මැතිවරණ ප්‍රශස්තකරණය (Election Optimization) අභිමුව රත්නායකකරණය වූ මැතිවරණ කොමිසම

මැතිවරණ ප්‍රශස්තකරණය (Election Optimization) අභිමුව රත්නායකකරණය වූ මැතිවරණ කොමිසම

රනිල් වික්‍රමසිංහ මහත්මා බලයට පත් හැම විටෙකදීම  ශ්‍රී ලාංකිකයන් වෙසෙස්  වදන් අහුරක ආස්වාදය විඳගන්නා බව පැවසීම ආයාසයෙන් සොයා  ගත යුතු නිරීක්ෂණයක් නොවේ.  ඒවා බොහෝ විට ආර්ථිකමය හා දේශපාලනික සංසිද්ධීන් හා සබැඳි ඒවාය. ධවල පත්‍රිකාව, සටන් විරාම ගිවිසුම, බොන්ඩ් ස්කෑම් මෙන්ම අභිනවයෙන් එක්ව ඇති වදනක් වූ  ණය ප්‍රශස්තකරණය ඉන් ස්වල්පයකි.

මේ සෑම අවස්ථාවක්ම  කෙළවර වූයේ සමස්ත රට ම උභතෝකෝටිමකය අවුලකට වැටීමෙන් අනතුරුවය.  අවසන වින්දිතයා  හෝ පරම ප්‍රතිලාභියා කවරෙක්දැයි සෙවීම නිකිණි සොයන්නා හා සම කාර්යයක් ම විය. ණය ප්‍රශස්තකරණයද එලෙසමය. වරෙක මෙරටේ සිදුවූ ප්රෑන්සිස්කුකරණය සේ එය පහසුවෙන් වටහා ගත නොහැකිය. බැලූ බැල්මට සැළැස්ම ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුවය.

මෙරටේ මැතිවරණ  සැලැස්මද එවැන්නකි. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි අපේ මැතිවරණ කොමිසම නොදන්නා අතර කොමිසමේ ඉලක්ක ටක්කෙටම දන්නේ බැලූ බැල්මට ජනාධිපතිවරයා පමණක් බව පෙනී යන කරුණයි. එනයින් වික්‍රමසිංහයන් ලංකාවේ මැතිවරණ ද ප්‍රශස්තකරණයට ලක්කොට ඇති අතර දේශපාලන හා සමාජ විද්‍යා විෂයේ නවෝත්පාදකමය දේ නිපදවන මහැදුරු උයන්ගොඩ, ධම්ම දිසානායක හෝ  සුමිත් චාමින්ද වෙතින් ඉල්ලිය යුතු ඉල්ලීමක් ද අප සතුව ඇත්තේය. එනම් මැතිවරණ ප්‍රශස්තකරණයේ හැඩතල ජනගත කොට නග්න ප්‍රජාතන්ත්‍රවාදයේ අරුමැසි මෝස්තරය රට්ටුන්ට කියා දීමට දැන් කාලය උදා වී ඇති බවයි. ආචාර්ය ප්‍රතිභා මහානාමයන් ට ද ඒ ගැන යමක් කිව නොහැක්කේ නොවේ. 

මැතිවරණ ප්‍රශස්තකරණය හා මැතිවරණ කොමිසම

පෙරදින සමාජජාල පරිශීලනයේදී ඇස ගැටුණු පෝස්ටුවකින් අප දුටුවේ අභිනව මැතිවරණ කොමිසම වැඩ අල්ලා ඇති බවයි. ඒ ශ්‍රී ලංකාව බිහිකළ පළමු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්. එම්. ඒ. එල්. රත්නායකයන්ගේ අදියුරු කමින් යුත් ත්‍රී පුද්ගල සභාවක් ලෙසය. මැතිවරණ කොමිසම පංච පුද්ගල එකකි. එහෙත් ඊට නම් කල පේරාදෙණිය සරසවියේ ඇදුරු ආචාර්ය රමේෂ් රාමසාමි නම් අප මිත්‍රයාගේ නම අවසන හැලී ගොස් ඇත්තේය. බර්ගන් ත්‍රිභුවන් සරසවියෙන් ආචාර්ය උපාධි ලත් රමේෂ් ,මෙවැනි තනතුරක් උදෙසා වෙසරද බවක් උසුලන, 40 වැනි වියට හෝ මෙතෙක් නොඑළඹුනු අනගි විචාරශිලිත්වයකින් යුත් සමාජශීලි  මෙන්ම  උද්‍යෝගිමත් ශ්‍රී ලාංකේය පුරවැසියෙකි. එහෙත් අවසන ඔහුගේ නම කැපෙන්නේ දමිළ දේශපාලකයන් ස්වල්ප දෙනෙක් සතු ගෝත්‍රික ආකල්පයක් නිසා බව අසන්නට ලැබේ. කරුණු එසේනම් ශ්‍රී ලංකාව සංවර්ධිත එකක් වනු ඇත්තේ අපගේ පරම්පරාවේ නෂ්ඨකාමී අදහස්වල සමස්ත විසංයෝජනයකින් පසුව මිස අතරතුර කාලයේ නොවේ.

අනෙක් තැනැත්තිය ද නීති ක්ෂේත්‍රයෙනි. ඇයගේ නම පළමු ලැයිස්තුවේ තිබුණද අවසන කොමිෂන් සභා  සාමාජිකත්වය ගැනීම ඇය ප්‍රතික්ෂේප කළේලු. හේතුව දන්නේ වුවද, මෙහි  ලිවිම නොහොබී. එහෙත් කිව යුත්තේ මෙරටේ ව්‍යවස්ථා සභාවක් නිසිලෙස ප්‍රතිෂ්ඨාපනය කොට ඇත්තේ මෙවැනි හාස්‍යෝත්පාදක නැටුම් නැටීමට නොවන බවයි. දැන් පේන හැටියට නම් ව්‍යවස්ථා සභාවේ නොනිල හිමිකරු ජනාධිපති ලේකම් සමන් ඒකනායකය.

කරුණු එසේ වුවද පත්වූ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙක් ම මෙරටේ පළමු හා දෙවැනි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරුන්ය. ඔවුන් දෙපළ  දිගු කලක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ වෘත්තීය ප්‍රමිතියක් සහතික කල මාහැඟි මැතිවරණ පරිචයකින් යුත් මහත්වරුන් දෙදෙනෙකි. ආර්. එම්. ඒ. එල්. රත්නායක සහ චන්ද්‍රවංශ පෙරේරා යන දෙදෙනා කෙරෙහිම අප තුළ ඇත්තේ ගෞරවය මුසු ප්‍රසන්න හැඟීමකි. එනයින් කොමිසමේ අභිනව සම්ප්‍රාප්තිය දෙස අපි සුබවාදීව බලන බව දැක්වෙන සංදේශයක් ලෙසද මෙම සටහන සළකා බලනු යෙහෙකි.

නව  මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කාල සීමාව පස් වසරකි. එහෙත් අප කොදෙව්වේ කටයුතු සිදුවන පිළිවෙල අනුව අප අදහස වන්නේ එහි ආයුෂ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය  හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දක්වා පමණක් දිවෙන්නක් බවයි.   හේතුව කවර ව්‍යස්ථාමය ප්‍රමිතීන් ඇත්තේ වුවද, කොමිෂන් සභා ව්‍යුහය ස්වාධීන යැයි කියූවද ජාතික මැතිවරණයක් අවසන පත්වන පාලකයා කොමිසමේ ඉරණම තීන්දු කරන බැවිනි. එහෙයින් වසර දෙකහමාරකට සැළසුම් සකස් කිරීම උචිතය. ඉතිරි අඩ ලැබෙන්නේ නම් එය පාරිතෝශිකමය වරප්‍රසාදයක් සේ සිතා වැඩ කිරීම උචිතය. 

පුංචිහේවා සාධකය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රතිෂ්ඨාපිත පුර්වගාමී කොමිසම තම කාර්යය ඉටුකළේ වසර 02 ක්, මාස 06 ක් හා දින 11 ක් පමණි. ඔවුන්ගේ  ව්‍යවස්ථාපිත නිලවරමේ කාලය හරි අඩකින් නැති වූයේ තරුණ අරගලය තම උත්කර්ෂවත් යෝජනාවක් ලෙස 'සිස්ටම් චේන්ජ්' කරන්නට දැරූ වෑයම බයිපාස් කල විජේදාස රාජපක්‍ෂ - වික්‍රමසිංහ හවුල විසිනි. සැබවින්ම 21 යනු 20 ට වඩා ටිකක් හොඳ, 19 ළඟින්වත් තියන්න බැරි අවරගණයේ ලියැවිල්ලකි. කෙසේ වුවත් හිටපු සභාපතිවරයා ඇතුළු අනෙක් සාමාජිකයන් තිදෙනා  මහින්ද දේශප්‍රිය සභාපතිවරයා නැවතූ තැනින් ඉදිරියට ගොස්  සමස්ත මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පෙරට ගත්තා පමණක් නොව,  ඔවුන් ඒ සඳහා මුළු හදින් ම කැපවූ බව පැවසීම අතිශෝක්තියක් නොවේ.  හිටපු සභාපතිවරයා කිසි දිනෙක කිසිවෙක් විවේචනයට නොපෙළඹුනු අතර තම කාර්යය අගති විරහිතව සිදුකිරීමේ අධිෂ්ඨාන ප්‍රතිබද්ධව කටයුතු කල තැනැත්තෙකි. සමහර විටෙක ඔහු කල ලොකුම වික්‍රමය ''පිං පඩියක්' ලත් චාර්ල්ස් වැනි කොමිෂන් සභා සාමාජිකාවන් අවසන් මොහොත දක්වා කළමනාකරණය කිරීම විය හැකිය.

එහෙත් ඒ කවරක් කලද කල්ගිය ජන්ද විමසීම පැවැත්වීමට නොහැකි වීමේ බර, විවේචනය, අගතිය හා අලාභය ගිගුරුම් රහිතව ම  ඔහු හිස මත පතිත වූ  අදිසි අකුණු සැරය විය. මීට තෙමසකට පෙර හෝ ඊටත් පුර්වයෙන් මැතිවරණ කොමිසමේ පැවති පසුබිම අනුව අප සතු නිරීක්‍ෂණය නම් එවකට ජන්දය ගැන පැවතියේ විකල්ප දෙකක් පමණක් බවයි. එනම් එක්කෝ මැතිවරණය පවත්වන්නට දෙන්නේ නැතැයි කියා සමස්ත කොමිසම ම ඉල්ලා අස්වීමයි. නැතහොත් මානවම්ම සූත්‍රය ජපකොට මැතිවරණය යූඑන්පීකරණය කිරීමයි. මේ දෙකම සිදු නොකොට නික්ම ගිය කොමිසම සාධනීය ප්‍රතිසංස්කරණ රැසක් සඳහා පෙරමුණ ගත්තද එය ජනතා අභිලාශ නොසළකා හැරීමක් බවට පෙරළිණි.  එනයින් ජනාධිපතිවරයා ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය චප්ප ජබිරි කොට බිම දමා පාගා දැමුවද, එහි අගෞරවයද හිටපු සභාපතිවරයා  සහ අනෙක් සාමාජිකයන් තිදෙනා වෙතට ම පුද කෙරිණ.  කවුරුන් කෙසේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කැප වූයේ ද එහි දිග පළල කෙතරම් ද යන්න වෙනම ම  විග්‍රහ කල යුතුය. එය පසුවට කරමි.

රත්නායකකරණය යථාර්ථවාදීද?

ලෝකයේ මැතිවරණ යනු උණුසුම්ම ක්‍රියාවලියයි. ඉහළම ප්‍රවර්තන මෙහෙයුමයි.එබැවින් කවුරුන් කෙසේ කීවද මැතිවරණ කොමිසම මෙරටේ තීරණාත්මක ම කොමිෂන් අතර අග්‍රේශ්වරය. මෙරටේ ජනතාව සුදුස්සා තෝරා නොගත්තද, කොමිසම කල නොකළ දේ ගැන විශාරද දැනුමෙන් අගතැන්පත්ය. නිදසුන් ලෙස ගෝඨාභය රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ නාම යෝජනාව දැක්විය හැකිය. එහිදී ඔහු හා තරඟ කල සියළු ඇත්තෝ නිහඩව සිට, ජනතාවද ශක්තිමත් නායකයෙක් ලෙස ඔහු තෝරා අවසන, ඔහු තෝරාගත් පාපයේ එකම දුෂ්ඨ වගකීම පවරා ඇත්තේ මහින්ද දේශප්‍රිය හිටපු සභාපතිවරයා වෙතය. එනයින් ලංකාවේ මැතිවරණ මඟින් වීරයන් බිහි නොකරන අතර හැකිතාක් බිහි කරනු ඇත්තේ දුෂ්ඨයන් පමණි.

රත්නායකයන් යනු අසිරිමත් කුටුම්භ රක්ෂණයක නිරත වෙමින් දිවිගෙවන අවිහිංසක මිනිසෙකි. රාජකාරි සමයේ හිත නොරිදා ගත් ඇනුමට හා  බැනුමට නොකැමැත්තෙකි. එබැවින් ඔහු තම නිල වරම නිමා කල යුතු වන්නේද අගති විරහිතවය. එහෙත් එවැනි භාවිතාවක් වෙත ප්‍රවේශ වීමට විධායක ජනාධිපතිවරයාගෙන් ඔහුට ඉඩක් ලැබේදැයි යන්න සැක සහිතය. ඔහුට ජනාධිපතිවරයාගේ ආශීර්වාදය පැවතියද, මැතිවරණ කාල සටහන සෙලවීමට තැත් දරන පළමු නිමේශයේදීම ඔහුගේ ස්වායක්ත පැවැත්ම ප්‍රශ්ණගත වීම නියතය. එබැවින් ඔහුට ඔහු සහ අනෙක් කොමිෂන් සභා සාමාජිකයන් සතු විභව ශක්තිය ඉහළ ශක්‍යතාමය ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාවට නැගීම සිතන තරම් පහසු නැත.

අපේ ජනතාව කිසිදා දේශපාලන අධිකාරිය සදාතනික සතුරෙක් සේ සිතන්නේ නැත. ඔවුන්ගේ සතුරන් වන්නේ නිළධාරීන් සහ කොමිසන් සභාය. මේ බව දන්නා අපගේ ජනාධිපතිවරයා කොමිෂන් සභා නටවන්නේ නයි නටවන්නෙක් සේය. ඔහු ඇඟට පතට නොදැනී වදනක් දෙකක් පවසා කොමිෂන් සභා සැනසීම පළමුව සිදුකරයි. දෙවනුව මුද්‍රණාලයාධිපතිනිය හෝ ප්‍රවුර්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ඉත්තන් දමා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සිදුකරයි. වාසනාවට අප දන්නා  රත්නායක මහත්තයා ගෙමිදුල නොව බිතක්කනට අකුණක් වැදුනද වගේ වගක් නැතිව ඉන්න දන්නා කෙනෙක් නිසා ඔහුට මැතිවරණ ප්‍රශස්තකරණයට නව අරුතක් සම්පාදනය කිරීමට බැරි කමක් නැත.

Sword of Damocles යනු රෝම අධිරාජ්‍යය නින්නාදව, අද ද ජන සභා මත්තේ රැව් පිළිරැව් දෙන සාදෘශයකි. එහි ඉතිහාසගත සංසිද්ධිය විස්තර කෙරුමට මේ අවස්ථාව නොවේ. එහෙත් එමඟින් කියන්නේ කිම? මිනිසුන් ලෙස අප අභිමුව නොවැළක්විය හැකි මට්ටමේ විසල් අභියෝගයක් පවතින බවත් එය හරියටම සිසෙරෝ පවසන ලෙසම අශ්ව කෙන්දක් මත්තේ අප නළලට ඉහළින් එල්ලා ඇති කගපතක්  වැනි එකක් බවයි. එය අප හිස මත්තේ නොවැටුනහොත් අපත් දිනුම් -රටත් දිනුම්. රත්නායක මහත්තයා ද මේ භාරගෙන ඇත්තේ අශ්ව කෙන්දකින් එල්ලා ඇති කඩුවකි. එය ඔහුගේ හිසට වැටුනොත්, බිමට වැටෙන්නේ ඔහු පමණක් නොවේ, මුළු රටමය.

manjula gajanayake 1

| මංජුල ගජනායක