධාර ලබාදෙන ගෝලීය ආධාර සංවිධාන පවා තියෙනවා. නීති නොතකා, නැත්නම් දහ අට වංගුව වගේ නීති නවාගෙන කෝටි ගණන් මුදල් වංචා කරන මහපරිමාන දූෂණ සිදුවන සමාජයක, පාර්ලිමේන්තුවට අවංකයින් තෝරා යවන්නැයි කීම, බූරු පොළේ තෝං එකතු කිරිල්ල වගේ වැඩක්.

 ජාවාරම්කාරයින් කවුද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී “මුදල් වෙළඳපලේ තැරැව්කාරයෝ. ප්‍රාථමික ගැණුම්කරුවෝ.........රට ආර්ථික අර්බුදයක සිටිය නිසා ඒ අය ණයට සල්ලි දුන්නා. ණය දුන්නා ඉතා ඉහළ පොලියකට. ඒ සියලු ලාභ සතයක් අඩු නැතුව ලබා ගන්නවා.......ඒ අයට අත තියන්න බැහැ. බැරිවෙලාවත් අත තියන්න බැහැ. ඒ අය යාළුවෝ. ඒ අය තමයි ඔබලව නඩත්තු කරන්නේ. මැතිවරණ වලට අරමුදල් දෙන්නේ. ඒ අය තමයි මේ වැඩ වලට ඔබලට කප්පම් ගෙවන්නේ” කියලා අතම ආණ්ඩුවට දිගු කරලා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරම් කිව්වේ, සිංහල බෞද්ධ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ හඩු ජාවාරම්කාරයන් අතර මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ තහවුරු වෙලා තියෙන ඥාති සම්බන්ධය ගැනයි.

ඒ ඥාති සම්බන්ධය හැදෙන්නේ ලොකු ව්‍යාපෘති සඳහා මුදල්, ණයට නැත්නම් ආධාර වශයෙන් හරි ලැබෙන්නේ රාජ්‍ය ආයතනවලට නිසයි. මහවැලියේ ඉඳන් දියවන්නාවේ අලුත් පාර්ලිමේන්තුවත් හම්බන්තොට වරායත් පහු කරලා, නෙළුම් කුළුණෙන් කොළඹ පෝට් සිටි දක්වා සියල්ල ආණ්ඩු සමග කෙරෙන ගනුදෙනු වලින් ලැබුණු යෝධ කොන්තරාත්. ඒ කොන්තරාත් ලොකු කොම්පැනි ගන්නේ ටෙන්ඩර්වල සුදුසුකම අනුවම නෙවෙයි කියන එක කවුරුත් දන්නවා.

ජයවර්ධනපුර අලුත් පාර්ලිමේන්තුව හදන්න සමස්ථ කොන්තරාත්තුවම ගත්ත කොරියන් සමාගම, දියවන්නාව මැද ලොකු දූපතක් හදන්න වැලි පස් සපයන කොන්තරාත්තුව දීලා තිබුණේ දේශීය කොම්පැනියකට. ‘80 වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවුනු ගුරුවරුන් දෙදෙනෙකු දියවන්නාවේ ඒ ව්‍යාපෘති කාර්යාලයේ වැඩ කෙරුවා. ඔවුන් කිව්වා මතකයි, දියවන්නාවේ දූපත හදන්න ගෙනාව වැලි පස් ට්‍රැක්ටර් වලට ගෙවපු මුළු මුදලට අනුව, මුළු දියවන්නාවම ගොඩ කරන්න වැලි පස් ගෙනැල්ලා තියෙන්න ඕනැයි කියලා. ගෙවීම් එහෙම උනාට, වැලි පස් ගෙනත් තිබුණේ දූපත හදන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි.

 අල්ලස් දුෂණ හා කොමිස් බෝනස්

පාර්ලිමේන්තුවේ එකල හිටිය එකම වමේ මන්ත්‍රී, කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගම මන්ත්‍රී තුමයි. වරක් ඔහු මහවැලි ඉදිකිරීම්වල දූෂණ ගැන තොරතුරු ඇතිව ලොකු විවේචනයක් කෙරුවා. ඉතා නිහඬව ඒ විවේචනය අසාගෙන හිටිය මහවැලි ඇමති ගාමිණි දිසානායක, මුත්තෙට්ටුවෙගම මන්ත්‍රීතුමාගෙ කතාවට ඉතාම කෙටි පිළිතුරක් දුන්නා. ඇමතිතුමා කිව්වා, ඒ කිසිවක් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මුත්තෙට්ටුවෙගම මන්ත්‍රී තුමාගේ දේශපාලනයේ සහ තමාගේ දේශපාලනයේ වෙනසෙහි කියලා කිව්වා. මුත්තෙට්ටුවෙගම මන්ත්‍රී අල්ලස් දූෂණ කියන ඒවට තමා කියන්නේ කොමිස් සහ බෝනස් කියලා ඇමතිවරයා කිව්වා. මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ එහෙම නැතුව අවුරුදු 30 ක යෝධ ව්‍යාපෘතියක් තමන්ට අවුරුදු 06 කින් සම්පූර්ණ කරන්න හිතන්නවත් බැහැ කියලත් කිව්වා.  

මහවැලියෙන් පටන් ගත්තම චන්ද්‍රිකා ජනාධිපති කාලේ කොට්ටාව - ගාල්ල අධිවේගී මාර්ගය හැදීමේ ඉඳන් කොළඹ පෝට් සිටි දක්වා හැම ආණ්ඩුවක් සමගම මේ හඩු ජාවාරම්කාරයින් කොන්තරාත් කෙරුවෙත් බැඳුම්කර විකුණුවේත් සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කෙරුවෙත් රජයේ ඉහළම නිලධාරී පැලැන්තිය සමග තිබූ හවුලක් එක්කයි. එයට හේතුව, ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය නැතිව කිසිම ඇමතිවරයෙකුට අමාත්‍යාංශයක, ව්‍යාපෘතියක මුදල් ගෙවීම් අනුමත කරන්නත් බැහැ. ගෙවීම් නිර්දේශ කරන්නත් බැහැ. මෙවැනි යෝධ ව්‍යාපෘති සඳහා සැළසුම් සහ ඇස්තමේන්තු හදන්නත් බැහැ.

ඒ හේතු නිසා දේශපාලනඥයින් සහ රජයේ ඉහළම නිලධාරී පැලැන්තියේ විශ්වාසවන්තයින් අතර ඉතා සමීප බැඳීමක් දසක දෙක තුනකට වැඩි කාලයක සිට වර්ධනය වෙනවා. ඒ හිතවත් සම්බන්ධතා වඩාත් නිහඬව තහවුරු වූ බවක් පෙනෙන්නේ පසුගිය 2021 වසරේ ආරම්භයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමේ පූර්ව කටයුතු සමගයි. ඒ කාලයේ ඉහළ තීරණාත්මක තනතුරු වලට තමන්ගේ න්‍යාය පත්‍රය වෙනුවෙන් හවුලේ වැඩ කරනු ඇතැයි විශ්වාස කළ ප්‍රභූ නිලධර හවුලක් තෝරා ගෙන තියෙනවා. එහෙම හැදුනු “ත්‍රිමූර්තිය” නිසා තමයි රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට වැඩ පටන් ගන්නකොට මහ බැංකුවේ අධිපති යටතේ ජා.මූ.අරමුදලේ මාණ්ඩලිකයින් සමග කෙරෙන සාකච්ඡා රාමුව ජාවාරම්කාරයින්ට ගැලපෙන හැටියට හැදිලා තිබුණේ. ඒ නිසා තමයි ජා.මූ.අරමුදල සමග කෙරුණු සාකච්ඡා සහ එකඟතා පිළිබඳව මහ බැංකුවෙන්වත් මහ භාණ්ඩාගාරයෙන්වත් කිසිවක් “ලීක්” නොවුනේ. ඒ නිසා තමයි, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධවත් සම්පූර්ණ කතාව පාර්ලිමේන්තුවටවත් හරියාකාරව දැනුම් නොදී, අවසන් තීන්දු ගැනීමේ බලය ජනාධිපතිවන මුදල් ඇමතිට බාර දෙන යෝජනාව සම්මත කෙරෙන්නේ. ඒ “ත්‍රිමූර්තිය” තමයි, සුමන්තිරන් කියන ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හඩු ජාවාරම්කාරයින්ට අත නොතියා අර්ථසාධකේට බැහැලා තියෙන්නේ .

 ත්‍රීමුර්තිය

ආණ්ඩු පාලනයේ මේ “ත්‍රිමූර්තිය” එකවර පේන හවුලක් නෙවෙයි. ආණ්ඩුවේ දේශපාලන නායකත්වය සමග හවුල්වන ප්‍රභූ නිලධර කණ්ඩායමත් හඩු ජාවාරම්කාරයිනුත් එකතුවුන මේ ත්‍රිමූර්තිය දැන් ඇමති මණ්ඩලයටත් ඉහළින් තීන්දු අරගෙන ඇමති මණ්ඩලයෙන් ඒවාට නිල තත්ත්වයක් ලබා ගන්නවා. පාර්ලිමේන්තුව ඉන්නවා ඒවා නීතිගත කරන්න. ඒ අනුව “රාජ්‍ය” කටයුතු කරන්නේ මේ ත්‍රිමූර්තියේ දේශපාලනයට යටත්වයි. මේ දේශපාලනයේ නායකත්වයට හවුල් වෙන්න, ජනතාව විසින් ඉවත දැමුව අපතයින්ද ජනාධිපති උපදේශක තනතුරු හරහා එකතුකර ගෙන තියෙනවා. ඔවුන් රජයේ ප්‍රභූ නිලධර කණ්ඩායම සමග වාඩිවෙලා ප්‍රතිපත්ති තීන්දු කරනවා. එක පැත්තකින් බැලුවම ආණ්ඩුවේ දේශපාලන නායකත්වය කියන්නේ අපත කල්ලියක්.

ඒ සමග 70 දසකය අවසන් වන තෙක් රාජ්‍ය වෙත පැවරී තිබුණු දේශපාලන වගකීම වුන ආර්ථිකය හැසිරවීම හා අධීක්ෂණය දැන් නැහැ. ජයවර්ධන ලිහා දැමුව විවෘත වෙළඳපල ආර්ථිකයේ ඉල්ලුම හා සැපයුම මත ක්‍රියාත්මක වන වෙළඳපල ගතිකයට පහසුකම් සැපයීමේ වගකීමත් දැන් රජයට නැහැ. දැන් රජයේ පැහැදිලි කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා හැකි ආකාරයකට හෝ කැමති ආකාරයකට මැදිහත්වන රජයේ පහළ සහ ප්‍රාදේශීය, ආයතනගත යාන්ත්‍රණය එකක්. අනෙක කොළඹ කේන්ද්‍රීය රජයේ වගකීම් වශයෙන් ආර්ථික ක්‍රියාවලිය නියාමනය කිරීමේ සහ නෛතික කාර්යන්හි යෙදීමට අලුත් පාලන ත්‍රිමූර්තිය හා අනුගත වන ඉහළ තලයේ බලධාරි යාන්ත්‍රණයයි.

අපි මේ රාජ්‍ය අකාර්යක්ෂමයි, දූෂිතයි කියන්නේ රජයේ පහළ සහ ප්‍රාදේශීය, ආයතනගත යාන්ත්‍රණය දිහා බලා ගෙන. නමුත් ඉහළ තලයේ වගකීම් ඉටු කරන රාජ්‍ය නිලධර ව්‍යුහය ජනතාවට අවශ්‍ය ආකාරයෙන් නෙවෙයි, ත්‍රිමූර්තියට අවශ්‍ය ආකාරයෙන් කාර්යක්ෂමයි. දැන් ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ ඒ කාර්යක්ෂම ඉහළ තලයේ රාජ්‍ය සංවිධාන විසින් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ තීන්දුකරන මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණයකටයි. ඓතිහාසික අත්දැකීමක් සමග කිව්වොත් මේ ත්‍රිමූර්තිය, එක්තරා ආකාරයකට ක්‍රි.පූ. 60 දී සීසර්, ක්‍රැසියුස් සහ පොම්පෙයි අතර තහවුරු කෙරුණ “පළමු ත්‍රිමූර්තිය” කියන හවුල විසින් රෝමානු සනාථන මණ්ඩලයේ බලය කොල්ල කෑ ආකාරයට සමානයි. වෙනසකට තියෙන්නේ එදා රෝමානු සනාථන මණ්ඩලයේ කණ්ඩායම් සීසර්ලගේ මේ ත්‍රිමූර්තියට විවෘතව එරෙහි වුනා. අපේ පාර්ලිමේන්තුවට එහෙම ත්‍රිමූර්තියක පාලනයක් ගැන කිසිම අවබෝධයක් නැහැ. නමුත් තීන්දු ගැනීමට හවුල්වන රාජ්‍ය නිලධරයින්ගෙන් පැහැදිලිකර ගැනීම් ලබා ගැනීමට මිසක් ඔවුන් ප්‍රශ්න කිරීමට විපක්ෂ නායකතුමාට අයිතියක් බලයක් නැහැ කියලා කතානායකවරයා කිව්වේ, මේ පාර්ලිමේන්තුව ත්‍රිමූර්තියේ රබර් මුද්‍රාව බවට පත් වෙලා කියන එකයි.

ඉතිං මේක ඉවර කරන්නත් එක්ක මෙහෙම කියන්නම්. ඔය මොන තාලේ විලාසිතා එක්ක ආර්ථිකය හැඩ කරනවා කිව්වත් දුරදිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණ නැතිව කිසිවක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා අත්‍යාවශ්‍ය වෙන්නේ ත්‍රිමූර්තිය විසින් පැහැරගෙන ඇති රාජ්‍ය නිදහස්කර ගැනීමේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දියුණු සංවාදයක් ආරම්භ කිරීමයි.

Kusal perera 1

| කුසල් පෙරේරා

2023 ජූලි 06 වන දින